2021 මාර්තු 06 වන සෙනසුරාදා

නැති බැරි අයගේ තනි වඩියේ නව එන්නත

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 31

කොරෝනා වසංගත මරණ අධිකම රට බවට පත්ව සිටින අමෙරිකාව තුළ තෙවැනි කොවිඩ් මර්දන එන්නතත් භාවිතයට අවසර ලබාදී හමාරය. මෙසේ ඒ රට තුළ හදිසි භාවිතයට අනුමැතිය ලැබුණේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතටය. දැනට භාවිතයට පැමිණ ඇති එන්නත් අතර මේ එන්නතද යහපත් ප්‍රගතියක් පෙන්වා ඇති බව වාර්තාවේ. ඒ අනුව බෙල්ජියමේ ජැන්සෙන් ඖෂධ ආයතනය විසින් නිපදවූ එම එන්නතට අනුමැතිය ලබාදුන් පළමු රට වන්නේද අමෙරිකාවය.
සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 115,420,464 කි. වසංගතයෙන් ලොව පුරා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 2,562,917 කි. අමෙරිකාවේ ආසාදිත පිරිස 29,371,373 +ගණනකි. ඒ රට මරණ සංඛ්‍යාව 529,222 +කි. තුන්වෙනි කොවිඩ් එන්නත වැඩට බසින්නේ එවන් පසුබිමකදීය.

මේ එන්නත මෙතෙක් ආ අනෙක් එන්නත් වලට වඩා වඩාත් ප්‍රායෝගිකත්වයට බරවූ වෙනස්කම් දරන්නකි. එහි එක් මාත්‍රාවක් පමණක් ලබාදීමෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් හිමිවන බවට තහවුුරු වීම නිසා මෙතෙක් භාවිතයට අවසර හිමිවූ සියලු කොවිඩ් එන්නත්වලින් මෙම එන්නත වෙනස් වේ. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත සමස්තයක් වශයෙන් 66ක ඵලදායිත්වයකින් යුතු බවට මූලික අත්හදාබැලීම්වලදී හඳුනාගෙන තිබේ. පසුගිය වසරේ ජනවාරි මාසයේ නිෂ්පාදනය ඇරඹූ මෙය එම සැප්තැම්බරයේ  සිට  මිනිසුන් සම්බන්ධයෙන් අත්හදා බැලීමට  කටයුතු කර  තිබුණි. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ඇමෙරිකානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පර්‌යේෂණ අංශයක් සමග එක්වය. මෙම එන්නතට අදාළ කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ඔවුන් වෙන් කර තිබුණි. මුළු ලෝකයම ඉතා හදිසි සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බවත්, පහසු මිලට ගත හැකි කොවිඩ්–19 එන්නතක් හැකි ඉක්මනින් නිෂ්පාදනය කිරීමට තමුන් කැපවී සිටින බවත් සමාගම ඒ දිනවලම කියා තිබුණි. මෙම එන්නත නිපදවීමේදි  පදනම් වී ඇත්තේ ඉකුත් සමයේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ භාවිතා කළ 
පර්යේෂණාත්මක ඉබෝලා එන්නත නිර්මාණය කිරීමට සමාගම භාවිතා කළ තාක්‍ෂණයමය.

අධි ශීතකරණ වෙනුවට සාමාන්‍ය ශීතකරණයක් තුළ ගබඩා කළ හැකිවීම මේ එන්නතෙන් අත්වන තවත් විශේෂ වාසියකි. එන්නත ගබඩා කිරීමද පහසුය. සෙල්සියස් අංශක ඍණ 20 ක් යටතේ එන්නත වසර දෙකක් ගබඩා කර තබා ගැනීම කළ හැකිය. සෙල්සියස් අංශක 2ත් 8ත් අතර උෂ්ණත්වයක් යටතේ සාමාන්‍ය නිවසේ ශීතකරණයක පවා මාස 3ක් ගබඩා කර තබා ගැනීමට හැකිය.
එසේම සෙසු එන්නත්වලට වඩා මූල්‍යමය අතින් වාසිදායක වීම මෙම එන්නතේ අනෙකුත්  විශේෂත්වයයි. ඒ අනුව වැඩිම මිල සහිත මොඩර්නා එන්නතක සැබෑ වෙළඳපොළ මිල වන්නේ ශ්‍රී ලංකා මුදලින් රැපියල් 3420 කි.  සාමාන්‍යයෙන් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් වඩියක මිල අමෙරිකානු ඩොලර් 8.50ක් පමණ එනම් ලංකාවේ මුදලින් රැපියල් 1661.84ක් පමණ වේ.

ජොන්සන් ඇන්ඩ් ජොන්සන්ස් සමාගම ප‍්‍රකාශ කර තිබුණේ අවසර ලද විගස, හදිසි භාවිතය සඳහා අමෙරිකාවට එන්නත් මාත‍්‍රා මිලියන 03 සිට මිලියන 04ක් දක්වා තොගයක් නැව්ගත කිරීමට සූදානමින් සිටින බවය. ඒ අනුව මාර්තු මාසය අවසන් වනවිට මිලියන 20ක ජනතාවකට ප‍්‍රමාණවත් එන්නත් සැපයීමට අපේක්ෂා කරන බව එම සමාගම ප‍්‍රකාශ කර තිබේ. ජූනි මාසය අවසන් වනවිට එක්සත් ජනපදයට මාත්‍රාවන් මිලියන 100ක් ලබාදීමට සමාගම එකඟ වී තිබේ.

ජොන්සන් ඇන්ඩ් ජොන්සන්* සමාගම එන්නත ගැන පළමුවෙන් අනාවරණය කළේ පසුගිය ජනවාරි 29 වැනිදාය. ඒ, තෙවැනි අදියරේ මූලික වටයේ සායනික අත්හදා බැලීම් සිදු කරද්දීය. ඒ අනුව  සායනික අත්හදා බැලීම් සිදුවෙද්දී, එන්නත මිලදී ගෙන එය හදිසි භාවිතය යටතේ   මහජනතාවට ලබාදීම සඳහා අවසර දුන් පළමු රාජ්‍යය වන්නේ දකුණු අප්‍රිකාවයි .ඒ රටතුළ මෙම එන්නත භාවිතයට අවසර දී ඇත්තේ  එහි පැතිරෙන නව කොවිඩ් 19 මාදිලියට ඔරොත්තු දීමේ හැකියාව  මෙම එන්නත සතුව ඇතැයි යන විශ්වාසයෙනි. ඒ අනුව දකුණු අප්‍රිකාව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කෝවිඩ්-19 එන්නත මහජනතාව සඳහා ලබාදීම ඉකුත් 17දා ආරම්භ කළ අතර ඒ රට ජනාධිපති සිරිල් රම්පෝසා සහ සෞඛ්‍ය ඇමති ස්වෙලි ම්කිසේ මුලින්ම  එම එන්නත ලබාගත්හ. මේවන විට පරීක්ෂණ මගින් පෙන්නුම් කර තිබෙන්නේ. දකුණු අප්‍රිකාවේ හටගත් කෝවිඩ්-19 ප්‍රභේදය හේතුවෙන් ඇතිවන බරපතල රෝගාබාධවලට එරෙහිව ඉතා හොඳ ආරක්ෂාවක් මෙම එන්නත මගින් ලැබෙන බවය. එරට වේගයෙන් ව්‍යාප්තවුණු කොරෝනා විකෘතිය අඩපණ කිරීමට ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නතට හැකියාව ලැබී තිබෙන බව  දැන් තහවුරැ වී තිබේ. එසේම මෙතෙක් එන්නත ලබාගත් අය අතර කිසිදු මරණයක් සිදුවී නොමැති අතර, එන්නත ලබා දින 28 කට පසු කිසිවෙක් හෝ  රෝහල් ගත කර නොමැත.

අන් බොහෝ කොවිඩ්-19 එන්නත් මෙන් නොව එක් පුද්ගලයකු ලබාගත යුත්තේ මෙහි එක් මාත්‍රාවක් පමණකි. ඊට අමතරව මහා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය සහ කැනඩාවද මේ වනවිට මෙම එන්නත ඇණවුම් කර ඇත. එසේම කොවැක්ස් පහසුකම යටතේ දිළිඳු රටවලට බෙදාදීම සඳහාද මෙම එන්නත් මාත්‍රා මිලියන 500ක් සඳහාද දැනටමත් ඇණවුම් ලැබී තිබේ. එක්සත් ජනපදය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවල සිදු කළ අත්හදා බැලීම්වල ප්‍රතිඵලවලින් පෙනී යන්නේ බරපතළ කොවිඩ් රෝගාබාධ තත්ත්වය  වැළැක්වීමේ හැකියාව අතින් මෙම එන්නත 85කට වඩා ඵලදායී වන අතර, මධ්‍යස්ථ රෝගී ලක්ෂණ සහිත අවස්ථාවලදී  ක්‍රියාකාරීත්වය අතින් මෙම එන්නත 66ක් ඵලදායී බවයි.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03