2021 මාර්තු 06 වන සෙනසුරාදා

දෑසම අන්ධ වුණත් වාහන හදන මලිත්

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

මලිත් තිලකරත්න උපතින්ම දෑස් නොපෙනෙන තරුණයෙකි. දෑස් නොපෙනෙන බොහෝ අය අනුන්ට අතපා ජීවත් වන්නට වෙහෙස දරන සමාජයක මලිත් දෑස් නොපෙනෙන ආබාධය පසෙකලා හරි හරියට කඩියකු සේ වැඩ කළේය.
මිනුවන්ගොඩ නගරය පසුකර දිවුලපිටිය හන්දියට ගිය අපිට මලිත් වෙසෙන නිවෙස සොයාගන්නට එතරම් අමාරු වූයේ නැත. දිවුලපිටිය හන්දියෙන් මීටර් සියයක් වැනි කෙටි දුරකට ධාවනය වූ අපට දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ ඉදිරිපිට තිබුණු රෝස පැහැ තීන්තයෙන් වර්ණවත් වුණු මලිත්ගේ නිවෙසට යන්නට හැකියාව ලැබුණි.

නිවෙස පිළිවෙලය. කිසිවකු පෙනෙන්නට නොසිටියද, අප දොරට තට්ටු කළ ඇසිල්ලෙන් දෑස් නොපෙනෙන, එහෙත් පුරුද්දට ඉදිරියට ආ යුවතියක් මුණගැසුණි.
මලිත් නැද්ද?
ඉස්සරහ හිටියා. යැයි කියමින් ඇය ද මලිත් සොයා මිදුලට බැස්සාය. ඒත් සමඟම නිවෙසට අළලා පිහිටා තිබුණු විශාල ගරාජයේ පසුපස තිබුණු ත්‍රීරෝද රථයක් අසලින් දෑස් නොපෙනෙන මලිත් තිලකරත්නව අපිට මුණගැසුණි.
මලිත් මෝටර් රථ කාර්මික ශිල්පියෙකි. ඔහුගේ දෑස් අන්ධ නමුත් ඔහුගේ දෑත්වලින් අලුත්වැඩියා වුණු වාහන සංඛ්‍යාව සුළුපටු වූයේ නැත.
අයියේ.. මට පැය භාගයක් දෙනවද? මම ඉක්මනට ඇවිත් හදලා දෙන්නම්.

ත්‍රීරෝද රථයේ රියැදුරු මහතාගෙන් පොඩි වේලාවක් ඉල්ලාගත් මලිත් අපිට ඒ අතීත කතාව දිගහැරියේය.
මලිත් පවුලේ එකම පිරිමි දරුවාය. මලිත් උපතින් අන්ධ දරුවෙකි. ස්නායු දුර්වල වීම හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇති බව වෛද්‍යවරුන්ගේ නිගමනය විය. වෙසක් කාලයට මලිත්ගේ පියා වූ කේ.ටී. සිල්වා ගම් පළාතේ තොරණ ඉදි කළේය. ඔහු දක්ෂ තොරණ ශිල්පියෙකි. ඔය අතරේ සිල්වාගේ මිතුරෙක් ගරාජ් එකක් කරගෙන යමින් සිටියේය. ටික කාලයකින් මිතුරාගේ මගපෙන්වීම නිසාම සිල්වා ද ගරාජ් වැඩ දන්නා හොඳ බාස් කෙනෙක් විය.
අසූ අට භීෂණ සමය උදා වූයේ මේ කාලයේය. ඒ වන විට සිල්වා දියණියන් තිදෙනකු සහ පිරිමි දරුවකුගේ පියා විය. රාත්‍රී කාලයේ විදුලිය තිබුණේ නැත. ඝන අන්ධකාරයත් සමඟ මලිත්ගේ මව භූමිතෙල් කෑනයෙන් චිමිනි ලාම්පුවට භූමිතෙල් වත් කළාය. ඒ ඇයගේ අවසන් රාත්‍රිය බව නිකමටවත් ඇයට නොසිතෙන්නට ඇත. ඇය ගිනිකූරක් දැල්වූවාය. මුළු නිවෙසම එක් නිමේෂයකින් ගිනි ගත්තේය. භූමිතෙල් යැයි සිතා තමා නිවෙසේ තිබූ පෙට්‍රල් කෑනයෙන් පෙට්‍රල් වත් කර ඇති බව දැනගන්නට ඇයට කාලයක් තිබුණේ නැත. ගින්නෙන් පිළිස්සී මලිත්ගේ මව දෙනෙත් පියාගනිද්දී මලිත්ට වයස අවුරුදු හතර ලැබුවා පමණි.

එතැන් සිට දරුවන්ගේ බර සිල්වා ගත්තේය. ගරාජයේ ඔහුට අත්උදව්කරුවකු සිටියේ නැත. මේ අතරේ හෙමි හෙමිහිට, වැටි වැටී තාත්තා සොයා ගරාජයට එන පුතාව ළඟින් වාඩිකරවූ සිල්වා අපූරු සෙල්ලම් බඩු ටිකක් ඔහු වෙත ළං කළේය. ඒ ගරාජයේ තියෙන ඔහුගේ ආයුධයි. මලිත්ට නිරන්තරයෙන්ම ගරාජයේ හඬ ඇසුණි. මලිත් ටිකෙන් ටික පියාට ළං වූවේය. සිල්වා මුලින්ම ආයුධ යතුරු ටික මලිත්ට හුරු කළේය.
පුතේ මේ තියෙන්නේ දොළහේ යතුර

මලිත් ඒ දොළහේ යතුර අතට ගෙන හොඳ හැටි අතගා බැලුවේය. ටිකෙන් ටික අතට හුරුවුණු යතුරු සියල්ලම අතගා බලා හඳුනාගන්නට තරම් පුංචි මලිත්ට හැකියාව ලැබිණි. නිසි වයසට ආ පසුව පියා තම දරුවා ගමේ තිබූ විශේෂ ළමුන් යන පාසලකට ඇතුළත් කළේය. ටික කාලයක් එහි ඉගෙනගත් මලිත් පාසල් යන ගමන නතරකොට පියාගේ ගරාජයේ වැඩ ඉගෙන ගත්තේය.

ටිකෙන් ටික ඔහු එන්ජිම ආදී සියල්ලම අතගා බලා ඉගෙන ගත්තේය. සිල්වා තම පුතණුවන්ට හොඳ ගුරුවරයෙක් වූවේය.
පුතා මුලින්ම මට අත්උදව්වට තමයි ගරාජ් එකට ආවේ. ඊටපස්සේ පුතා හරිම ආසාවෙන් ඒ දේවල් ඉගෙන ගත්තා. මෙයා අවුරුදු හයේ විතර ඉඳන් වැඩිපුරම හිටියේ මේ ගරාජ් එකේම තමයි. මම එයාට මුලින්ම යතුරු හඳුන්වලා දුන්නා. අතගාලා පුතා යතුරු ගොඩෙන් මම ඉල්ලන යතුර ඉක්මනට දෙන්න පුරුදු වුණා. ටිකෙන් ටික එයා හැමදේම මගෙන් අහලා කරන්න පටන් ගත්තා. මුලදී එයා වාහනයක් හදද්දී ගලවද්දී මම ළඟටම වෙලා හිටියා. හැබැයි අවුරුදු දොළහ දහතුන විතර වෙද්දී මම නැතිවත් එයාට තනියම වාහනයක් හදන්න පුළුවන්කම තිබුණා. සිල්වා මහතා තම පුතණුවන් ගැන පවසන්නේ එලෙසිනි.

වාහනයක හඬකින් තමන්ට එම වාහනයේ ගැටලුව පිළිබඳව සොයාගත හැකි බව මලිත් පවසන්නේය. සිල්වාට අද වයස අවුරුදු හැත්තෑ නවයකි. වර්තමානයේදී ගරාජයේ සියලුම වාහන අලුත්වැඩියා සිදුවන්නේ මලිත් අතිනි. ඕනෑම ස්වයංක්‍රීය නොවන (manual) වාහනයක් අලුත්වැඩියා කිරීමට මලිත්ට හැකියාව තිබුණද, මේ වන විට තනිවම ගරාජයේ වැඩ කරන ඔහුට තනිවම වාහනයක් හසුරුවන්නට, උස්සන්නට නොහැකි වීම හේතුවෙන් ඔහු වැඩිපුරම වැඩ කරන්නේ ත්‍රීරෝද රථත් සමඟය. ත්‍රීරෝද රථයක ඕනෑම අලුත්වැඩියාවක් කිරීමේ හැකියාව, ටයර් ගැලවීම ආදී සෑම කටයුත්තක්ම තනිවම කර ගැනීමට අද මලිත්ට හැකියාව තිබේ.

තාත්තා කියල දුන්නටත් වඩා දැන් ඒක මගෙන් ඇඟෙන් ආව දෙයක් විදිහට ඒ හැම වාහනයකම ලෙඩේ හොයාගන්න දැන් පුළුවන්. ලොකු වාහන මට තනියම උස්සන්න හරි අමාරුයි. ඒ නිසා දැන් ත්‍රීවිලර් තමයි වැඩිපුරම හදන්නේ. මං ගාවට වාහන හදන්න එන අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. කොච්චර ගරාජ් තිබුණත් ඒ අය මම ළඟටම එනවා. මම කාටවත් කරදරයක් නැතිව මගේ පාඩුවේ ජීවත්වෙන කෙනෙක්. මලිත් පවසයි.
මලිත් ධෛර්යවන්ත තරුණයෙකි. ඔහු තම පියා ලබාදුන් ඉඩමේ තමන්ට හැකි අයුරින් නිවෙසක්ද සෑදුවේය. ඒ සඳහා සිල්වා යම් මුදලක් මලිත්ට ලබා දී ඇති අතර ඉතිරි සියලු මුදල් මලිත් සොයාගෙන ඇත්තේ ගරාජයේ වැඩ කිරීමෙනි. ගරාජයේ වැඩ නැති වෙලාවල්වල මලිත් නිකරුණේ කාලය ගත කළේ නැත. ඔහු කූඩයක්ද ගෙන පහළ තිබූ ගඟ කොටසේ වැලි ගොඩ දැමුවේය. ඒ විකිණීමට නොව තම නිවෙසේ වැඩ වෙනුවෙනි. තම හිතවත් මේසන් බාසුන්නැහේට තම හිතේ ඇඳුණු සරල නිවෙසේ සැලැස්ම මලිත් පැහැදිලි කළේය. ඒ අනුව ගොඩනැගෙන නිවෙසේ වැඩ තවමත් ඉවර වී නැත.

මලිත් සංගීතයට ලැදි තරුණයෙකි. කනට ඇසෙන සංගීතයට අනුව මලිත් තම මිතුරන් පස්දෙනකු සමඟ සංගීත කණ්ඩායමක්ද කරගෙන යයි. ඒ සියල්ලෝම මලිත් මෙන් දෑස් අන්ධ තරුණයන් වීම විශේෂත්වයකි. දෑස් අන්ධ වූවාට ඒ දෙකන් බිහිරි නැත. මලිත් කිසිදු සංගීත පන්තියකට ගොස් නැත. නමුත් ඔහු සංගීතයේ ස්වර රටාව හොඳ හැටි හඳුනා ගත්තේය. ඔහු සංගීත කණ්ඩායමේ බේස් ගිටාරය වාදනය කරයි. මේ වන විට කොවිඩ් වසංගතයත් සමඟ ඒ සියල්ලද ඇණහිට තිබේ.

මීට වසර දෙකහමාරකට පමණ පෙර මලිත්ගේ ජීවිතයට තවත් අත්වාරුවක් එකතු විය. අන්ධ බිහිරි පුද්ගලයන්ගේ සංගමය මගින් මීට වසර තුනකට පමණ පෙර විශේෂ අවශ්‍යතා සහිත පිරිස් සිරිපාද කන්ද නැංවීමේ වැඩසටහනක් කළේය. ඒ ගමනට මලිත්ද සහභාගි විය. මේ ගමනේ අතරමගදී මලිත්ට අපූරු ගැහැනු අතක පහස දැනුණි. දෑස් නොපෙනුණද ඔවුහු කතාබහ කළහ. ඒ කතාබහ හදවතට මොන තරම් නම් දැනෙන්නට ඇත්ද? සිරිපාද කන්ද නැගි ගමන අවසානයේදී මලිත් පෙම්වතෙක් වී සිටියේය. ඇය නමින් චතුමි රණවීරයි.

මීට අවුරුදු දෙකහමාරකට පෙර මලිත් හා චතුමි එකම කැදැල්ලක අලුත් ජීවිතයක් ආරම්භ කළහ. මලිත් ගරාජයේ වාහන සාදද්දී චතුමි මුළුතැන්ගෙයි රසට කෑම පිසින්නීය. එන්ජිමේ හඬෙන් වාහන අලුත්වැඩියා කරන මලිත් අදටත් අතපත ගා ආයුධ ටික ළං කර ගන්නේය. සිල්වාට ආයුධ අතට දෙන්නට මලිත් හිටියාට අද මලිත්ට ඒ ආයුධ ළංකර ගන්නට අතඋදව්වට කෙනෙක් නැත. වයෝවෘද්ධ මෙන්ම හෘද රෝගියකු වූ සිල්වාට වෛද්‍ය නියමය වූයේ මහන්සි වෙන්න එපා යන්නය. මේ නිසාම වර්තමානයේදී ගරාජයේ එකම සේවකයා වන්නේ මලිත් පමණි.

කාලයක් මලිත් වෙසක් උත්සවයට ගමේ විශාල කැරකෙන කූඩු සෑදුවේය. දින ගණන් මහන්සි වී ඇතැම් දිනයන්හි පොල් ලී තනිවම ගැටගසා කැරකෙන කූඩු හැදුවාට ඒ කිසිම කූඩුවක හැඩ බලන්නට මලිත්ට හැකියාවක් නැත. නමුත් දෑස් අඳ මේ නිර්මාණ ශිල්පියාගේ නිර්මාණ දකින්නට බොහෝ දෙනෙක් පින් කර තිබුණාහ.
දෑසම නොපෙනෙතත් මලිත්ට හිතේ වීරිය අදටත් ඇත. තම ආදරණීය පියා, ආදරණීය බිරිඳ සමඟ ජීවත් වන්නට වාහනත් එක්ක ඔට්ටු අල්ලන මලිත් මෙරටට බරක් නොවන දෑතේ සවියෙන් දිවිගෙවන ආදර්ශමත් තරුණයෙකි.

 දිශානි ජයමාලි කරුණාරත්න
   ඡායාරූප - සුමුදු හේවාපතිරණ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03