2021 මාර්තු 06 වන සෙනසුරාදා

මහවැලියත් ගොඩකරන ගන්නෝරුවේ ලොක්කෝ

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, ප.ව. 06:00 194

ජලයෙහි වටිනාකම සමස්ත ලෝකයම කතාකරන ලෝක ජල දිනය මාර්තු 22 දාට යෙදී ඇත. ලොවපුරා බිලියන ගණනක් ජනතාව පිරිසිදු ජලය නැතිව ජීවත් වේ. ග්‍රාමීය වශයෙන් ජීවත්වන පුද්ගලයන්ගෙන් 80 ක් පමණ ජලය ලබාගන්නේ අනාරක්ෂිත ජල මුලාශ්‍රවලින් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එක්සත් ජාතීන්ගේ වාර්තා පෙන්වා දෙන්නේ 2030 වනවිට පිරිසිදු පානීය ජලය නොමැති වීමෙන් ලොවපුරා මිලියන 700ක ජනතාවක් අවතැන් වනු ඇති බවයි.


මධ්‍ය කඳුකරයේ සිට ගලාබස්නා ගංගා ජාලයකින් යුක්ත ශ්‍රී ලංකාව ලොව පිරිසිදු ජලය සහිත රටක් ලෙස සැලකේ. නමුත් අවිධිමත් සංවර්ධන යෝජනා ක්‍රම, මුදලට යටවූ දේශපාලන බලපුළුවන්කාරකම්, පොදු ජනතාවයේ නොසැලකිල්ල ආදී කරුණු රාශියක් නිසා අප රටේ පිරිසිදු ජල මුලාශ්‍ර සීඝ්‍රයෙන් විනාශ වී යමන් පවතී. මුලින්ම කැලණි, කළු වැනි ගංගාවල ජල දූෂණය වාර්තා වූ අතර රටේ දිගම ගංගාව වන මහවැලියත් එයට එක්වී තිබේ. 

මෙවර ලෝක ජල දිනයට සමගාමීව මධ්‍යම පළාත් වැඩසටහන මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ මහවැලි ගංගාව ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය. ඒ පිළිබඳව අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මෙසේ පැවැසුවේය. ගන්නෝරුව ප්‍රදේශයේ මහවැලිය ආශ්‍රිතව නීති විරෝධී ගොඩනැගිලි රාශියක් පවතිනවා. ඒවායේ සියලු අපද්‍රව්‍ය මහවැලි ගඟට බැහැර කිරීම ඉතා කනගාටුදායකයි. මෙසේ අපද්‍රව්‍ය පිරුණු ජලය ජනතාව බීමටත් භාවිතා කරනවා. මේ තතත්වය ඉතා භයානකයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරයාගේ ඉහත ප්‍රකාශයෙන් පෙනෙන්නේ ගන්නෝරුව අවට පරිසර විනාශය ගැන පළාතේ ඉහළම බලධාරියා හොඳින් දැනුවත්ව සිටින බවයි. එහෙත් බලයක් තිබේ නම් අවුරුදු ගණනාවක් තිස්සේ අනවසර ඉදීකිරීම් කරමින් ගංගා රක්ෂිතය අල්ලා ගැනීම මහදවල් සිදුකරන්නේ කෙසේද යන්න ගැටලුවකි. ගන්නෝරුව ප්‍රදේශයේම පදිංචි පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම අප සමඟ කතා කරමින්‍ මෙසේ කීවේය. 

මම පසුගියදා ගන්නෝරුව වරාතැන්න මහවැලියේ හක්කිඳ දුපත් ප්‍රදේශයට ගියා. කුඹුක් ගස් කීපයක් කපලා දාලා. මධ්‍යම පරිසර අධිකාරියට දන්වලා දින කිහිපයක් වුණත් කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන  නෑ. මහනුවර තිබෙන එකම තෙත්බිම මේ ප්‍රදේශයේ  මහවැලිය ආශ්‍රිතව තිබෙන්නේ. දූපත් 20ක් ගංගාව ආශ්‍රිතව තිබෙනවා. විශාලම දුපතේ ප්‍රමාණය අක්කර 8ක්. මහවැලියේ හැඩපලු ස්වභාවය තිබෙන්නෙත් මේ ප්‍රදේශයේ. ගංගා ඉවුරුවල ඉඩම් අල්ලා ගැනීම සිදුවෙනවා. ඉවුර අසලට පස් පුරවා ඒක තමන්නේ ඉඩම්වලට යාකර ගන්නවා. මේ අවට ඉඩම් මිල අධිකයි. මේක ලොකු ජාවාරමක් වෙලා. ගඟේ පළලම ස්ථානයත් පටුම ස්ථානයත් තිබෙන්නේ ගන්නෝරුව වරාතැන්නේ. මේ ඉඩම් අල්ලා ගැනීම නිසා ගංගාවේ පළල අඩුවෙනවා.
ගන්නෝරුව හක්කිඳ දූපත් සමූහය ආශ්‍රිත මහවැලි ගංගාව සංරක්ෂිත පරිසර ආරක්ෂිත කලාපයක් ලෙස ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළේ 2017 දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පරිසර ඇමැතිවරයා වශයෙන් සිටියදීය. ගන්නෝරුව ගැටඹේ සීමා මාලකය අසල සිට දොඩම්වල දක්වා මහවැලි නදිය හා දෙපස ඉවුරු මේ පරිසර කලාපයට අයත්ය. ප්‍රදේශයේ ගල්පර්වත මතින් මහවැලිය ගමන් කරයි. මධ්‍යම පරිසර අධිකාරියට මේ ප්‍රදේශයේ පාලනය අයත් වේ. ගංගාවේ තැනින් තැන ගස්වැල් පිරුණු දුපත්ය. පසුගිය කාලයේ පෞද්ගලික විදුලි බලාගාරයක් ඉදිකිරීමේ උත්සාහයක් පැවතුණද පරිසරවේදීන්ගේ විරෝධතා හමුවේ එය ඇන හිටිණි.

පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස නම් කළ පසුව එයට නීතිමය ආරක්ෂාව ලැබුණද එම නීතිය ක්‍රියාත්මක කිරීමේ ගැටලු පැන නැගී තිබේ. මෙසේ ගන්නෝරුව අවට මහවැලියේ සිදුවන නීතිවිරෝධී ක්‍රියා දෙස බලනවිට පෙනෙන්නේ මධ්‍යම පරිසර අධිකාරිය නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනක් කරන බවයි. නීතියට අනුව මධ්‍යම පරිසර අධිකාරියේ පූර්ව අනුමැතිය යටතේ සිදුකෙරෙන අවසර ලත් භාවිතයන් හැර වෙනත් කිසිදු ව්‍යාපෘතියක් හෝ ක්‍රියාකාරකමක් කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. නමුත් නීතිය පොතට පමණක් සීමා වී තිබෙන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. 

දේශීය වනාන්තර සුරුකීමේ සංවිධානයේ අතීක් නසීර් මෙසේ සඳහන් කළේය. අපි පසුගියදා ඔය ප්‍රදේශයේ කසළ ඉවත් කිරීමේ ශ්‍රමදානයක් කළා. කැලිකසළ ගංඉවුරෙන් පහළට දැමීම සුලබයි. මේ නිසා ගඟේ ජලය දුෂණය වෙනවා. ජීවත්වන මසුන් වඳවී යනවා. ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය, පොලිතින්, වීදුරු කැබලි, ගොඩනැගිලි අබලි ද්‍රව්‍ය මෙහි පිරිලා තිබුණා. අනවසර ඉදිකිරීම හා ගස් කැපීම් ගැන නම් කවුරුත් දන්නවා. ඒවාට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමක් පෙනෙන්නේ නෑ.
ලෝකයෙන් තුරන් වී තිබුණු බව වාර්තා වූ කොළ ගඩයා නම් දුලබ මාළුවා පසුගිය කාලයේ නැවතන් මෙම ස්ථානයෙන් වාර්තා විය. ලංකාවට ආවේණික මෙම මත්ස්‍යා ජීවත්වන්නේ වරාතැන්න අවට ප්‍රදේශයේ  පමණි. ලෙහෙල්ලා, ගංආරා, කඳු අහිරාවා, ගල්පාඩියා, දංකොළ පෙතියා, තල්කොස්සා වැනි අපේ රටට ආවේණික මිරිදිය මත්ස්‍ය විශේෂ රුසකට මෙම ප්‍රදේශය නිවහන වී තිබෙන බව පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම පවසයි.

ශ්‍රී ලංකාවට ආවේණික අතිඋඩයක් ශාක විශේෂ දෙකකුත් ආවේණික කෙටල විශේෂ හයකුත් මේ ප්‍රදේශයේ ව්‍යාප්තව තිබේ. නමුත් පරිසර විනාශයන් සමඟ ශාකවල පැවැත්මටද තර්ජනයක් එල්ල වී ඇති බව වාර්තා වේ. 
මේ ස්ථානයේ මහවැලිය ගලන්නේ ඉතා අලංකාර දර්ශන මවමිනි. මහවැලියේ පටුම ස්ථානය පළලින් මීටර් 8ක් වන අතර එයට මීටර් 500ක් දුරින් පිහිටි පළලම ස්ථානයේ පළල කි.මී. 1කි. අපි දැන් නැවතන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් ගමගේගේ අදහස කියවා බලමු. 

මෙහි මහවැලි ගඟ ආශ්‍රිතව ඉදිකළ ගොඩනැගිලිවලින් බොහොමයක් අනවසරයෙන්  ඉදිකළ ඒවා. ඒවාට කිසිදු පාරිසරික බලපත්‍රයක් ලබාගෙන නැහැ. ඒවා අනීතික ව්‍යාපාරික ස්ථානයි. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට විශේෂ කමිටුවක් ඉදිරියේදී කැඳවීමට පියවර ගන්නවා. පරිසර අමාත්‍යාශයත්, නාගරික සංවර්ධන අධිකාරියත්, ප්‍රදේශීය සභාවත් මේ සඳහා වන මූලික නීතිමය කටයුතු මේ වනවිටත් සිදුකර තිබෙන නමුත් එය ප්‍රමාණවත් නෑ. පරිසර අධිකාරියේ අවසරය ලබානොගත් සියලු ව්‍යාපර කටයුතු ඉදිරියේ දී නැවැත්වීමට කටයුතු කරනවා.

නීතිය අතේ තිබියදීමත් පරිසර අධිකාරයේ මධ්‍යම පළාත් කාර්යාලය මහනුවර තිබීයදීත් අනවසර ඉදිකිරීම් කර ව්‍යාපාරක කටයුතුද පවත්වාගෙන යන්නේ කෙසේද යන්න අපට නම් සිතාගත නොහැකිය. මේ වනතෙක් හක්කිඳ පරිසර ආරක්ෂක කලාපය පාලනය කිරීමට පරිපාලන කමිටුවක් පත්කර නැති බවත් අපට දැන ගැනීමට ලැබුණි.
1980 අංක 47 දරන පාරිසරික පනත අමු අමුවේ උල්ලංඝනය කරමින් ඉදිකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත්කර ගන්නෝරුව අවට පරිසර සංචාරකයන්ගේ මනස නිවන සුපිරිසිදු තැනක් බවට පත්වන තෙක් අපි බලා සිටිමු. 

 කුසුම්සිරි විජයවර්ධන
     සේයාරූ: ප්‍රදීප් සමරවික්‍රම 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03