2021 මාර්තු 06 වන සෙනසුරාදා

යුදගිනි මැද්දේ අහසේ විස්කම් පෑ හමුදාවට 70යි

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

සුරකිමු ලකඹර තේමා පාඨය පෙරටු කරගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් 70 වැනි සංවත්සරය සමරයි. ජාතියේ ගුවන් ආරක්ෂකයා වන හමුදාවේ 33 වසරක අත්දැකීම් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 12 වැනි ගුවන් හමුදාපතිවරයා වශයෙන් මානුෂීය මෙහෙවරට උරදුන් හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා වර්තමාන බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය හොබවයි. 70 වැනි ගුවන් හමුදා සංවත්සරය වෙනුවෙන් මේ ඔහු හා කළ සංවාද සටහනකි.

1951 මාර්තු 2 වැනිදා ආරම්භ කෙරුණු රාජකීය ලංකා ගුවන් හමුදාව තුළ මේ වනවිට ගුවන් හමුදාපතිවරු 17 දෙනකු කටයුතු කර තිබේ. ඒ අතර පැවති තිස්වසරක යුද සමය අවසන් කිරීමට මානුෂීය මෙහෙයුමට ගුවන් හමුදාව හරහා නායකත්වය සැපයූ මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා තමා ගුවන් හමුදාවට බැඳීම හා පවසන්නේ මෙසේය.

ගුවන් හමුදාව කියන්නේ මගේ තාත්තා සේවය කරපු තැන. මට පයිලට් කෙනකු වීමේ ආශාව තිබුණා. නිතරම තාත්තා ගුවන් හමුදා යුනිෆෝම්වලින් ඉන්නවා දැක්කම මටත් ආසා හිතුණා ගුවන් හමුදාවටම බැඳෙන්න. ඉතින් 1978 ජනවාරි 13 වැනිදා මම ගුවන් හමුදාවට බැඳුණා. නමුත් මම කුඩා කාලෙ ඉඳලාම හැදුණේ ගුවන් හමුදා පරිසරයක. ඒ නිසා ගුවන් හමුදාව මගේ ගෙදර වගේ.

ගුවන් හමුදාවට බැඳීමට අවශ්‍ය වයස සම්පූර්ණ වීමත් සමග සිය පියා වූ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ඩබ්ලිව්.සී. හැරී ගුණතිලක මහතාට තමන් ගුවන් හමුදාවට බැඳීමට අවශ්‍ය බැව් තරුණ රොෂාන් ගුණතිලක කියා ඇත. ඊට පියා පිළිතුරු දී ඇත්තේ කැමැති නම් බැඳෙන්න යනුවෙනි. නාවික හමුදාව හා යුද හමුදාව තිබියදී තමා කුඩා කළ පටන් ඇසූ දුටු ගුවන් හමුදාවට එක්වීමේ ආශාව නිසාම ඊට බැඳුණු බව ඔහු කියන්නේද අභිමානයෙනි. රොෂාන් ගුණතිලක මහතාගේ ආදරණීය පියා වූ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් හැරී ගුණතිලක මහතා ගුවන් හමුදාවට බැඳී ඇත්තේ 1952 වසරේදීය. දෙවසරක පුහුණුවෙන් පසු 1954දී පියාසර ලාංඡනය හිමිකරගෙන තිබුණේ සර් ජෝන් කොතලාවල මහතා අතිනි.
මගේ තාත්තා 1954දී පියාසර ලාංඡන ලබාගෙන තිබුණේ සර් ජෝන් කොතලාවල මහතාගේ අතින්. 1978 ගුවන් හමුදාවට බැඳුණු වෙලාවේ මගේ තාත්තා ගුවන් හමුදාපති. 1980 මාර්තු මාසෙ මම පියාසර ලාංඡන ලැබුවෙත් සර් ජෝන් කොතලාවල මහතාගේ අතින්. ඒ සිදුවීම නම් විශේෂයි.* ඒ මහතා පැවසීය.

කාලයත් සමඟ වර්ධනය වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සම්බන්ධයෙන් පවසන රොෂාන් ගුණතිලක මහතා කියන්නේ එවකට ගුවන් හමුදාව තරමක් පොඩි ස්ථානයක් බවය. එවකට නිලධාරීන් 75ක් හෝ ආසන්න පිරිසක් සමඟ පිරිස් බලය භටයන් 3000කට ආසන්න ගණනකින් සිටින්න ඇති බව ඔහුගේ අදහසය.
නමුත් රොෂාන් ගුණතිලක මහතා ගුවන් හමුදාපති ධුරය දරන සමයේ නිලධාරීන් 1600ක් හා ගුවන් භටයන් 36,000ක් දක්වා වර්ධනය වූ බව පවසයි. මේ හරහා ක්‍රියාන්විත රාජකාරි දක්වා ගුවන්භට පිරිස වර්ධනය වූ බව ඔහු සතුටින් කියයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට පෙර මෙරට යම් යම් කැරලි වර්ධනය වුවද ඒවා බරපතළ නොවූ ඒවාය. එබැවින් යුදමය තත්ත්වයක් සඳහා හමුදාව හෝ විශාල සූදානමක් නොතිබෙන්නට ඇත.

1971 වර්ෂයේදී පමණ ගුවන් හමුදාවට ලොකු පහසුකම් තිබුණෙ නෑ. පුහුණු කිරීමේ යානා, (චිප් මන්ක්) (ඩන් හෙරන්) සහ බඩු ප්‍රවාහන ගුවන් යානා දෙක තුනක් තිබුණා. නමුත් ක්‍රියාන්විත පහසුකම් තිබුණෙ නෑ. 1971 සිද්ධියෙන් පස්සෙ තමයි පහසුකම් උපකරණ සමඟ පිරිස් බලය වැඩිකරගත යුතු බව හිතුවේ. එහෙමයි අපි දියුණු වුණේ. 1971 දී අපට ඉන්දියාවෙන් ගුවන් යානා ඇවිත් උදව් කළා. ඇමෙරිකාවෙන් බෙල් ජෙට් රේන්ජර් කියන යානා අපට දුන්නා. ඒක අපි සල්ලිවලට ගන්න ඇත්තේ. එවැනි යානා 6ක් ලැබුණා. බෙල් 17G වර්ගයේ හෙලිකොප්ටර් වගයක් ඇමෙරිකාවෙන් ලැබුණා. ජේ.වී.පී. ප්‍රශ්නයත් සමඟයි මේවා ලැබුණේ. ඒත් සමග අපි හොඳට පුහුණු වුණා. කැරුල්ල අවසන් වීමත් සමග ගමන්මග යම් තැනක රැඳුණා යැයි පැවසීය.

1983 එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය හිස එසැවීමත් සමග ගුවන් හමුදාව වේගයෙන් දියුණු කිරීමේ අවශ්‍යතාවය දැනී ඇත. පිරිස් බලය, ගුවන් නියමුවන් ගුවන් යානා බෙල් 22 බීච් ක්‍රාෆ්ට් වැනි විවිධ යානා රැස් කරගෙන යුද්ධයකට අවශ්‍ය සම්පත් පවා වර්ධනය කොටගෙන තිබුණේ මේ අතරය.

මට පෙර හිටපු ගුවන් හමුදාපතිවරුන් අවශ්‍ය යානා හා උපකරණ පහසුකම් සපයා තිබුණා. මම ගුවන් හමුදාපති වෙද්දී උපකරණ හිඟයක් තිබුණේ නෑ. පිරිස් බලයක් තිබුණා. අවශ්‍ය අය අවශ්‍ය තැනට යොමුකරලා ක්‍රියාන්විතය භාවිත කිරීමයි අවශ්‍ය වුණේ. මගේ උපනායකත්, ගුවන් නියමුවන් ඇතුළු පිරිස දිරි ගැන්වූවා. හොඳ සබඳතාවක් පවත්වා ගත්තා. මේ සඳහා මට හොඳ කාර්ය මණ්ඩලයක් හිටියා. මට හොඳ නායකත්වයකුත් ලැබුණා. එවකට ආරක්ෂක ලේකම්, ජනපති හා නාවික ගුවන් හමුදාපතිවරු අතර හොඳ සබඳතාවකුත් තිබුණා. මානුෂීය මෙහෙවර වෙලාවේදී මාධ්‍ය තුළිනුත් විශාල සහායක් ලැබුණා* යැයි අදහස් දක්වන මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා මෙසේද කීය.
යුද සමයේ මම පිරිස උනන්දු කළා. ත්‍රස්ත ඉලක්ක හඳනාගත්තා. ත්‍රස්ත නායකත්වය, පුහුණු ස්ථාන, බෝම්බ නිෂ්පාදන ආයතන අපි හඳුනාගත්තා. බෝට්ටු තිබුණ ඒවා යොදවන වෙලාවන් සොයාගත්තා. මේ කියන තැන් අපි විනාශ කළා. ඔවුන්ගේ නායකත්වය බිඳ දැම්මා. දවල් කටයුතු අඩාල වෙද්දී ඒ අය රූට ක්‍රියාත්මක වුණා. අපි ඊටත් එරෙහි වුණා. ඔවුන්ගේ යුද ශක්තිය වගේම චිත්ත ධෛර්යයන් සම්පූර්ණයෙන් අඩාල වුණා. ත්‍රස්ත කණ්ඩායමේ හිටපු තමලිනී නැමැත්තිය ගුවන් හමුදාවෙන් වූ බලපෑම තර්ජනය ගැන කියලා තිබුණා.

ගුවන් හමුදාව ත්‍රස්තයන්ගේ ඉලක්ක නිවැරදිව හඳුනාගෙන තිබුණි. ගුවන් නියමුවන් නිසි ප්‍රහාර එල්ලකර එම බලය සුණු විසුණු කර දැමීය. එම ප්‍රහාර සියල්ල 100ක්ම නිවැරදිව සිදුකෙරිණ. නියමු රහිත ගුවන් යානා යොදවා සතුරු ඉලක්ක හඳුනාගන නිශ්චිත ප්‍රහාර එල්ල කිරීමට මේ ක්‍රමය ප්‍රබල සාධකයක් විය. මේ හරහා නියමුවන් ප්‍රහාරයට පිටත්ව යාමට පෙර සතුරු ඉලක්ක සියැසින් දැකගෙන යාමට තරම් හැකිවී ඇත. මේ කාලයේ දුෂ්කර අත්දැකීම් ඇතත් සියල්ල ජයගත් බව ජයග්‍රාහී ලීලාවෙන් රොෂාන් ගුණතිලක මහතා පැවසීය.

රොෂාන් ගුණතිලක මහතා ගුවන් හමුදාපති ධුරය දැරුවේ වර්ෂ 2006 ජූනි 11 සිට 2011 පෙබරවාරි 27 වැනිදා දක්වාය. එහෙත් කාලය තුළ වූ සිදුවීම් රැසක් පිළිබඳ මතකය කෙටියෙන් අවදි කළ ඒ මහතා මෙසේ කියයි.
යුද්ධය අවසන් වුණාට පස්සෙ ගුවන් නියමුවන්ට නිකන් ඉන්න බෑ. ඔවුන් ගුවන් මෙහෙයුම්වල නිරත විය යුතුයි. නමුත් ක්‍රියාන්විත රාජකාරි නෑ. මම උත්සාහ කළා මුහුදු ආරක්ෂාව උදෙසා ගුවන් යානා යොදවා නාවික හමුදාවට සහාය වීමට. දැන් ඒක ක්‍රියාත්මක වෙනවා. හෙලි ටුවර්ස් ආරම්භ කළේ මේ අදහසත් සමඟයි. ඒකෙන් විශාල මෙහෙයකුත් වෙනවා. දැන් ඉන්න හා පත්වන ගුවන් හමුදාපතිවරුන්ගේ අභියෝගයත් මේකයි.

රොෂාන් ගුණතිලක මහතාගේ පියා හිටපු ගුවන් හමුදාපතිවරයකු වන අතර රොෂාන් ගුණතිලක මහතාගේ පුතා රෙහාන් ගුණතිලකද ගුවන් හමුදාව නියෝජනය කරයි. ඔහු 2009 වසරේ ගුවන් හමුදාවට එක් විය. දැනට රත්මලාන ගුවන් හමුදා කඳවුරේ 4 වැනි හෙලිකොප්ටර් බලඝනයේ බලඝන නායකවරයෙක් ලෙස කටයුතු කරයි. ඒ සිය පියා වන රොෂාන් ගුණතිලක මහතා ප්‍රථමයෙන් රාජකාරි කළ ස්ථානයම වීම විශේෂය. රොෂාන් ගුණතිලක මහතාගේ සොහොයුරු ගෘෘප් කැප්ටන් ශිරන්ත ගුණතිලක මහතා ත්‍රස්තයන්ගේ මිසයිල ප්‍රහාරයකට ලක්ව මිය ගියේය. ඒ 1995 වසරේදීය. මේ බව ප්‍රකාශ කිරීමේදී රොෂාන් ගුණතිලක මහතා මොහොතකට සංවේදී විය.

හමුදාවන් අතර ගුවන් හමුදාව තාක්ෂණික අතින් ඉදිරියෙන් පසුවෙයි. ත්‍රස්ත ප්‍රහාර, සයිබර් ප්‍රහාර, විෂබීජ හෝ වෛරස් ප්‍රහාර හමුවේ වුවද නොසැලී සිටිය හැකි ශක්තියක් ගුවන් හමුදාව සතු බව මාර්ෂල් ඔෆ්ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගේ අදහසය. එබැවින් පවතින කොවිඩ් වසංගතය හෝ වෙනත් අවදානමක් යටතේ නොපැකිලිව සේවය කළ හැකි ගුවන් හමුදාවක් ගොඩනැගීමට කාලය මේ බවද පවසයි. ඒ සඳහා න්‍යෂ්ඨික ප්‍රහාරවලට පවා එරෙහිව ක්‍රියාත්මක වීමේ හැකියාවෙන් පෝෂණය වන ගුවන් හමුදාවක් ගොඩනැංවෙන බව ඔහු කියයි.

ගුවන් හමුදාව 70 වැනි සංවත්සරය සමරන මොහොතේ කියන්න සතුටුයි ගුවන් හමුදාව ලොකු ගමනක් ඇවිත් තිබෙනවා. හිටපු හමුදාපතිවරු සියලුදෙනා මේ ගමනට ශක්තියක් වෙලා ගොඩනංවලා හොඳ ස්ථාවරයක ඉන්නවා. දැන් අවශ්‍ය වෙන්නේ ඉදිරියට ඇති අභියෝග හඳුනාගෙන උපකරණ හා පිරිස් බලයෙන් තාක්ෂණිකව සන්නද්ධ වීමයි. නවීන ලෝකයේ රටකට අත්‍යවශ්‍ය හමුදාවක් තමයි ගුවන් හමුදාව. ඉදිරි කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට වර්තමාන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාට මා සුභපතනවා. යැයි පැවසීය.
70 වසරක් සපුරණ ගුවන් හමුදා ඉතිහාසයේ රටේ අනාගතය වෙනුවෙන් කැපවන, ආබාධිත වූ හා මියගිය සියලු ගුවන් විරුවන්ට අපගේ උපහාරය!

 සමන්ත ප්‍රදීප් විල්තෙර
සේයාරුව - සුමුදු හේවාපතිරණ