2021 මාර්තු 06 වන සෙනසුරාදා

පීඩාකාරී ක්‍රියා නවත්වන ක්‍රම

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 31

05. යම්කිසි නගරයක සීමා ඇතුළත පිහිටි කිසිම ස්ථානයක් එම ස්ථානය ඇතුළත් පරිපාලන ප‍්‍රදේශය සඳහා පත්කර ඇති සහකාර ප‍්‍රදේශ ආණ්ඩු කොමසාරිස් නැතහොත් ලබාගන්නා ලද බලපත‍්‍රයක් යටතේ හැර සෞඛ්‍ය බාධක හෝ පිළිකුල් උපදවන ගඳක් හෝ දුගඳක් හමන යම් කර්මාන්ත ශාලාවක් හෝ ව්‍යාපාරික ස්ථානයක් සඳහා පාවිච්චි නොකළ යුතුය. 

තවද, සිය අභිමතය පරිදි කළින් කළ එබඳු බලපත‍්‍ර නිකුත් කිරීමටද, අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව ඒවා ආපසු ගෙන්වා ගැනීමටද, එකී සහකාර කොමසාරිස්තැනට මෙයින් බලය පවරනු ලැබේ. එබඳු බලපත‍්‍රයක් රුපියල් 25/- කට මුද්දරයක් උඩ නිකුත් කළ යුතු අතර, එය මෙහි පෙනෙන උපලේඛනයෙහි සඳහන් ආකෘතියට සාරානුකූලව පිළියෙළ කළ යුතුය.

06. එක් එක් පළාත සඳහා පහත සඳහන් කරුණු පිළිබඳව අතුරැ ව්‍යවස්ථා සම්පාදනය කිරීමට සෞඛ්‍ය මණ්ඩලයට පිළිවන:-
(අ) ගෙවල් අයිතිකාරයින් හා ගෙවල්වල පදිංචිකාරයින් විසින් ගෙයක, ඉස්තාලයක, ගව මඩුවක, වීථියක හෝ කවර ස්ථානයක හෝ ඒ අසල, එක්කොට තැබූ දූවිලි, අළු, රොඩු, කුණු පෝර, සතුනගේ කසළ හා කැත කුණු, ඉවත් කිරීම සම්බන්ධයෙන් හා එබන්දක් යම් තැනැත්තෙකුට පීඩනයක් වන පරිදි වීථියක හෝ වීථියක් අයිනේ එක්තැන් කොට තැබීම වැළැක්වීම සම්බන්ධයෙන්,

(ආ) සියලුම පොකුණු, දිය කඩිති, විවෘත අගල්, කැතකුණු හා සෞඛ්‍ය බාධක හෝ සෞඛ්‍යයට අහිතකර විය හැකි කුණු කාණු, කසළ ජලය හෝ දේවල් ඇති එකතුවීම සඳහා පාවිච්චි කරන ස්ථාන යන මේවායින් වතුර බස්වා හැරීම, එබඳු ස්ථාන ශුද්ධ කිරීම, වැසීම හෝ පිරවීම සඳහා,

(ඉ) අයිතිකාරයින් හෝ පදිංචිකාරයින්ද, ආරක්‍ෂාව හා අණ දීම භාරව සිටින්නවුන්ද විසින් ගෙවල් ගොඩනැගිලි, දේවස්ථාන හා මිනිසුන් රුස්වෙන ස්ථාන ශුද්ධ කිරීම, පිරිසිදු කිරීම්, ඒවාට වාතාශ‍්‍රය ලබාදීම හා ඒවායේ විෂබීජ විනාශ කිරීම සඳහා,
(ඊ) වසංගත රෝග, ස්ථානික රෝග හෝ ස්පර්ෂයෙන් බෝවන රෝග වැළැක්වීම හෝ මර්දනය කිරීම සඳහා හා එබඳු රෝග තිබෙන කාලවලදී මළ සිරැරැ වහා වැළලීම සඳහා සහ,
(උ) මෙම ආඥා පනතින් විශේෂයෙන් පනවා නොමැති, එහෙත් මහජන සෞඛ්‍ය ආරක්‍ෂා කිරීම හා පීඩන ක‍්‍රියා මර්දනය කිරීම පිණිස අවශ්‍ය වන අනෙකුත් සියලු කරුණු සඳහා ද වේ. 

එසේ වුවද, එබඳු අතුරු ව්‍යවස්ථා මෙම ආඥා පනතේ විධිවිධානවලට විරුද්ධ නොවන අතර, ඒවා අමාත්‍යවරයාට ඉදිරිපත්කොට ඔහු විසින් අනුමත කරන තෙක් හා අනුමත නොකළහොත් වලංගුව ක‍්‍රියාත්මක නොවන්නේය. එසේම තමාට සුදුසු යැයි වැටහෙන පරිදි ආණ්ඩුවේ ගැසට් පත‍්‍රයේද, ප‍්‍රසිද්ධ කොට එම අතුරැ ව්‍යවස්ථාවලට අවසර දීමට හෝ ඒවා සංශෝධනය කිරීමට හෝ ප‍්‍රතික්‍ෂේප කිරීමටද අමාත්‍යවරයාට මෙයින් බලය පවරනු ලැබේ.

මේ සම්බන්ධව අතුරු ව්‍යවස්ථා 541/17 සහ 520/7 දරන ගැසට් පත‍්‍ර මගින් පිළිවෙළින් මහ නගර සභා සහ ප‍්‍රාදේශීය සභා සඳහා රීති පනවා ඇත. එසේම, ඉහත කී සෞඛ්‍ය මණ්ඩලයට එබඳු අතුරු ව්‍යවස්ථා වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමටද හැකිය.
07. එබඳු අතුරැ ව්‍යවස්ථා ඉහත සඳහන් පරිදි අනුමත කරනු ලැබ ගැසට් පත‍්‍රයේ ප‍්‍රසිද්ධ කිරීමෙන් පසු සියලු උසාවි විසින්ද, සියලු මහේස්ත‍්‍රාත්වරැන් විසින්ද අධිකරණ ක්‍ෂියෙන් පිළිගත යුතුය.

08. මෙම ආඥා පනතින් හෝ මෙම ආඥා පනත යටතේ සම්පාදිත අතුරු ව්‍යවස්ථාවකින් හෝ දඬුවම් පනවන ලද වැරදිද, එකී එක් එක් දණ්ඩන මුදලේ ප‍්‍රමාණය ද, අඩංගු ලුහුඬු විස්තර, ඉංග‍්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් මුද්‍රණය කරවා එය ප‍්‍රසිද්ධියට පමුණුවන පිණිස ඒවායේ පිටපත් විසුරැවා හැරීමට සෞඛ්‍ය මණ්ඩලය විසින් සැලැස්විය යුතුය.

09. ඉහත සඳහන් අන්දමින් සම්පාදිත කවර අතුරු වාර්තාවක් වුවද, කඩකිරිම වරදක් ලෙස සලකනු ලබන අතර, ඊට වරදකාරයා වන තැනැත්තෙක් එසේ වරදකාරයා කිරීමේ දී රුපියල් 20/- කට නොවැඩි දඩයකට යටත් වන්නේය. වරදක් දිගටම කරගෙන යාමේ දී මුල්වරට වරදකාරයා වූ දින සිට හෝ සෞඛ්‍ය මණ්ඩලය විසින් නැතහොත් ඒ වෙනුවෙන් එහි නිලධාරියෙකු විසින් හෝ මහේස්ත‍්‍රාත් විසින් හෝ එකී පීඩනය ඉවත් කළ යුතු යැයි ඔහුට දැන් වූ දින සිට ගත වෙන එක් දිනකට රුපියල් 05/- කට නොවැඩි අතිරේක දඩයකටද එවැනි තැනැත්තෙක් යටත් වන්නේය.  එසේ දඩ ගැසීමේදී, මුළු දඩ මුදලේ එකතුව එබඳු උසාවියකට දඩ ගැසීමට හැකි අධිකරණ බලසීමාව ඉකුත්ව ගියද, වරදකරැගේ නඩුව විසඳීමට බලය ඇති උසාවියට එබඳු අතිරේක දඩ නියම කිරිමට මෙයින් බලය පවරනු ලැබේ.

10. අන් අන්දමකින් පීඩනයක් ලෙස සලකනු ලබන හෝ මෙම ආඥා පනත නොතිබුණේ නම්, පීඩනයක් ලෙස සලකනු ලබන යම්කිසි ක‍්‍රියාවක් කිරීම හෝ නොකර හැරීම, මෙම ආඥා පනතේ සඳහන් කිසිවකින් නිත්‍යානුකූලව කරන්නාක් මෙන් හෝ එබඳු පීඩන කි‍්‍රයාවක් ගැන වරදකාරයා වූවෙකුට විරුද්ධව පැවරිය හැකි අපරාධ හෝ සිවිල් නඩු පැවරීමකින් නිදහස් කරන්නාක් මෙන් හෝ නොසැලකිය යුතුය. 

11. යම් ගොඩනැගිල්ලක අයිතිකාරයෙකුට හෝ පදිංචිකාරයෙකුට මෙම ආඥා පනතින් යම් දැන්වීමක් දිය යුතුව තිබෙන විට, එකී දැන්වීම, අවස්ථානුකූලව අයිතිකරු නමින් හෝ පදිංචිකරැ නමින් ලියා පිළියෙළ කොට එකී ගොඩනැගිල්ලේ හෝ ඉඩමේ පදිංචිකරු වෙත භාර කළ හැකිය. නැතහොත්, ඔහුගේ පවුලේ වයස් පිරුණු කෙනෙකුට දිය හැකිය. 

තවද, දැන්වීම භාරකරවීමට නුපුළුවන් වුවහොත්, නැතහොත් පදිංචිකරැවෙකු එහි නොසිටියහොත්, එය එකී ගොඩනැගිල්ලේ හෝ ඉඩමේ ප‍්‍රකටව පෙනෙන කොටසක සවිකර තැබිය යුතුය. එබඳු දැන්වීමක පදිංචිකාරයාගේ හෝ අයිතිකාරයාගේ නම සඳහන් කිරීම අවශ්‍ය නොවන්නේය.

12. යම් පීඩන ක‍්‍රියාවක් නැවැත්විය යුතු යැයි හෝ මෙම ආඥා පනතක හෝ යම්කිසි අතුරැ ව්‍යවස්ථාවක් අනුව, යම් වැඩක් හෝ දෙයක් ඉෂ්ඨ කළ යුතු යැයි හෝ කළ යුතු යැයි කවර අවස්ථාවකදී වුවද, සෞඛ්‍ය මණ්ඩලයට හෝ මහේස්ත‍්‍රාත්තැනට පෙනී ගියහොත්, අවස්ථානුකූලව අයිතිකරු වෙත හෝ පදිංචිකරු වෙත දැන්වීමක් දෙමින් එකී පීඩන ක්‍රියාව නවත්වන ලෙස හෝ එකී වැඩය හෝ දෙය ඉෂ්ඨ කරන ලෙස හෝ කරන ලෙස නියම කරන්නට එම සෞඛ්‍ය මණ්ඩලයට හෝ මහේස්ත‍්‍රාත්තැනට පිළිවන. ඉදින්, එකී දැන්වීමෙන් පසු එකී පීඩනය ඉවත් කිරීම හෝ එකී වැඩය ඉෂ්ඨ කිරීම හෝ එකී දෙය කිරීම හෝ නොකර පැහැර හරින ලද්දේ නම්, එකී පැහැර හැරීම සම්බන්ධයෙන් දණ්ඩනයක් නියම කර ඇතද, නොමැතද, එකී පීඩනය ඉවත් කරවීමට හෝ එකී වැඩය ඉෂ්ඨ කරවීමට හෝ එකී දෙය කරවීමට සෞඛ්‍ය මණ්ඩලයට හෝ මහේස්ත‍්‍රාත් තැනට පිළිවන.

එසේ කරවීමේදී දරන ලද වියදම, අයිතිකරැ විසින් හෝ පදිංචිකරු විසින් හෝ එබන්දෙකු වෙනුවෙන් යම් තැනැත්තෙකු විසින් හෝ නොගෙවන ලද්දේ නම්, එකී වැඩය ඉෂ්ඨ කරවීමට හෝ එකී දෙය කරවීමට යොදනු ලැබූ තැනැත්තා විසින් මහේස්ත‍්‍රාත් උසාවියට ඒ බව දැනුම්දීමට ඊට සුදුසු සාක්‍ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්‍ෂිවලින් එම මුදලේ ප‍්‍රමාණය සෑහෙන ප‍්‍රමාණයක් බැව් ඔප්පු කරනු ලැබුවහොත්, උසාවිය විසින් නියම කරනු ලැබූ සාමාන්‍ය දඩ මුදලක් පරිද්දෙන්ම, එම මුදල අයකර ගත හැකිය.
13. ඉඩමක් අයිතිකාරයෙකු විසින් කළ යුතු යම් වැඩක් නොකොට එය ඔහු විසින් පැහැර හැර ඇති අවස්ථාවකද, එම ඉඩමේ පදිංචිකරැට එම වැඩය කරවා අවසන් කළ හැකිය. එවිට ඒ සඳහා සිදු වූ වියදම අයිතිකාරයා විසින් ඔහුට ගෙවිය යුතුය.

14. මෙම ආඥා පනත යටතේ කළයුතු යම් වැඩක් නොකොට පැහැර හැරි ඉඩමක් අයිතිකාරයෙකු විසින් කළයුතු යම් වියදමක් හෝ ගෙවිය යුතු යම් මුදලක් හෝ එහි පදිංචිකාරයාට ගෙවන්නට සිදු වූ විට, එබඳු වියදම සම්බන්ධයෙන් ඔහු විසින් ගෙවන ලද හෝ ඔහුගෙන් අයකර ගැනීමට එහි පදිංචිකරැට නිත්‍යානුකූලව පිළිවන. තවද, එකී වියදම වියදම් තමාට ගෙවන තෙක් හෝ තමා වෙත ඉදිරිපත් කරන තෙක් එබඳු ගෙයක ස්වාමිත්වය තබා ගැනීමේ අයිතිය ඔහුට ඇත්තේය.

15. යම්කිසි අයිතිකාරයෙකු විසින් මෙම ආඥා පනතේ විධිවිධාන ක‍්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කිරීම පිණිස තමා අදහස් කර සිටින බැව් පදිංචිකාරයාට දැනුම් දීමෙන් පසු, එකී පදිංචිකාරයා විසින් අයිතිකරැට එසේ කිරීමට ඉඩනොදී වැළැක්වුවහොත්, ඒ පිළිබඳ සාක්‍ෂි ඔප්පු කිරීමෙන් පසු මෙම ආඥා පනතේ විධිවිධාන ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විය හැකි සියලු වැඩකිරීමට එකී අයිතිකාරයට ඉඩදෙන ලෙස නියම කරමින් එකී පදිංචිකාරයා වෙත ලිපිගත ආඥාවක් කිරීමට කවර මහේස්ත‍්‍රාත් කෙනෙකුට වුවද පුලුවන. 

එකී ආඥාව කිරීමෙන් දවස් අටක් ගත වූ පසු, එකී වැඩකිරීම සඳහා ඉඩදීමට එකී පදිංචිකාරයා බැරිය කිවහොත්, එසේ බැරිය කියමින් සිටින එක් එක් දිනට රුපියල් 20/- කට නොවැඩි මුදල බැගින් දඩයක් ගෙවීමට එකී පදිංචිකාරයා යටත් වන්නේය. එසේ බැරිය කියමින් සිටින කාලය තුළදී, එසේ බැරිය කියනු නොලැබූයේ නම්, එම වැඩ නොකර පැහැර හැරීම හේතුවෙන් අයිතිකාරයාට යටත් විය හැකිව තිබුණ දණ්ඩනවලින්ද, එබඳු සෑම අයිතිකාරයෙක්ම නිදහස් වන්නේය.

16. මෙම ආඥා පනතේ කාර්යය සඳහා යම් ඉඩමක් පරීක්‍ෂා කිරීම පිණිස හෝ එහි තිබෙන පීඩනයක් ඉවත් කිරීම පිණිස හෝ මෙම ආඥා පනතින් බලකරන ලද වැඩක් ඉෂ්ඨ කිරීම පිණිස හෝ දිවා කාලයේ සෑහෙන  ඕනෑම වෙලාවක තමන්ම හෝ තමන්ගේ නිලධාරීන් මාර්ගයෙන් හෝ යම් ඉඩමකට ඇතුළුවීමට සෞඛ්‍ය මණ්ඩලයට හෝ මහේස්ත‍්‍රාත් කෙනෙකුට පිළිවන.
තවද, එසේ ඇතුළුවීමේ හේතුවෙන් හෝ මෙම ආඥා පනත අනුව එකී ඉඩමේ ඕනෑම තැනක යම් දෙයක් කිරීම හේතුවෙන් එකී සෞඛ්‍ය මණ්ඩලය හෝ මහේස්ත‍්‍රාත් තැන යම්කිසි නීති කෘත්‍යයකට හෝ හිංසාවකට භාජනය නොවන්නේය.

ලබන සතියට....

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03