2021 මාර්තු 13 වන සෙනසුරාදා

නියම ලෙදර් නම් පතොක් නිෂ්පාදනයක් තමයි!

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 132

ලෙදර් නිෂ්පාදනවලට බලවත් ආසාවක් දැක්වීම සාමාන්‍යයෙන් සිදුවෙයි. උසස් ලෙදර් නිෂ්පාදන ඉතා මිල අධිකය. ලෙදර් සපත්තු, හිස්වැසුම් හා ඉන පටිවලට ඉහළ ඉල්ලුමක් තිබේ. ගෘහ භාණ්ඩ හා යාන වාහනවල ආසන කවර පවා ලෙදර්වලින් නිෂ්පාදනය කෙරේ. ඒවායේ ප‍්‍රමිතිය අනුව අධික මිලක් අය කෙරේ. එහෙත් පරිහරණය කළ හැකි ඉතාම සීමිත පිරිසකටය. ස්වභාවික ලෙදර්වලට සමාන කෘත්‍රිම ලෙදර් විශේෂයන් ද නිෂ්පාදනය කෙරේ. බහුලව භාවිත කරන්නේ කෘත්‍රිම නිෂ්පාදනයන්ය. උසස් තත්ත්වයේ ස්වභාවික ලෙදර්වලට කැමැති පිරිසක් පමණක් නොව එයට එරෙහි ජනමතයක් ද ඇත. ස්වභාවික ලෙදර් සත්ත්ව සම්වලින් නිෂ්පාදනය කෙරේ. එය විශාල කර්මාන්තයකි. අභ්‍යන්තරය ඛේදවාචකයකි. ගවයන්, එළුවන්, බැටළුවන් ඇතුළු විවිධ සත්වයන් අති විශාල ප‍්‍රමාණයක් මිනිසුන්ගේ ලෙදර් නිෂ්පාදන වෙනුවෙන් ජීවිත කැප කරති. සත්ත්ව සම් පදම් කර නිපදවන ලෙදර් නිෂ්පාදනය තුළ සත්ත්ව ඝාතනයක නොමැකෙන  සලකුණු තිබේ. අනෙක සම් පදම් කරන සම්ප‍්‍රදායික ක‍්‍රම පරිසරයට කරන හානියයි. 

ස්වභාවිකව සත්ත්ව සම්වලින් හෝ පොලියුරතීන් ප්ලාස්ටික්වලින් නිපදවන නමුත් පරිසරයට කරන හානිය වෙනසක් නැත. සත්ත්ව ඝාතනය, හම් පදම් කිරීම සැලකිය යුතු තර්ජනයකි. පොලියුරතීන් ලෙදර් නිෂ්පාදන පවා දිරාපත්වීම ප‍්‍රමාද වන අතර එය පරිසරයට සෑහෙන විනාශයක් වී ඇත. මෙම දෙපැත්තම පැත්තකට කරන අලුත් ව්‍යුහයක් ගැන ලෝක ප‍්‍රජාවගේ අවධානය යොමු වී තිබේ. පතොක් ශාක පල්ප උපයෝගී කරගෙන ස්වභාවික ලෙදර් නිපදවන ප‍්‍රයත්නයක් සාර්ථක වී ඇති බව මැක්සිකෝවෙන් වාර්තා වෙයි. කිසිම පරිසරයට හානියක් නැති බව නිර්ලෝභීව ප‍්‍රකාශ කළ හැකිය.

ඒඩි‍්‍රයන් සහ කර්සර්සේ යන ව්‍යවසායකයන් දෙදෙනා 2019 වසරේ ලෙදර් නිෂ්පාදන සම්බන්ධ ජාත්‍යන්තර ප‍්‍රදර්ශනයක දී ඔවුන්ගේ සොයාගැනීම ලෝකය හමුවේ තැබූහ. එය විශාල ආකර්ශනයක් යොමු වූ සිද්ධියකි. පතොක් ශාකවලින් නෙලා ගන්නා කොටස් දින තුනක් වියළන අතර පසුව ඒවා පල්පවලට හරවා මෙම ස්වභාවික ලෙදර් නිපදවන බව අලුත් සොයාගැනීම කළ ව්‍යවසායකයෝ මාධ්‍යයට අනාවරණය කළහ. මේවායෙන් සපත්තු, අත්බෑග්, විසිතුරු මෙවලම් පමණක් නොව සවි ශක්තිමත් හා නම්‍යශීලී වන අතර මෘදු භාවයක් සහිත නව නිෂ්පාදන පරිහරණයට පහසු බව දැක්වෙයි. පතොක්වලින් නිපදවන ලෙදර් සාමාන්‍යයෙන් වසර දහයක් පමණ පවතින බව ද කියැවෙයි.  

පතොක් ශාක කොටස් උපයෝගී කරගෙන ද්‍රව ඉන්ධන නිපදවන හා ඒවායෙන් හරිත බලශක්තිය සඳහා ද 2015 දී පමණ සාර්ථක අත්හදා බැලීම් කර ඇති බව මෙක්සිකෝවෙන් වාර්තා වෙයි. එම සොයා ගැනීමට ජාත්‍යන්තර සම්මාන ද පිරිනමා ඇත. මෙක්සිකෝවේ කාන්තාර ප‍්‍රදේශවල විශාල වශයෙන් පතොක් වර්ග තිබේ. විශේෂ හත්සියයකට වඩා හඳුනාගෙන ඇත. සමහර වර්ගවල කොටස් ආහාරයට ගන්නා බව ද දැක්වෙයි. හෙක්ටයාරයක මෙටි‍්‍රක් ටොක් 300-700 අතර පතොක් නිෂ්පාදනයක් ඇති අතර සමහර ව්‍යවසායකයෝ වගා කරන්නට ද නැඹුරු වී සිටිති. ජල සම්පාදනය අනවශ්‍යය. පොහොර යෙදීම ද වුවමනා නොකෙරේ. පරිසරයේ ඇති කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගෙන පතොක් ශාක ප‍්‍රභාසංස්ලේෂණ ක‍්‍රියාවලියෙහි නිරත හෙයින් විශාල අතිරේක වාසියක් ද ලැබේ. නවතම සොයා ගැනීම වශයෙන් සැලකෙන ස්වභාවික ලෙදර් නිපැයුම් කෙරෙහි ලෝකයේ නොයෙක් තැන්වලින් සෑහෙන අවධානයක් යොමු වී ඇත.

ස්වභාවිකව නිපදවන ලෙදර් නිෂ්පාදනයෙහි වැදගත්කම සලකා බැලීම සුදුසුය. ලෝකයේ ලෙදර් නිෂ්පාදනය කරන ක‍්‍රම දෙක අතරින් වඩාත් ආකර්ශනීය සත්ත්ව සම් භාවිතයයි. ගවයන් උපයෝගී කරගැනීමේ ප‍්‍රතිශතය ඉහළය. සත්ත්ව මස් මාංශ අනුභව නොකරන පිරිසක් සිටින නමුත් දිනපතා මිලියන සංඛ්‍යාත ගවයන් පිරිසක් ආහාරය සඳහා ඝාතනය කෙරෙති. මෙම සත්ත්වයන්ගේ සම් ලෙදර් නිපදවන්නට යැවේ. සත්ත්ව සම්වලින් නිපදවන ලෙදර්වලදී ගවයන්ගේ සම් භාවිතය සම්පූර්ණ ප‍්‍රමාණයෙන් සියයට 63 ක් බව දැක්වෙයි. මස් හෝ සම් සඳහා සතුන් මැරීම පමණක් නොව සත්ත්ව පාලනය පදනම් කරගෙන ලෝකයේ පැවැත්මට එල්ල වී ඇති තර්ජනය ද බරපතළ බව මෙහි දී සඳහන් කළ යුතුය. අලුත් වාර්තා පෙන්වාදෙන පරිදි හරිතාගාරවල කෘත්‍රිමව කරන සත්ත්ව පාලනය අහිතකර වායු විමෝචනය සම්බන්ධයෙන් සියයට 14.5ක ප‍්‍රතිශතයකින් වගකිව යුතු බව අනාවරණය වී තිබේ. මහා පරිමාණ සත්ත්ව පාලන ගොවිපොළවලින් නිකුත් වන වායු ඉතා අහිතකර තත්ත්ව ඇතිකර තිබේ. වසරකට සත්ත්ව සම් භාවිත කර නිපදවන ලෙදර් ප‍්‍රමාණය වර්ග අඩි බිලියන 23 ක් බව දැක්වෙයි. මෙපමණ සතුන් ප‍්‍රමාණයකගේ සම් පදම් කිරීම ද විශාල ජල ප‍්‍රමාණයක් දූෂණය කරන වැඩපිළිවෙළක් බව අනාවරණය කළ යුතුය. සත්ත්ව සම් පදම් කිරීමෙන් නිපදවන ලෙදර් ටොන් එකක් සඳහා ජලය කියුබික් මීටර් අසූවකට වඩා අපවිත‍්‍ර වෙයි. රසායනික ද්‍රව්‍ය හා පොලිතීන් භාවිත කර නිපදවන ලෙදර් නිෂ්පාදන එයට වඩා හානිකර තත්ත්වයක් බව සඳහන් කිරීම අවශ්‍යය. බ‍්‍රසීලය, රුසියාව හා ඉන්දියාව වැනි රටවල් සත්ත්ව සම් සහ කෘත්‍රිම පොලිතීන්වලින් ලෙදර් නිපදවන රටවල් අතර පෙරමුණෙහි සිටී.

මෙවැනි පසුබිමක් තුළ මෙක්සිකෝවේ ව්‍යවසායකයන් අනාවරණය කරගෙන ඇති පතොක් ගස්වලින් ලෙදර් නිපදවීම පරිසරවේදීන්ගේ මහත් පැසසුමට ලක් වී ඇති කරුණකි. සම් භාණ්ඩ මිල දී ගන්නා විට සත්ත්ව ඝාතනයක් ගැනත් එහෙම නැත්නම් පරිසරයට හානි කරන පොලිතීන් විශේෂයක් ගැනත් කල්පනා කිරීම කාලෝචිතය. අනෙක පතොක්වලින් නිපවන ලද මෙවලමක් මිල දී ගැනීමේ දී කිසිසේත් දෙවරක් කල්පනා කළ යුතු නැත. 

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org  ලිපිනයට එවන්නේ නම් අගය කරමි.

මිලින්ද මොරගොඩ