අමෙරිකාවේ කැලිෆෝනියාහි මේ වනවිට ජීවත්වන සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන හැරී – මේගන් යුවළ ඔප්රා වින්ෆ්‍රිගේ සුප්‍රකට රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් පසුගියදා රාජකීය පවුලේ තිරයෙන් පිටුපස සැඟවුණ තිත්ත කතාව ලොවටම කීවේය.
ටැබ්ලොයිඩ් පත්තර බාග මගින් එංගලන්ත රාජකීය පවුලේ අසම්මතයින් හැටියට හංවඩු ගසා රටෙන්ද පන්නා දැමූ හැරී – මේගන් යුවළගේ මෙම ආන්දෝලනාත්මක රූපවාහිනී සම්මුඛ සාකච්ජාව මේ වනවිට ලෝකයම කළඹා හමාරය. සසෙක්ස්හි ආදිපාදවරිය ලෙස කුලගැන් වූ අමෙරිකානු හොලිවුඩ් තරුව මේගන් තමන්ට සුපුරුදු රූපවාහිනී කැමරාව ඉදිරියේ කඳුළු පිසිමින් කරුණු දක්වන අයුරු දුටු ලෝ වැසියන්ට සිහිපත්වූයේ මෙයට වසර 25කට පෙර හැරීගේ මව ඩයනා කුමරිය එවකට බීබීසීය වෙත ලබාදුන් ආන්දෝලනාත්මක සාකච්ඡාවයි. එදා ඩයනා විස්තර කළ අයුරින්ම රාජකීයන්ගේ සාම්ප්‍රදායික, සාටෝපවත්, ෆැන්ටසිමය ප්‍රභූ මහිමතාව තුළ මහපොළොවේ පය ගසා සිටින තමන් ආගන්තුකව අතරමංවූ බවක් දැනීමේ සහ ප්‍රතික්ෂේප වූ හැඟීමක් දැනීමේ ස්වභාවය මෙදා මේ තරුණ රාජකීයයන් දෙපළටද එකසේ දැනී ඇති බව ලෝකයා දැනගත්තේය. ඇත්තටම එදා ඩයනා සිය සම්මුඛ සාකච්ඡාවේදී පැළඳ සිටි ඇගේ ප්‍රියතම බ්‍රෙස්ලට් අත්පළඳනාව මෙදා මේගන් සිය කඳුළු කතාව කියන මොහොතේ පැළඳ සිටීම දෛවෝපගත සිද්ධියක් විය.
රජ පවුලේ සැඟවුණ තිත්ත - විත්ති රැසක් එළිදරව් කළ මේ සාකච්ඡාව එදා රෑම මිලියන 17.1ක් නරඹා තිබුණි. සමාජ මාධ්‍ය තුළ බිලියන 12ක් අතරට මෙය එක් රැයකින් සංසරණය විය. 2020 ඇකඩමි එවෝර්ඩ්ස් වැඩසටහනට ලද ඉහළ ප්‍රමූඛ ප්‍රතිචාරයද පරදවන ප්‍රෙක්ෂක ප්‍රතිචාරයක් මේ රාජකීය නෝක්කාඩුව මගින් එළදරව් කළ ඔපාදූප සඳහා ලැබී තිබුණි. මේ රාජකීය කඳුළු ඔපෙරාව එයින් බලාපොරොත්තු වූ තැනටම ගල් පහර එල්ල කර තිබුණි. එංගලන්තයේ එක් වෙබ් අඩවියක් තුළ ඒ රැය එළිවනවිට මේගන් මර්කල් පතුරු ගසන විවේචනාත්මක ලිපි 50කට අධික සංඛ්‍යාවක් එළිදැක තිබුණි. මේගන් - හැරී විරෝධය නැවත පණ ගසා විත් තිබුණි. ඒ සාලිය - අසෝකමාලා කතාවට නොදෙවෙනි ලෙසටය.
විය යුතු සේම මේ ආදිපාද යුවළගේ එළිදරව්ව රජ පවුලද හොල්ලා තිබුණි. දෙවැනි එළිසබෙත් මහ රැජිණ වෙනුවට දින එක හමාරක් පමාවී ප්‍රකාශයක් නිකුත් කරමින් මාළිගය කියා තිබුණේ හැරී - මේගන් මෙන්ම ඔවුන් පුත් “ආචි” සැමවිට රජ පවුලේ ආදරණීය සාමාජිකයින් ලෙස පිළිගන්නා බවයි. හැරී සහ මේගන්ට පසුගිය වසර කිහිපය තුළ කෙතරම් අභියෝගාත්මක වී ඇතිද යන්න පිළිබඳව දැන ගැනීමෙන් මුළු පවුලම කනගාටුවට පත්ව සිටින බවත් ඔවුන් සම්මුඛ සාකච්ඡාවේදී කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් රජ පවුල පෞද්ගලිකව අවධානය යොමුකරන බවත් එහි සඳහන් වේ. රජ පවුල තුළ ඇති ජාතිවාදය සම්බන්ධයෙන් හැරී සහ මේගන් යුවළ කළ ප්‍රකාශ ඉතා බැරෑරුම් ලෙස ගන්නා බවත් එය දැඩි සැලකිල්ලට යොමුකර ඇති බවත් බකිංහැම් මාළිගය නිකුත් කළ ප්‍රතිචාරයේ සඳහන්ය.
හැරී කුමරු සහ මිශ්‍ර ජාතික උපතක් සහිත මේගන් මර්කල් අතර විවාහය සිදුවූයේ 2018 වසරේදීය. එය ආරම්භයේ සිටම ලොවපුරා ලොකු කතාබහකට මුලපිරූ මංගල්ලයකි. හැලහැප්පිලි සහිත සාමාන්‍ය පවුලකින් පැවත එන, ඒ වනවිටත් මුල් විවාහයකින් වෙන්ව සිටි සහ බොලිවුඩ් තාරකාවක් ලෙස ප්‍රේක්ෂකයන් ඉදිරියේ සරාගික රංගනයන්හි පවා නිරතව සිටි මේගන් මර්කල් රජ පවුලේ සාම්ප්‍රදායික විනයගරුක මහේශාක්‍ය ජීවන රටාව හා ගැළපෙන්නේ කෙසේද යන්න ගැන කතාබහ පැතිර ගියේ ඒ කාලයේදීමය. කෙසේ වුවද දෙදෙනා විවාහ වූ අතර 2019 වසරේදී ඔවුන් වැඩිමහල් පුතු වන ආචි උපත ලැබූවේය. නමුත් මේ මංගල කාරණා දෙකේදීම රජ පවුලේ අනෙකුත් සාද ප්‍රියසම්භාෂණ ආදියේදී දක්නට ලැබුණු මහේශාක්‍ය බව දක්නට ලැබුණේ නැත. නව යුවළ රජ පවුලේ රූපරාමුවට නොගැලපෙන ලකුණු මුලසිටම පෙනෙන්ට තිබුණි. නිදහස් හැසිරීමට පුරුදුව සිටි හැරි - මේගන් යුවළ රාජකීය සාටෝපය ඉදිරියේ අන්දමන්දව සිටි බවක් දිස්විය. එංගලන්ත ටැබ්ලොයිඩ් පත්තර බාග සඳහා මේ යුවළ හොඳ කටගැස්මක් වූහ. රජ පවුල තුළින් ඉදිරිපත්වූයේද පත්තර කතා ඇත්ත යැයි පෙන්වන හැසිරීම් සහ ප්‍රකාශනයන්ය. රජ පුවලේ අභිමානයට නොගැළපෙන අවමානයට පත් දෙවැනි පෙළ යුවළක් ලෙස මේ දෙදෙනා කළක් රාජකීයයන් හා පෑහී ඉන්නට උත්සාහ කළහ. නමුත් යාදෙක නොරත රත සේ වූ ඒ බැඳීම සිදුවිය යුතු ලෙසටම ඉක්මණින්ම දෙදරා ගියේය. ඒ අනුව 2020 වසරේ මාර්තු මාසයේදී හැරී – මේගන් යුවළ රජ පවුල අත්හැර කැනඩාවේ පදිංචියට ගියහ. ඔවුහු මේ වනවිට ඇමරිකාවේ කැලිෆෝනියාවෙ වාසය කරති. පසුගිය පෙබරවාරි 14 වැනිදා දෙපළ තම දෙවැනි දරුවා අපේක්ෂාවෙන් සිටින බව නිවේදනය කළහ. මේ අතර පෙබරවාරි 19 වැනිදා බකිංහැම් මාළිගය, හැරි – මේගන් යුවළ රජ පවුලේ සාමාජිකයින් ලෙස කටයුතු නොකරනු ඇති බව නිවේදනය කළේය. මෙතෙක් කලක් අළුයට සැඟව තිබූ ගින්නට පිදුරු වැටිණි. වසර 25 කට පෙර හැරීගේ මව ඩයනා කුමරිය මුහුණ දුන් සාටෝපකාරී රාජකීය මහේශාක්‍යත්වයේ පීඩාව තමන්ද ගිලගනිමින් සිය ජීවිත පොඩිපට්ටම් කර දමන්නට තැත්කළ ආකාරය ගැන ලෝකයටම එළිදරව් කරන්නට නව යුවළ තීන්දුවක් ගෙන තිබුණි. කැලිෆෝනියාවේ සිය අසල්වැසියා බවට පත්ව සිටි පවුලේ හිතවතිය වන ඔප්රා වින්ප්‍රිගේ ජනකාන්ත රූපවාහිනී වැඩසටහන තුළින් ලෝකයට ඇත්ත කියන්නට ඔවුන් අන්තිමේදී තීන්දු කර තිබුණි.
මේ ආන්දෝලනාත්මක ඔප්රා වින්ෆ්‍රි රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව එළියට එන්නේ ඒ අනුවය. හෝරා දෙකක පමණ කාලයක් තුළ විකාශය වූ මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව තුළදී හැරී – මේගන් යුවළ රාජකීය පවුලේ සැඟවුන ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළි කළහ.
එහිදී තමන්ට එල්ල වූ සැඟවුන වර්ගවාදී අශික්ෂිත අපහාසයන් ගැන මේ යුවළ කළ එළිදරව්ව ලොව මවිතයට පත්කළේය. සම්මුඛ සාකච්ඡාවේදී නම සඳහන් නොකළ රජ පවුලේ සාමාජිකයෙකු ගැන සඳහන් කරමින් මේගන් පැවසුවේ, සිය පුතු “ආචි” ඉපදීමටත් පෙර සිට ඔහුගේ සමේ වර්ණය කෙබඳුවේදැයි යන්න පිළිබඳව රාජකීය පවුලේ ඇතැමුන් ප්‍රසිද්ධියේම උපහාස මුඛයෙන් කතාබහ කළ බවයි. නූතන රජ පවුලට එක් වූ පළමු මිශ්‍ර ජාතික උපතක් සහිත සාමාජිකාව වන්නේ, හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මර්කල්ය. ඒ අනුව ආචී කුස දරා සිටියදීම තමන්ට විවිධ කෙනෙහිලිකම් හා ඇනුම්පද එල්ල වූ බව ඇය කීවාය. රාජකීයයන්ට ලැබෙන ප්‍රභූ ආරක්ෂාව පවා තම දෙපළට සහ සිය දරුවාට නොලැබුණ බව ඇය පෙන්වා දුන්නාය.
රජ පවුල තුළ උදව් ඉල්ලා සිටි අවස්ථාවලදී පවා තමාට උදව් නොලැබුණු අතර තමාට රජ පවුල තුළදී වර්ණ භේදවාදයට මුහුණදීමට සිදු වූ බවද ඈ කීවාය. බකිංහැම් මාළිගයේ මානව සම්පත් අංශයට උදව් ඉල්ලා ගිය තමන්ට ඔවුන් කීවේ ඇය මාළිගයට සම්බන්ධ නැති නිසා ඇයට උදව් කළ නොහැකි බවක් යැයි ඇය කීවාය. ඉපදීමටත් පෙර සිට තම පුතු ආචීගේ සම කෙතරම් අවපැහැ විය හැකිදැයි යන්න ගැන හැරී කුමරැගෙන්ම විමසීමට තරම් ඔවුන් පෙළඹී සිටීම ගැන ඇය එහිදී දැඩි කනගාටුවෙන් යුතුව සිහිපත් කර තිබිණ.
කෙසේ වෙතත් මෙලෙස විමසීමක් කර ඔවුන් පීඩාවට පත් කළේ, කවුදැයි මේගන්ගෙන් විමසුවද එය ප්‍රකාශ කළහොත් ඔවුන්ට විශාල හානියක් වන බව පවසමින් ඇය ඊට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළාය. හැරී කුමරු පවසා ඇත්තේ, සිය පුතුගේ සමේ පැහැය පිළිබඳ ප්‍රකාශය සිදුකළ අවස්ථාවේ තමා විමතියට පත්වූ බවයි. කෙසේ වෙතත් එම සංවාදය පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි කිරීම ඔහුද ප්‍රතික්ෂේප කළේය. මේ අතර සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ වින්ෆ්‍රි පසුව කීවේ එවැනි විමසීමක් සිදුකළේ, මහ රැජිණ හෝ එඩින්බරෝ ආදිපාදවරයා හෝ නොවන බව හැරී කුමරු තමන්ට පැවසූ බවයි.
මේගන් මාර්කල් මේ කතාබහේදී පැවසුවේ, රජ පවුල තුළදී තමන්ට මුහුණදීමට සිදුවූ විවිධ මානසික පීඩන හේතුවෙන් ජීවිත්වීම පවා එපා වූ බවයි. තමන්ට සිය දිවි නසාගන්නට පවා සිතුන වාර ගණන අපමණ බව ඈ කීවේ කලකට පෙර ඩයනා කුමරිය ඉදිරිපත් කළ සම්මුඛ සාකච්ඡාව කාටත් සිහිගන්වමිනි. රාජකීය පවුල තුළ ජීවත්වීම අතිශය දූෂ්කර වූ බවත් වරක් තමන් මාස ගණනක් මාළිගයෙන් පිටතට නොගිය බවත් ඇය පැවසුවාය.
ඔප්රා වින්ෆ්‍රී මේගන්ගෙන් ඇසුවේ වතාවක් ඇය කේට් කුමරිය ඇඬවූවා නේද කියාය. ඒ කාලේ ටැබිලොයිඩ්වල මේ සිද්ධියට ලොකු ප්‍රචාරයක් ලැබී තිබුණි. මේගන් කීවේ සිද්ධිය වූයේ අනෙක් අතට බවයි. මල් කුමරියක සේ චාර්ලට් කුමරිය සැරසිය යුතු ඇඳුම ගැන රාජකීය දෙනෑනලා අතර ඇතිවූ බහින්බස්වීම හමුවේ අසරණව හඬා වැටුණේ තමන් බව ඈ කීවාය. මුලින් හැරී - මේගන් සහ කේට් - විලියම් රාජකීය යොවුන් සුසංයෝගය ලන්ඩන් ටැබ්ලොයිඩ් පත්තර රස කළ මාතෘකාවක්ව තිබුණි. නමුත් ඉතා කෙටිකලකින්ම මේ සබැඳියාව දෙදරා ගියේය. ඉහත කී සිද්ධියද එයට ලැබුණ ව්‍යාජ ප්‍රචාරයද ඒ නිවැරදි කිරීමට මාළිගයේ උදවිය දැක්වූ උදාසීන බවද ඒ සබඳතා දෙදරා යාමේ හැරවුම් ලක්ෂයක් වූ බව මේගන් කියා සිටියාය.
මේ සාකච්ඡාවේදී අපූරු රහස් දෙකක් මේගන් මුල්වතාවට ලෝකයට කීවාය. ඉන් මුල් රහස තමන්ට දැන් දියණියක ලැබෙන්නට ඉන්නා බවය. ඒ අනුව තවත් නොබෝ දිනකින් එංගලන්තයට නව රජකුමරියක් බිහිවන්නට නියමිතය. නමුත් මින්පසු තවදුරටත් දරුවන් හදන්නට දැන්ම බලාපොරොත්තු නැති බවද ඈ කීවාය. වඩාත් සිත් කළඹන රහස වූයේ මේ යුවළ සැබෑ ලෙසම විවාපත් වූයේ ලෝකයම රූපවාහිනියෙන් දුටු ඒ මහා රාජකීය මංගල උළෙලට දින තුනකට පෙර බවට ඈ කළ ආන්දෝලනාත්මක සඳහනයි. “මේ ගැන මෙතෙක් කවුරුවත් දැනන් උන්නේ නෑ. අපි කැන්ටබරියේ ආච් බිෂොප්තුමාට එන්න කියලා කිව්වා ඔය හෙට අනිද්දා ගන්න රජ මඟුල ලෝකෙට පරකාසේට ගන්න එකක්, නමුත් අපිට ඕනෑ අපි දෙන්නාට දෙන්නා අතර එක්වීමයි කියලා. ඉතින් එතුමා අපේ ගෙදර පිටිපස්සේදී දෙන්නාගේ මංගල කටයුතු චාරිත්‍ර-වාරිත්‍ර සිදුකළා. ඊට දින තුනකට පස්සේ රජ පවුලේ වුවමනාවට ගත්ත පුරාජේරු උත්සවේ ලෝකෙටම පේන්න ගත්තා.”
රාජකීය පවුලේ සාටෝපවත් මහිමතාව තුළ මේ යුවළට නිදහස රහිතව හැකිළී පුංචි වී අවධානයට ලක්නොවී ජීවත්වන්නට සිදුවූ ආකාරය ගැන අනුවේදනීය කතා රැසක්ම මේ සාකච්ඡාව හෙළිකළේ රජ පවුලේ අධිරාජ්‍යවාදී ඉපැරණි ප්‍රභු මහිමතාවය ගැන ලොවම කලකිරීමට ලක්කරනා අයුරිණි.
මෙහිදී සාකච්ඡාව මැදදී එයට එක්වු හැරී කුමරු කළ ප්‍රකාශයන්ද ලොව කළඹන සුළු විය. සිය මව ලුහුබැඳ ඒ කාලේ ආ පැපරාසින් මෙන්ම සිය බිරිඳ කටගැස්මක් කරගත් එංගලන්ත මාධ්‍යය ඉදිරියේ ඇය මුහුණදුන් වර්ණ භේදවාදය පිළිබඳ කරැණුවලදී රජ පවුලේ කිසිවෙක් ඇයට පක්ෂව කතා නොකළ බවද හැරී කුමරු එහිදී එළිදරව් කළේය.
පසුගිය වසරේ මුල් කාලයේදී රජ පවුල විසින් තමාට ලබාදෙන මූල්‍යමය ප්‍රතිපාදන කපා දැමූ බවත් පසුව සිය පියා තම දුරකතන ඇමැතුම්වලට පිළිතුරු දීම පවා ප්‍රතික්ෂේප කළ බවද හැරී කුමරැ කීවේය. කෙසේ වෙතත්, ඔහු කීවේ සිය පියා වන චාල්ස් කුමරු නිසා තමා හිත් වේදනාවට පත්වුවද තමා පියාට බෙහෙවින් ආදරය කරන බවයි. එසේම සිය මිත්තණිය වන එළිසබෙත් රැජිණ සමඟ තමාට ඉතා හොඳ සම්බන්ධයක් ඇති බවත් ඔහු පිළිගත්තේය. රටේ ටැබ්ලොයිඩ් ප්‍රකාශනවලින් ජාතිවාදය සෙසු සමාජයට ගලායාම තමා සහ තම බිරිඳ එක්සත් රාජධානියෙන් ඉවත්වීමට බලපෑ හේතු අතරට “විශාල කොටසක්” එක්කළ බව සසෙක්ස් ආදිපාදවරයා වන හැරී කුමරු කීවේය. එක්සත් රාජධානියේ ටැබ්ලොයිඩ් මාධ්‍ය “මහා මෝඩ” බවත් “පාලනය සහ බිය” පිළිබඳ “අහිතකර පරිසරයක්” නිර්මාණය කරන බවත් ඔහු කීය. ඔප්රා සමඟ පැවැති මේ සම්මුඛ සාකච්ඡාවේදී හැරී සහ මේගන් ජාතිවාදය, මානසික සෞඛ්‍යය, මාධ්‍ය සමඟ ඔවුන්ගේ සම්බන්ධතාවය සහ රාජකීය පවුලේ හැලහැප්පිලි ඇතුළු ගැඹුරු පෞද්ගලික මාතෘකා ගණනාවක් පළමුවරට මුළු ලෝකයටම ආනාවරණය කළහ.
සුගත් පී. කුලතුංගආරච්චි