2021 මාර්තු 13 වන සෙනසුරාදා

මේ වසරේ ගෙවන්න තිබෙන ණය කන්ද

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

නොමළ ගෙයකින් අබ මිටක් ගෙන එන සේ දේශනා කරන්නේ එදවසය. ණය නොවූ රටක් ගැන දක්වන්නැයි ශාස්ත‍්‍රඥයෙකු අද විශේෂයෙන් දැක්විය යුතුව තිබේ. එපමණට ලෝකයේ හැමරටක්ම සෘජුව හා වක‍්‍රව තවත් රටකට ණය ගැතිය. චක‍්‍රීය ණය අර්බුදය බලවත් ප‍්‍රශ්නයක් බව ජාත්‍යන්තර විශේෂඥයෝ පෙන්වා දෙති. ණය ගැනීම පමණක් නොව එය නිසි පරිදි ආයෝජනයද නරක නැත. නොයෙක් රටවල්වලට මූල්‍ය විනයක් නැත. ගන්නා ණය යෝජනා වූ පරිදි ආයෝජනය නොකෙරේ. ණය යොදවා යමක් නිපදවන අතර එයින් උපයන ධනය ණය හා ඒවාට ගෙවිය යුතු පොළියට වැයකළ යුතුය. ණයගන්නා අතර ඒවා පරිභෝජනයට වැය කළහොත් ආර්ථිකය තල්ලු වෙන්නේ අන්ධකාරය වෙතය.

ශ‍්‍රී ලංකාව ණය අවදානම් රටක් වශයෙන් වර්ගීකරණය වෙමින් තිබේ. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විවිධ විග‍්‍රහ ඉදිරිපත් කරයි. ඒවායේ සාධාරණත්වයක් තිබිය හැකිය. දෙස් විදෙස් ණය ගැනීමට හේතුවන රාමුව නිසි සේ අධ්‍යයනය කිරීම වැදගත්ය. වැඩිම ණයගැති ඇමෙරිකාව ලෝකයේ බලවත්ම රට බව පිළිගත යුතුය. බලවත්ම ඇමෙරිකාව වැඩිම ණය ප‍්‍රමාණයක් ගන්නේ සිය ප‍්‍රතිවාදියා වූ සේ සැලකෙන චීනයෙන්ය.

• ණය ගැනීම ගැන ශ‍්‍රී ලංකාවේ ස්වභාවය

නිදහස ලැබූ වකවානුවේ සිට ශ‍්‍රී ලංකාව විවිධ උපාය මාර්ග අනුගමනය කර තිබේ. ආණ්ඩු අනුගමනය කළ ආර්ථික ප‍්‍රතිපත්ති එකිනෙකට වෙනස්ය. මහජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වන ආණ්ඩු රට දියුණු කරන සැලසුම් යෝජනා කරන අතර ඒවා වෙනුවෙන් අලුත් ධනය අවශ්‍යය. ආයෝජනයෙන් රටක් පිබිදෙනවිට ජනතාවගේ අපේක්ෂා පිබිදෙයි. අවශ්‍යතා වර්ධනය වෙයි. ප්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය තුළ ජනජීවිතය පාලනය කිරීම පහසු නැත. අවශ්‍යතා වෙනුවෙන් වෙළඳපොළට එන ජනතාව තමන්ට අවශ්‍ය දේ මිලදී ගැනීමට උත්සුක වෙති. ආර්ථිකය අයහපත් බව සඳහන් කර ජනතාවගේ උවමනා එපාකම් පාලනය කිරීම පහසු නැත. ජලය, විදුලිය, මහාමාර්ග සහ සන්නිවේදනය වැනි අංශ වෙනුවෙන් අති විශාල ආයෝජනයක් මෑත කාලය තුළ සිදුවිය. එයින් පරිවර්තනයක් සිදුවී තිබේ. දශක දෙක තුනකට කලින් ශ‍්‍රී ලංකාවේ දුර බැහැර පළාත්වල වෙසෙන ජනතාවට විදුලිය නොලැබුණි. අද රටපුරා සෑම ගම්මානයකම විදුලියෙන් ආලෝකවත්ය. සෑම ප‍්‍රදේශයකම පාහේ කාපට් යෙදු පාරවල් ඇත.

විදුලියෙන් කාර්ය පහසු කරගත යුතු අතර විදුලිය බලය භාවිතා කර කර්මාන්ත හා සේවා ආරම්භ කිරීම අවශ්‍යය. නිපදවන දේ නගරයට ප‍්‍රවාහනය කිරීම සඳහා මාර්ග පහසුව සැලසේ. සන්නිවේදනය මගින් වෙළඳපොළ අවශ්‍යතා සහ මිල තත්ත්වය ගැන විමසිලිමත් විය හැකිය. මෙම පහසුව නිසි සේ ප‍්‍රයෝජනයට ගැනීම ව්‍යවසායකත්වයයි.

එහෙත් ශ‍්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල නිෂ්පාදන ප‍්‍රවාහනය සීමිතය. මගී ප‍්‍රවාහනය බහුලව සිදුවෙයි. ලෝකයේ වෙනත් රටවල අධිවේගී මාර්ග කෙළින්ම දුම්රිය පොළට හෝ වරායට සම්බන්ධවෙයි. රාත‍්‍රී කාලයේ දහස් ගණනින් බර වාහන ධාවනය කෙරේ. මෙරට ගාස්තු අය කිරීම අනුව රාත‍්‍රී කාලයට සාමාන්‍ය ජනතාවට පවා සහන අයකිරීමකි. අනෙක් පැත්තට ව්‍යුහය හැරිය යුතුය. ආණ්ඩු ණය ගෙන කරන ව්‍යාපෘතිවල ප‍්‍රතිලාභ සඳහා ව්‍යවසාය වර්ධනය වැදගත්ය. ණය ගෙන ව්‍යාපෘති ඇරඹීම පමණක් නොව ඒවායේ ප‍්‍රතිලාභ සඳහා පසුබිම සැකසීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි. ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර හිතකර තත්ත්වය සුබදායී තැනක නැත. නීති රීති, ප‍්‍රාග්ධන පහසුකම්, බදු හා ආයතනික විධි විධාන ව්‍යවසාය දුර්වල කර තිබේ. අවසානය නිර්මාණය කර ඇති පසුබිම කණගාටුදායකය. ණය ගෙවන්නට යමක් උත්පාදනය නොවනවිට තවත් ණය ගෙන කලින් ගත් ණය හා පොලිය ගෙවන්නට සිදු වී තිබේ.

• ඉදිරි වසර දහය තුළ සියයට හැත්තෑ නමයක්

ශ‍්‍රී ලංකාවේ ණයගැති භාවය ගැන විවේචනාත්මකව අවානය යොමුකළ යුතුය. මුදල් අමාත්‍යංශ වාර්තා දක්වන පරිදි ඉදිරි වසර දහය තුළ මෙරට ණයවලින් සියයට හැත්තෑ නමයක් ආපසු ගෙවිය යුතුය. එයින් සියයට තිස් නමයක් වසර පහක් ඇතුළත හා ඉතිරි සියයට හතළිහක් අවුරුදු දහයක් ඇතුළත ගෙවිය යුතු බව දැක්වීම වැදගත්ය. සමහර විවේචකයන් අනාගත පරපුර උකසට තබා ඇති බව මහා ඝෝෂාවකින් ප‍්‍රකාශ කරන නමුත් මෙම ණය අප ගේ ජීවිත කාලය තුළ ගෙවිය යුතු බව මතක් කිරීම අවශ්‍යය. ණය පමණක් නොවේ. පොලිය හා සේවා ගාස්තුවද ඇතුළත් කළ යුතුය. කිසියම් පාර්ශ්වයක් අනුන්ට දොස් තබමින් ණයගැති කිරීම ගැන කතා කිරීමට වඩා සියලුදෙනාගේ සහභාගීත්වයෙන් යමක් නිපදවා රට ණයගැති භාවයෙන් ගලවා ගැනීමට ප‍්‍රයත්නයක නිරතවීම සුදුසුය.

ශ‍්‍රී ලංකාවේ ණය වලින් සියයට හතළිස් හතක් වාණිජ ණය බව පෙන්වාදීමද අවශ්‍යය. සාමාන්‍යයෙන් ආයතනික, ආණ්ඩු හා වානිජ ණය වශයෙන් කොටස් තිබේ. ආයතනික ණය අප සියලුදෙනා බැංකුවලින් කරන ගනුදෙනු හා සමානය. රටවල් අතර කරන ගනුදෙනු හෝ ණය හුවමාරු මිතුරන්ගෙන් කරන අතමාරු වශයෙන් සැලකිය හැකිය. වානිජ ණය එසේ නොවේ. මෙරට ඇති ප‍්‍රකට උකස්කරුවන් හෝ පොලී මුදලාලිලා හා සමානය. ණය නොලැබුණත් නිසි වෙලාවට පොලිය ලැබුණොත් ප‍්‍රමාණවත්ය. ආණ්ඩු වලට ආයතනික ණය ගැනීමට ඉඩ නොදෙන මෙරට ජනතා බලවේග හා වෘත්තීය සමිති නොදැනුවත්වම පොලී මුදලාලිලා කරා රට තල්ලු කර තිබේ. එය කොපමණ අභාග්‍යයක් දැයි දැනුම් තේරුම් ඇති පර්යේෂකයන් පෙන්නුම් කර නොදීම අභාග්‍යයකි. ලෝක බැංකුවෙන් හෝ මූල්‍ය අරමුදලෙන් සහන ණය ගැනීම මහා අපරාධයක් හා කොන්දේසිවලට යටත්වීමක් සේ ප‍්‍රකාශවන නමුත් ඇත්ත වශයෙන්ම අඩු පොලී සහ ආර්ථකය හදාගන්නට මග පෙන්වීමක් ඇති එවැනි ආයතන සමග කේවල් කිරීම මනෝඥය. එහෙත් අමනෝඥ දේශපාලන බලවේග මේවායේ යහපත පැත්තකින් තබන අතර සියයට 7-8 අතර වාර්ෂික පොලියකට වාණිජ ණය ගනිමින් සිටිති. 

• බිලියන ගණන් පොලිය ගෙවන ව්‍යුහයක්

2021 වසරේ ශ‍්‍රී ලංකාවේ ණය ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6,865ක් අවශ්‍ය වන බව මුදල් ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට වාර්තා කර තිබේ. මෙයින් ඇමරිකානු ඩොලර් මිලියන 5,351ක් ණයවන අතර ඇමරිකානු ඩොලර් 1,514ත් පොළිය බව සඳහන් කළ යුතුය. බරපතළකම මෙයින් පැහැදිලි කරගත හැකිය. කිසිසේත් පහසුවෙන් ගෙවිය නොහැකි ප‍්‍රමාණයකි. ආණ්ඩුව කරන්නේ මෙම ණය ගෙවීම සඳහා නැවතත් ණය ගැනීමයි. ණය නොගෙවන රටක් නොවන හෙයින් ණය වෙළඳ පොළ ශ‍්‍රී ලංකාවට ණය දෙන්නට සූදානම්ය. ඉන්දියාවේ, ඇමරිකාවේ හෝ චීනයේ බැංකු එහි කොටස්කරුවෝය. 

2021 වසරේදී ණය පියවන පියවර අතර පෙබරවාරි සිට ජූලි දක්වා විදේශ ණය සම්බන්ධ පියවීම් කිහිපයකි. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පියවීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක් උවමනා කෙරේ. ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙනුවෙන් අවශ්‍යතාව ඇමරිකානු ඩොලර් මිලියන 980 කි. ණය පොලිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 482ක් බව අවශ්‍ය බව සඳහන්ය. එයට අමතරව ඉන්දීය රිසව් බැංකුවට සාක් ණය සංචිතය අනුව ඇමරිකානු ඩොලර් මිලියන 400ක් පියවීමට සිදුවෙයි. මේවා කෙටිකාලීන වහා පියවර ගත යුතු අවස්ථා බව දැක්වීම අවශ්‍යය. මෙම ණය පියවීමේදී ශ‍්‍රී ලංකාවේ විදේශ වත්කම් ගැන සැලකිල්ල යොමුකිරීම අවශ්‍යය. පසුගිය දෙසැම්බර් 31 වනවිට ආණ්ඩුවේ ශුද්ධ විදේශ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 5.7 කි. එය රන් සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 400ක් ද සහිතවය. මේවායෙන් ණය ගෙවූ පසු මාසයක ආනයන සඳහා හෝ ප‍්‍රමාණවත් නොවන තත්ත්වයක් ඇතිවිය හැකිය. ශ‍්‍රී ලංකා මහ බැංකුව ණය පාලනය කරන අතර අවශ්‍ය තරමට යළිත් ණය ගැනීමට විධි විධාන යෙදවේ. කළයුතු ණය ගෙවන්නට තරම් ආදායමක් රට තුළ හදාගැනීම බව නැවතත් පෙන්වා දිය යුතුය.

• අමුතු දෙයක් නොවන ණය කොවිඩ් අර්බුදය හමුවේ

ණය සහිත රටවල් ගැන මුලින්ද සඳහන් කර ඇත. ලෝකයේ රටවලට වැඩිම ණය සපයා ඇති රට චීන සමූහාණ්ඩුවයි. වැඩිම මුදලක් ඇමරිකානු ණයකරවල ආයෝජනය කර ඇත. ග‍්‍රීසිය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ණය වැඩිම රට සේ සැලකෙයි. පසුගිය කාලයේ ණය ගෙවාගත නොහැකිවීමෙන් ගැටලු ගණනාවකට මුහුණ දුන් අතර අවස්ථා ගණනක් ආණ්ඩු පෙරැළී රට අවදානම් තැනකට පත්විය. 2019 වසරේ ග‍්‍රීසියේ ණයබර දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 181.9 ක් විය. ඉතාලියේ සියයට 134ක්, පෘතුගාලයේ සියයට 123ක් සහ බෙල්ජියම සියයට 105ක් වශයෙනි. ශ‍්‍රී ලංකාව මෙම ලැයිස්තුව අනුව මධ්‍යස්ථ තැනකය. දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 86.8 ක ය. ඇමරිකාවේ ප‍්‍රතිශතය සියයට 82 හා බ්‍රිතාන්‍යයේ ප‍්‍රතිශතය සියයට 85.4 සමග සසඳන විට රට යහපත් තැනක බවට තර්ක කළ හැකිය. අභ්‍යන්තරය හා රටක දියුණුව ගැන දන්නෝ එවැනි සැසඳීමකට යුහුසුළු නොවෙති. 

ජාත්‍යන්තර පර් යේෂණ පෙන්වා දෙන පරිදි ලෝකයේ රටවල් 2020 වසර අවසානයේදී සමස්ථ ණය ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන එකොළහකි. එම වසරේ හුවමාරු විය යුතුව තිබුණ පොළී ප‍්‍රමාණය පමණක් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.9 ක් බව සඳහන්ය. කොවිඩ් -19 වසංගතය සමග ඇතිවුණ අර්බුදකාරී වාතාවරණය ණය ගෙවන පිළිවෙළ කඩා වැටිණ. සමහර රටවල් ණය තාවකාලිකව අත්හිටුවන සේ ඉල්ලා සිටියේය. රටවල් 82ක් අතරින් රටවල් 79 කට ණයහිමියෝ තාවකාලිකව ණය හෝ පොලිය ආපසු ගෙවීම ප‍්‍රමාද කරන සේ යෝජනා කර තිබේ. මෙම ලෝක අර්බුදය හමුවේ අලුත් හදිසි ණය යෝජනා ක‍්‍රමයක් ලෝක බැංකුව හඳුන්වා දුන්නේය. ඒවා තාවකාලික පැලැස්තර විසඳුම්ය. වාරික නොගෙවන නමුත් පොලිය ගෙවිය යුතුය. ශ‍්‍රී ලංකාව නැඹුරු විය යුතු අනෙක් පැත්තකටය. යමක් නිපදවන රටක් බවටය. වත්මන් ජනාධිපතිවරයා සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ණය ගැනීම නොකළ යුතු බව ප‍්‍රකාශ කර තිබේ. හැකිතාක් දෙස් විදෙස් ආයෝජනවලට ඉඩදෙන සැලැස්මකය. ඉතාම වැදගත් විදේශ විනිමය උපයා ගැනීම බව මතක් කරන්නට අවශ්‍යය. රජයේ සම්පූර්ණ අවධානය ආයෝජනය වෙත නැඹුරු කර තිබේ. නිෂ්පාදනය වැඩිකළ යුතුය. මොනවා හෝ නිපදවා අපනයන අවස්ථා පාදා ගත යුතු අතර රටට ගැලපෙන ප‍්‍රතිපත්ති වෙනුවෙන් තීරණ ගත යුතුව තිබේ. වැඩ කරන්නට නම් පුළුල් අවකාශයක් තිබිය යුතු අතර අවහිර හා බාධක මැදින් පැන ජනතාව වෙත සමීපවීම ඉතා වැදගත්ය. රට ඉහළට ඔසවා තැබීම අද ඇති පළමු වගකීමය

 ගාමිණී සරත් ගොඩකන්ද