උපන් දා සිට මිය යන තෙක්ම සත්ත්වයාට ජලයෙන් ලැබෙන ශක්තිය ප්‍රයෝජන අතිමහත්ය. දිවියේ ජීවය බඳු පිරිසුදු ජලය දෙවැනි වන්නේ ද මව්කිරට පමණය. ලෝකය උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ දී සිටින සමයක ඉදිරි කාලයේ ලංකාවටද ජල අර්බුදයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට විශේෂඥයෝ මත පළ කර සිටිති.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන ආකාරයට පිරිසුදු හා සෞඛ්‍ය සම්පන්න ජලය පානය නොකිරීම හේතුවෙන් ලොව පුරා ජනතාව 842,000ක් පමණ මිය යති. මේ අනුව ලෝක ජනතාවගෙන් මිලියන 663ක් පමණ භාවිත කරන පානීය ජලය අපිරිසුදු හා සෞඛ්‍යාරක්ෂිත නොවන බවද පවසයි. මේ අනුව ලෝකයේ ජනාකීර්ණ නාගරික පෙදෙස්වල වෙසෙන 80%ක පමණ මහජනතාවට පිරිසුදු ජලය නොලැබෙන බවද ශ්‍රී ලංකාව පවතින්නේද එවැනි අවදානමක බවද මෙරට විශේෂඥ මතයයි.
ජලය සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන ප්‍රශ්න අද ඊයෙක නිර්මාණය වූ ඒවාද නොවේ. කාලයක සිට පැවතෙන ගැටලු සම්බන්ධයෙන් ලෝක ප්‍රජාව දැනුම්වත් කිරීමේ අරමුණින් ලෝක ජල දිනයක් ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබිණි. සෑම වර්ෂයකම සමරන එකී දිනය තව නොබෝ දිනකින් මාර්තු 22 වැනිදා සැමරෙනු ඇත.
ලෝකයේ පවතින සමස්ත ජලය ප්‍රමාණය ඝන කිලෝමීටර් මිලියන 1386ක් බවට අනුමතය. ඒ අතරින් 97.5%ක් මුහුදු ජලය හෙවත් කරදිය බවට නිගමනය කරයි. මේ අනුව මිරිදිය වශයෙන් ගංගා හෝ ජලාශවල පවතින ජලය ප්‍රමාණය 2.5%කි. මේ අතරිනුත් මිරිදිය ජලයෙන් අඩකට වඩා අයිස් කඳු වශයෙන් ධ්‍රුවීය ප්‍රදේශවල පවතින බව කියයි. මෙහිදී පැහැදිලි වන්නේ මිනිස් පරිභෝජනය සඳහා ගත හැකි ජල ප්‍රමාණය 0.29%ක් තරම් සීමිත බවය. ලෝක පරිභෝජනය සඳහා ඇතැයි කියන මෙම සීමිත ජලය ප්‍රමාණය එදිනෙදා කටයුතු සඳහා අත්‍යවශ්‍යය. ඒවා වැව්, පොකුණු, ගංගා, ඇළ දොළ වැනි ස්ථානවල පවතින අතර කොටසක් භූගත ජලය හා පාංශු ජලය, ජල වාෂ්ප, වගුරුබිම් මෙන්ම සත්ත්ව ශරීර හා ගස්වැල්වලද පවතී. මේ තත්ත්වය හමුවේ රටේ ජල අර්බුදයක් ඇතිවීමේ අවදානම ගැන කල්තියා අනාවැකි පළ කර තිබේ.
සමස්ත ලෝකයේම පානීය ජල ගැටලුවක් පවතින මොහොතක ජල මූලාශ්‍ර සංරක්ෂණය කිරීමට පියවර ගත යුතුය. ඒ සඳහා වගකිව යුතු පාර්ශ්ව මෙන්ම මහජනතාවද වගකීමෙන් කටයුතු කළ යුතුය. ඉදිරියේදී ඇතිවිය හැකි යැයි කියන අවදානම හමුවේ කාලගුණය යම් හේතුවක් වේදැයි අපි විමසා සිටියෙමු. ඒ වෙනුවෙන් අදහස් ප්‍රකාශ කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි) කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණසූරිය මහත්මිය මෙලෙස පැවසුවාය.
අපට පුළුවන් වැස්ස අඩු වෙයිද වැඩි වෙයිද වගේ අනාවැකියක් කියන්න. විශේෂයෙන් ලංකාවේ උතුර, උතුරුමැද වගේ ප්‍රදේශවල වැව් ටික පුරවාගන්න වැස්ස අවශ්‍ය වෙනවා. ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ඒ ප්‍රදේශවලට වහිනවා. ඊට පස්සෙ වැස්ස අඩුයි. අන්තර් මෝසම තුළ තරමක් වැස්ස තියෙනවා. වැව්වල වතුර තියෙනවා නම් අපට ජල හිඟයක් කියන්න බෑ. ඉදිරි මාස තුනකදී වැස්ස ඇතිවෙනවා. ඒ නිසා වැව් ජලාශ, ඇළ දොළවල වතුර හිඟයක් වෙන්නෙ නෑ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හරහා නිශ්චිත අනාවැකි ලබා දුන්නද, වැසි ජලය සුරක්ෂිත කිරීම මහවැලි අධිකාරිය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙයි. මේ පිළිබඳ කළ විමසීමකදී මහවැලි අධිකාරියේ ප්‍රකාශිකාවක කීවේ මෙවැන්නකි.
දැනට ජලාශවල පවතින වතුර ප්‍රමාණවත්. නමුත් වගා කටයුතුවල අවශ්‍යතාව මත හිඟවීමක් වෙන්න පුළුවන්. නමුත් නියමිත වෙලාවන් තුළ වගා කටයුතු ආරම්භ කළොත් ගැටලුවක් වෙන්නෙ නෑ. කලා වැව වගේ ප්‍රදේශවල ගලාගෙන යන වතුරෙන් තමයි වගාව කරන්නේ. ඒ ප්‍රදේශයේ පොඩි ගැටලුවක් තිබෙනවා. එහෙ ජල සංචිත නෑ. දැනට ජලය පිරුණු ජලාශ ආශ්‍රිතව ගැටලු නෑ. මහවැලි පද්ධතිය තුළ වතුර තිබෙනවා. වලවේ පද්ධතිය තුළ වතුර අඩුවක් තිබෙනවා. මැයි මාසයේදී විතර අපේක්ෂා කරන වර්ෂාවත් සමඟ ඒ පද්ධති දෙක සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි. මේ හැර ප්‍රධාන ජලාශවල වතුර හිඟයක් නෑ.
ඇතිවේ යැයි කියන ජල අර්බුදය හමුවේ පානීය ජලය සම්බන්ධයෙන් වැඩි වගකීමක් ඇත්තේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙතය. මේ පිළිබඳව සිදු කළ විමසීමේදී ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමූහික සන්නිවේදන කළමනාකරු සරත්චන්ද්‍ර මුතුබණ්ඩා මහතා මෙසේ කීය.
පසුගිය දිනවල වියළි කාලගුණයක් පැවතුණා. වැස්ස අඩු වුණාම ජල මූලාශ්‍රවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යනවා. එතකොට එකම ධාරිතාවකින් අපේ පවිත්‍රාගාරවලට ජලය ගන්න බෑ. එතකොට නියමිත පීඩනයකින් ජලය බෙදාහැරීමට හැකියාවක් නෑ. මේ වෙලාවට උස් භූමිවලට ජලය සැපයීම දුෂ්කර වෙනවා. පැය 24 පුරාම අඛණ්ඩ ජල සැපයුමක් ලබා දෙන්න මේ තත්ත්වය බාධාවක් වෙනවා. වර්ෂාව ලැබුණොත් තත්ත්වය ගැටලුවක් වෙන්නෙ නෑ. මේ වෙලාවේදී මහජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. වතුර අරපිරිමැස්මෙන් භාවිත කළ යුතුයි. මේක පොදු ආපදා තත්ත්වයක්නෙ. ඒ නිසා සාමූහිකව කටයුතු කළ යුතුයි. පානීය ජලය ඒ සඳහා භාවිත කරලා සේදීම් කටයුතු හා වගා කටයුතු සඳහා මේ ජලය භාවිත නොකිරීමයි වැදගත්. විශේෂයෙන් වතුර භාජනයකට පුරවා තබාගෙන අවශ්‍ය කටයුතු කිරීමට පුරුදු වීම වැදගත් වෙනවා. පැය 24 තුළම ජලය සැපයුම නොලැබුණොත් වතුර ටැංකි භාවිත කිරීම පහසුවක් වෙනවා. මේ වන විටත් ජලාශවල වතුර මට්ටම පහළ වැටිලා තිබෙනවා. දිගින් දිගටම තත්ත්වය තිබුණොත් අවදානමක් වෙන්න පුළුවන්. දැනටමත් කොළඹ සමහර ප්‍රදේශවල, හම්බන්තොට, කෑගල්ල හා කළුතර ප්‍රදේශවල වතුර හිඟයක් පවතිනවා. අවශ්‍ය ස්ථානවලට වතුර බවුසර් යොදවන්න අවශ්‍ය පියවර අරන් තිබෙනවා.
යම් හෙයකින් ජල හිඟයක් උද්ගත වේ නම් මහජනතාවට සාමූහිකව ඊට මුහුණදීමට සිදුවනු ඇත. එබැවින් වන සංරක්ෂණය, ජල උල්පත් රැකගැනීම, ජල මාර්ග දූෂණයට ලක් නොකිරීම හා ජල පරිහරණ දුර්වලතා මඟහරවාගෙන වගකීමෙන් කටයුතු කළ යුතුය.
සමන්ත ප්‍රදීප් විල්තෙර