මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියටත් වඩා දැන් රටපුරාම කතාබහට ලක්ව ඇත්තේ ඒ මාර්ගය නිසා තර්ජනයට ලක්ව ඇති ගම්පහ දාරළුවේ ක_ඩියා සෙලනිකා (පණු කරඳ) ගසයි. මෙම ශාකය පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය සාකච්ජා කිරීමට පෙබරවාරි අවසන් සතියේ මධ්‍යම පරිසර අධිකාරියේ පැවති සාකච්ඡාව අවසන්ව ඇත්තේ එකඟතාවයකින් තොරවය.
ක_ඩියා සෙලනිකා ශාකය එම ස්ථානයෙන් ඉවන් කරන්නේද, මාර්ගය ගස බේරා ඉදිකරන්නේද? යන්න ගැන තවමත් බලධරීන්ගේ නිශ්චිත තීරණයක් නැත. මේ අතර වඳවී යමින් පවතින එම ගස දැකබලා ගැනීමට දුරබැහැරින් පවා ජනතාව පැමිණෙමින් සිටිති.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් සඳහන් කරන්නේ ගහ බේරා මාර්ගය වෙනස් කළොත් ඒ විශේෂයේ තවත් තරුණ ශාක දෙකක් කැපෙන අතර, රුපියල් බිලියන 8.5ක (කෝටි 850ක්) අමතර මුදලක් ද වැයවන බවයි. එම ස්ථානයෙන් පාර ඉස්සුවොත් වැයවන මුදල රුපියල් බිලියන 6ක් බවද ඔහු සඳහන් කරයි.
මාර්ග සංවර්ධන අධිකාරිය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, උද්භිද උදසාන දෙපාර්තමේන්තුව යන ආයතන ඇතුළු එයට සම්බන්ධ පාර්ශ්වවල සහභාගීත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වුණි. එහිදී ක_ඩියා සෙලනිකා ශාකයේ තවත් ශාක 7ක් සහ පැල 20ක් වාර්තා වී තිබෙන බවද පැවසී ඇත.
මෙම සාකච්ජාවට එක්වූ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය අචලා අත්තනායක අප සමඟ පැවසුවේ මේ ශාක සංරකෂණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම තම වගකීම බවයි.
“ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේත් මේ ශාකය තිබෙන බව පසුව හෙළිවුණා. මිනුවන්ගොඩ හැන්ඩිමහර ප්‍රදේශයෙන් මේ වර්ගයේ විශාල ගසක් හමුවුණා. ඒක දාරුළුවේ ගස වගේ විශාල ගසක්. දොරණගොඩ දකුණ. මගලෙගොඩ, කදිරාන, බියගම යන ප්‍රදේශවලින්ද ක_ඩියා සෙලනිකා ශාක හමුවී තිබෙනවා. මේවා නිශ්චිතව හඳුනාගෙන ඒවායේ ආදර්ශ පේරාදෙණිය ජාතික ශාකාගාරයටත් රැගෙන ගිහින් තිබෙන්නේ” ඇය කීවාය.
මේ අතර දාරළුවේ විශාල ශාකය පිහිටි ඉඩමේ මුල් හිමිකාරීත්වය පැවති නදීෂාන් දිදුක මුණසිංහ බලධාරීන්ට යෝජනා කර ඇත්තේ එම ගස විශාල වියදමක් දරා ආගන්තුක පරිසරයකට රැගෙන යාම වෙනුවට ඒ අසලම නැවත ගලවා රෝපණය කරන ලෙසයි. ඒ සඳහා ඔවුන්ට අයත් ඉඩමකින් කොටසක් ලබාදීමටද ඔහු කැමැත්ත පළකර තිබේ.
මේ ගැන වැඩි විස්තර සොයන අතර අප ඇමතුවේ පේරාදෙණිය උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය සිරිල් විජේසුන්දරටයි.
“වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වගේ ආයතන පැලෑටි හා වනසත්ව සංරක්ෂණය තම පළමු වගකීම ලෙස ඉටුකරන ආයතනයි. උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව කරන්නේ විතැන් සංරක්ෂණය. ඒ ශාක තිබූ තැනින් පිටත තැනක සංරක්ෂණය කිරීමයි. මේ ගස අහිමිවීම ප්‍රශ්නයක් වන්නේ මේක අවසාන ගස වුණොත්නේ. නමුත් දැන් මේ විශේෂයේ ශාක කිහිපයක්ම සොයාගෙන තිබෙනවා. ඒ අතර මේ ශාකය ගලවා වෙනත් තැනක (රූට් බෝල් ක්‍රමයට) රෝපණය කිරීමේ අදහසක්ද මතුව තිබෙනවා. මේක පවතින ස්වභාවය අනුව වෙනස් තැනක රෝපණය කිරීම සාර්ථක වේවි කියලා හිතන්න අමාරුයි. මෙහි මුල් පවතින්නේ මට්ටම් දෙකකින්. නමුත් ඒ ගැන උත්සාහයක් ගත හැකියි. මම නම් හිතන්නේ අපි මේ වගේ කාර්යයකදී වඩාත් ප්‍රායෝගිකව සිතා බැලිය යුතු බවයි.”
ගම්පහ දාරළුව දුම්රිය ස්ථානය අසල පෞද්ගලික ඉඩමකින් (අධිවේගී මාර්ගයට පවරාගත්) මේ ශාකය හමුවුණේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඉල්ලා සිටි දෙවැනි පරිසර තත්ත්ව වාර්තාව සකස් කිරීමේදීය. එය හඳුනා ගත්තේ පරිසරවේදී නිමේෂ් ඩිල්රුවන් ජයසිංහයි. ශ්‍රී ලංකාවේ අනතුරට ලක්වූ ශාකවල ප්‍රතිශතය 44%ක් තරම් ඉහළ අගයක් ගනී. නමුත් මහාචාර්ය සිරිල් විජේසුන්දර සඳහන් කරන්නේ ලංකාවෙන් වඳවී ගියා යැයි සැලකුණු ශාක ප්‍රමාණය 170ක් පමණ වුවද පසුගිය කාලය ඒ අතරින් ශාක රාශියක් නැවත හමුවූ නිසා දැන් ඒ ලැයිස්තුව 130ක් පමණ දක්වා පහළ බැස ඇති බවයි.
මේ අතර ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසන්නේ මේ ශාකයේ පැල 20ක් පේරාදෙණිය උද්භිද උද්‍යානයේත් තවත් පැල 6ක් ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේත් සංරක්ෂණය කර තිබෙන බවයි.
මේ ශාකය ගැන මුලින්ම වාර්තා කර ඇත්තේ පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂව සිටි ජී.එච්.කේ. ත්වේටේස් සංග්‍රහ කරන ලද, 1864 වර්ෂයේදී පළ වූ, Enumeratio Plantarum Zeylanicum: An Enumeraton of Ceylon Plants නම් කෘතියේයි. ඒ Detarium Zeylanicum නම් උද්භිද විද්‍යාත්මක නමින්. ඔහු මේ ශාකය හමුවුණ බව සඳහන් කරන්නේ කළුතරට නුදුරු ගල්පාත ප්‍රදේශයෙනි. පසුව ගසේ නම වෙනස් කර ඇති අතර එහි උද්භිද විද්‍යාත්මක ලක්ෂණ අනුව Crudia Zeylanica නම් අලුත් නමක් 1866දී ජෝර්ජ් බෙන්තම් විසින් ලබා දී තිබේ. එය පබාසියේ කුලයේ ක_ඩියා ගණයට අයත් ශාකයකි.
1880 සිට 1896 දක්වා කාලයේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂව සිටි හෙන්රි ට්‍රයිමන් පවසන්නේ තමා මේ ශාකය නිරීක්ෂණය කළේ 1861 හා 1863 වර්ෂවලදී කළුතර දිස්ත්‍රික්කයේ ගල්පාත ප්‍රදේශයෙන් ලබාගන්නා ලද නිදර්ශක දෙකෙන් පමණක් බවයි. ඒ ඔහුගේ Handbook to the Flora of Ceylon කෘතියේය. මෙම ශාකය ඉතා දුර්ලභ බවත් ආවේණික ශාකයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී. මෙහි නිදර්ශක ලන්ඩන්හි රාජකීය කිව් ශාකාගාරයේ සුරක්ෂිතව පවතී.
19 වැනි සියවසේ දෙවැනි භාගයේදී ට්‍රයිමන් විසින් දුර්ලභ ශාකයක් ලෙස සඳහන් කළ මේ ශාකය පිළිබඳව වැඩි අවධානයක් යොමුවන්නේ පසුකාලයකදී යි. රතු දත්ත ලැයිස්තුවේ 1993 වර්ෂයේ තාවකාලික ලේඛනයේ දී මේ ශාකය තර්ජනයට පත් ශාකයක් ලෙස නම් කරනවා. 1999 දී IUCN Sri Lanka මඟින් ප්‍රකාශිත 1999 List of Threatened Fauna and Flora of Sri Lanka වාර්තාවට අනුව ඉහළ තර්ජනයක් ඇති ශාක විශේෂයක් ලෙසද නම්කර තිබේ. 1998 දී අන්තර්ජාතික රතු ලැයිස්තුවේ සඳහන් කරන්නේ ක_ඩියා ශාකය වඳ වී ගිය ශාකයක් ලෙසිනි. 2012 ජාතික රතු ලැයිස්තුවේද මෙය සඳහන් වන්නේ වඳ වී ගිය ශාකයක් විදිහටයි. කළුතර ගල්පාතින් මුලින්ම හමුවූ ක_ඩියා සෙලනිකා දෙවැනි වරට හමුවන්නේ ගම්පහට නුදුරු දාරළුව දුම්රිය ස්ථානය අසල ලැහැබකිනි. ඒ 2020 නොවැම්බර් මාසයේය. ඊටපසු අධිවේගයේ වැඩ එම ස්ථානයෙන් අත්හිටවූ අතර රටම මේ ගස ගැන කතා කරන්නට විය. තවමත් ඒ කතාබහට ඉසිඹුවක් ලැබී නැත.
කුසුම්සිරි විජයවර්ධන