2021 මාර්තු 13 වන සෙනසුරාදා

කැලණි - මහවැලි ලොවේ දූෂිතම ගංගා අතර

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 948

ඕස්ට්‍රේලියාවේ පදිංචි මගේ මිතුරකුගේ දියණියක් මිතුරාගෙන් ප්‍රශ්නයක් ඇසුවාය. “තාත්තා, වට් ඊස් ද ඩිෆරන්ස් බිට්වීන් අම්මට හුඩු ඇන්ඩ් අම්මට සිරි?” ඇයට දැනගන්නට ඕනෑ වූයේ අම්මට හුඩු සහ අම්මට සිරි යන කියමන් දෙකේ වෙනසයි. මගේ මිත්‍රයා මෙම විශ්මයාර්ථ දෙකේ වෙනස සොයන්නට ගත්තේය. “අම්මට සිරි” යන කටවහරේ එන විශ්මයාර්ථයට මූලාශ්‍රය වී යයි සිතිය හැකි කවිපද දෙකක් ඔහුට හමුවිය. ඔහු එම කවිපද දෙකේ අරුත මට පහදා දුන්නේය.

“අම්මට සිරි ගජ වේගෙන එනකොට - දූලගෙ බඩ කට පිරවෙන්නේ” මෙම ජන කවියේ අම්මා යනුවෙන් හැඳින්වෙන්නේ සිරිපාදය ඇතුළු මැද කඳුකරයයි. දූලාට උපමාකර ඇත්තේ මධ්‍යම කඳුකරයෙන් සිව් දිසාවට ගලා යන ගංගාය. “අම්මට සිරි ගජ” යනු මැද කඳුකරයට ගජරාමෙට වසින වැස්සයි. සිරිපාදය ඇතුළු මධ්‍යම කඳුකරයට ගජරාමෙට වැසි වැටෙන විට සිව්දිසාවට යන ගංගාවන් ජලයෙන් පිරී මනහර ලෙස ගලායන බව එම ජන කවියේ ව්‍යංගාර්ථය වූයේය.

සිරීපාදයෙන් ඇරඹි රටේ සිව් දිසාවට ගලා යන ගංගා ගැන අපි නොමඳව කවි ලීවෙමු. එහෙත් මධ්‍යම කඳුකරයෙන් රූරා අවුත් මුහුදට වැටෙන නදී කොමලියන් සියල්ලේම ජලය දූෂණය වී ඇති බව පසුගියදා වාර්තා වීම සිතට කනගාටුව දැනෙන අපරාධයකි.

ශ්‍රී ලංකාවේ ගංගා සිතියම දෙස බලන්නකුට, මැදි කඳුකරයෙන් ඇරඹි රට වටේට ගලා බසින ගංගාවන් පහතට විහිදෙන රටාව දැකගත හැකිවේ.

ගංගාවන්හි ජලය දූෂණය වීමට බලපා ඇත්තේ මානව ක්‍රියාකාරකම් මිස සොබාදහම නොවේ. රටේ ජනගහනය වැඩිවෙද්දී කර්මාන්ත, කෘෂි කර්මාන්ත, ගෘහ කටයුතු ආදියේ තීව්‍රතාවයත් සංකීර්ණ භාවයත් වැඩිවී ඇත. මෙකී සියලු මානව ක්‍රියාකාරකම්වලදී පාලනයකින් තොරව අපද්‍රව්‍ය, පොළොව මත ගලා යන ජලයටත්, භූගත ජලයටත් එක්වීමේ ප්‍රතිඵලය අවසානයේ ඒ සියල්ල ගංගාවන්ට එකතු වීමය. ඒ නිසා ගංගා කොමලියන් දූෂණය වී ඇත්තේ ඒවායේ වරදින් නොව මිනිසුන් වූ අපගේ වරදිනි.

කැලණි ගඟ ආශ්‍රිතව සිදුවන කර්මාන්ත ඇතුළු මානව ක්‍රියාකාරකම් නිසා එහි ජලය අපවිත්‍ර වන ආකාරය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ දශක කිහිපයකට කළින් පවා කර තිබුණත් ඉස්සර අපට ගංගා ජලය අපවිත්‍ර වීම ගැන පුවත් ඇසුණේ ඉඳහිටය. තුල්හිරිය පෙහෙකම්හල නිසා මාඔයේ ජලය දූෂණය වන ආකාරයත්, වේයන්ගොඩ පෙහෙකම්හලේ අප ජලය දී ඇල්ලේ ඔයට එක්වීම නිසා සිදුවන ජල දූෂණය ගැනත් පෙර කාලයේ පුවත් පළ වූයේය. දැන් මහවැලි, කැලණි, කළු, වළවේ ඇතුළු සියලු ගංගා දූෂණය වී ඇතැයි අසන්නට ලැබීම මහත් අභාග්‍යයකි. මෙකී දූෂණයන්ට අදාළ ස්ථානීය ගැටලු හාරදහසක් පමණ හඳුනාගෙන ඇති බව මෑතක පළවූ පුවතින් අනාවරණය වී තිබිණි. එහෙත් ස්ථානීය ගැටලු ලෙස හඳුනා නොගත් මානව ක්‍රියාකාරකම් රාශියක් ගංගා දූෂණයට බලපාන බව ඒ සම්බන්ධයෙන් කර ඇති පර්යේෂණවලින් පෙනේ.

රටේ ප්‍රධාන ගංගා ආශ්‍රිතව සිදුවී ඇති පර්යේෂණවලින් අනාවරණය වූ කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් මෙම කාරණයේ බරපතළකම වඩාත් ගැඹුරෙන් අවබෝධ කර ගත හැකිවේ.

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට විසිපහක් (25%) ජනයා ජීවත්වන්නේ කැලණි ගඟේ පෝෂක ප්‍රදේශයේය. (යම් ගඟකට අදාළ අතු ඉති ගංගා, සිහින් ජල ධාරා සියල්ල ගඟක පෝෂක ප්‍රදේශයට අයත් වේ) දිගින් කි.මී. 145ක් වූ කැලණි ගඟ වර්ග කි.මී. 2314 වසා ගලා යන්නකි. මුහුදු මට්ටමේ සිට මීටර් 2300ක ඉහළ සිට එය පහතට රූරා එයි. කොළඹ දිස්ත්‍රික්කයේ වෙසෙන ජනයාගෙන් 80%ක පානීය ජල මූලාශ්‍රය වන්නේ කැලණි ගඟය. මහකොළඹ ප්‍රදේශයේ පමණක් මිලියන හතරක ජනකායකගේ පානීය ජල මූලාශ්‍රය වන්නේ කැලණි ගඟය.

රටේ මහා ජනකායකට පානීය ජලය ලබාදෙන කැලණි ගඟේ ජලයේ ගුණාත්මක බවට බලපාන ඔක්සිජන් ප්‍රමාණයන් (රසායන ඔක්සිජන්, ද්‍රව ඔක්සිජන් ආදී) එම ජලයේ පවතින්නේ තිබිය යුතු මට්ටමට වඩා හානිකර මට්ටමේ බව පර්යේෂණ ප්‍රතිඵලවලින් පැහැදිලිය. එම ජලයේ දියව ඇති බැර ලෝහ ප්‍රතිශතයද 7%කින් වැඩිය.

කැලණි ගං ජලයේ ගුණාත්මක බව පහත හෙලන, සම් පදම් කිරීම්, තෙල් පිරිපහදු, පාන වර්ග, රෙදි පිළි හා ඇඟලුම්, රබර්, මැටි, ආහාරවලට අදාළ කාර්මික මූලාශ්‍ර 150කට වඩා හඳුනාගෙන තිබුණේ වසට 15කටත් පෙර කාලයේය.
හෙක්ටෙයාර් 180ක් ඇතුළත කර්මාන්ත ආයතන 65ක් ඇති බියගම කර්මාන්ත කලාපයේ අප ජලය මුදාහැරෙන්නේ කැලණි ගඟේ අතු ගංගාවක් වූ රුක්ගහවත්ත ඇළටයි. කොළඹ ජනතාවට පානීය ජලය සපයන අඹතලේ ජලාශයට කි.මී. 3ක් පමණ ඉහළින් මෙම ඇළ කැලණි ගඟට එක්වේ.

කැලණි ගඟ මුහුදට වැටෙන තැනින් කිලෝමීටර 55ක් දුරින් ඇති සීතාවක කර්මාන්ත පුරයේ අප ජලය ගලන්නේත් කැලණි ගඟටමය.

මෙම මානව ක්‍රියා මගින් විෂ එකතු වන්නේ මිනිස් සිරුරට පමණක් නොවේ. මත්ස්‍ය වර්ග 60කට වඩා කැලණි ගං ජලයේ වෙසෙති. ඉන් වර්ග 30ක් මෙරටට ආවේනික මත්ස්‍ය වර්ගයන්ය. පානීය ජල මූලාශ්‍රයක් ලෙස වැදගත් වන නිසාමදෝ කැලණි ගඟේ ජලයේ ගුණාත්මක බව පිළිබඳ පර්යේෂණ කාලයක පටන් සිදුකර තිබේ. එහෙත් ජලය දූෂණය වීම වැළැක්වීමට අදාළ ප්‍රතිකර්මීය පියවර ගෙන ඇත්තේ මඳ වශයෙනි. මේ වනවිට කැලණි ගං ද්‍රෝණියට අයත් ප්‍රදේශයෙන් වනාන්තර ඇත්තේ 10%ක් පමණකි.

මහවැලි ගඟේ ජලය දූෂණය පිළිබඳ පර්යේෂණ සිදුවී ඇත්තේ මෑතක වුවද එහි ජලය දූෂණය වීම සිදුවී ඇත්තේ සියවසකටත් වැඩි කාලයක පටන්ය. මධ්‍යම කඳුකරයේ තේ වතුවල රසායනික පොහොර භාවිතය දශක ගණනාවක පටන් සිදුවූවකි. ඒ හැරුණුකොට මධ්‍යම කඳුකරයේ එළවළු වගාවටද බහුලව රසායනික පොහොර හා කෘෂි රසායන භාවිතය සිදුවේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මහවැලි ගං දිය ආශ්‍රයෙන් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල අන්තර්ජාලයේ දැකගත හැකිය. පොස්ෆේට් පොහොර භාවිතය නිසා කැඩ්මියම් ලෝහය මහවැලි ගංදියට මුසුවී ඇති ආකාරය එහි පැහැදිලිව විස්තර කොට තිබේ. වකුගඩු ආශ්‍රිත රෝග වැඩිවීමට හේතුව ලෙස මෑතකදී වාර්තා වූයේ ජලයට කැඩ්මියම් ලෝහය එක්වීමය. මීට අමතරව පොලිතින්, ප්ලාස්ටික්, ඉලෙක්ට්‍රොනික සුන්බුන් මහවැලි ගංගාවේ ජලයට මුසුවෙන ආකාරය එම පර්යේෂණ වාර්තාවල දැක්වේ. ඉදිරි කාලයේ ලෝකයේ වඩාත්ම දූෂිත ගංගා හතරට මහවැලි ගඟ එක්වෙන බවට එම වාර්තාවෙන් අනතුරු අඟවා ඇත.

වලවේ, කිරිඳි ඔය සහ මැණික් ගඟ ආශ්‍රිතව සිදුවන ජල දූෂණයද විද්‍යාත්මක පර්යේෂණයන්ට භාජනය වී ඇත. වර්ග කිලෝමීටර 2442ක් වූ වළවේ ගඟේ පෝෂක ප්‍රදේශයත්, වර්ග කිලෝමීටර් 1165ක් වූ කිරිඳි ඔයේ පෝෂක ප්‍රදේශයත්, වර්ග කිලෝමීටර් 1272ක් වූ මැණික් ගඟේ පෝෂක ප්‍රදේශයත් දූෂණය වන ආකාරය එම පර්යේෂණයන්හි පැහැදිලිව දක්වා ඇත. වාරි කර්මාන්තය මූලිකව ක්‍රියාකාරකම් නිසාත් කෘෂි කටයුතු මූලික කරගත් මානව ක්‍රියා නිසාත් මෙම ජල ධාරා තුනේ ජලය දූෂණය වී ඇත. මේ ගංගා තුන එකිනෙකට වෙනස් කෘෂි පාරිසරික කලාපයක් ඔස්සේ ගලාවිත් මුහුදට වැටේ.

බෙන්තොට සිට මීගමුව දක්වා වෙරළ තීරයේ ජලය ආශ්‍රිතව සිදුකළ පර්යේෂණයකින් එම වෙරළ තීරයට ගලාබසින ජලයේ දූෂිත බව හොඳින් පැහැදිලි වී තිබේ. 2011 නොවැම්බර් සිට 2012 අප්‍රේල් දක්වා කර ඇති මෙම පරීක්ෂාවේදී ජලයේ දියවූ ඔක්සිජන් ප්‍රමාණය ජලයේ උෂ්ණත්වය, PH අගය, සන්නයනතාව, බොරවූ ස්වභාවය හා ජලය හා මුසුව ඇති ඝන ද්‍රව්‍ය ප්‍රමාණයත්, ලවණතාවයත් පරීක්ෂාවට ලක්කොට තිබේ. ලැබී ඇති ප්‍රතිඵලවලින් ජලයේ දූෂිත බවත්, සෞඛ්‍යයට ඇති කරන බලපෑම අතිනුත් හිතකර මට්ටමක නොතිබූ බව පැහැදිලිය. අකාබනික කාබනික අපද්‍රව්‍ය වලින් වෙරළේ ජලය ගහණව ඇති බවද පැහැදිලි විය. මේ සියල්ලට හේතු ලෙස එම පර්යේෂණ යේ, ජනගහණය වැඩිවීම, ශීඝ්‍ර නාගරීකරණය, කාර්මික කටයුතු හා කෘෂි කටයුතු වැඩිවීම හේතු වී ඇති බව දක්වා තිබේ.

නාගරීකරණයත්, කර්මාන්ත වර්ධනයත් සංවර්ධනය කරා යන රටක් විසින් නවතාලිය යුතු නොවේ. එහෙත් මේ සියලු දේට අදාළ මානව ක්‍රියාකාරකම්වලදී පරිසරයට සිදුවන බලපෑම අවම කළ හැකිය. කාලයක පටන් පර්යේෂණ ඔස්සේ ජලය දූෂණය ඇතුළු පරිසර හානි පෙන්වා දී තිබුණත් ඒවා වැළැක්වීමට අප පියවර ගෙන ඇත්තේ අඩුවෙනි.

ජපානය ඇතුළු බොහෝ සංවර්ධිත රටවල් ජල දූෂණය ඇතුළු පරිසර හානි අවම කිරීමේ ක්‍රියාවලින් වර්ධනය කිරීමට පියවර ගෙන ඇත. ආයතනික වශයෙන් ජල දූෂණය අවම කිරීමේදී ගන්නා ක්‍රියාමාර්ගයන් හා සමාන්තරව පුද්ගල ශික්ෂණයද වර්ධනය වීම වැදගත් බව ජපානය ඇතුළු සමහර රටවල උදාහරණවලින් පෙනී යයි. සිරීපාදේ සීත ගඟුලේ විසිකර දමා තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් තොගවල ඡායාරූප පසුගිය කාලයේ සමාජ මාධ්‍යවල සංසරණය විය. අප තුළ පරිසර හානි පිළිබඳව ඇති සංවේදීභාවයත්, අප තුළ ඇති ශික්ෂණයත් එයින් පැහැදිලිය.

ජපානයේ පාරවල් අද්දර ඇති කාණු විසිතුරු මත්ස්‍යයන් ඇති කරන තරමට පිරිසිදු බව අන්තර්ජාලයේ ඇති ඡායාරූපවලින් පෙනේ. ශික්ෂණයක් ඇති ජාතියකගෙන් හෝ අප ආදර්ශ ගත යුතුය. අප විසින් සිදුකරනු ලබන ජල දූෂණයට පිළියම් යොදා නොගතහොත් අම්මට සිරි ගජ වෙන්නට වැස්සත් පලක් නැත.

I සමන් පුෂ්ප ලියනගේ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03