2021 මාර්තු 13 වන සෙනසුරාදා

කළු ඉරිදාවෙන් පස්සේ....

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 17

2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට මෙතෙක් සාධාරණයක් ඉටු නොවීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් කොළඹ අගරදගුරු පදවියේ මෙහෙයවීමෙන් පසුගිය 7 වැනි ඉරිදා සියලු කතෝලික දේවස්ථානවල නිහඬ විරෝධතාවක් පැවැත්විණි. සියලු බැතිමතුන් කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයට සහභාගී වූ අතර ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් විනාඩි පහක නිහඬතාවක් පැවැත්විණි. පෙරවරු 8.45ට සියලු දේවස්ථානවල ඝණ්ඨා නාද කෙරුණේ පළමු ප්‍රහාරය සිදු වූ වේලාව සිහිපත් කරමිනි. ඉන් පසුව සාධාරණය ඉල්ලා දෙව් මැඳුරැ ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වනු දැකිය හැකි විය. 

පාස්කු ප්‍රහාර මාලාව පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දුන්නේ පසුගිය පෙබරවාරි මස 1 දිනය. පාස්කු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ බවට එහි සඳහන් වූයේ සහරාන් හෂීම් ප්‍රමුඛ ත්‍රස්තවාදීන් දස දෙනකු නම් කර තිබූ අතර ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බව සඳහන් කරමින් හිටපු ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්, ජාතික බුද්ධි අංශ ප්‍රධානි, රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ සහ හිටපු පොලිස්පති චූදිතයන් ලෙස නම් කර තිබිණි. ඔවුනට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙසට එම වාර්තාවෙන් නිර්දේශ කර තිබිණි. එහෙත් මෙම ප්‍රහාරයට වගකිව යුතු මහමොළකරැවන් පිළිබඳව මෙම වාර්තාව මගින් කිසිවක් ප්‍රකාශ කර නොතිබීම පිළිබඳව කාදිනල් හිමිපාණන්, මහා සංඝරත්නය, දේශපාලන පක්ෂ සහ බුද්ධිමතුන් අතර කුකුසක් හටගෙන තිබිණි. එමෙන්ම මෙම වාර්තාව සම්බන්ධයෙන් යළි විමර්ශනය කිරීමට පත් කරන ලද කමිටුව පිළිබඳවද වාර්තාවෙන් එළිදක්වා ඇති කරැණු සම්බන්ධයෙන්ද තමන් සෑහීමට පත් නොවන බවත් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණෝ ප්‍රකාශ කළහ.

කොමිෂන් සභා වාර්තාවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ කියා සිටියේ කොමිෂන් සභාව පත් කළේ යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවරයා විසින් බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එම කොමිෂන් සභාවේ සිටින සාමාජිකයන් වෙනස් කළ යුතුදැයි කාදිනල් හිමියන්ගෙන් විමසා සිටි බවද. එහෙත් එම කමිටුව වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති යැයි එම අවස්ථාවේ කාදිනල් හිමියන් ප්‍රකාශ කළ බව ද, කාදිනල් හිමියන් නියෝජනය කරමින් නීතිඥයන් කොමිෂන් සභාවේ සිටි බවද ඔවුන්ගෙන් හෝ විරෝධතාවක් පැන නොනැගුණු බවද, මේ වන විට පිරිසුදු වාර්තාවක් ලැබී ඇතැයිද  ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය .

ප්‍රහාරය සිදුවී දෙවසරකට ආසන්න කාලයක් ගත වී තිබුණද කතෝලික ජනතාවට විධිමත් ලෙස යුක්තිය ඉටු වී නොමැති බවට කාදිනල් හිමියන් චෝදනා කරයි. ප්‍රහාරයට ලක් වූ එක් දෙව්මැඳුරක් වූ කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැඳුරට පැමිණි කාදිනල් තුමා  මේ කොමිෂන් සභාව පත් කළේ ප්‍රහාරය පිටුපස සිටි මහමොළකරුවන් කවුරුන්ද යන්න දැන ගැනීම සඳහායි.  මේ දිනවල මම එම වාර්තාව අධ්‍යයනය කරමින් සිටිනවා. මෙම වාර්තාව මගින්  ඉදිරිපත් කර ඇති නිර්දේශ බොහොමයක් ක්‍රියාත්මක කළ හැකියි.. මේ සම්බන්ධයෙන් වරදකරුවන් ලෙස නම් කර ඇති පිරිසට නීතිය ක්‍රියාත්මක කිරීම වැදගත්. එමෙන්ම බෝම්බ තැබූ අය, ඒ සඳහා මුදල් ලබා දුන් අය, ඔවුන් පිසුපස සිටි දේශපාලන බලවේග මොනවාද, ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණද යන කරැණු සම්බන්ධයෙන් අවංක විමර්ශනයක් කිරීම සඳහා මීට වඩා කැපවීමෙන් යුතුව කටයුතු කළ යුතුයි. අප මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කළේ කොමිසම මගින් කර ඇති නිර්දේශ  ඉටු කිරීමට රජය ශක්තිමත්ව  කටයුතු කළ යුතු බව ඒත්තු ගැන්වීමටයි. කතෝලික ජනතාව පැහැදිලිවම රජයටත් අදාළ ආයතනවලටත් පැහැදිලිවම කියා සිටියේ කොමිසමේ සියලු නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසටයි.  දේශපාලන වාසි තකා රජයේ ප්‍රතිපත්තිවලට සහය ලබා ගැනීම සඳහා ඒ ඒ කණ්ඩායම්වල පුද්ගලයන්ව ආරක්ෂා කිරීමට කටයුතු කිරීම කුමන රජයක් කළත් වැරද්දක්. අප්‍රේල් මස 21 පෙර ප්‍රායෝගික ක්‍රියාවලියක් සිදුවන බව අපට දකින්න ලැබිය යුතුයි. ජනාධිපතිවරයා තමන්ට ඉටු කළ හැකි දේ ප්‍රායෝගිකව සිදුකළ යුතුයි. එය ඉටුවන තෙක් අප මේ විරෝධතා ව්‍යාපාරයේ අඛණ්ඩව නිරතවෙනවා.* යනුවෙන් ප්‍රකාශ කළේය. 

ප්‍රහාරයට ලක්වූ කටුවපිටිය සාන්ත සෙබස්තියන් දෙව් මැඳුරේදී කළු ඉරිදා දේව මෙහෙය පැවැත්වූ ඇන්තනි ජයකොඩි හිමිපාණන් කියා සිටියේ දැන් හැමදෙනාම කියන්නේ අනේ අපි නම් නෙමෙයි මේකට වගකියන්න ඕන කියලා. හැමෝම ඇඟ බේරගන්න හදනවා. මෙය යුක්තියයි අයුක්තියයි අතර අරගලයක්. අපගේ මෙම විරෝධතාව පළමු පියවරයි. යනුවෙනි.

කළු ඉරිදා විරෝධතාවට බෞද්ධ හිමිවරුද සහාය පළ කළහ. විවිධ දේවස්ථාන ඉදිරිපිට පැවැති විරෝධතාවට එතුමෝද වැඩම කර සිටියහ. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුර ඉදිරිපිට පැවැති නිහඬ විරෝධතාවට සහභාගී වූ ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ මෙලෙස ප්‍රකාශ කළහ. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූයේ ශ්‍රී ලාංකිකයන්ගේ. හුදු විරෝධයකට නොගොස් ඔවුන් යුක්තිය ඉටුවේ යැයි අපේක්ෂා කළත් මේ වනතෙක් එය ඉටු වී නැහැ. ජාතික භික්ෂු පෙරමුණ හැටියට මේ ජනතාවට යුක්තිය ඉටුවන තෙක් මෙම විරෝධතාවට සහාය දෙනවා.

මෙම වාර්තාවේ විකෘතිය පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිසට සේම බෞද්ධ සමාජයටද විශාල අවාසනාවක් ගෙන දී ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් සියලු නිකායන්ගේ ඒකාබද්ධ ප්‍රකාශයක් රටේ ජනතාව අපේක්ෂා කරන අතර ඒ සඳහා සත්‍යග්‍රහයක් පැවැත්වීමටද තමන් කටයුතු කරන බව උන්වහන්සේ ප්‍රකාශ කර තිබේ. 

කිතුණු ජනතාවට සාධාරණයක් ඉටු නොවීම සම්බන්ධයෙන් විදේශයන්හිද විරෝධතා පැවැත් විණි. වැඩිම කතෝලිකයන් සංඛ්‍යාවක් වාසය කරන ඉතාලියේද කළු ඉරිදා විරෝධතාවක් පැවැත්විණි.  ඉතාලියේ සංක්‍රමණික  ශ්‍රී ලාංකික කතෝලික ජනතාවගේ ආධ්‍යාත්මික නියාමක නෙවිල් ජෝ පෙරේරා පියතුමන් ප්‍රකාශ කළේ ගරැ ශුද්ධෝත්තම පියතුමන් ශ්‍රී ලංකාවේ කතෝලිකයන් මුහුණ දුන් තත්ත්වය පිළිබඳව මනා වැටහීමෙන් පසුවන බවයි. අපේ අපෝස්තලික තානාපතිවරයා මාර්ගයෙන් මේ කළු ඉරිදා ගැන පමණක් නොවෙයි ආණ්ඩුවේ මතයත් මෙයට සම්බන්ධ සියලු දෙනා ගැනත් වතිකානය හොඳින් දන්නවා. අපිට පිළිතුරක් නොලැබුණහොත් අනිවාර්යයෙන්ම අපි ජාත්‍යන්තර මට්ටමින් විසඳා ගැනීමට අපේක්ෂා කරනවා යනුවෙන් සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පසුගිය 9දා නිවේදනයක් නිකුත් කර තිබේ. වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමුඛතාව ලබාදෙන ලෙස රජයට බල කරන බව එහි සඳහන්ය. අවශ්‍ය පියවර ගැනීම සඳහා නීතිපතිවරයාට පූර්ණ බලතල සහ නිදහස ලබාදෙන ලෙසද ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. පාස්කු ඉරැදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසම මගින් ලබාගන්නා ලද සාක්ෂි සටහන් වෙළුම් 87ක ගොනුකර තිබේ. ඉන් වෙළුම් 65ක් මේ වන විට නීතිපතිවරයා වෙත ලබා දී ඇති අතර ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති සංවේදී තොරතුරු ඇතුළත් වෙළුම් 22ක් ඔහු වෙත බාර දී නොමැත. නීතිපතිවරයාට ලබා නොදුන් සංවේදී තොරතුරැ ඇතුළත් වෙළුම් 22 ද ඔහුට කඩිනමින් ලබාදෙන ලෙසද අගරදගුරැ සම්මේලනය මගින් නිකුත් කර ඇති නිවේදනය මගින් ඉල්ලා තිබේ.

තමන් වෙත ලැබී ඇති වෙළුම් සම්බන්ධයෙන් නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ බෝම්බ ප්‍රහාර සිදුවීම් 08 අදාළ පිටු දහස් ගණනකින් සමන්විත විමර්ශන උදෘතයන් සහ පිටු 30,000කට අධික සාක්ෂි සටහන් සහ පාර්ලිමේන්තු කාරක සභාවේ සාක්ෂි සටහන් අධ්‍යයනය කර තවදුරටත් වැඩිදුර විමර්ශනය සිදු කිරීමට ඇති අවශ්‍යතාව සලකා බලා වගිකිව යුතු සැකකරුවන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් මෙය සාමූහික කර්තව්‍යයක් බැවින් ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවන බවත්ය.

පසුගිය ඉරිදා පැවැති කළු ඉරිදා විරෝධතාව ලබන අප්‍රේල් 21 දක්වා විවිධ මුහුණුවරින් ක්‍රියාත්මක කිරීමට කතෝලික සභාව කටයුතු කරමින් සිටී. එහි අරමුණ වන්නේ තමන්ට සාධාරණය ඉටුකරන ලෙසට ඉල්ලා සිටීමය. එම දිනය වනවිට තමන්ට සාධාරණය ඉටුවන බවට සලකුණක් දැකිය නොහැකි වුවහොත් අප්‍රේල් මස 21 දින දිවයින පුරාම කළු කොඩි දමන ලෙසට සියලු කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටීමට නියමිතය.  එතැනින් නොනැවතී කතෝලික සභාවේ විවිධ ජාත්‍යන්තර සංවිධාන වෙත ගොස් කරුණු ඉදිරිපත් කිරීමටද කතෝලික සභාව අදහස් කර සිටී. 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා