2021 මාර්තු 13 වන සෙනසුරාදා

කරළිය කැළඹූ අශෝක අ‌ෙබිසිංහ ප්‍රකාශය...

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 36

පාස්කු ප්‍රහාරය සම්බන්ධව මෙතෙක් දේශපාලනඥයකු සිදුකළ ආන්දෝලනාත්මකම ප්‍රකාශය සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ විසින් පසුගිය දා සිදුකෙරිණි. මේ වනවිටත් ඒ හා සම්බන්ධ විමර්ශන සිදුවෙමින් පවතියි. මෙම ප්‍රකාශ හරහා ඇති වූ දේශපාලන ආන්දෝලනය පිළිබඳ සොයා බැලීමට අපි තීරණය කළෙමු.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මෙම ප්‍රකාශය සිදුකර තිබුණේ සමගි ජනබලවේගයේ අභ්‍යන්තර ජනහමුවක් අමතමිනි. කවුරුන් හෝ දුරකථනයකින් ඔහුගේ කතාව වීඩියෝ ගතකර තිබුණි. සැබවින්ම එම ප්‍රකාශ වීඩියෝ කරනවාද යන්න පිළිබඳ ඔහුට අවබෝධයක් වූයේ දැයි සැකයකි. අපට එසේ සිතෙනුයේ ඔහුගේ වීඩියෝ දෙස බලන විටදීය. මන්දයත් මෙතරම් බරපතළ ප්‍රකාශයක් ඔහු ප්‍රසිද්ධියේ සිදුකළේ ඇයිදැයි බොහෝදෙනකුට පැනයකි.

හෙට අනිද්දා ඕගොල්ලන්ට එළිවෙයි පාස්කු ප්‍රශ්නය කවුද කළේ කියලා. පාස්කු ප්‍රහාර කළේ ගෝඨාභයලා බැසිල්ලා එකතුවෙලා. ඒකට සල්ලි දුන්නේ නිශ්ශංක සේනාධිපති. ඕගොල්ලන්ගේ මේ ගම්වල කැලේ තුවක්කු බඳිනවා නේද? වල් ඌරන්ට එහෙම බඳිනවානේ. ඉතින් ඕගොල්ලෝ බලනවා මොකාද යකෝ මේ වල් ඌරට බැන්දේ... හොයාගන්න බෑ. ඊට පහුවෙනිදා හොයාගන්න පුළුවන්. කොහොමද? වල් ඌරව කරේ තියාගෙන යද්දී. දඩයම කරේ තියාගෙන යද්දී තමයි දන්නේ දඩයක්කාරයා කවුද කියලා. දැන් පාස්කු බෝම්බේ තිබ්බ එකෙන් කාටද වාසි වුණේ. රනිල්ට වාසි වුණාද? මෛත්‍රීපාලට වාසි වුණාද? වාසි වුණේ ගෝඨාභයට. පාස්කු එකෙන් සතියකට පස්සේ තමයි ගෝඨා කිව්වේ ඉල්ලනවා කියලා. මුන් කරපුවා හෙට අනිද්දා එළිවෙනවා.

අශෝක අබේසිංහගේ මෙම ප්‍රකාශ ජනගත වූයේ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය හරහාය. පසුව මෙරට ප්‍රකට රෑපවාහිනි නාළිකා පවා එය උපුටා දක්වමින් වාර්තාකරණයේ නිරත විය. ඒ අනුව අබේසිංහ ප්‍රකාශයට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු කටයුතු කළහ.

ඉරිදා පොහොට්ටුවේ මන්ත්‍රීවරු හය දෙනෙක් රහස් පොලීසියට පැමිණිලි කළහ. ඔවුන් කියා සිටියේ මෙය බරපතළ ප්‍රකාශයක් බවත් මෙහි අන්තර්ගතය අසත්‍යයක් බවත්ය. එසේම මේ සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා තිබුණි. එම පැමිණිලිවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක විය. අදාළ ප්‍රකාශ පිළිබඳ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට මාර්තු 8 වැනිදා අශෝක අබේසිංහ මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ කැඳවනු ලැබුවේය. එහෙත් ඔහු එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට නොපැමිණියේය.

ඒ අනුව තත්ත්වය තවදුරටත් ආන්දෝලනාත්මක විය. ආණ්ඩුවේ මැති ඇමතිවරු මෙම ප්‍රකාශ පිළිබඳ දැඩි විවේචන එල්ල කළහ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ඔහු සතු සාක්ෂි සහ කරුණු නොපමාව පරීක්ෂණ මෙහෙයවන අංශ වෙත භාරදිය යුතු යැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අවධාරණය කර තිබුණි. ඒ තුළින් පරීක්ෂණ කඩිනම් කිරීමට හැකි යැයිද ඔහු කීවේය. කෙසේ නමුත් අශෝක අබේසිංහ ප්‍රකාශය අසත්‍යයක් නම් එයින් අනාවරණය වන්නේ ඔවුන්ගේ දේශපාලනික කුහකත්වය යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

ඒ අනුව දෙවැනි දිනටත් මාර්තු 9 වැනිදා අශෝක අබේසිංහ හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීම් ලැබුණි. එහෙත් එදිනද ඔහු එහි නොපැමිණි අතර නීතීඥයකු පමණක් එවා තිබුණි. මාධ්‍ය එම නීතීඥවරයාගෙන් ප්‍රශ්නය කිරීමට උත්සාහ කළද ඔහු පිළිතුරු නොදී එම ස්ථානයෙන් පිටව ගියේය. කෙසේ නමුත් වාර්තා වූ ආකාරයට අශෝක අබේසිංහ එදින පාර්ලිමේන්තු ගොස් තිබුණි. ඒ අනුව ඔහු හිතාමතාම මෙම කැඳවීම නොතකා හැරිය බවට ආණ්ඩුව පාර්ශ්වයෙන් චෝදනා එල්ල විය.
මේ අතර පොලිස් මාධ්‍ය හමුවේදී මෙම සිදුවීම කතාබහට ලක්විය.  යම් පුද්ගලයකු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහරින්නේ නම් ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කිරීමට හැකියාවක් ඇති බව එහිදී කියැවුණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ සම්බන්ධව මෙසේ අදහස් දක්වා තිබුණි. අපරාධ නඩු විධාන සංග්‍රාමයේ එකසීය නවය, හය වගන්ති අනුව එවැනි නිවේදනයක් සම්බන්ධව ක්‍රියා නොකළහොත් නීතිමය හැකියාවක් තිබෙනවා. ඒ වගේම අදාළ නිශ්චිත කරුණ සම්බන්ධව මෙම ප්‍රකාශ සම්බන්ධවත් ප්‍රකාශයක් ගැනීමට අවශ්‍යයි. ඒ අනුව දෙපාර්තමේන්තුව ඉදිරි පියවර ගැනීමට නියමිතයි.

ආණ්ඩුව පාර්ශ්වයෙන් බොහෝදෙනා අබේසිංහ ප්‍රකාශ ප්‍රසිද්ධියේ විවේචන කිරීමට ඉදිරිපත් වූහ. රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක කියා තිබුණේ මෙය ප්‍රමාද වී කරන පැමිණිල්ලක් බවයි. එසේම දැන් ෂර්ලොක් හෝම්ස්ලා ගොඩක් විපක්ෂයේ සිටින බවද ඔහු කීවේය. ඒ අතර අමාත්‍ය මහින්ද අලුත්ගමගේ කියා සිටියේ මෙය වීඩියෝ කරන බව නොදැන ජනතාව මුළා කිරීමට සිදුකළ ප්‍රකාශයක් බවයි. වීරයෙක් වගෙ කීවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට පැමිණි ප්‍රකාශයක් ලබාදීමට බියවන්නේ ඇයිදැයි ඔහු ප්‍රශ්නය කළේය.

මෙම ප්‍රකාශය විසින් ඇති කළ අන්දෝලනය සමගි ජනබලවේගයට දැනී තිබුණි. විපක්ෂ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු හර්ෂණ රාජකරුණා මහතා මේ පිළිබඳ අදහස් දැක්වූයේය. අශෝක අබේසිංහ මහතා විතරක් නෙවෙයි අපි හැමෝම විශ්වාස කරනවා. මේ ආණ්ඩුව බලයට ගේන්න මූලිකව ගෙන කටයුතු කරපු කණ්ඩායමක් මේ පිටිපස්සේ හිටියා කියලා සැකයක් මේ රටේ ජනතාවට තියෙනවා* කෙසේ නමුත් අශෝක අබේසිංහ වෙනුවෙන් සැලකිය යුතු විපක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් පෙනී සිටියේ නැත. ඊට හේතුව මෙම ප්‍රකාශයේ බරපතළ බව යැයි කියැවුණි.

මෙම ප්‍රකාශයේ අන්දෝලනාත්මක මතුවීමට පූර්වයම ජනපති ගෝඨාභය රාජපක්ෂ කුරුණෑගල, ගිරිබාව ප්‍රදේශයේ සෙනසුරාදා (06) පැවැති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනට එක්වෙමින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි. රජයේම හිටිය අය දැන් ඇවිත් කතාකරන්නේ රජයේ හිටියේ නෑ වගේ. මේ සිද්ධියට අපේ රජය වගකිවයුතුයි කියන අභූත චෝදනාව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ අයට දඬුවම් දෙන එක, අපේ රජයේ සහ අපේ වගකීම. ඒක නිසියාකාරව කරනවා. අපි ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීලා තියෙනවා.” යනුවෙන් ජනාධිපතිවරයා කියා තිබුණි.

අශෝක අබේසිංහ ප්‍රකාශය තවදුරටත් මෙරට දේශපාලන උණුසුම් කරමින් තිබේ. ඉදිරියේ ඒ සම්බන්ධව පැවැත්වෙන පරීක්ෂණ තීරණාත්මක වනු ඇත. ඔහු එම පරීක්ෂණ සඳහා සහාය ලබාදීම පිළිබඳවද ගැටලු පවතී. ඇතැම්විට මේ සම්බන්ධව තදින් නීතිය ක්‍රියාත්මක වීමටද ඉඩ තිබේ. ඒ අනුව එළැඹෙන සතිය අතිශය තීරණාත්මකය.

ඉකුත් බ්‍රහස්පතින්දා (11) පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේම නිල රථයෙන් මන්ත්‍රීවරයා කැඳවාගෙන පැමිණියේය. ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ විපක්ෂනායකවරයා කියා සිටියේ තම මන්ත්‍රීවරු රැක ගැනීම තමාගේ වගකීමක් බවයි. එසේම ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයා දඬුවම් ලබා දිය යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කළේය. මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ තවත් මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වූහ.

 චමිඳු නිසල් ද සිල්වා