2021 මාර්තු 13 වන සෙනසුරාදා

වාහනය ඇතුළෙම පිලිස්සී මියගිය වාහන සේල්කරු

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 28

කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ආසිරි මාවතේ පිහිටි පටු මඟක වැගන් ආර් වර්ගයේ රථයක් ගිනිගෙන විනාශ වී තිබුණේ රියැදුරු අසුනේ සිටි අයකුද ජීවිතක්ෂයට පත් කරමිනි. මියගිය තැනැත්තා කෝටිපති ව්‍යාපාරිකයකුගේ බෑණා වන අතර ඔහුට අයත් වාහන අලෙවිසල් ජාලයක කළමනාකරු වශයෙන් සේවය කළ අයෙකි. කළමනාකරු හුදකලාව සිටියදී රථය ගිනිගෙන ඇතත් ඊට මොහොතකට පෙර ඔහු එතැනට පැමිණ තිබුණේ ආයතනයේ හිතවත් සේවකයකු සමඟ බව කියති. අනපේක්ෂිතව ඇතිවූ ගින්නට මැදිවූ කළමනාකරුට පැන ගැනීමට නොහැකි වූවාද? පිටස්තර අයකු විසින් කළ ගිනිතැබීමක්ද? නැතිනම් හිතාමතා කළ සියදිවි නසා ගැනීමක්ද? යන සැක සංකා රැසක් සමඟ දැන් ඉතිරිව ඇත්තේ අබිරහසකි.

මෝටර් රථය සමග පිළිස්සී මියගොස් ඇත්තේ කළුබෝවිල භාතිය මාවතේ පදිංචිව සිටි මොහොමඩ් ෆසීර් නැමැති අයෙකි. විවාහකයකු වන ඔහු තිස් එක් හැවිරිදි එක්දරු පියෙකු වේ. රථය ගිනිගැනීමේ හෝ පිපිරීමේ මුල් අවස්ථාව සියැසින් දුටුවකු නැති හෙයින් විවිධ පාර්ශ්ව ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකය. වාර්තා වන පරිදි ගිනිගැනීමට මොහොතකට පෙර දක්වා සිදුවීම් පෙළගැසෙන්නේ මෙසේය.

පිළිස්සී මියගිය කළමනාකරු සේවය කළ වාහන අලෙවිසල් ජාලයට අයත් මධ්‍යස්ථාන දෙකක් දෙල්කඳ හා කළුබෝවිල ප්‍රදේශවල පවත්වාගෙන ගොස් ඇත. මොවුන් යටතේ සේවකයන් කිහිපදෙනකු රාජකාරි කරන අතර ඔවුන්ට නවාතැන් පහසුකම් සපයන ස්ථානය ආසිරි මාවතේ පිහිටා තිබිණ. ආයතනයේ සේවයේ නියුතු රියැදුරුවරයෙක් සමඟ මියගිය කළමනාකරු එදින රාත්‍රී ආහාරය ලබාගැනීම සඳහා දෙහිවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකට ගොස් තිබුණි.
ඒ සිදුවීම වාර්තා වූ දින රාත්‍රී 10ත් 10.30ත් අතර වේලාවකය. රාත්‍රී ආහාරය ලබාගත් පසුව මොහොමඩ් ෆසීර් සිය හිතවත් රියැදුරු නවාතැන්පොළ වෙත ඇරලවීම සඳහා ආසිරි මාවතේ පිහිටි නවාතැන අසලට පැමිණ ඇත. එතැනට එන අතරමඟදී ඉන්ධන පිරවුම්හලකට ඇතුළු කළ රථය නවත්වාකෑනයකට පෙට්‍රල් පුරවා රියැදුරු අසුන පසුපස තබා ඇත්තේ වෙනත් යතුරුපැදියකට අවශ්‍ය බැව් කියමිනි. පසුව රථය පැමිණ තිබුණේ ආසිරි මාවත වෙතය. එතැන ව්‍යාපාරයේ නවාතැන්පොළ වශයෙන් මෙන්ම ගබඩා පහසුකම්ද සපයන ස්ථානයකි.

අදාළ පරිශ්‍රයට ටික දුරක් තිබියදී නැවැත්වූ මෝටර් රථයෙන් සේවකයා බැස තිබුණු අතර ඔහු නවාතැන වෙත ගොස් යකඩ ගේට්ටුව විවෘත කර නැවත වසන්නට උත්සාහ ගෙන තිබිණි. එම පුද්ගලයා රථයෙන් බසිනවාත් සමඟ කළමනාකරු ජංගම දුරකතනය අතට ගෙන ඇමතුමක් ලබාගැනීමට සැරසී ඇත. ඒ වනවිටත් මෝටර් රථය පණගැන්වෙමින් තිබුණු බව රථයෙන් බැසගිය අයට මතකය.

එසේ මිනිත්තුවක් දෙකක් ගතවන අතරේ රථයෙන් බැසගිය අය ගේට්ටුව නැවත වසන්නට උත්සාහ කර ඇත. එසැණින් විශාල පිපුරුම් හඬක් පටු මාර්ගයේ මෝටර් රථය නවත්වා තිබූ දෙසින් ඇසී ඇත. යළිත් වරක් ගේට්ටුව විවෘත කර බැලීමේදී වැගන් ආර් වර්ගයේ රථය ගිනි ජාලාවකින් වැසී තිබුණු අයුරු දැක ඇත. මාර්ගය පටුවීමත් ගින්න ව්‍යාප්ත වෙමින් තිබූ නිසාත් රථය අසල කිට්ටුවීමට හෝ අවස්ථාවක් තිබී නැත. ඔහු වහා ක්‍රියාත්මක වී සිදුවීම කොහුවල පොලීසියට දන්වා තිබුණු අතර ව්‍යාපාර ජාලය හිමිකරු වෙතද තොරතුරු පවසා ඇත. මේ අතර ක්‍රියාත්මක වූ පොලිසිය දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට අයත් ගිනි නිවන රථයක් ගෙන්වා ගින්න නිවාදැමීමට පියවර ගෙන තිබුණි. ඒ වනවිට රියැදුරු අසුනේ පිළිස්සී මියගොස් සිටි කළමනාකරු හඳුනාගැනීමට හෝ අවස්ථාවක් තිබී නැත.

පොලිස් විමර්ශන අතරතුර ප්‍රකාශයක් ලබාදුන් මියගිය අයගේ බිරිය කියා තිබුණේ සැමියා අවසන්වරට තමාට ඇමතුමක් ලබාගත් බවය. ඒ අදාළ ස්ථානයේම සිට ආයතනයේ රියැදුරු බැස්සවීමෙන් අනතුරුවය. ඒ මොහොතේදී ඉදිරියේ පැවැත්වීමට නියමිතව තිබූ ඥාතියකුගේ විවාහ උත්සවයකට අවශ්‍ය කටයුත්තක් සම්බන්ධයෙන් කතා කළ බවද කියා ඇත. ගිනිගැනීම සිදුව ඇති ස්ථානයේ වාහනයක දොර දෙක හෝ දෙපසට විවෘත කිරීමට තරම් ඉඩක් නැති බව කියයි. මේ නිසා ගින්න ඇතිවූ මොහොතේ ඔහුට ඉන් පිටවීමට අවස්ථාවක් ලැබී නැති බවට විශ්වාස කෙරේ.

මොහොමඩ් ෆසීර් නැමැති මියගිය කළමනාකරුගේ මුල් පදිංචිය පානදුර ප්‍රදේශයේය. කෝටිපති ව්‍යාපාරිකයාගේ දියණිය හා විවාහ වීමෙන් අනතුරුව ඔහු කළුබෝවිල භාතිය මාවතේ පදිංචියට පැමිණ ඇත. රථය සමඟ ගිනිගැනීමට ලක්ව මියගිය අය සමඟ විරුද්ධවාදීන් නොමැති බවද බිරිය හා ඥාතීන් ප්‍රකාශ කර ඇත. සිරුර හඳුනාගැනීමට නොහැකි වන ලෙස පිළිස්සීම නිසා විකෘති සිරුර සම්බන්ධයෙන් ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදුකර නිශ්චිතවම සිරුර හඳුනාගැනීමට නියමිතය. වැගන් ආර් රථය ආගිය මාර්ගවල සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීම අරඹා තිබෙන අතර විශේෂ විමර්ශන කණ්ඩායම් දෙකක් පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. 

ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරිය පැමිණ අදාළ ස්ථානය නිරීක්ෂණය කර තිබෙන අතර රජයේ රස පරීක්ෂක හා අධිකරණ වෛද්‍ය නිලධාරි පැමිණ ස්ථානය නිරීක්ෂණය කොට ඇත. අනතුරුව මළසිරුර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යනු ලැබීය. අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර මරණයට නිශ්චිත හේතුව හා ගින්න ඇතිවීමට හේතුව ඉදිරියේදී අනාවරණය වනු ඇත.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03