2021 මාර්තු 13 වන සෙනසුරාදා

පාස්කු වාර්තාවේ දෝංකාරය

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 21

පාස්කු ප්‍රහාරයේ පසුකම්පන තත්ත්වයන් හේතුවෙන් ගත වූ දින කිහිපය පුරා ලක් ධරණී තලය ගිගුම් දුන්නේය. පාස්කු ප්‍රහාර හා සම්බන්ධව විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව සමඟ වර්තමාන පසුකම්පන තත්ත්වය නිර්මාණය විය. වාර්තාවේ වගකීම කිසිදු පාර්ශ්වයක් බාර නොගැනීම, වාර්තාවේ ප්‍රහාරයක් පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු නොවීම, වගකීම් පැහැර හැරි නිලධාරීන්ට සහ දේශපාලකයන්ට චෝදනා ගොනුවීම ආදිය හේතු මෙම කම්පනය පසුපස වූයේය. පසුගිය ඉරිදා කළු ඉරිදාව ලෙසද නම් වූයේද මෙහි ප්‍රතිඵලයක් ලෙසිනි.

පසුගිය දින කිහිපය තුළ පාස්කු ප්‍රහාර කම්පනය තවත් වර්ධනය කරන සිදුවීම් රැසක් සිදුවිය. ඒවාද එකිනෙක විමසා බැලීම වටියි. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහගේ කතාවක් වන ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නිශ්ශංක සේනාධිපති සම්බන්ධ බව කළ ප්‍රකාශය එයින් එකක් විය. අනතුරුව ඔහුට විරුද්ධව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළහ. දිනක් දෙකක් කැඳවීම් මග හැරීමෙන් පසු තෙවැනි දිනයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සමඟ මන්ත්‍රී අශෝක අබේසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ බැසිල් රාජපක්ෂ මහතා පාස්කු බෝම්බ ප‍්‍රහාරය සැලසුම් කළ බවට තමන් සතුව කිසිදු සාක්ෂියක් නැතැයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කර ඇති බව මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා ප්‍රහාරයේ වගකීම සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක්ද පාස්කු පසු කම්පනයට හේතු විය. තමාද සිටි රජය බලයේ තිබියදී සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම භාරගැනීමට තමා සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. බූන්දල ප්‍රදේශයේ පැවැති විපක්ෂනායක ජංගම සේවා වැඩසටහනට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේය. එම වගකීමෙන් පළායෑමට සූදානම් නැති බව ඔහු කීවේය. “පාස්කු ප්‍රහාරය සිදු වූ කාල වකවානුව තුළදී අපේ රජය තමයි බලයේ හිටියේ. ඉතින් මේ අවස්ථාවේ එහි වගකීම අපි භාර ගන්නවා. වගකීම්වලින් අපි පැනලා යන්නේ නෑ.”

මේ ප්‍රකාශ හරහා වූ අන්දෝලනය දුරදිග ගියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙනි. පාස්කු ප‍්‍රහාරයේ වගකීම විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා භාර ගන්නවා නම් ඔහුට දඬුවම් දීම සිදුකළ යුතු යැයි ඔහු කියා තිබුණි. විපක්ෂනායක හෝ වෙනත් පුද්ගලයකු තමන් වරදක් කළ බව භාර ගන්නවා නම් අධිකරණයේ විනිසුරුවරයකුට හෝ එම පුද්ගලයා නිවැරදිකරු යැයි ප‍්‍රකාශ කළ නොහැකි බව තමන් දන්නා නීතිය යැයිද රංගේ බණ්ඩාර මහතා පැවසීය.

පාස්කු කොමිෂන් වාර්තාව මගින් බෞද්ධ ජනතාවට, බෞද්ධ සංවිධානවලට සහ මහා සංඝරත්නයට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනා පරාජය කිරීමේ අරමුණින් ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා පිරිසක් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සත්‍යග්‍රහයක් පැවැත්වූහ. එය නම්කර තිබුණේ “යුක්තිය උදෙසා යතිවර පාරමිතාව” නමිනි. අදිසි දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් පාස්කු කොමිෂන් සභා වාර්තාව විකෘති වී ඇති බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි මෙහිදී ප්‍රකාශ කළහ.

“පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ කොමිෂන් සභාව මුලින් හැසිරුණ විදිහත් අවසාන භාගය වෙනකොට එහි ක්‍රියාකාරකම් දැක්කට පස්සේ පුදුමය උපදවන සුළුයි. කවුරු හරි නොහික්මුණු තක්කඩි දේශපාලනඥයකුගේ බළල් අතක් අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙලා මේ වාර්තාව විකෘතියක් බවට පත්කරලා. පණිවිඩකරුවාට වෙඩි තැබීමක් කරලා තියෙන්නේ. මේ බලහත්කාරය හමුවේ දණින් වැටෙන්න සූදානමකුත් නෑ.”

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාවේ මුස්ලිම් අන්තවාදයේ පදනම පිළිබඳ ඉතා හොඳ විවරණයක් කර තිබෙන බවත් එය ඇතැම් පිරිස් විවේචනය කරනු ලබන්නේ නිසිලෙස අධ්‍යයනයක් කිරීමෙන් තොරව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසා තිබුණි.

කෙසේ නමුත් ගෙවුණු සතියේ මෙම පාස්කු විමර්ශන පිළිබඳ වඩාත් වැඩි වශයෙන් කතාබහට ලක්වූයේ පාර්ලිමේන්තුවේදීය. පාස්කු වාර්තාව පිළිබඳ විවාද මාර්තු 10 වැනිදා පැවතියේය. ආණ්ඩුව පාර්ශ්වයෙන් මෙතෙක් මෙම ප්‍රහාර සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කළේය. පාස්කු ප්‍රහාරයට සෘජු හා වක්‍රව සම්බන්ධ වූ සියලුදෙනාට එරෙහිව උපරිම දඬුවම් පමුණවන බවත් ප්‍රහාරයට නැඹුරු වූ ආකාරය, ප්‍රහාරය මෙහෙය වූ අයුරු, අරමුණ, මුදල් ලැබුණු ආකාරය සහ ප්‍රහාරය සම්බන්ධ දේශීය විදේශීය සම්බන්ධතා සියල්ල හඳුනාගෙන ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කළේය. ඔහුගේ විශේෂ ප්‍රකාශ හරහා අනාවරණය වූ කරුණු රැසකි.

676 දෙනකු මෙරටදී අත්අඩංගුවට ගෙන ඇත.  එයින් 200 දෙනකු බන්ධනාගාර ගතකර සිටිති. 66 දෙනකු රඳවා තබාගෙන විමර්ශන කටයුතු සිදුවේ. මේ අතරින් 408 දෙනෙකු ඇප පිට නිදහස් වී තිබේ. එහෙත් ඔවුන් සම්බන්ධයෙන්ද ආරක්ෂ අංශ නිරන්තර පරීක්ෂාවෙන් සිටිති. මීට අමතරව රටවල් 05ක් සමග එක්වී ප්‍රහාරය සම්බන්ධ පුද්ගලයන් 54 අත්අඩංගුවට ගෙන ඒ අතුරින් 50 දෙනෙකු මෙරටට ගෙන්වා ගෙන තිබේ. මෙරට ක්‍රියාත්මක වන අන්තවාදී කණ්ඩායම් 11ක් හඳුනාගෙන ඇති අතර ඒවා ඉදිරියේදී තහනම් සංවිධානය ලෙස නම් කරනු ඇත. එසේම පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් නම් කටාර් රාජ්‍යයේ දැනට අත්අඩංගුවේ සිටින පුද්ගලයෙක් බව මෙහි හෙළිවිය. 2016 සිට ඔහු සහරාන් සමඟ සමීපව කටයුතු කර ඇති බවත් ISIS ත්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධීකරණය කර ඇති බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.

මීට අමතරව පසුගිය රජය තුළ වූ සහ දුර්වලතා ජාතික ආරක්ෂාව පිළිබඳව ඇති ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොවීම වැනි හේතු නිසා ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ අවස්ථා 09ක් මගහැරී ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි. බුද්ධි අංශ අකර්මණ්‍ය කර හමුදාවේ චිත්ත ධෛර්ය අකර්මණ්‍ය කිරීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය කිරීම, ජාතික ආරක්ෂාව බිංදුවට හෙළීම නිසා ඉතා පහසුවෙන් ඝාතකයන්ට මෙම ප්‍රහාරය කිරීමට හැකි වී තිබේ. එසේම මද්‍රසා පාසල් නියාමන, බුර්කාව තහනම් කිරීම, මුස්ලිම් විවාහ නීති සංශෝධනය කිරීම වැනි ක්‍රියාමාර්ගද ඉදිරියේදී ගැනීමට නියමිත බව සරත් වීරසේකර මහතා කියා සිටියි.

මීට අමතර පාස්කු ප්‍රහාර සම්බන්ධව තවත් බොහෝ දේ සිදුවිණි. පාස්කු වාර්තා පිළිබඳ ජනාධිපති සහ කාදිනල්තුමන් අතර පැවත්වීමට ගිය සාකච්ඡාවක්ද අවසන් මොහොතේ අවලංගු විය. පාස්කු වාර්තා සම්බන්ධව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවද සිකුරාදා රැස්විය. නීතිපතිවරයා මෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂයද වාර්තාවේ ඉතුරැ වෙළුම් ඉල්ලා සිටියේය. කෙසේ නමුත් පාස්කු වාර්තාව තවදුරටත් දේශපාලන සංදර්ශනයේ ප්‍රමුඛ අංගය විය.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03