මේ රට තුළ දැන් කොරෝනා ආසාදිතයන් අඩුවී ඇතැයි යන කතාවකට පසුගියදා පණ ලැබී ආවේය. මේ සමඟ ඒ ගැන විවේචනාත්මකව සෙවූ බැලූ පිරිස කීවේ එසේ අඩුවක් වී ඇති බව සත්‍ය නමුත් එසේ සිදුව ඇත්තේ මනා රෝග පාලනයක් නිසා නොවන බවය. ඔවුන්ට අනුව මේ සංඛ්‍යාලේඛන උස් පහත් වීමට හේතුව දෛනික PCR ප්‍රමාණය අඩු කර තිබීමය. මේ නිසා එය කොවිඩ් පාලනය සම්බන්ධ ව්‍යාජ ප්‍රතිරූපයකි.
පී.සී.ආර්. ගැන කියැවෙන විටම සිහියට එන වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහට අනුව නම් පී.සී.ආර්. සිදුකිරීමට බාධාවක් මෙතෙක් පැමිණ නැත. ලැබෙන සාම්පල සියල්ලම දිනපතා පරීක්ෂාවට ලක් කෙරේ. මේ සඳහා ආයතන 36ක දායකත්වය දැන් රට තුළ විවෘතය. මේ නිසා දෛනික පී.සී.ආර්. ප්‍රමාණය පිළිබඳ ගැටලුවක් මතුවීමට ඉඩක් ඇත්තේ නැත. සමහරුන් කියන්නාක් සේ හිතූ හිතූ තැන්වල හිටි අඩියේ පී.සී.ආර්. කිරීම විද්‍යාත්මක ක්‍රමවේදයක් නෙවන බව ඔහු පෙන්වා දෙයි. දිනකට කළ යුතු පී.සී.ආර්. ප්‍රමාණය මේ තරම් යැයි කලින් තීන්දු කළ නොහැකි අතර ලැබෙන සාම්පල සියල්ල වහාම පරීක්ෂාව සිදු කෙරේ. මේ නිසාම පී.සී.ආර්. ක්‍රමවේදය සංයමයකින් සහ පාලනයකින් යුතුව පවත්වාගෙන යා යුතු ක්රමවේදයකි. ඒ නිසාම තොග ගණනින් පී.සී.ආර්. කරන්නට යැයි කියන අයගේ ඉල්ලීම සාර්ථක ප්‍රායෝගික අදහස් දැක්වීමක් නොවේ. සමහර සාම්පලවලට ලබාදිය යුතු ප්‍රමුඛතා ඇති හෙයින් සමස්තයේ ප්‍රතිඵල ලැබීමේ සුනංගුවක් සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් බව ඔහු පෙන්වා දෙයි.
කොරෝනා ආසාදිතයන් අඩු ප්‍රමාණයක් මාර්තු මුල සිට වාර්තා වූයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය වීමක් නිසා නොවන බව කියන එක් පාර්ශ්වයක් නම් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයයි. ඔවුන් රටට කීවේ පසුගිය ආසන්න දිනවල සිදු කරන ලද PCR පරීක්ෂණ සංඛ්‍යාව විශාල වශයෙන් අඩුවීම නිසා මෙසේ ආසාදිතයන් අඩු සංඛ්‍යාවක් ද පෙන්නුම් කළ බවකි. ඇතැම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල දිනපතා කොරෝනා එන්නත්කරණ කටයුතු සිදු කරන නිසා PCR පරීක්ෂණය නවතා දමා තිබීමද මෙයට බලපෑ හේතුවක් බව මේ අය පෙන්වා දෙයි.
එසේම සිදු කරන ලද පරීක්ෂණවලද ප්‍රතිඵල ලැබීමේ ප්‍රමාදයක් ඇත. ඇතැම්විට එදිනෙදා ප්‍රතිඵල ලැබෙන්නේ නැති අතර ආසන්න වශයෙන් දින 03 සිට 10 දක්වා කාලයක් තුළ සිදු කරන ලද පැරණි පරීක්ෂණ ප්‍රතිඵල මේ වන විට ලැබීමද සිදුවෙයි. මේ නිසාම පී.සී.ආර්. ප්‍රතිඵල මත කොවිඩ් රෝගයේ ව්‍යාප්තිය පිළිබඳව තීන්දු තීරණ ගැනීම අනතුරුදායක තත්ත්වයක් බව ඔවුහු පෙන්වා දෙති.
ලංකාවේ කොවිඩ් රෝගයේ පැතිරීම හා පාලනය ගැන සැබෑ ප්‍රතිරූපය දකිනු රිසි අයකුට ඒ සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්ත විමසා බැලීමට හැකිය.
එම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ දත්ත අනුව මේ වන විට ලංකාව තුළින් දිනකට වාර්තා වන ආසාදිතයන් ගණන 250ත් 300ත් අතරය. උදාහරණයක් ලෙස පසුගිය බ්‍රහස්පතින්දා 292ක් වූ අගය සිකුරාදා 304ක්ව තිබුණි. අමෙරිකාවේ මේ අගය දිනකට 11748ක් පමණ වූ ඉහළම අගයකි. අසල්වැසි ඉන්දියාවේ එය 21566ක් තරම් භයානක තත්ත්වයක පවතී. දෛනික මරණ වාර්තා වීම ලංකාව තුළ තවමත් 5කට සීමා වී තිබේ. ඉන්දියාවේ එය112කි. සාපේක්ෂව අමෙරිකාවේ මේ අගය 338කි. මෙ අන්දමට මරණ අනුපාතය අතින් ලංකාව සියයට දශම 6ක් තරම් අවම අගයක් තවමත් රැකගෙන සිටී. එසේම බොහෝවිට කතාබහට ලක්නොවන සුවවීමේ අනුපාතය අනුවද ලංකාව සියයට 96.4ක අගයක් පෙන්නුම් කරමින් ලෝකයේම දෙවැනි තැනට ළංව තිබේ. මේ තරම් පහසුකම් ඇති අමෙරිකාවේ ඒ අගය සියයට 69.18කි.
පසුගිය පෙබරවාරි අග පමණ වන තුරුම 460 හෝ ඉහළ අගයක් සහිතව දෛනික ආසාදිතයන් වාර්තා වුවද පෙබරවාරි අග සහ මාර්තු මුල වන විට මේ අගය 350 පමණ අගයකට සීමා වී ඇති බව සංඛ්‍යාලේඛන සනාථ කරයි. මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට කොවිඩ් පැතිරයාමේ අඩුවීමක් ඇති බව බැලූ බැල්මට පෙනී යයි.
පී.සී.ආර්. සම්බන්ධ වාර්තා අනුව පෙබරවාරි මුල සතිය වන විට පී.සී.ආර්. 15000ත් 20000ත් අතර මට්ටමකට සිදුවූ බව තහවුරු වෙයි. නමුත් මාර්තු ආරම්භය වන විට දෛනික පී.සී.ආර්. ප්‍රමාණය 10000ත් 15000ත් අතර මට්ටමකට පත්ව ඇති බව වාර්තා පෙන්වා දෙයි. නිදසුනක් ලෙස පෙබරවාරි 10දා පී.සී.ආර්. 19687ක් සිදුකර තිබූ බව සංඛ්‍යාලේඛන තහවුරු කරයි. එයට සාපේක්ෂව දැන් මාර්තු 10දා සිදු කර ඇති පී.සී.ආර්. ගණන 12557කි. මේ සැලකිය යුතු අඩුවීමකි.
මේ අන්දමට සෞඛ්‍ය අංශ සංඛ්‍යාලේඛන අනුවම දෛනික පී.සී.ආර්. දත්ත ප්‍රමාණයේ අඩුවීමක් දක්නට හැකිය. ඒ හා සමගාමීව ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබීමද ස්වභාවිකය. නමුත් මේ නිසාම ලංකාව තුළ කොවිඩ් පැතිරයාමේ අඩුවීමක් හෝ පාලනයක් සිදුව ඇතිය යන ස්ථිරසාර තීන්දුවකට එළැඹීමට එයින් හැකියාවක් ලැබෙන්නේ නැත.
සුගත් පී. කුලතුංගආරච්චි