මේ ඉන්දියාවේ තමිල්නාඩුවේ සිදුවෙන කතාවක්. මේ කතාවේ කතා නායකයා රැවුල ලස්සනට වවාගෙන හිසේ තලප්පාවක් බැඳගත් තරුණයෙක්. එයා මේ ප‍්‍රදේශයේ ජනප‍්‍රිය තරුණ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක්. ඔහු ආදරය කරන්නෙ ලෙදර් බෝලයට. එයා තවමත් ඉගෙනුම ලබන කෙනෙක්. තමන්ගේ කණ්ඩායමේ මිතුරන් වෙනුවෙන් ඔහු පෙනී ඉන්නවා. ඒ වගේම ඔහු තමන්ගේ හතුරන්ට පහර දෙන්නේ ක‍්‍රිකට් පිටියේ පන්දුවට පහර දෙනවා වගෙයි. කණ්ඩායමේ ඉන්න ජනප‍්‍රියම ඔහු. ඔන්න දවසක් ධාවන ශූරියක් වන හැඩකාර තරුණියක් මෙන්න මේ අපේ කතා නායකයාට දකින්න ලැබෙනවා. මුලින් මිත‍්‍රත්වයක් ඇතිවුණත් ටික දවසක් ගත වෙද්දී ඒක ඊට එහා ගිය දෙයක් වෙනවා.
කතාව කියවද්දී කියවන්න හිතුවනම් කියවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද තව ටික දවසකින් මේ කතාව සම්පූර්ණයෙන්ම අපිට හැමෝටම සිනමාපටයක් විදියට රහ බලන්න ලැබෙනවා. හින්දී, දමිළ. කන්නඩා සහ තෙළිඟු භාෂාවලින් මේ සිනමාපටය තව නොබෝ දිනකින් තිරගත කරන්න මේ සිනමාපටය නිෂ්පාදන කණ්ඩායම සූදානම් වෙලා ඉන්නවා. මොකද ෆ්‍රෙන්ඩ්ෂිප් කියන මේ දමිළ සිනමාපටය තිරගත වෙන්න තිබුණේ 2020 මාර්තු මාසයේදී. ඒත් කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මේ සිනමාපටයේ රෑගත කිරීම් අවසන් කරන්න සිනමාපටයේ නිෂ්පාදක කණ්ඩායමට නොහැකි වුණා. ජෝන් පෝල් රාජ් සහ ශාම් සූර්යා විසින් අධ්‍යක්ෂණය කරන මේ සිනමාපටයේ ඔබ අපි ආදරය කරන තරුවක් ඉන්නවා. ඒත් ඔහු සිනමා තාරකාවක් නම් නෙවෙයි. මෙන්න මේ කියන්න යන කෙනා තමයි %ෆ්‍රෙන්ඩ්ෂිප්^ කියන මේ සිනමාපටයේ ප‍්‍රධාන චරිතයට පණ පොවන්නේ.
1980 ජූලි 3 වැනිදා පන්ජාබයේ ජලන්ද්පූර්වල ඉපදෙන මේ කියන පුද්ගලයා ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමට එක්වෙලා දකුණත් පිතිකරුවෙක් විදියට සහ දකුණතින් දඟ පන්දු යවන ක‍්‍රීඩකයෙක් විදියට අපි හැමෝටම පේන්න තමන්ගේ දක්ෂතා පෙන්නුව අපේ රටටත් ආව ගිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක්. ඔහු 2015 අගෝස්තු 12 වැනිදා අපේ රටට එරෙහිව ඔහුගේ අවසාන ටෙස්ට් මැච් එක ක‍්‍රීඩා කරනවා. ඒත් ඔහුව අපිට ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලියේදී දකින්න ලැබෙනවා මෙන්න මේ කියන කණ්ඩායම් වලින්. 2008-2017 මුම්බායි ඉන්ඩියන්ස්, 2018-2019 වෙනකම් චෙන්නයි සුපර් කිංග්ස්. මෙන්න මේ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට සම්බන්ධව හිටිය නිසා ඔහුට දකුණු ඉන්දියාවේ තමන්ට ආදරය කරන බොහෝ පිරිසක් ඇතිකරගන්න ඉඩ ප‍්‍රස්ථාව හමුවෙනවා. සික් ජාතික පවුලක ඉපදුණු අද අපේ කතා නායකයා බොල් බෙයාරින් සහ වැලුව් ෆැක්ටරියක හිමිකරුවෙක් වුණු සර්දාර් සර්දේව් සිං ප්ලාහාගේ එකම පුත‍්‍රයා. සහෝදරියන් පස් දෙනෙක් සමඟ හැදී වැඩුණු ඔහු පවුලේ ව්‍යාපාරයේ නිරත වෙන්න හැදුවත් පියාගේ බල කිරීමෙන් ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට එකතු වෙනවා. 2000 වසරෙදී ඔහුගේ පියා තම දිවි මඟ අවසන් කරන අතර අපේ කතා නායකයාට පවුලේ වගකීම් බාරගන්න වෙනවා. තම සහෝදරියන්ගේ විවාහ කටයුතු සිදු කර දුන්නත් 2008 වෙනකම් විවාහය ප‍්‍රතික්ෂේප කරනවා.
ටර්බනේටර් කිව්වම සමහරවිට ඔබ මේ කියන කතාවේ නායකයා ගැන නොදැන ඉන්න විදියක් නැහැ. ඔහු ක‍්‍රිකට් ක‍්‍රීඩා කරද්දී තමන් සික් ජාතිකයෙක් කියන අනන්‍යතාව දැනෙන්න සැමවිටම හිසට තලප්පාවකින් සැරසී සිටියා. ටර්බනේටර් දීර්ඝකාලීන ප්‍රේම සම්බන්ධයකින් පසුව තම පෙම්වතිය ගීතා බාස්රා එක්ක 2015 ඔක්තෝබර් 29 වැනිදා ජලන්දර් හිදී විවාහ වුණු අතර 2016 ජූලි 27 වැනිදා හැම්ප්ෂයර් හි පෝර්ට්මවුත්වලදී ඔවුන්ගේ දියණිය හිනායා හීර් ප්ලාහා උපත ලබා තියෙනවා. %ටර්බනේටර්^ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අද අපේ කතාවේ නායකයා වෙන කිසිවෙක් නෙවෙයි හර්බජාන් සිං. 2009 වසරේදී හර්බජාන් සිං ඉන්දීය රජයේ පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවා.
හර්බජාන් දඟ පන්දු යවන්නෙක් විදියට දෙවැනි වන්නේ අපේ රටේ අපේ මනුස්සයා මුත්තයියා මුරලිදරන්ට විතරයි. හර්බජාන්ගේ ක‍්‍රිකට් පොත්වල වාර්තා මෙම ලිපියට ඇතුළත් නොකරන්නේ ඒ ගැන හැමෝම වගේ දන්න නිසයි. මෙන්න මේ ක‍්‍රිකට් තාරකාව හර්බජාන් සිං තමයි %ෆ්‍රෙන්ඩ්ෂිප්^ කියන දමිළ සිනමාපටයේ ප‍්‍රධාන නළුවාගේ භූමිකාවට පණ පොවන්නේ.
දැන් කියන්න හදන්නේ හර්බජාන් එක්ක මේ සිනමාපටයේ රංගනයෙන් දායකවෙලා ඉන්න ඒ සුරෑපී හැඩකාරිය ගැනයි. අපේ රටට ඇය ලොකු ආඩම්බරයක් කියන එක මුලින්ම සඳහන් කළ යුතුමයි. ඇයි දන්නවද එහෙම කියන්නේ? ඇය අපේ කෙනෙක්. අපේ රටේ කෙනෙක්. ඒ හැඩකාරිය අපේ කෙනෙක් කියලා මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ටම ආඩම්බරයෙන් කියන්න පුළුවන්. හින්දී සිනමාව නියෝජනය කරන ජැකලින් ෆර්ඩිනෑන්ඩ්ස්ගෙන් පස්සේ ඔන්න අපේ කෙනෙක් ආපහු දමිළ සිනමාවත් නියෝජනය කරනවා.
1995 මාර්තු 24 වැනිදා ශ්‍රී ලංකාවේ කිළිනොච්චියේ ඉපදුණු ඇය අඩි පහයි අඟල් 4ක් උසයි. කිලෝග‍්‍රෑම් 59ක් බර ඇයගේ හිස කෙස් වර්ණය කළු වන අතර ඇයගේ දෑස් අපේ රටේ බොහෝ දෙනකුගේ වගේ දුඹුරු පැහැය ගන්නවා. ඇය ජීවත් වෙන්නේ ත‍්‍රිකුණාමලයේ සහ කොළඹ කියන නගරවල. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය හදාරා තියෙන ඇය සංගීතයට සහ නර්තනයට බෙහෙවින් ප‍්‍රිය කරනවා. උපාධියෙන් අනතුරුව අයි.ටී. කම්පනි එකක රුකියාවට යන ඇය ටික කාලයක් යද්දී, ඒ කියන්නේ 2012 වසරේදී ශක්ති ටී.වී. කියන රෑපවාහිනි නාලිකාවේ ප‍්‍රවෘත්ති නිවේදිකාවක් විදියට සේවය කරන්න පටන් ගන්නවා. ඉන් අනතුරුව 2016 දී ශක්ති ටී.වී. හි 2016 දී උදෑසන වැඩසටහන ගුඩ් මෝර්නින් ශ්‍රී ලංකා වැඩසටහනේ නිවේදිකාවක් විදියට කටයුතු කරනවා. ඇයගේ දෙමාපියන් යාපනය නගරයේ අය වන අතර ඇයට සහෝදර සහෝදරියන් තුන් දෙනෙක් ඉන්නවා. ඇයගේ වැඩිමහල් සහෝදරිය මේ වන විට ජීවතුන් අතර නැති අතර මේ කියන හැඩකාරිය ලොස්ලියා කිව්වම ඉන්දියාවේ බිග් බොස් තමිල් 3 නරඹන ප්‍රේක්ෂකයන් නොදන්න කෙනෙක් නැති තරම්.
ජනප්‍රිය නළුවෙක් වන කමල් හසන් විසින් ලොස්ලියාව ඒ වැඩසටහනේදී පිළිගෙන තියෙනවා. ලොස්ලියාගේ පියාගේ නම මෙරියන්සන් වන අතර සමීක්ෂා සර්ව් සහ තාන්වී සර්ව් කියන්නේ ඇයගේ නැගණියන් දෙදෙනාගේ නම්. අවිවාහක හැඩකාරියක් වන ලොස්ලියා නිරූපණ ශිල්පිනියක්ද වෙනවා. හර්බජාන් එක්ක ෆේ‍්‍රන්ඩ්ෂිප් කියන සිනමාපටයේ ප‍්‍රධාන චරිතයට පණ පොවන ලෙස්ලියා ඔබත් රූපවාහිනි තිරයෙන් නොදැක ඉන්න විදියක් නම් නැහැ.
හර්බජාන් සිං, ලොස්ලියා එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් කියන දමිළ සිනමාපටයේ ජනප‍්‍රිය නළු නිළියන් වන අර්ජුන්, සතිෂ්, එම්.එස්. බාස්කර්, ජේ. සතිෂ් කුමාර්, වෙන්කට් සුභා, වෙට්ටුක්කිලි බාලා චරිතයන්ට පණ පොවනවා.
පසුගියදා %ෆ්‍රෙන්ඩ්ෂිප්^ සිනමාපටයේ පෝස්ටරය මාධ්‍යවලට නිකුත් කළ අතර හර්බජාන් සිං එය තමන්ගේ ට්විටර් ගිණුමේ සටහනක් සහිතව ෂෙයාර් කොට තිබුණා. එයට හර්බජාන් සිංට ආදරය කරන දමිළ ජාතික රසික රසිකාවියන් බොහෝ පිරිසක් කමෙන්ට් කර තිබුණු අතර මේ වන විට එය වෛරසයක් මෙන් සමාජ මාධ්‍යයන්හි හුවමාරු වෙනවා.
සාන්ත කුමාර් සී විසින් කැමරාකරණය සිදු කර තියෙන අතර ඩී.එම්. උදය කුමාර් විසින් සංගීතවත් කරලා තියෙනවා. මේ සිනමාපටයේ නර්තන ශිල්පිනිය විදියට කටයුතු කරන්නේ ශාම් සූර්යා.
ෆ්‍රෙන්ඩ්ෂිප් සිනමාපටය හර්බජාන් සිං ගේ පළමු සිනමාපටය වුවද ඔහු දික්කිලෝනා කියන කියන සිනමාපටයේද චරිතයකට පණ පොවන්න සූදානම්ව සිටිනවා. හර්බජාන් සිංට අමතරව තවත් ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් වන ඉර්ෆාන් පතන් ද, අජය ඥනමුත්තුගේ කෝබ‍්‍රා කියන දමිළ සිනමාපටයේ ජනප‍්‍රිය නළුවන් වන වික‍්‍රම් එක්ක රංගනයෙන් දායක වෙනවා.
චන්දන වරාවිටගේ