2021 මාර්තු 13 වන සෙනසුරාදා

බුබුළු දමන ගෑස් මිල

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 127

යළිත් වරක් ගෑස් මිල වැඩි කිරීමක් පිළිබඳ කතාබහක් ඇතිවී තිබේ. දැනටමත් කිලෝග්‍රෑම් 36 බරුති ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1000කින් පමණ වැඩි කර ඇති අතර කිලෝ 12.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 750 පමණ ඉහළ නැංවීමට යන බවට රාවයක් පවතී. දැනට කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරය අලෙවි කරනු ලබන්නේ රුපියල් 1483ක මිලකටය. මේ අනුව තවත් රුපියල් 750කින් මිල වැඩි වුවහොත් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2500කට ආසන්න වෙයි.

කෙසේ නමුදු ගෑස් මිල වැඩි කිරීම පිළිබඳ ඉදිරියේදී තීරණය කරන බව සමූපකාර, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පසුගියදා පැවසීය. ඔහු පැවසුවේ ගෑස් මිල වැඩි කරනවාද නැද්ද යන්න ගැන තීරණය කරනුයේ පාරිභෝගික සේවා අධිකාරිය ඒ පිළිබඳ සකස් කළ වාර්තා කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවය. මේ දිනවල ඒ පිළිබඳ සාකච්ඡා කරමින් පවතින බව හෙතෙම ප්‍රකාශ කළේය.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ ගෑස් මිල ඉහළ නැංවීමට සමාගම් ඉල්ලා ඇති අතර, අමාත්‍ය මණ්ඩලයේ ඒ පිළිබඳ සාකච්ඡා කළද අවසාන තීන්දුවක් ගෙන නොමැති බවය. එසේම පසුගිය සතියේ සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිලද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ ගෑස් මිල ඉහළ දැමීමට මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවකි. මේ වන විට ප්‍රධාන පෙළේ ඇමැතිවරුන් තිදෙනකු ගෑස් මිල පිළිබඳ ප්‍රකාශ කර තිබීම හේතුවෙන් නුදුරු අනාගතයේදී යම් පමණකට හෝ ගෑස් මිල ඉහළ යනු ඇතැයි සිතාගැනීමට පාරිභෝගිකයාට හැකිව තිබේ.මේ වන විට මෙරට වෙළෙඳපොළේ ලාෆ් ගෑස්වල හිඟයක් ඇතිව තිබේ. තවදුරටත් මෙම තත්ත්වය තිබුණහොත් ලාෆ් ගෑස් නැත්තට නැතිව යන අතර ලිට්රෝ ගෑස්වලද හිඟයක් ඇතිවනු ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග අනුව සනාථ වෙයි.

ගෑස්වල මිල, (ගෘහස්ත ගෑස්) අවම වශයෙන් සිලින්ඩරයක මිල රුපියල් 500කින් හෝ වැඩි නොකළහොත් තම සමාගම් කඩා වැඩෙන්නට ඉඩ තිබෙන බව ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල කිහිප වරක් වැඩි වී ඇති නමුත් තම සමාගමට මිල ඉහළ නැංවීමට රජය අවසර දී නැති බව ලාෆ් සමාගමේ සභාපති කේ.එච්. වෑගපිටිය පවසයි. එසේම රුපියල් පසුගිය සමයේ විශාල ලෙස අවප්‍රමාණ වීමද ගෑස්වල ආනයන වියදම් ඉහළ යාමට හේතු වී තිබේ. තමන් දැනට ගෑස් අලෙවිය කරගෙන යන්නේ පාඩුවට බව පවසන ඔහු අවම වශයෙන් කිලෝ 12.5ක සිලින්ඩරයක් රුපියල් 500කටවත් මිල ඉහළ දැමීමට ඉඩ නොදුන්නහොත් තමන් විශාල අසාධාරණයකට ලක්වන බව ප්‍රකාශ කරයි. පාඩුවක් නොලබා අලෙවි කිරීමට නම් දැනට රුපියල් 1483කට අලෙවි කරන ගෘහස්ත සිලින්ඩරයක මිල රුපියල් 1900 දක්වා හෝ වැඩි කළ යුතු වේ. නැතිනම් තවදුරටත් මෙම ව්‍යාපාරයේ යෙදීමට අපහසු බව ඔහු අවධාරණය කරයි.

ලාෆ් සහ රජයට අනුබද්ධ ලිට්රෝ ගෑස් සමාගමද මෙහිදී දක්වනුයේ සමාන අදහස්ය. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල දිගින් දිගටම ඉහළ යාම හමුවේ තම සමාගම් විශාල අර්බුදයකට මුහුණපා ඇති බව ඔවුහු කියති.

කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක වර්තමාන මිල රුපියල් 1493ක් වේ. 2019 දී ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1733කට ඉහළ නංවා තිබුණද එය පසුව දැන් පවතින මිලට අඩුකර ඇත. සමාගම් කියන්නේ මේ වන විට ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල අමෙරිකානු ඩොලර් 604ක් බවයි. වසරකට පෙර පැවැතියේ රුපියල් 500 ආසන්නයේය. ඒ නිසා තවදුරටත් ගෑස් අලෙවි කළ නොහැකි බව ඔවුහු පෙන්වා දෙති.

මාස 03ක පාඩුව බිලියනයක්

ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.එච්.කේ. වෑගපිටිය:-

&ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල දිගින් දිගටම ඉහළ යනවා. ඒ හා සමානව නැව් ගාස්තුද ඉහළ ගිහින්. රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණ වීමද ගැනුම් මිල වැඩිවීමට හේතුවක්. විකිණුම් මිල වැඩි නොවීම නිසා අපට විශාල අලාභයකට මුහුණදීමට සිදුව තිබෙනවා. පසුගිය මාස 3 තුළ අපේ ආයතනයට සිදුවූ පාඩුව රුපියල් බිලියනයකට අධිකයි. මේ පාඩුව දිගටම ගෙන යන්න බැහැ. දැන් ගෘහස්ත සිලින්ඩරයක විකිණුම් මිල විය යුත්තේ රුපියල් 2148ක්. දැන් අපි අලෙවි කරන්නේ රුපියල් 770ක පාඩුවකටයි. ඔහු වැඩිදුරටත් පවසයි.

සාධාරණ මිල වැඩිවීමක් ඕනෑ

ලිට්රෝ ගෑස් සමාගමේ අලෙවි සහ වාණිජ අධ්‍යක්ෂ ජනක පතිරත්න:-

ගෑස් මිල ඉහළ යාම අපට විශාල ලෙස බලපානවා. පසුගිය මාස තුන තුළ ලෝක වෙළෙඳපොළේ මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 400 සිට 600 දක්වා වැඩි වුණා. එසේම නැව් ගාස්තුද ඉහළ ගියා. ඒ නිසා සාධාරණ මිල වැඩි කිරීමක් බලාපොරොත්තු වෙනවා. පාරිභෝගිකයා ගැන සලකනවා සේම මෙම ආයතනය නොබිඳී පවත්වාගෙන යා යුතු වෙනවා.

ගෑස් මිල වැඩිකිරීමේ ක්‍රමවේදයට අනුව නිෂ්පාදකයන් මිල වැඩි කිරීමක් අනුමත කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියෙන් ලිඛිත ඉල්ලීමක් කළ යුතු වෙයි. එසේ ඉල්ලූ විට එහි සාධාරණත්වයක් තිබෙන බව බැලූ බැල්මට පෙනෙන්නේ නම් අධිකාරිය ඒ පිළිබඳ හේතුද සඳහන් කර අමාත්‍යාංශයට ලියා දැන්වීම සිදු කෙරේ. ඒ කරුණු සලකා බලා වෙළෙඳ අමාත්‍යවරයා තම නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට පත් කරන අතර ඒ අනුව නව මිල පිළිබඳ තීරණය කරයි. ඇතැම් අවස්ථාවලදී නිෂ්පාදකයන් මිල ඉහළ නැංවීමට අනුමැතිය ඉල්ලූ විට පාරිභෝගික සේවා අධිකාරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ආපසු යවයි. මෙවරද කිහිප විටක්ම අධිකාරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර මෙවර එය වෙළෙඳ අමාත්‍යාංශයට යොමු කර තිබේ.

පාරි‍භෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායකගෙන් මේ පිළිබඳ ලියුම්කරු විමසූ විට ඔහු එවැනි ලිපියක් අමාත්‍යාංශයට යවා ඇති බව පිළිගත්තේය. කොතරම් ප්‍රමාණයකින් මිල වැඩි කිරීමට නිර්දේශ කර තිබේදැයි විමසූ විට ඒ පිළිබඳ පිළිතුරු දීමට හෝ ප්‍රතික්ෂේප කළේය. කෙසේ වුවත් ඔහුගේ පිළිතුර අනුව සනාථ වූයේ යම් පමණකට හෝ මිල වැඩි කිරීමකට යාම ඉදිරියේදී සිදුවිය හැකි බවය. ඔහු වැඩිදුරටත් පැවසුවේ තම ආයතනය පාරිභෝගිකයාට සහන සැලසීමට කටයුතු කරන ආයතනයක් වන අතර මෙහිදී පාරිභෝගිකයාට අසාධාරණයක් නොවන ලෙස කටයුතු කිරීමට අපේක්ෂිත බවය.

ඇමැතිවරුන් ප්‍රකාශ කරන පරිදි මුල්වරට පැවැත්වූ කැබිනට් රුස්වීමේදී මේ ගැන සාකච්ඡා කර තීරණයක් නොගත් නමුත් නැවත අමාත්‍ය මණ්ඩලයට දමා තීරණයක් ගැනීමට සිදුවනු ඇත. කෙසේ වුවද මිල වැඩි කිරීම තවදුරටත් ප්‍රමාද කළහොත් සමාගම් නිෂ්පාදනය අඩු කරන නිසා ඉදිරියේදී වෙළෙඳපොළ තුළ ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩ ඇත. ගෑස් සහ කිරිපිටි වැනි පාරිභෝගික ද්‍රව්‍යවල මිල වැඩි කිරීමට ඉල්ලූ විට තවත් රජය එකවරම එය අනුමත නොකිරීම මෙතෙක් අත්දකින්නට තිබුණු සත්‍යයයි. රජය බෝලය ඒ මේ අතට පාස් කර අනුමැතිය දීම කල් යැවීම සිදු කෙරේ. එහිදී සමාගම් සිදු කරනුයේ නිෂ්පාදනය සීමා කිරීමය. එසේ කිරීම නිසා කවදත් සිදුවූයේ වෙළෙඳපොළේ හිඟයක් ඇතිවීමය. හිඟයක් ඇතිවේ යැයි දැනගෙන පාරිභෝගිකයන් වැඩියෙන් ඉල්ලුම් කිරීමද මෙලෙස හිඟය උග්‍රවීමට හේතු වේ.

අපේ රටේ නාගරික ජනගහණයෙන් සියයට 70-80 අතර ප්‍රමාණයක් ආහාර පිළියෙල කිරීමේ කටයුතුවලට ගෑස් උපයෝගී කර ගනිති. එයට හේතුව විදුලි බලයෙන් ඉවුම් පිහුම් කටයුතු කිරීමේදී ගෑස්වලට වඩා සාපේක්ෂව ඉහළ පිරිවැයක් දැරීමට සිදුවීමයි. එසේම ගෑස් පාවිච්චි කිරීම කඩිනම් සරල ආහාර පිළියෙල කිරීමේ මාර්ගයක් වී ඇත. දර සහ ඉන්ධනවල මිල ඉහළ යාම නිසා ගම්බද ජනතාවද තම ඉවුම් පිහුම්වලින් කොටසක් හෝ ගෑස් ළිපකින් කර ගැනීමට පුරුදු වී සිටිති. මේ තත්ත්වය මත ගෑස් අද අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් බවට පත්ව තිබේ.

දුප්පතුන් කබලෙන් ළිපට වැටීමක්

දැනට දැඩි ජීවන වියදම් පිරිවැයකින් බැටකන සාමාන්‍ය ජනතාවට යළිත් ගෑස් මිල වැඩි වුවහොත් නාසය ළඟ නැවතී ඇති දිය මට්ටම හිස දක්වා ගලා ගියා සේ විශාල අපහසුතාවකට පත්වන බව නියතය. මේ පිළිබඳ අදහස් දක්වන කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ විශ්‍රාමික මහාචාරිනී ප්‍රේමා පොඩිමැණිකේ මහත්මිය පවසනුයේ ගෑස් මිල වැඩිවීමෙන් වැඩියෙන් බැට කන්නට සිදුවන්නේ අපේ රටේ දිළිඳු සහ මධ්‍යම පාන්තික පවුල්වල ගෘහණියන්ට බවයි. දවසේ වියදම සඳහා ස්වකීය සැමියන්ගෙන් ඔවුන්ට දිනපතා ලැබෙන මුදලින් සියලුම ආහාර අවශ්‍යතා පිරිමසා ගැනීමට සිදුව ඇති අතර ඒ නිසා ගෑස් මිල වැඩිවීම හේතුවෙන් ඇය ගැටලු රුසකට මැදිහත් වන බව මහාචාර්යවරිය පවසයි. අද රටේ සෑම ආහාර ද්‍රව්‍යයකම මිල ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින අතර සමහර පවුල්වල සාමාජිකයන්ට වේලකින් පමණක් කුසගිනි නිවාගැනීමට සිදුව තිබේ. ඒ තත්ත්වය නිසා ජීවත්වීම අද සැබෑ අරගලයක් බවට පරිවර්තනය වෙමින් පවතී. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කොතරම් සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර ගැටලු තත්ත්වය වැසීමට සූදානම් වුවද පවුලක සැබෑ ජීවන තත්ත්වය දන්නේ ගෘහණිය පමණක් බව ඇය කියන්නීය.

අපේ රටේ බඩු මිල එන්න එන්නම ඉහළ යනවා. හාල්, කරවල, පරිප්පු, අල, ලූනු, සීනි වගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම වැළැක්විය නොහැකියි. රජය කොපමණ ප්‍රතිකර්ම දැමුවත් අසාර්ථක වී තිබෙනවා. මෙවැනි වාතාවරණයක් මත ගෑස් මිල ඉහළ ගියහොත් එය දුප්පත් ජනතාව කබලෙන් ළිපට වැටීමක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. අද සෑම ගෙදරකම පාහේ ගෑස්වලින් තමා ඉවුම් පිහුම් කටයුතු කරන්නේ. ඒ නිසා ගෑස් මිල ඉහළ යාම දරාගන්න බැරිවෙන බව සත්‍යයක්. ජනතා සහන දෙන රජයක් නම් කළ යුතු වන්නේ ගෑස් නිෂ්පාදකයන්ට යම් සහනයක් දී හෝ ගෑස් මිල යම් සාධාරණ මට්ටමක තබාගැනීමයි. එහෙත් එය සිදුවේ යැයි සිතන්න බැහැ.

පාන් - බනිස් මිලත් වැඩි කරන්න වෙනවා

ගෑස් මිල ඉහළ ගියහොත් බේකරි නිෂ්පාදනවලද මිල ඉහළ නැංවීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එච්.කේ. ජයවර්ධන පවසයි.

බේකරි කර්මාන්තය සඳහා විශාල වශයෙන් ගෑස් පාවිච්චි කරනවා. මහා පරිමාණ ව්‍යාපාරිකයන් ගෑස් කිලෝ 36 සිලින්ඩර් පාවිච්චි කරන්නෙ. ඒවායේ මිල පසුගියදා රුපියල් 1000කින් පමණ ඉහළ ගියා. දැන් හෙට අනිද්දාට කිලෝ 12.5 සිලින්ඩර්වල මිලද සෑහෙන ලෙසකින් වැඩි වෙයි. ඒ නිසා මෙවර නම් අනිවාර් යෙන්ම පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල නංවන්න වෙනවා. මේ වන විට මාගරින්, පාම් තෙල් වගේ නිෂ්පාදන ද්‍රව්‍යවල මිල ඉහළ ගිහින් කම්කරු වැටුප්ද ඉහළ ගිහින්. ඒ නිසා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමිය යුතුයි. අපි දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටියා බේකරි නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍යවල මිල අඩුකර සහනයක් දෙන්න කියලා. ඒත් රජය කළේ බදු ඉහළ නැංවීම පමණයි.

 යසවර්ධන රුද්රිගූ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03