2021 මාර්තු 13 වන සෙනසුරාදා

මානව හිමිකම් සැසියේ අලුත් සංඥාව

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 23

46 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භ වූයේ පසුගිය පෙබරවාරි 22 දාය. පෙබරවාරි 24දින මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති වාර්තාව සංවාදයට ගැනිණි. එම වාර්තාවේ අන්තර්ගත නිගමන සහ නිර්දේශ ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය. ඕනෑම ස්වයං-ගෞරවයක් සහිත ස්වෛරී රටක පාලනය පිළිබඳ කරුණු සහ මූලික වශයෙන් දේශීය කරුණු ඇතුළත් කරමින්, අසාධාරණ ලෙස තම විෂය පථය සහ වරම පුළුල් කර ඇති මහ කොමසාරිස්වරියගේ වාර්තාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවයි.. මෙය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2 (7) වගන්තිය වන “වර්තමාන ප්‍රඥප්තියේ අඩංගු කිසිවක් මඟින් කිසිදු රාජ්‍යයක දේශීය අධිකරණ බලය තුළ පවතින කාරණාවලට මැදිහත් වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලය පවරන්නේ නැත*. යන වගන්තිය සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමක් බවද ඔහු ප්‍රකාශ කළේය.

ජගත් මානව හිමිකම් කවුන්සිලය රටවල් 47කින් සමන්විතය. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා පරාජය කිරීම සඳහා මානව හිමිකම් කවුසිලයේ සාමාජිකත්වය දරන රටවල් 47න් 24ක සහය ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. එම වාර්තාව සම්බන්ධයෙන් පෙබරවාරි 25 වැනිදා පැවැති අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී රටවල්  38ක් සිය නිල ස්ථාවරය  පැහැදිලි  කළ අතර ඉන් රටවල්  21ක නියෝජිතයන් ශ්‍රී ලංකාවට පක්ෂපාතී ලෙස තම මතය ප්‍රකාශ කර තිබිණි. එක්සත් රාජධානිය, ප්‍රංශය, ඇමෙරිකා එක්සත් ජනපදය, නොර්වේ, කැනඩාව, ස්විස්ටර්ලන්තය, ඔස්ට්‍රේලියාව, බෙල්ජියම, නෙදර්ලන්තය, අයර්ලන්තය ඇතුළු රටවල් 15ක් ශ්‍රී ලංකාවට එරෙහිව මෙරට මානව හිමිකම් තත්ත්වය විවේචනය කරමින් අදහස් පළ කළේය.

ඉන්දියාව සහ ජපානය මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කළ බව පෙනිණි.. ඉන්දීය නියෝජිතයා වූයේ ඉන්ද්‍රා මානී පාණ්ඩේය. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ එක්සත්භාවය හා භෞමික අඛණ්ඩතාව සහ දෙමළ ජනයාගේ සමානාත්මතාව, යුක්තිය, සාමය හා අභිමානය යන අභිලාෂයන් මත කැපවීම  යන කරුණු දෙක මත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය ස්ථාවරය රඳා පවතින බවයි. ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය. කෙසේ නමුදු පසුගිය මාර්තු 2 වැනි දින මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටියේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි තමන් විශ්වාස කරන බවය. 

ශ්‍රී ලංකාව පිළිබඳ කෙටුම්පත් යෝජනාවේ පිටපත වෙනස් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවිධිමත් උපදේශන කටයුතු මාර්තු 10 දා වන තෙක් ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකාව විසින් යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අවිධිමත් විවාදයකට මග පෑදීය.. මාර්තු 8 වන දින සාකච්ඡාව ආරම්භ කරන ලද්දේ එක්සත් රාජධානිය විසිනි. සිවිල් සමාජ සංවිධාන එහිදී අදහස් දැක්වීය. යෝජනාවේ සංශෝධිත පාඨ, යෝජනාවේ පූර්විකාවේ ඡේද  සහ පසුව සඳහන් ඡේද සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කෙරිණි.

එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, උතුරු මැසිඩෝනියාව සහ මලාවි යන රටවල ප්‍රධාන කණ්ඩායම යෝජනාවේ පෙළ වඩාත් ශක්තිමත් කළ යුතු බවට අදහස් පළ කළහ. මෙම කණ්ඩායම, අනෙකුත් බටහිර රටවල පූර්ණ සහයෝගය ඇතිව, ශ්‍රී ලංකාවේ ‘වගවීම සහ මානව හිමිකම් ක්‍රියාවලිය ලෙස හැඳින්වූ කර්තව්‍යය අධීක්ෂණය හා වාර්තා කිරීම සඳහා මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය තවදුරටත් සවි බල ගැන්විය යුතු බවට තර්ක කළහ..

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටින රටවල් ඔවුන්ගේ මතයට විරුද්ධ වූ අතර ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති  පියවර හඳුනාගෙන එය පිළිබිඹුවන පරිදි  ඇතැම් යෝජනාවල වෙනස්කම් කළ යුතු බවට යෝජනා කළහ. මාර්තු 8 වන දින පැවති අවිධිමත් සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථාවරව සිටි රටවල් අතර චීනය, පාකිස්තානය, රුසියාව සහ පිලිපීනය ද විය.

චීනය යළිත් වරක් ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන ආධාරකරුවෙක් ලෙස පෙනී සිටියේය. ශ්‍රී ලංකාවේ ස්ථාවරයට අනුකූල වන පරිදි පූර්විකාවේ ඡේද හා පසුව සඳහන් ඡේදයන්හි වෙනස්කම් කරන ලෙසට චීනය ඉල්ලා සිටියේය. එහෙත්, යෝජනාවේ හරය අනුව, ශ්‍රී ලංකාවේ ගැටලුව සම්බන්ධයෙන් බෙදී ඇති රටවල් අවසානයේ පොදු ස්ථාවරයකට නොපැමිණි අතර අවසානයේ ඡන්දයක් කැඳවීමට තීරණය විය. 

මානව හිමිකම් කොමසාරිස් වරියගේ යෝජනාවට සහය දක්වන කණ්ඩායම දැනට පවතින ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කිසිදු දේශීය යාන්ත්‍රණයකට එකඟ වීමට කිසි ලෙසකින් සූදානම් නොමැති බවක් හා. රජය විසින් ගනු ලබන පියවර සම්බන්ධයෙන් එකඟවීමට සූදානම් නොමැති බවක් පෙනෙන්නට තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයකු නොවන එක්සත් ජනපදයද මෙදින සාකච්ඡාවට  සහභාගී වූ අතර පූර්විකාවේ සඳහන්  බලය බෙදා හැරීමේ වැදගත්කම පිළිබිඹු කරන ඡේදයේ (පීපී 6 හි) යම් යම් වෙනස්කම් සිදු කිරීමට යෝජනා කර තිබේ. මෙම ඡේදය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් සැලකිල්ලට ගෙන ඇති අතර පළාත් සභා පැවැත්වීම ඇතුළු පළාත් පාලන කටයුතු ශක්තිමත් කිරීමට ඉල්ලා තිබේ.. 
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත සී.ඒ චන්ද්‍රප්‍රේම මහතා. විසින් ඉදිරිපත් කරන ලද යෝජනා  මෙම වගන්තිවලට ඇතුළත් කරන ලෙසට පාකිස්තානය ඉල්ලා සිටියේය. ඔවුන් ශ්‍රී ලංකාව විසින් පත් කරන ලද විමර්ශන කොමිෂන් සභාව පිළිබඳව සඳහන් කළ අතර, එය වගවීම සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් කරන ලද වැදගත් කාර්යයක් ලෙස හැඳින්වීය.

සමස්තයක් ලෙස ගත් කල, මෙම යෝජනාව තුළින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය මගින් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව අධීක්ෂණය සහ වාර්තා කිරීම වැඩි කිරීමට. ප්‍රධාන කණ්ඩායම අපේක්ෂා කරයි. එක්සත් රාජධානිය අවධාරණය කරනුයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ ස්වාධීනත්වය පිළිගත යුතු බවටය.. එමෙන්ම, 2015 න් පසු ශ්‍රී ලංකාවට ගිය විශේෂ වාර්තාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීමද ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසියේ මාර්තු 8 දින පැවති සාකච්ඡාවේදී මානව හිමිකම් ක්‍රියාකාරීන් පිළිබඳවත් දරුවන්ට වධහිංසා පැමිණවීම සහ හිංසනය යන මාතෘකා පිළිබඳවත් සාකච්ඡාවට ගෙන තිබේ. මෙම සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත සී.ඒ චන්ද්‍රප්‍රේම මහතා සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 හේතුවෙන් මියගිය අය සඳහා අනිවාර්ය ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියක් පිළිබඳ වැරදි සඳහනක් ඇතුළත්ව ඇති අතර එවැනි අනිවාර්යයෙන්  ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට නොමැති බවයි.. කොවිඩ් 19ට ගොදුරුව මියයන පුද්ගලයන්ගේ දේහයන් බැහැර කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ ක්‍රියාමාර්ගය සැමවිටම පදනම් වී ඇත්තේ විද්‍යාත්මක හා මහජන සෞඛ්‍ය පදනම මත මිස ආගමික හෝ ජනවාර්ගික පදනම මත නොවන බවත්,. සවිස්තරාත්මක අධ්‍යයනයකින් පසු කොවිඩ් ආසාදිත මරණ භූමදානය කිරීම ශ්‍රී ලංකාව දැනටමත් ආරම්භ කර ඇති බවත් මේ සම්බන්ධයෙන් සත්‍ය කරුණු ශ්‍රී ලංකාව විසින් මෙහි  නියෝජිතයන් දැනුවත් කර තිබියදීත්, එවැනි සාවද්‍ය ප්‍රකාශයන් දිගින් දිගටම ඉදිරිපත් කිරීම අවාසනාවට කරුණක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. ..

චීනය ශ්‍රී ලංකාවට තම උපරිම සහය ලබා දෙන බවට ප්‍රකාශ කර තිබේ. චීන විදේශකටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලු වො ජාවොහුයි මහතා එරට ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා