2021 මාර්තු 20 වන සෙනසුරාදා

ගිරිහඬු සෑයේ ඉඩම් හුටපටයක් මැද වනාන්තර ඩෝසර්

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 41

නැගෙනහිර පූජනීය ස්ථාන අතර මුල්තැනක් ගන්නා අලංකාර පුදබිමක් වන ගිරිහඬු සෑය පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 45ක් පමණ උතුරෙන් පිහිටි තිරියාය ගමට නුදුරිනි. මුහුදු මට්ටමෙන් අඩි 210ක් පමණ උස් වූ දර්ශනීය කඳු ගැටයක් මත එහි වටදාගෙය පිහිටා තිබේ. නිතිපතා දැල්වුණු පහනක් තිබුණු නිසා මෙය නිතුපත්පාන නමින් හැඳින්වූ බව පැවසේ. ගිරිහඬු සෑයේ නටබුන් සහ සෙල්ලිපි ආදිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගවේෂණ කරන ලද 1929 පමණ කාලයේදී මේ ප්‍රදේශය හඳුන්වා ඇත්තේ නිතුපත්පාණ ලෙස නොව තිරියාය ලෙසයි. ජනප්‍රවාදවල සඳහන් වන්නේ මෙය තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදුන් වහන්සේගේ කේශධාතු නිදන් කර තැනූ දාගැබ බවයි.

මේ පුදබිමේ ආකර්ශනීය නිර්මාණය වන්නේ සිලාමේඝ රජ සමයේ ඉදිකෙරුණු වටදාගෙයයි. වටදාගෙය මධ්‍යයේ කේශ ධාතූන් නිධන් කොට තැනූ බව සැලකෙන  ගිරිහඬු සෑයයි. කුඩා පරිමාණයේ සෑයක්ව තිබූ මේ සෑයද සිලාමේඝ රජ පුළුල් කොට බඳවා ඇත. මෙහි දාගැබේ සිට අඩි 3.25ක් හා අඩි 16 පමණ දුරින් වනසේ එක වටයක කුළුණු 16ක් හා අනෙකේ කුළුණු 32ක් වශයෙන් කුළුණු වට දෙකක් තිබී ඇත.

තිරියාය ගිරිහඬු සෑය පුරාවිද්‍යා රක්ෂිතයක් වන අතර අක්කර 25ක ඉඩම් ප්‍රමාණයක් අයිති වේ. මේ ඉඩම් ඇතුළත නටබුන් තැනින් තැන පවතී. ගිරිහඬු සෑ විහාරය පිහිටි පූජා භූමිය එයට නුදුරින් එහි පිහිටා තිබේ. එහි විහාරාධිපති හිමිවන්නේ නැගෙනහිර ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී දෙවිනුවර චන්දිම හිමියෝය. උන්වහන්සේ පවසන පරිදි මෙම පූජා භූමිය සඳහා ඉඩම් අක්කර 3069ක් පවතී. එම ඉඩම් ජී.පී.එස්. තාක්ෂණය භාවිත කරමින් 2014 දී කළ දළ මැනුමෙන් හිමිව තිබේ.

ගිරිහඬු සෑ විහාරාධිපති හිමි පවසන්නේ පුදබිමට වෙන්කර ඇති ඉඩමට යාංඔය පාලමට නුදුරු ප්‍රදේශයෙන් ඇතුළු වූ එක්තරා හිමිනමක් ජේ.සී.බී. යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් වන විනාශයක් සිදුකරන බවත් එසේ ඉඩම් වෙන්කර ගනිමින් පුරාවිද්‍යා කණු සිටුවමින් ඉඩම් කොල්ලයේ යෙදෙන බවයි. තම පුදබිමට අයත් ඉඩමේ මේ වනවිට ආරණ්‍ය සේනාසන දෙකක් ඉදිකරමින් පවතින බවත් විහාරාධිපති හිමියෝ පෙන්වා දුන්හ. අපට දැනගැනීමට ලැබුණු පරිදි මෙසේ ඉඩම් වෙන්කරගෙන ඇත්තේ පුරාවිද්‍යා ගවේෂණයේදී සොයාගත් පැරණි නටබුන් විහාරවලට නුදුරුව අලුතින් විහාර තැනීම සඳහාය.

ජේ.සී.බී. යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් මේ වන විනාශය කරන්නේ. මේ සම්බන්ධයෙන් මෙය සොයා බලා නවත්වන්න කියලා ජනාධිපතිතුමාටයි ආණ්ඩුකාරතුමියටයි ලිඛිත දැනුම්දීමක් කළා. ගම සමඟ පිළිසඳරේදී ජනාධිපතිතුමාට විහාරයේ ඉඩම් සම්බන්ධ සියලු ලේඛන බාර දුන්නා. ඉඩම්වල ප්ලෑන් එකත් අප සතුයි. ඊට අමතරව පොලීසියේ පැමිණිල්ලක් දාලා තියෙනවා යැයි විහාරාධිපති හිමියෝ පවසා සිටියහ.

‍මේ චෝදනාව  එල්ලවන්නේ පුල්මුඩේ අරිසිමලය  ආරණ්‍ය සේනාසන සංචිතයේ සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ හිමියන්ටය. උන්වහන්සේ උතුරු නැගෙනහිර හා තමන්කඩුව දෙපළාතේ සංඝනායක හිමියෝ වෙති. තිලකවංශ හිමියන් පවසන්නේ චෝදනා සත්‍යයෙන් තොර බවයි. උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද කීහ.

ගිරිහඬු සෑ පුදබිමට අයත් ඉඩම් මම අල්ලලා නැහැ. වන විනාශයක් සිදුකරලත් නැහැ. පුරාවිද්‍යා මායිම් කණු මම හිටවලත් නැහැ. පද්මරාජ පබ්බත හා සත්වරාජ පබ්බත කියන ආරණ්‍ය සේනාසන දෙක තියෙන්නේ ගිරිහඬු සෑ පුදබිමට අයත් භූමියෙන් පිටයි. මේ ආරණ්‍ය සේනාසනවලට ඉඩම් මනිද්දි මුල් මැනුමක් කරලා තියෙනවා නම් දෙවැනි මැනුමේදී සොයාගන්න පුළුවන්. මට අයිති ජේ.සී.බී. යන්ත්‍රයක් නැහැ. මුල් කාලයේ අරිසිමලේ පාරවල් සකස් කරන්න මගේ ඥාති සහෝදරයෙක් ජේ.සී.බී. යන්ත්‍රයක් ගෙනත් පන්සලේ කාලයක් තිබ්බා. දිරලා යන නිසා එයා ඇවිත් විකුණලා ගියා. හාමුදුරුවරු බේදවන්න හොඳ නැති නිසා මම කියන්නේ ඉඩම් මැනිම් කරලා තියෙන ආකාරය ප්‍රාදේශීය ලේකම්ගෙන්, ඉඩම් කොමසාරිස්ගෙන්, පුරාවිද්‍යාවෙන් අහලා නිවැරුදි කර ගත්තොත් හොඳ යැයි කියලයි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් පුරාවිද්‍යා නිලධාරි මොහාන් සමීර ආරියතිලක පවසන්නේ ගිරිහඬු සෑයට නුදුරින් යාංඔය ප්‍රදේශයේ පුරාවිද්‍යා නටබුන් හමුවූ ස්ථානයක් පත්මරාජ පබ්බත යනුවෙන් ගැසට් කිරීමට පුරාවිද්‍යා මායිම් කණු සිටවූ බවයි. ඒත් වනාන්තර ඩෝසර් කිරීමක් ගැන නිරීක්ෂණය වුවත් එය කවුරුන් කළා දැයි නොදන්නා බවයි. පුරාණ විහාරවල ඉඩම් අල්ලා ගැනීමට විහාර ඉදිකිරීමේ මුවාවෙන් වනාන්තර ඩෝසර් කර තිබේ. මේ ඩෝසර් කිරීමත් කුරුණෑගල රාජසභා මණ්ඩපය මෙන් වගකීම භාරගැනීමට කෙනෙක් නැති වැඩකි. පුරාවිද්‍යා පනතට අනුව පුරාවිද්‍යා භූමියක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරයකින් තොරව යම් වෙනස් කිරීමක් කළ නොහැකිය. මෙම වන විනාශයට වගකියයුත්තන් පිළිබඳව සොයාබැලීම කඩිනමින් කළ යුතු කාර්යයකි.
ගිරිහඬු සෑයට නගින පඩිපෙළ පිහිටි පැත්තට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් කන්ද පාමුල දක්වාම කැලෙන් පාරක් කපලා. කි.මී. 3ක් පමණ දිගයි. ගස් කපා විනාශ කරලා. මේ ඉඩම් අපි කවුරුත් ගෙනියන්නේ නෑනේ. නමුත් ගිරිහඬු සෑයට ඇති ගෞරවයට ඒවා පැවතිය යුතුයි. ගිරිහඬු සෑ විහාරාධිපති හිමියෝ කීහ.

 කුසුම්සිරි
පසුබිම් පුවත් / සේයාරූ: ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව