2021 මාර්තු 20 වන සෙනසුරාදා

අක්කෙ අක්කෙ අර බලන්නකෝ ගී ගැයූ වැයුමට, නැටුමට දස්කම් පෑ සූර්ය ශංකර් මොල්ලිගොඩ

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 273

භාරතයේ ශාන්ති නිකේතනයේ නර්තනයත්, සංගීතයත් මැනවින් ඉගෙනගත් තරුණයෙක් හතළිහ දශකයේ මුල් භාගයේ පෙරළා ලංකාවට පැමිණ කොල්ලුපිටියේ ජයා පාරේ සංගීත් භවන් නම් සංස්කෘතික මධ්‍යස්ථානයක්, සුවිසල් ගෙදරක ආරම්භ කළේය. ඔහුට මේ සඳහා උපකාර කොට ඇත්තේ, තම වැඩිමහල් සොහොයුරු සැමුවෙල් තෝමස් මොල්ලිගොඩය. භාරතයේ ඉගෙනීම ලබා පැමිණි තම කල්‍යාණ මිත්‍රයන් වූ සුනිල් සාන්තයන්ට හා ආනන්ද සමරකෝන්ට සංගීත පන්ති පැවැත්වීමටත්, නිර්ලෝභීව නවාතැන් ගැනීමටත් පහසුකම් සලසා දුන්නේද මේ තරුණයාය.

දිනක් මේ තරුණයා කිසියම් කටයුත්තකට ආනන්ද සමරකෝන් සොයා සංගීත් භවනට ආවේය. එහෙත් ආනන්ද එහි නොසිටි අතර සිටියේ ඔහුගේ සහාය ගායිකාව වූ ටී.පී. ලීලාවතීය. ඇය සිටියේ ආනන්ද සමඟ ගැයීමට නියමිත ග්‍රුමෆෝන් යුග ගීතයක් පුහුණු වෙමිනි.

ආනන්ද සර්, නෑ. ගමනක් ගිහින්, සර් ආපු එක හොඳයි. මට සර්ගෙන් උදව්වක් ඕනෑ. මේ සින්දුවේ ආනන්ද සර් කියන කොටස සර් කිව්වොත් මට මගේ කොටස කියන්න පහසු වෙයි.

හොඳයි බලමු. තරුණයා එකඟ විය. ඔහු ස්වර ලිපි බලා මුල් කොටස ගැයීය.

අක්කෙ අක්කෙ අර බලන්නකො

වැස්සක් නොවැ එන්නේ

හදිසියේම එහි පැමිණි ආනන්ද සමරකෝන් සැඟවී යුග ගීතය සාවධානව අසා සිටියේය. ගීතය කිහිපවිටකම ගැයිණි.

අපූරුයි, අපූරුයි, ඔබ මටත් වඩා හොඳට ගයනවා. අපි එච්.එම්.වී. ග්‍රුමෆෝන් තැටියකට මේ ගීයයි, තවත් ගීයකුයි කියමු. මම හදලා දෙන්නම්. ආනන්ද ස්ථිරවම කීවේය.

මේ, මොන විකාර කතාද? මම ගායකයෙක් යැ. මේ ළමයට උදව්වක් කළා පමණයි.

තරුණයාට තම මිතුරාගේ ඉල්ලීමට අකැමැත්තෙන් හෝ එකඟ වීමට සිදුවිය.

කවුද? මේ තරුණයා. ඔහුගේ නම සූර්ය ශංකර් මොල්ලිගොඩය. තම මිතුරු ආනන්ද සමරකෝන් නිසා ග්‍රුමෆෝන් ගායකයකු වූ සූර්ය ශංකර් එදා ලීලාවතී සමඟ ගැයූ යුග ගීත දෙක එදා ගුවන්විදුලි සේවයේ ඉමහත් ජනප්‍රියත්වයට පත් විය. එක් ගීතයක් මෙසේය.

අක්කෙ අක්කෙ අර බලන්නකෝ වැස්සක් නොවැ එන්නේ

හෝ හෝ හෝ ගාගෙන එන්නේ ගස් ගල් පෙරළෙන්නේ

සුළං තදයි විදුලිය ද කොටයි හෙණ හඬ පැතිරෙයි අහසත් අඳුරුයි

මහ වළාකුලක් මේ එන්නේ

අක්කේ වී පැදුරත් මිදුලේ - අකුලා ගෙට ගන්නේ

අම්මත් අර නාගෙන එන්නේ මල්ලි තවම කුඹුරේ

සුළං තදයි විදුලිය ද කොටයි..

නංගි සුදෝ මගෙ අඬන්නෙපා - අම්මා හනික දැන් එයි

බිල්ලො නොවෙයි ඔය ගොරවන්නේ - අහසේ හෙණ නාදෙයි

සුළං තදයි විදුලිය ද කොටයි...

අක්කේ දර ටික ගෙට ගනිමු - වැහි පොද වැටෙනවනේ

වතුරත් ඉවරයි කළගෙඩියේ හනික ළිඳට යමුකෝ

සුළං තදයි විදුලිය ද කොටයි...

මේ ආනන්ද සමරකෝන් විසින්ම ගී රචනයත්, සංගීත නිර්මාණයත් කළ සූර්ය ශංකර් හා ලීලාවතී ගැයූ දෙවැනි ගීතයයි.

කරුණා නදියේ පැද නාමූ - රමණීය කුඩා ඔරුවේ මේ

පැද යාමූ - පැද යාමූ - පැද යාමූ කියා පෙම් ගීතේ

කරුණා නදියේ පැද නාමූ

පුන් සඳ පායාලා සුදිලෙන්නා නදී ජලේ

සැලෙනා පියුම් සුළඟේ හී

පැද යාමූ - පැද යාමූ - පැද යාමූ කියා පෙම් ගීතේ

සැනසේ සැනසේ මේ රාත්‍රී - ඔබ දේ ඔබ දේ අනුප්‍රාණේ

දෙව්ලොව සිරි පානා - මඳහාසයෙනා

නැඟ ඒ හදේ ප්‍රේමා රැලි පිබිදී

පැද යාමූ - පැද යාමූ - පැද යාමූ කියා පෙම් ගීතේ

(ගීත දෙකේ ගේය පද රචනා උපුටා ගත්තේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියූ ^ආනන්ද සමරකෝන් අධ්‍යයනය කෘතියෙනි.)

පී.එල්.ඒ. සෝමපාලයන් සංස්කරණය කළ යමුනා^ ගී සංග්‍රහයේ සූර්ය ශංකර් මොල්ලිගොඩ භාරතයෙහි මහා සංගීත විද්‍යා පීඨයක බොහෝ කලක්ම නාටක හා සංගීත කලා උගෙනීමෙන් ජනකාන්ත නළුවකු වශයෙන්ද, සංගීතඥයකු වශයෙන්ද මහජන ප්‍රසාදය ආශ්‍රයෙන් ගීත රසිකයන්ගේ හදවත දිනාගැනීමට හැකි බව අචල ගෞරවයෙන් මතක් කර ඇත. සෝමපාලයන් විසින් 1947 සම්පාදනය කළ ජල ධාරා^ ගී සංග්‍රහයේ සූර්ය ශංකර් මොල්ලිගොඩ විසින් ගැයූ ගුවන්විදුලි ගී දෙකක ගේය පදමාලාව පළ වී ඇත. එහෙත් ගීත රචකයාගේ නම පළ වී නැත. මෙහි තනුව සෝමපාලයන්ගේ බව අඩමානයෙන් වුව විශ්වාස කළ හැකිය.

ජල ධාරා මේ ගංගාවේ - ජල ධාරා
නෑර ගලා බසිනා හඳ පානෙහි දිලි දිලී
සෝභා වැටී මෙම රුයේ ජල ධාරා
සුමධුර පෙම් ගීත ලෙසේ - විනිවිද යාවී මා හෘදේ
ජල තරග සැදී

මේ අනිත් ගීතයයි.
සුමදුර සුමදුර ගීත ගයාවී
මා රුජිනි වනරාණී - සුමදුර
මනහාරී - මනහාරී - සන්ධ්‍යාවේ මනහාරී
බැස ගලා යතී ජලේ මේ ගඟේ"

කවුද මේ සූර්ය ශංකර්?

1915 මැයි 01 වැනිදා ඇල්පිටියේ තේ අක්කර 300ක් සහිත ඇල්ලවත්තේ බංගලාවේ උපත ලැබූ සුගතදාස මොල්ලිගොඩ අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙනි. (සූර්ය ශංකර් කොටස නමට එක්ව ඇත්තේ භාරතයේ සිට පැමිණි පසුවය.) කුඩා කල සිටම ගායනයට, නර්තනයට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවටද දස්කම් පෑ ඔහු 15 වැනි වියේ ආනන්ද ක්‍රිකට් කණ්ඩායමේ (1932 – 1933) නඩුලු රකින්නා ලෙස විශිෂ්ට දස්කම් දැක්වීය. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ආනන්ද ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරෑ අන්තිම වසරේද කඩුලු රකින්නා වූයේ සූර්ය ශංකර් බව ඔහුගේ ඥාති පුත්‍ර කර්නල් පරාක්‍රම මොල්ලිගොඩ අප සමඟ පැවසීය. පරාක්‍රම 1956 ආනන්ද ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයාව සිටියේය.

මගේ පියාගේ නම සැමුවෙල් තෝමස් මොල්ලිගොඩ. සීයා සාසනචන්ද්‍ර මොල්ලිගොඩ. මගේ තාත්තගේ මල්ලි සූර්ය ශංකර්. සංගීතයට, නැටුමට, ගායනයට දක්ෂ ඔහු 1930 කොළඹ පවත්වන ලද සමස්ත ලංකා ජන ගායනා (ගම්බද ගී) තරගයෙන් මුල්තැනට තේරී රන් පදක්කමක් දිනාගෙන තිබුණා. මේ කාලේ ගුරුදේව රබින්ද්‍රනාත් තාගෝර්තුමා ශාන්ති නිකේතනයේ සිට ලංකාව ඇවිත් විල්මට් ඒ. පෙරේරා මහතාගේ ආරාධනයෙන් හොරණ ශ්‍රීපාලියේ දේශනයක් කරලා තියෙනවා. සූර්ය ශංකර් බාප්පාට ශාන්ති නිකේතනයට ගිහින් නැටුම් ඉගෙනගන්න හිතිලා තියෙන්නේ ඒ දේශනය අසා සිටීමෙන් පසුවලු. ආනන්ද විදුහල්පති පී.ද.ඇස්. කුලරත්න මහතාත්, ගාල්ලේ හෙන්රි අමරසූරිය මහතාත් සීයාව පාසලට ගෙනත් අකැමැත්ත පළ කළත් පසුව කැමැත්ත ලබා බාප්පව ශාන්ති නිකේතනයට යවලා තියෙනවා. කර්නල් මොල්ලිගොඩ අපට කීය.

සූර්ය ශංකර් ශාන්ති නිකේතනයට යන්නේ තාගෝර්තුමා සමඟ ලංකාවට පැමිණි ශාන්ති දේවඝෝෂ් ගුරුවරයාගේ උපදෙස් මතය. එහිදී ඔහු කුලුනායර් ආචාර්යතුමාගෙන් කතකලි නර්තනය හදාරා සියලුම විදේශීය සිසුන් අභිබවා මුල්තැන දිනා විචාරක ප්‍රසංශාවට ලක්විය. එහිදී ඔහුගේ නිර්මාණ වන දඩයක්කාරයාගේ නැටුම^ හා මොණර නැටුම^ මෙහිදී කැපීපෙනී තිබුණි. ශාන්ති නිකේතනයේදී හඳුනාගත් ලෝකප්‍රකට සිනමා අධ්‍යක්ෂ සත්‍යජිත් රායි ද සූර්ය ශංකර්ගේ සමීප මිතුරකුව සිටියේය. නන්ද ලාල් බෝස් නම් විශිෂ්ට චිත්‍ර ශිල්පියා යටතේ චිත්‍ර කලාව ඉගෙනීමට ලංකාවෙන් පැමිණ සිටි ප්‍රේමතිලක සකලසූරියත්, කල්කටාවෙන් පැමිණි එස්රාජ් වාදනය ඉගෙනගත් අගේෂ්චන්ද්‍ර බැනර්ජි ද ඔහුගේ ගජ මිතුරෝ වූහ. තමා අධ්‍යාපනය ලැබූ ආනන්දයේ ගොඩනැගිලි අරමුදලට ආධාර පිණිස, භාරතයේදී විදේශීය විචාරක ප්‍රසාදය දිනාගත් දඩයක්කාරයාගේ නැටුම^ හා මොණර නැටුම^ සහිත විවිධ ප්‍රසංගයක් පැවැත්වීමට සූර්ය ශංකර් මව්බිමට පැමිණියේ තම ආචාර්ය කුලුනායර් සමඟය.
සූර්ය ශංකර් යනු විනෝදයට කැමති, සැහැල්ලු ගතිපැවතුම් තිබූ චරිතයකි. තමා සතු කොල්ලුපිටියේ පවත්වාගෙන ගිය සංගීත් භවන්^ කලා නිකේතනයේ නවාතැන් සපයමින් නැගී එන කලාකරුවන්ට දස්කම් ඔපමට්ටම් කර ගැනීමට නොමිලයේ අනුග්‍රහය දක්වා සූර්ය ශංකර් ඉන් අහිංසක ආස්වාදයක් ලැබුවේය.

තම ඇල්පිටි වත්තේ අශ්වයකු පිට නැග ඔහු විනෝද ගමන් ගියේය. මෝටර් රථවලට ඔහු කොතරම් ඇලුම් කළාද යත්, වසරක් තුළ මෝටර් රථ 15ක් මාරුකොට ඇත. අධික ලෙස මීවිතට පෙම් බැඳි ඔහු දුම් බීමේද රුසියෙක් විය.
සූර්ය ශංකර් ජීවත් වූයේ වසර 33ක කෙටි කාලයකි. 1948 මාර්තු 22 වැනිදා ඔහු ක්ෂය රෝගයෙන් මිය ගියේය.

තම හිතමිතුරු සූර්ය ශංකර් මොල්ලිගොඩ වියෝ වූදා සුනිල් සාන්තයෝ ඒ සුහද මිතුරා සිහිකොට ගීයක් රචනා කොට තනුවක් යොදා ගුවන්විදුලියෙන් ගයමින් වැළපුණාහ.

සුමිහිරි සුවඳැති මල් ඇයි මේ තරම්
හනිකට පරවනුයේ
පහනෙකි සුදිලුණු අද ගණ අඳුරුයි
කෙලෙසද වෑවෙනුයේ
පෙම්බර මිතුරේ හා මා සුහදේ
ඇයි අද සැතැපෙනුයේ
නැගිටිනු නැගිටිනු ගී ගයනට යමු
මිතුදම් මල් වනයේ

සුනිල් සාන්තයන් මිතුරු වියොවින් ගී ගයද්දී, පී.එල්.ඒ. සෝමපාලයන් හා චිත්‍රාවෝ ද ගීයක් ගයමින් වැළපුණාහ. එහි ගේය කාගේදැයි යමුනා^ නම් සෝමපාල හා චිත්‍රාගේ සින්දු පොතේ සඳහන්ව නොතිබුණි. එය පියසේන කොස්තාගේ රචනයක්දැයි සැක සිතේ. ඒ මේ ගීතයයි.

සූර්ය සංකාර් මිතුරේ ඔබ නාමේ
පැතිරේ මේ හෙළ දීපේ
පැතිරේ - පැතිරේ - සුන්දර ඔබෙ නාමේ
අප හදෙහී අද සෝක සදා පරලෝකෙට වැඩියා වූ
සූර්ය සංකාර්...

සූර්ය ශංකර් මොල්ලිගොඩගේ බිරිය වූ ඩොටී වැන්දබෝනා මහත්මිය අනූ විය පසු කරමින් නුගේගොඩ ගංගොඩවිල පදිංචිව සිටින්නීය. මොල්ලිගොඩ යුවළට පුතුන් දෙදෙනෙක් ද දියණියන් දෙදෙනෙක් ද සිටියහ. බන්දු හා නන්දලාල් පුතුන්ගෙන් නන්දලාල් මියගොසිනි. දියණියන් වූ කමලිනී හා චාමලී බන්දු සොහොයුරා සමඟ ඔස්ට්‍රේලියාවේ වෙසෙති. ප්‍රවීණ රෑපලාවණ්‍ය ශිල්පී හැරිස් විජේසිංහ සූර්ය ශංකර්ගේ මුණුපුරෙකි.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03