පසුගිය යහපාලන රජය සමයේ සිදුවූවේ යැයි පැවසෙන බැඳුම්කර වංචාව යටපත් වී මේ වන විට සීනි බදු වංචාවක් ගැන කතාවක් කරළියට පැමිණ තිබේ. බැඳුම්කර වංචාවෙන් රටේ ජාතික ධනයට සිදුවූ අලාභය රුපියල් බිලියන 11ක් වන නමුදු 2020-10-14 දින සිට 2021 පෙබරවාරි 20දා දක්වා සිදුව ඇති සීනි බදු වංචාවේ අගය රුපියල් බිලියන 16ක් බව දැක්වේ. මේ බව සඳහන් වන්නේ පසුගියදා මුදල් අමාත්‍යාංශය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළ වාර්තාවේය. ඒ අනුව අපට ගම්‍ය වන්නේ මෙවැනි සුවිශාල බදු ආදායමක් අහිමි වී ඇති බව රජයම පිළිගෙන ඇති බවය. ඒ නිසා එයින් ගැලවීමට හෝ එය ව්‍යාජ යැයි පැවසීමට රජයට නුපුළුවන.
සීනි බදු අඩු කිරීමේදී මෙරට ප්‍රධාන පෙළේ ආනයනකරුවන් හය දෙනකුට වැඩි වාසි සැලසී ඇති බව මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි. රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09දා රැස්වූ අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන් එම වාර්තාව බාරදී ඇති බව මාධ්‍ය අනාවරණය කර ඇත. මේ පිළිබඳ සලකා බැලූ මුදල් කාරක සභාව නියමිත බදු ආදායම අහිමිවීම පිළිබඳ සොයා බැලීමට වෝහාරික විගණනයක් පැවැත්විය යුතු බවට නිර්දේශ කර තිබේ. පසුගිය බැඳුම්කර වංචාවේදීද නියම අලාභය ගණනය කළේ වෝහාරික විගණනයකින් බව අප අමතක නොකළ යුතුය.
මෙහිදී සභාපතිවරයා පවසා සිටියේ ලෝක වෙළෙඳපොළේ සීනි මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයාට සහන සැලසීමට සීනි බදු ශත 25 දක්වා අඩු කළ බවය. ඔහු පැවසුවේ මෙම බදු අඩුකිරීම යම් පමණකට සාර්ථක වුවද යම් පමණකට අසාර්ථක වූ බවකි. එසේම සීනි බදු අඩු නොකළා නම් රටේ සීනි මිල විශාල ලෙස ඉහළ යන බවද ඔහු කීය. එහෙත් මෙම තීන්දුව ගැනීමේදී යම් අඩුපාඩුවක් නිරීක්ෂණය වූ අතර, සීනි තොග ආනයනය කරන විට රටේ ගබඩාවල අවශ්‍ය තරම් සීනි තිබූ බවද ඔහුට පිළිගන්නට සිදුවිය. මෙලෙස සීනි ආනයනය තවමත් තහනම් කර නැති බව අනාවරණය වන අතර මේ මාසය අවසන් වන විට සමස්ත අලාභය කෝටි 2000 ඉක්මවන බවද දැනගන්නට තිබේ.
රුපියල් 50ක්ව තිබූ සීනි බද්ද ශත 25ට අඩු කිරීමෙන් ලද සහනය ජනතාවට නොලැබීම නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි පවසමින් ඒ සඳහා රුපියල් මිලියන 500ක වන්දියක් සීනි ආනයනකරුවන්ගෙන් සහ රජයෙන් ලබාදෙන ලෙස ඉල්ලමින් පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ හිටපු පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල යන අයද තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මේ පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් පිරිමිඩ් විල්මා සමාගම සහ එහි අධ්‍යක්ෂ සජාඩ් මවුසූන් අතිරේක වශයෙන් නීතිපති, මුදල් අමාත්‍යවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්, භාණ්ඩාගාර ලේකම් ඇතුළු කිහිප දෙනකු නම් කර තිබේ.
ව්‍යාපාරිකයොත් අමාරුවේ වැටුණා
සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පැරකුම් අබේසේකර:-
මෙම සිද්ධියට අපේ සංගමය ඍජුව සම්බන්ධයක් නැහැ. එහෙත් අපේ ඇතැම් සාමාජිකයන්ද මෙයට යම් විදියකින් සම්බන්ධ වෙන්න පුළුවන්. එය අපට වළක්වාගත හැකිව තිබූ දෙයක් නොවෙයි. මේ පිළිබඳ අදාළ විෂය භාර ඇමැතිවරුන් හෝ මුදල් ඇමැති, ලේකම් හෝ මහා භාණ්ඩාගාරයද කිසි විටෙකවත් දැනගෙන සිට නැහැ. මෙය නියමිත පටිපාටියට අනුව විධිමත්ව කළ දෙයක් නොවෙයි. කරුණු සොයා නොබලා හදිසියේ ගත් තීරණයක්. දේවාලයේ කපුවා දේවාලය තුළ මළපහ කළා වැනි වැඩක්. කියන්න කෙනෙක් නැහැ. වියත්මගේ ඇතැමුන් කියන දේ අහලා වැඩිදුර කල්පනා නොකර කළ අවිධිමත් ක්‍රියාවක් කියලයි අපට කියන්න සිද්ධ වෙන්නේ.
මෙයින් මේ රටේ යහපත් ව්‍යාපාරිකයන්ගේද නමට කැළලක් වුණා. ජනතාව ඒ සැමදෙනා දෙසම බලන්නේ එකම විදියටයි. යම් වරදක් කරන්න ලෙහෙසියි. එහෙත් එය සකස් කරන්නයි අමාරුව. මේ සිද්ධියේදී දින 90ක් තුළ සීනි නැව් 5ක් ලංකාවට ආවා. තවත් එමින් පවතිනවා. මෙම බදු අඩුකිරීම සිදුවන විට නියමිත පරිදි රුපියල් 50 බද්ද ගෙවා ගෙනා සීනි මෙට්‍රික් ටොන් 9000ක් පමණ ගබඩාවල තිබුණා. ඒ තොගය අපේ රටේ පාරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සෑහෙනවා. මේ නිසා ව්‍යාපාරිකයන් අමාරුවේ වැටුණා. කිහිප දෙනකුට පමණක් වාසි වුණා.
බැඳුම්කරයටත් වඩා සීනි වංචාවේ අලාභය වැඩියි
සමගි තරුණ බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක පවසන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් මේ පිළිබඳ පැවැත්වෙන විමර්ශනයට අතිරේක වශයෙන් තවදුරටත් ගැඹුරෙන් සොයා බැලීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්ද පත් කළ යුතු බවයි.
&ප්‍රබල ව්‍යාපාරිකයෙක් සීනි මෙට්‍රික් ටොන් 75,000ක් පමණ මෙම සීනි බද්ද කිලෝවට ශත 25ට බැස්සූ වහාම ගෙනැවිත් තියෙනවා. තවත් සීනි තොග ආනයනය කරමින් පවතිනවා. මෙලෙස බදු අඩු කළත් වෙළෙඳපොළේ සීනි මිලට එයින් බලපෑමක් සිදුවූයේ නැහැ. මෙහිදී සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට සිදුවුණා වැඩි මිලට ලබාගත් සීනි රජයේ බලපෑම මත රුපියල් 85 බැගින් අලෙවි කරන්න. මෙහිදී සතොසට සිදුවූ පාඩුව අති විශාලයි. සතොසට එලෙසත් පාරිභෝගික අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරන්න පුළුවන් වුණේ නැහැ. ඒ නිසා විවෘත වෙළෙඳපොළේ සීනි මිල පහළ ගියේ නැහැ.
මෙහි මතුපිටින් අපට පෙනෙන කාරණය නම් මෙලෙස බදු පහළ දැමූ වහාම මෙරටට සීනි තොග ගෙන්වීම පිටුපස යම් ඩීල් එකක් තිබුණු බවයි. අපි සැක කරනවා යම් යම් ඩීල්කාරයන් ආණ්ඩුව සමඟ සම්බන්ධ වෙලා මෙමගින් විශාල ආදායමක් ලැබූ බවට. මෙම වංචාව දෙවිදියකට අයහපත් වෙනවා. ඉන් එකක් වන්නේ බදු අඩුකිරීම නිසා රජයට නියමිත ආදායම නොලැබීමයි. අපේ ගණනය කිරීම අනුව මෙම හානිය රුපියල් බිලියන 11ක් පමණ වෙනවා. අනිත් පැත්තෙන් අඩු කළ බද්ද පාරිභෝගිකයාට නොලැබීම නිසා ඔහුටද අසාධාරණයක් සිදුවෙලා තියෙනවා. මේ තත්ත්වයෙන් දෙපාර්ශ්වයම අසාධාරණයට ලක් වුණා.
අපි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් ඉල්ලා සිටිනවා සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරාට මේ ගනුදෙනුවට ඇති සම්බන්ධය සොයන්න කියලා. එසේම ඔහු සහ ව්‍යාපාරික සජාඩ් මවුසූන් නැමැත්තාටද මෙම සීනි ආනයනයේදී ඇති සම්බන්ධය සොයන්න කියලද අපි ඉල්ලනවා. අප මේ ගැන පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රශ්න කළ නමුත් රජයේ කිසිදු මන්ත්‍රීවරයකුගෙන් අපට ඒ ගැන පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැහැ. යහපාලන රජයේ සමයේ තිබූ භාණ්ඩාගාර බැඳුම්කර වංචාවට වඩා අලාභයක් මෙම සීනි වංචාවෙන් සිදුවෙලා තියෙනවා.
මේ වංචාවට රජය වගකිව යුතුයි
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් චෝදනා කරන්නේ මෙරට සීනි තොග ඇති තරම් තිබියදී බදු ප්‍රතිශතය පහත හෙළා සීනි ආනයනය කිරීමට අවසර දී ඇත්තේ මුදල් අමාත්‍යාංශය දැනුවත්ව බවටය.
&මෙම වංචාවට ආණ්ඩුව සම්බන්ධයි. මෙයට සම්බන්ධ ජාවාරම්කාර ව්‍යාපාරිකයාට සීනි ආනයනයට අවසර දුන්නේ ඍජුවම ආණ්ඩුවේ මැදිහත් වීමෙන්. පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට පසුගියදා මුදල් අමාත්‍යාංශය දුන් වාර්තාව අනුව පැහැදිලිවම මුදල් අමාත්‍යාංශය කියනවා සීනි ගනුදෙනුවෙන් රුපියල් බිලියන 15.9ක අලාභයක් වූ බවට. එම මුදලින් අපේ රටේ 150,000 දෙනකුට කොවිඩ් එන්නත ලබා දෙන්න පුළුවන්.
සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ට අඩු කරන අවස්ථාව වන විට විල්මා ආයතනය සතුව පමණක් සීනි මෙට්‍රික් ටොන් 8237ක් හෙවත් කිලෝ 82000කට වැඩි ප්‍රමාණයක් තිබිලා තියෙනවා. මුලින් ආණ්ඩුව සීනි බද්ද ගහනකොට කිව්වේ දේශීය නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා ආනයන සීනි කිලෝවකට රුපියල් 50ක බද්දක් ගහන බවයි. ඒත් ඊටපස්සෙ හිටිඅඩියේම එම බද්ද ශත 25 කිරීම ආණ්ඩුව කියපු ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ඔළුවෙන් හිටවිල්ලක්.
අනිත් අතට බදු අඩු කළ මොහොතේම වගේ සෑහෙන තරම් තොග තිබුණු විල්මා ආයතනය සීනි මෙට්‍රික් ටොන් 26,000ක් කඩිමුඩියේ ආනයනය කරලා තිබෙනවා. රටේ සාමාන්‍ය මාසික සීනි පාරිභෝජනය මෙට්‍රික් ටොන් 46000ක් පමණ වෙනවා. ඒත් බද්ද අඩු කළ මාසවල මාසික සීනි ආනයනය මෙට්‍රික් ටොන් 80,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සීනි ආනයනය කරන සමාගම් 67ක් තිබෙන අතර වැඩියෙන්ම ඒ අතරින් සීනි ආනයනය කර ඇත්තේ පිරමිඩ් විල්මා යන ආයතනයයි. එනම් සජාඩ් මවුසූන් නැමැත්තාගේ ආයතනයයි. සීනි ආනයනයෙන් සියයට 40ක් පමණ එම ආයතනය ගෙන්වනවා. රහස තියෙන්නේ එතැන තමයි. 2020 වසර පුරාවටම සීනි ආනයනය කිරීමේදී ගොඩබාන මිල කිලෝව රුපියල් 90ට වැඩිවෙලා නැහැ. මුදල් අමාත්‍යාංශ වාර්තාවට අනුව 2021 පෙබරවාරිවල ගොඩබාන විට කිලෝවක අගය රුපියල් 87.50ක්. එයට රුපියල් 50 බද්ද එකතු කළ විට මිල රුපියල් 137.50ක් තමා වෙන්නේ. ඒ වුණාට මුදල් අමාත්‍යාංශ ලේකම් කියන්නේ බද්ද ඉවත් නොකළා නම් වෙළෙඳපොළේ සීනි කිලෝවක මිල රුපියල් 175 දක්වා ඉහළ යන බවයි. ඒ කතාව විශ්වාස කරන්න බැරි පට්ටපල් බොරුවක්. ඒ නිසා මේ පිළිබඳ ආණ්ඩුව කියන දේවල් පදනම් විරහිතයි. සීනි ගනුදෙනුව මෙරට සිදුවූ බැඳුම්කර වංචාව හා සමාන දූෂිත ගනුදෙනුවක් බව කිව යුතුයි.
බදු අඩු නොකළා නම් සීනි මිල නගින බව කීම බොරුවක්
පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසන්නේ සීනි බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා බැස්සවීමෙන් ලැබුණු වාසිය පාරිභෝගිකයාට නොලැබුණේ නම් එය ලැබුණු කෙනෙක් සිටිය යුතු බවය. එය යම් ව්‍යාපාරිකයකු හෝ නැතිනම් යම් දේශපාලනඥයකු හෝ ලබාගන්නට ඇතැයි සැක පහළ වන බව ඔහු කියයි. එසේ නොවේ නම් ඒ දෙපාර්ශ්වයම බෙදාගන්නට ඇතැයි සිතිය හැකි බව ඔහුගේ අදහස වේ.
සීනි බද්ද මේ තරමට අඩු කිරීමට තරම් මිල ඉහළ යාමක් හෝ සීනි හිඟයක් හෝ රටේ ඒ වෙනකොට තිබුණේ නැහැ. රටේ අවශ්‍යතාවටත් වඩා ඒ වන විට සීනි තිබුණා. එහෙම නම් බදු අඩුකර විශාල වශයෙන් ගෙන්වන්නට ඉඩ සලසා දුන්නේ ඇයිද යන්න ගැටලුවක්. එය පාරිභෝගිකයාගේ ඉල්ලීම පිට හෝ ඔහුට සහනයක් සැලසීමේ පරමාර්ථයෙන් කළ එකක් නොවෙයි. කාගේ හෝ අවශ්‍යතාවයකට කරපු දෙයක්. අනිත් එක මේ වන විට එහෙම ගෙනාපු සීනි ඕනෑතරම් තිබුණත් තවමත් බදු බැස්සිල්ල වෙනස් කරලා නැති එකද සැකයට කරුණක්. ඕනෑවටත් වැඩිය සීනි තිබෙනවා නම් මෙම බද්ද නිවැරදි කළ යුතු වෙනවා. එහෙත් එහෙම කරන අදහසක් නැති බවයි පේන්නෙ.
ආණ්ඩුව මෙතරම් දවස්වල කළ බදු පහළ දැමිලිවලින් සහනය හිමිවුණේ ව්‍යාපාරිකයන්ට මිස පාරිභෝගිකයාට නොවෙයි. මේක ව්‍යාපාරිකයන් රට පාලනය කරන කාලයක් වෙලා. පාරිභෝගිකයාට දෙවියන්ගේම පිහිටයි. බද්ද අඩු නොකළා නම් සීනි මිල ඉහළ යන බවට ආණ්ඩුව කරන ප්‍රචාරයද බොරුවක්.
බදු අඩුකිරීම වංචාවක් නොවේ
සීනි ගැන මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහතා මෙසේ කරුණු පැහැදිලි කරයි.
සීනි සඳහා පනවා තිබුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 50 සිට ශත 25 දක්වා අඩු නොකළේ නම්, මේ වන විට වෙළෙඳපොළේ සීනි කිලෝ 1ක මිල රු. 175ක් දක්වා ඉහළ යාමට ඉඩ තිබුණු බවත්, එහිදී බදු අඩුකිරීම රාජ්‍ය ආදායම අහිමිවීමක් ලෙස ගණනය කිරීම නිවැරදි නොවන බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි.
තවද අද වන විට සීනි කිලෝවක ආනයනය වෙනුවෙන් දරණ CIF (Cost, Insurance, and Freight) පිරිවැය රු. 72 සිට රු. 90 දක්වා වැඩි වී ඇති බවද ආටිගල මහතා පවසයි.
ඔහු මෙසේද කියයි.
ඔක්තෝබර් මාසයේ 13 ඉඳලා අද දක්වා මේ ශත 25 බද්ද තවම වෙනස් කරලා නැහැ. නමුත් ඇතැම් මාධ්‍ය අපි මේ අඩු කරපු බද්ද එක්තරා ව්‍යාපාරිකයෙක්ට විතරක් ලබා දී නැවත වැඩිකර ඇති බවට ප්‍රබන්ධ ගොඩනගලා තිබුණා. එය සම්පූර්ණ අසත්‍යයක්.
සීනි 135ට තිබුණු එක අද 115ට අඩුවෙලා තියෙනවා. CIF වටිනාකම රු. 72 සිට අද වෙනකොට රු. 90 දක්වා වැඩිවෙලා. මේක අඩු කළේ නැත්තම් සීනි 135 නෙමෙයි 175ට විතර තියෙන්නේ. නමුත් බද්ද අඩුකිරීම නිසා අද 115යි. ඒ ප්‍රතිලාභය ක්‍රමානුකූලව මහජනතාවට ඇවිල්ලා තියෙනවා.
මේ තියෙන්නේ Oligopolistic මාර්කට් එකක්. (කතිපයාධිකාරී වෙළෙඳපොළක්). පස් දෙනෙක් හය දෙනෙක් ඉන්නේ. මේ කට්ටිය තමයි 2015ත් හිටියේ.
එදා ඔක්තෝබර් 13 වැනිදා සීනි රු. 50 සිට ශත 25ට කිලෝ එකට අඩු කළා. ඊට අමතරව ලූනු, පරිප්පු, සැමන් වැනි තවත් භාණ්ඩ කිහිපයකට අඩු කළා.
පත්තරවල තියෙනවා, මුදල් අමාත්‍යාංශය කිව්වා කියලා, බිලියන 15.9ක් සීනිවලින් ආදායම අහිමිවීමක් කියලා. අපි එහෙම කිව්වේ නැහැ. එහෙම අපිට කියන්න බැහැ. එහෙම loss එකක් නැහැ. Public Finance Commission එක අපෙන් ඉල්ලුවා පෙබරවාරි මාසයේ 10 වැනිදා දක්වා ආනයන කළ සීනි ප්‍රමාණය.
ඔක්තෝබර් 13 සිට පෙබරවාරි 10 දක්වා ආනයනය කළ සීනි ප්‍රමාණය සීනි මෙට්‍රික් ටොන් 320,000ක්.
මෙසේ ගෙන්වන ලද සීනි මෙට්‍රික් ටොන් 320,000 අතුරින් විපක්ෂය විසින් රාජපක්ෂලා සමඟ සබඳතාවක් ඇතැයි චෝදනා කරනු ලබන විල්මා සමාගම විසින් ගෙන්වා ඇත්තේ සීනි මෙට්‍රික් ටොන් 125,000ක් පමණි. එනම් මුළු සීනි ආනයනය ප්‍රමාණයෙන් 39%ක් පමණි.
සීනි මෙට්‍රික් ටොන් 195,000ක් හෙවත් මුළු ආනයනය ප්‍රතිශතයෙන් 61%ක් ශත 25 බද්ද යටතේ වෙනත් පෞද්ගලික ආනයනකරුවන් විසින් මෙම කාලය තුළ ගෙන්වා ඇත.
රු. 50 සිට ශත 25ට බද්ද අඩුවුණු නිසා රු. 49.75ක් එක කිලෝ එකකට අපිට ආදායම ලැබෙන්නේ නැහැ කියන පදනමින් තමයි ගෙන්වන ලද සීනි ප්‍රමාණය වැඩි කරලා බිලියන 15.9ක වංචාවක් වෙලා කියලා මේ මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ. බදු අඩු කිරීමක් කියන්නේ වංචාවක් නෙමෙයි ඒක තමයි රජයේ ප්‍රතිපත්තිය.
රජය දුන් සහනය ජාවාරම්කාරයෝ සාක්කුවට දාගෙන
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ සීනි බදු අඩුකිරීමෙන් රජය අපේක්ෂා කළේ මහජනතාවට සහනයක් සැලසීම වුවද අවසානයේදී සිදුවූයේ මේ රටේ ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් පිරිසක් එම සහනය තමන්ගේ සාක්කුවට දමාගැනීම බවය.
&ජනතාවට එම වාසිය ලබාදීමට රජය අපොහොසත් වූ බව පිළිගන්නවා. මේ වංචාව ගැන සොයා බලා වරදකරුවන්ට දඬුවම් ලබාදිය යුතුය යන ස්ථාවරයේ රජය ඉන්නවා. සමහරුන් කියනවා මේ වාසිය ලබාදීම මගින් කිසියම් මුදලක් දේශපාලනඥයකුගේ අතට ගියා කියලා. එය මම පිළිගන්නේ නැහැ. සමහර අය කියනවා මෙය මහ බැංකු බැඳුම්කර මගින් සිදුකළ වංචාවට සමානය කියලා. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මුලින්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළේ මමයි. ඒ 2015 මාර්තු 09 වැනිදා. ඊටපස්සෙ තමයි අනිත් අය මේක අල්ලාගෙන ඉදිරියට ගියේ. මේ සීනි බදු අඩුකිරීම කළේ ජනතාවට සහනයක් දෙන්නයි. නමුත් සිදු වුණේ අනපේක්ෂිත දෙයක්.
රජය මේ පියවර ගත්තේ යහපත් චේතනාවෙන් මිස වංචා කිරීමේ චේතනාවෙන් නොවෙයි. ඒ නිසා බැඳුම්කර සිද්ධියයි මේ සිද්ධියයි කිසිවිටෙකත් සමාන වෙන්නේ නැහැ. අපි හිතන්නේ මින්පසු මෙවැනි අඩුපාඩු නොවිය යුතුයි කියලයි. ඒ වගේම වගකීම් පැහැර හැරි අයත් මේ වංචාව කළ ජාවාරම්කරුවනුත් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු යැයි මම විශ්වාස කරනවා.
රජයේ තීන්දුව සද්භාවයෙන් ගත් එකක්
පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්
ලෝක වෙළෙඳපොළේ සීනි මිල වැඩිව තිබූ නිසා ජනතාවට සහන සැලසීමේ අපේක්ෂාවෙන් රුපියල් 50ට තිබූ බද්ද ශත 25ට අඩු කළා. එය ඉතා සද්භාවයෙන් කළ දෙයක්. ඒ බදු අඩුකිරීම නිසා ඒ අවස්ථාවේ රටට සීනි ගෙනෙන ව්‍යාපාරිකයන්ට යම් ලාභයක් අත්වුණා. එසේම එය එම ව්‍යාපාරිකයන්ට පමණක් නොව අද දක්වාම සීනි ආනයනය කරන අයට එම සහනය ලැබෙනවා. මේ වගේ ගනුදෙනුවකදි යම් පාර්ශ්වයකට වාසි වෙන්න නම් බදු අඩු කරලා ටික දිනකින් යළි වැඩි කළ යුතුයි. නමුත් අපි එහෙම කළේ නැහැ. යහපාලන රජය කාලේ ඔවුන් කළේ බදු අඩු කරලා හිතවත් අයට අඩු බද්දට ගේන්න ඉඩ දීලා සතියකින් දෙකකින් බදු වැඩි කිරීමයි. නමුත් අපි එහෙම කරලා නැහැ. ශත 25 සීනි බද්ද අදටත් වලංගුයි. එය තාම වැඩිකර නැහැ. බදු අඩු කිරීමෙන් රජය යමකුට උදව් කළා යැයි කියනවා නම් එලෙස උදව් කර ඇත්තේ රටේ ජනතාවට මිස වෙන කාටවත් නොවෙයි.
යසවර්ධන රුද්රිගූ