2021 මාර්තු 20 වන සෙනසුරාදා

ධනවතුන්ගේ අලුත්ම ඔෆිස් එක කෙන්යාවේ ලැප්ටොප් වෙරළ

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 51

කොවිඩ් වසංගත තත්ත්ත්වය සමඟ කලින් කල්පනා නොකළ ප‍්‍රශ්න ලෝකය පුරා මතු වී තිබුණි. සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් කටයුතු කිරීම පහසු නැත. ජනතාව එකතු වන අවස්ථා පමණක් නොව ව්‍යාපාර, කර්මාන්ත හා සේවා අංශ පවා අර්බුදයකට මුහුණ පෑවේය. තාක්ෂණය සමඟ පරිවර්තන යුගයකට අවස්ථාවක් නිර්මාණය කරගෙන තිබේ. දුරස්ථව මෙහෙයවෙන පිළිවෙළක් සකස් කරගෙන ඇත. නිවෙසේ සිට ඉගෙන ගැනීම, තෝරාගත් වෘත්තීය අවස්ථා සඳහා නිවසේ සිට කටයුතු කළ හැකිවීම එයින් අංශ දෙකකි, වෙළඳපොළ හා සේවා අවශ්‍යතා වෙනුවෙන් ද පැවැති අවස්ථා ප‍්‍රසාරණය වී තිබේ. අන්තර් භාණ්ඩ නිවසටම ලැබෙන සේ ජාලයෙන් ඇනවුම් කරන පිළිවෙළ වේගයෙන් ව්‍යාප්ත වී ඇත.

ජාත්‍යන්තර තොරතුරු වලින් එන අලුත් වාර්තා අනුව ලැප්ටොප් වෙරළ සංකල්පයක් බිහි වී තිබේ. මුහුදු වෙළරට එන ධනවත් ව්‍යවසායකයෝ එහි තුරු වියනක් අසල පහසු සෝෆාවක ඇලවෙන අතර පැය ගණන් අන්තර් ජාලයෙන් රාජකාරි කරති. කාර්යාලයක සංකීර්ණභාවය එහි නැත. කාර්ය බහුල වටමේස සංකච්ඡා නොපැවැත්වෙයි. ලිපිගොනු පෙරලමින් දත්ත විශ්ලේෂණය නොකෙරේ. අධික වාහන තදබදය හෙයින් ප‍්‍රමාද වී සැසිවාරයකට එන පිරිස කරන බාධා ගැන අසතුට පළ කිරීමක් නැත. සියලු දෙනා ඉතා සැහැල්ලුවෙන්ය. ආරක්ෂිතය. සාමාන්‍යයෙන් ජීවත්වන පරිසරයට බැහැර තැනක සිට සම්බන්ධ වන අතර සන්නිවේදන ඇප් එයට විශාල වලින් අවකාශයක් විවෘත කර දී තිබේ. ලෝකයේ  ඕනෑම තැනක සිටින ප‍්‍රධානීන් සජීවීව හමුවන අතර දවස වෙනදාටත් වඩා කාර්යක්ෂම යැයි තීරණය කරන්නට පසුබිමකි.

අලුත් තොරතුරු අනුව අප‍්‍රිකානු කලාපයේ ප‍්‍රධාන පෙළේ කර්මාන්තකරුවන් හා ව්‍යාපාරිකයන් කෙන්යාවේ දියානි නම් වෙරළ තීරය සිය දුරස්ථ වෘත්තීයකරණයට ආකර්ශණීය තැනක් වශයෙන් තෝරාගෙන ඇත. කෙන්යාවේ කොංගෝ ගංගාවට උතුරින් සහ ගලූ වෙරළ තීරයට දකුණින් මෙම දියානි වෙරළ පිහිටා ඇත. ලෝකයේ ලස්සනම වෙරළ අතරින් එකකි. සැතපුම් දහහතක් එක දිගට විහිදෙයි. වෙරළ  සමීපයේ උකුන්ඩා ගුවන් තොටුපොළ පිහිටා ඇත. නයිරෝබි විල්සන් ගුවන් තොටුපොලේ සිට එයාර් කෙන්යා කුඩා ගුවන් යානා සේවවාක් එහි ළඟාවන අතර කලාපයේ සුපිරි ව්‍යාපාරිකයෝ තමන්ගේ ගුවන් යානාවලින් කෙලින්ම එහි පැමිණෙති. කොවිඩ් කාලයේ දී උකුන්ඩා ගුවන් තොටුපොළ කාර්ය බහුල තැනක් බවට හැරවී තිබේ. සංචාරයෙහි නිරත අතරතුර රාජකාරි කටයුතුවලට එන යන පිරිස එහි බහුලය. කෙන්යාවේ ආවේනික සුළු ජනවර්ගයක් වන ඩිගෝ වාසීහු මෙම දියානි වෙරළ ආසන්නයේ වෙසෙති. ලක්ෂ තුනක් පමණ වන ඩිගෝ වාසීන්ගේ සංස්කෘතික අංග හා අනන්‍යතා අතිරේක ආකර්ශණයකි. කෙන්යාවේ ජීවත්වන තවත් සුළු ජනවර්ග නමයක සමහර පිරිස් දැන් දැන් මෙම ප‍්‍රදේශයට සංක‍්‍රමණය වන බව වාර්තා දක්වයි. එයට හේතුව මෙම නවතම දුරස්ථ වෘත්තීයකරණය අරමුණු කරගෙන එන යන කලාපයේ ප‍්‍රකට ධනවතුන්ගෙන් යමක් උපයා ගැනීම බව සඳහන්ය.

කෙන්යාව සංචාරක ව්‍යාපාරයෙන් සෑහෙන ආදායමක් ලැබුණ රටකි. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට නමයක් පමණ ලැබුණේ සංචාරක ආදායමෙන්ය. කොවිඩ් -19 වසංගත තත්ත්වය එයට අවහිරයක් විය. නයිරෝබි අගනුවර ඇතුළු නගර ප‍්‍රදේශවල අගුලු වැටෙන විට ඒවායේ විසූ ධනවතුන් පිටිසර ප‍්‍රදේශවල අන්තර්ජාල පහසුකම් ඇති තැන් විවේකය සඳහා තෝරා ගත්හ. මෙම අලුත් මුහුණුවරෙහි ආරම්භය එතැනය. කොවිඩ්වලට කලින් කෙන්යානු ධනවතුන් පවා මෙම දියානි වෙරළ එපමණ නොතැකූහ. සති අන්තය ගත කරන්නට තෝරාගත් පිරිස් පවා හෝටල් වෙන් කරගත්තේ ඉතා කෙටි නවාතැන් පොළක් වශයෙනි. එහෙත් පසුව ස්වභාවය වෙනස් විය. කර්මාන්ත හා ව්‍යාපාර නියමුවන් පමණක් නොව චිත‍්‍ර ශිල්පීන් හා ගුරුවරු පවා එහි පැමිණියහ. සාමාන්‍යයෙන් ගතකරන කාලයට වඩා දිගකාලයක් එහි නතර වෙන අතර එකවර කෙන්යානු ජාතික සංචාරකයන්ගේ කාමර වෙන් කරවා ගැනීම සියයට පනහකින් පමණ ඉහළ ගිය අතර මාස ගණන් නතරවීම වඩාත් කැපී පෙණින. 
ස්ව ජාතික සංචාරකයන් පසුපස කලාපයේ පිරිස් එහි එන්නට හුරු වූහ. උගන්ඩාව ඇතුළු නැගෙනහිර අප‍්‍රිකානු කලාපයේ රටවල්වලින් පැමිණීම වැඩි වී ඇත. අන්තර්ජාල සැපයුම වේගවත් සහ හොඳ තාක්ෂණික යටිතල පහසුකම් සහිත කෙන්යාව කාර්ය පහසු කරන බව ඔවුන් වටහා ගන්නට ඇත. දත්ත සැපයුම වේගවත් කිරීම සහ ගාස්තු අයකිරීම සාපේක්ෂව අඩු මටට්මක තිබීම වාසිදායක වී තිබේ. මෙම හෝටල් හිමියන් දක්වන අන්දමට කාමර වෙන් කිරීම්වලින් සියයට අනූවක් දිග කාලසීමාවලට හැරවී ඇති අතර නගරයේ අන්තර් ජාල භාවිතය සියයට පනහකින් ඉහළ නැග තිබේ. කලාපයේ ධනවතුන් පමණක් නොව ලෝකයේ අනෙක් පැති වලින් ද සංචාරකයන් එහි එන්නට සූදානමක බව අනාවරණය වන තවත් කරුණකි. ඉතාලියෙන් හා ස්පාඤ්ඤයෙන් වැඩි සංචාරක අවධානයක් යොමු වී ඇති බව දැක්වෙයි. 

එක දොරටුවක් අවහිර වනවිට අලුත් පැති ගණනාවක් විවෘත වෙයි. අවස්ථානුකූලව මග හසුරුවා ගැනීම වැදගත්ය. කොවිඩ් වසංගතය හෙයින් රුකියා අහිමි වී ආදායම් මාර්ග අවහිර වී තිබුණ මෙම දියානි සංචාරක කලාපය අර්බුදය මැද වෙනත් පැත්තකින් අවස්ථාව ළඟා කරගෙන ඇත. අන්තර්ජාල පහසුව සහ වැඩ කරන්නට ඉතාම හොඳ නිස්කලංක පරිසරය විශාල පෙරුළියකට පසුබිම සකස් කර තිබේ. ඉතාම මිල අධික නගරවල ජීවත් වූ ධනවතුන් එවැනි තැන්වල කොටු වී එදිනෙදා කාර්ය කරගන්නවා වෙනුවට ආකර්ශණීය තැනකට පැමිණ අඩු පිරිවැයකින් සතුටින් රාජකාරි කරන තීරණයක් ගෙන ඇත. ඔවුන්ට එදිනෙදා රාජකාරි අන්තර් ජාලය ඔස්සේ කරගත හැකිය. සුපුරුදු සම්ප‍්‍රදායික වටපිටාව සහ ආවේනික ජන කොටස්වල ඇවැතුම් පැවැතුම් ආස්වාදයක් බව දැක්වෙයි. අනෙක් වාසිය පවුල් පිටින් පැමිණ දූ දරුවන් අප‍්‍රමාණ සතුටින් සිටිය දී රාජකාරි කරන පසුබිමක් නිර්මාණයවීම බව දැක්වෙයි. 

අලුත් ප‍්‍රවණතා අධයයනය වැදගත්ය. බිස්නස් ගමන් බිමන් රටාව වෙනස් වී තිබේ. ජීවිතය ආරක්ෂා කරගන්නා අතර අඩු වියදමකින් අන්තර් ජාලයත්, එහි අඩුම පිරිවැයත් සමග එන සොබා සෞන්දර්ය සංචාරක ව්‍යාපාරයේ නව පැති හඳුන්වා දී ඇති බව පෙනේ. ශ‍්‍රී ලංකාවද සංචාරක කර්මාන්තයෙන් වැඩි අවස්ථා අපේක්ෂා කරන රටකි. අවශ්‍ය වෙනස්කම් සහිතව ඉක්මනින් තීරණ ගතහොත් කලාපයේ වැඩකරන සංචරණ අංශයක් වශයෙන් දියුණු කරන්නට අවස්ථාවක් තිබේ.  
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.

 මිලින්ද මොරගොඩ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03