2021 මාර්තු 20 වන සෙනසුරාදා

මට කැන්සර් එකක් හැදුණා - චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 524

♦ සේනානායක බණ්ඩාරනායක පරම්පරා වුණත් දිගටම යා යුතු නෑ
♦ ‍පුතාට බණ්ඩාරනායක නම තියෙන්නෙ අරික්කාලක් විතරයි
♦ දේශපාලනයෙන් අපි හැදුණේ නෑ: සියල්ල නැතිවුණා: දරුවන්ටත් ඒ දුක දෙන්න බෑ
♦ මම දැන් පොත් කියවනවා, ලියනවා, මල් වවනවා, චිත්‍ර අඳිනවා
♦ තරුණ පිරිසක් හැදිලා ආපු දවසක අපේ පුතාත් ඒකට දායක වේවි
♦ මගේ ප්‍රමාදයට හේතුවුණේ හැමදේම ඉවරකරලා යන පුරුද්ද නිසා
♦ දේශපාලනයේ නොසිටියා නම් මම දැන් පොහොසත්
♦ විජය මැරුවාම මාවත් මරයි කියලා නිතර හිතුණා
♦ පොඩි පිරිසකට මේ රට වෙනස් කරන්න බෑ
♦ මම කියවන්න හරි පෙරේතයි
♦ වැඩ පන්දාහක් එකපාර කරන කෙනෙක් මම

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග නම් ඇය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ සිව්වැනි විධායක ජනාධිපති ධූරය හෙබවූ තැනැත්තියයි. වසර දෙදහස් පන්සීයකටත් එහා දිව යන ලාංකීය ඉතිහාසයේ නිසැක වශයෙන්ම ඇයට පරිච්ඡේදයක් හිමිය. පසුගියදාක ලේඩි ලීඩර්ස් (Lady Leader) යූ ටියුබ් නාලිකාව ඇය සමඟ සිදුකළ සංවාදයක් අප නෙත ගැටුණි. ඒ ඇසුරින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග නම් ඇයගේ වර්තමාන සහ දිවිසැරිය පිළිබඳ තතු දේශය පාඨක ඔබ සමඟ බෙදාගැනීමට අපි තීරණය කළෙමු.

කොවිඩ් වසංගතය හේතුවෙන් ලද ඉසිඹුව පිළිබඳව හිටපු ජනපතිනිය කතා කරන්නේ ඉතා සතුටිනි. සිය වැඩිහිටි ජීවිතයේ පළමුවැනි වතාවට විශ්වවිද්‍යාලයෙන් සමාජයට පිවිසීමෙන් පසු අපූරු විවේකයක් ලද බව ඇය කියයි. දින ගණන් සති ගණන් වෙනත් අය වෙනුවෙන් කාලය වෙන් නොකොට හමුවීම් සාකච්ඡා නොමැතිව නිදහසේ ඇය කාලය ගතකර තිබේ.

“මම මගේ හොරගොල්ල නිවසට වෙලා ඉඳගෙන හුඟක් දේවල් කළා. අතපසුවුණු කරන්නට පුන පුනා බලා සිටි ගොඩක් දේවල් කළා. කියවීම නැවත පටන් ගත්තා. මගේ පොත් ගොඩවල් තිබෙනවා. මම කියවන්න හරි පෙරේතයි. පිටරට යනකොට ගෙනැල්ලා තියාගන්නවා. නමුත් කියවන්න වෙලාවක් නෑ. ඒවා කියෙව්වා. ඒ වගේම ලියන්න පටන් ගත්තා. එක්කෙනා දෙන්නා හම්බවෙන්න පුළුවන් නිසා යාළුවෝ වැඩියෙන් හම්බවෙන්න පටන් ගත්තා. දරුවන්ට වැඩි වැඩියෙන් කතා කළා. මගේ ඉඩම් නොසලකා හැරලා කාබාසිනියා වෙලා තිබුණේ. ඒවා සංවර්ධනය කෙරුවා. මාස හයෙන් හතෙන් ඉතාම හොඳ තත්ත්වයකට ගත්තා. ඒ වගේම මම මල් වවන්න කැමතියි. ඒවා ආයේ පටන් අරගෙන කෙරැවා. හොරගොල්ලේ ඔක්කොම කළේ මම. ඒ අතරතුරේ මම දේශපාලනයෙන් විශ්‍රාම ගියාට පස්සේ සමාජ සේවා වැඩ වගයක් පටන් අරගෙන තිබුණා. මගේ ගම අත්තනගල්ල වෙනුවෙන් පළමුවෙන්ම ඒ වැඩ ටික කළා.”

අත්‍යන්තයෙන්ම කාර්යබහුල ජීවිතයකට හුරු වී සිටි හැත්තෑපස් වියැති කුමාරණතුංග මහත්මියගේ මතකය තමා තරැණියක් ලෙස ගතකළ ජීවිතය දෙසට රැගෙන යාමට මෙම සම්මුඛ සාකච්ඡාව සමත් විය. ඉගෙනීම මෙන්ම බාහිර ක්‍රියාකාරකම් රැසක් සිදුකළ දඟකාර තුරුණු වියක් තමන්ට තිබුණු බව ඇය කියයි. එසේම පාසල් වියේ සිටම නිරන්තර නායකත්වය තමන් කරා ළඟා වූ අයුරුද ඇය පහදයි. ඒ අතරේම සිය විවාහය, තරුණ දේශපාලනය, දරුවන්ගේ බාල විය ආදී මතකයන් ඔස්සේද කුමාරණතුංග මහත්මිය ඇවිද යයි.

“අවුරුදු විසි හතේදී විශ්වවිද්‍යාලයෙන් සමාජයට පිවිසුණේ. ඒ කාලේ ඉඳන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මම දේශපාලනය කෙරුවා. ඒක ඉතා පුළුල් ක්‍රියාකාරී දේශපාලනයක්. ඊටපස්සේ විජයයි මායි බැන්දේ එක වයසේදී. තිස් දෙකේදී. එතැනින් පස්සේ විජය එක්ක ඉතාම ක්‍රියාකාරී දේශපාලනයක් සිදුකළා. පක්ෂයෙන් අපිව පැන්නුවාට පස්සේ මහජන පක්ෂ හදාගෙන ඒක තුළ කටයුතු කළා. මම සතියට දවස් හතෙන් දවස් පහක් පිට හිටියේ. මම තමයි පක්ෂය සංවිධානය කර කර ගම්වලට ගියේ. විජය රැස්වීම්වලට ගියා ආකර්ෂණය නිසා. අපි වැඩ බෙදාගෙන හිටියේ. මං විතරක් නෙවෙයි තවත් කට්ටිය හිටියා. ශාඛා හදන්න යනවා. පක්ෂය ගෙනියන්නේ හුඟක් වෙලාවට ශාඛාවලින් ලැබුණු මුදල්වලින්. මං ළමයි දෙන්නව උදේ බලලා ඉවරවෙලා හැන්දෑවේ එන්නේ ළමයි දෙන්නව බලන්න. මම ඒ සම්බන්ධව හුඟක් දුක් වෙනවා. දුවට අවුරැදු හතරක් විතර කාලේ පුතාට අවුරුදු දෙකක් විතර කාලේ ඉඳලා මං ඒ ගොල්ලෝ එක්ක හිටියේ නෑ. ඒගොල්ලෝ තාමත් මට ඒක කියනවා චෝදනාවක් හැටියට. හැබැයි මගේ තිබෙන මොකක්දෝ හැකියාවක් නිසා ඒ ඉන්න ටික මම ඒගොල්ලෝ එක්ක සාර්ථකව පොහොසත් විදිහට හිටියා. ඒ ගොල්ලන්ට මම අදහස් දෙනවා. කියවනවා. තුරැල් කරගන්නවා. ආදරේ ගොඩක් දෙනවා. ඒ නිසා හුඟාක් අඩුපාඩු ඒගොල්ලන්ට දැනුණේ නෑ.”

විජය කුමාරතුංග ඝාතනයේ කම්පනය සහ ඒ වටාවූ සිදුවීම් පෙළ හිටපු ජනාධිපතිනිය මෙහිදී පැහැදිලි කරයි. තමා ඉදිරියේ සිය ස්වාමිපුරුෂයා ඝාතනය කිරීම දරාගත් ආකාරය ඇය කියා සිටී. එසේම එම සිදුවීමෙන් පසු මහජන පක්ෂය තමන්ව පාවිච්චි කිරීමට උත්සාහ දැරූ බවත් වත්කම් තිබුණාට මුදල් නොතිබීම නිසා අපහසුතාවයට පත්වූ අයුරු වැනි මතක ඈ අවදි කරයි. ජනතා විමුක්ති පෙරමුණ තමන්වද ඝාතනය කරන බවට එල්ල කරන ලද තර්ජන නිසා තම මව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ අක්කා වූ සුනේත්‍රා බණ්ඩාරනායක තැතිගත් අයුරුද කුමාරතුංග මහත්මිය සිහිකරයි. එසේම මව සහ අක්කා බලහත්කාරයෙන් මෙන් තමා සහ දරු දෙදෙනා රටින් පිටකළ ආකාරය ඇය සිහිකරයි. විජය ඝාතනය හේතුවෙන් ඇතිවූ කම්පනය වසර තුනක් යනතුරු තමාටද මරණ බිය සේ දැනුණු බවත් ඝාතකයෙක් තමා පසුපසින් එතැයි සිතුණු බවත් ලක් ඉතිහාසයේ බිහිවූ පළමු ජනපතිනිය කියා සිටියි.

“යශෝධරාට අවුරුදු හයයි විමුක්තිට අවුරුදු පහයි අපි එහේ යනකොට. මම ඒ ගොල්ලන්ව නාට්‍ය ෆිල්ම් පෙන්නන්න එක්කන් යනවා. එයාලත් එක්ක පොත් තෝරනවා කියවනවා. ඒ නිසා තමයි ඒ ගොල්ලන්ට පුළුල් චින්තනයක් අද තියෙන්නේ. අධ්‍යාපනය අතිනුත් එයාලා බොහොම ඉදිරියට ගියා.”

මෙම කාලය තුළ තමන් දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට අදහස් කර තිබූ බවත් මහජන පක්ෂයේ බෙදීම සමඟ පිරිසක් කිහිපවරක් තමා සොයා එංගලන්තයට පැමිණ නැවත දේශපාලනයට ආරාධනය කළ බවත් ඇය සිය සිහිගන්වයි. ඒ අනුව එම වකවානුවේ සමාජ දේශපාලන වටපිටාව සිහිගන්වමින් මෙම සම්මුඛ සාකච්ඡාව ගලා යයි. මේ අතර දේශපාලන පරම්පරාවන් පිළිබඳ විමුක්ති දේශපාලනයට ගෙන ඒම පිළිබඳ ඇසූ ප්‍රශ්නයක් ඔස්සේ සංවාදයේ ගලායෑම වෙනස්වේ. දේශපාලන පරම්පරාවන් යනු කුමක්දැයි තමා නොදන්නා බව හිටපු ජනාධිපතිනිය සඳහන් කරයි. රාජ්‍ ආණ්ඩු ක්‍රමය සමඟ දේශපාලන පරම්පරාවල් නැතිවූ බවත් රදළ දේශපාලනය පැවතුණු සේනානායක පරම්පරාව සහ බණ්ඩාරනායක පරම්පරාවට වුවද ඉදිරියට යායුතු යැයි තමා විශ්වාස නොකරන බව ඇය කියා සිටී.

“මගේ පුතාට බණ්ඩාරනායක නම තිබෙන පලියට එයාම ගේන්නේ මොකටද? මගේ පුතාට බණ්ඩාරනායක නම තියෙන්නේ අරික්කාලක් විතරයි. මම නම් ඔය ආකල්පයට විරුද්ධයි. මට ඉන්න දෙන්නේ නෑ හැමෝම. පාරේ යන්න දෙන්නේ නෑ. පුතා ගේන්නේ කවදද රට බේරගන්න? පුතා මොකටද රට බේරගන්න. අනික් මිනිස්සු ඉන්නේ ඇයි අපි විතරක්? ඒ මගේ දර්ශනය. අනික් පැත්තෙන් මම කියන්නේ අපි විඳවලා තියෙනවා රටට ජනතාවට වැඩ කරන්න ගිහිල්ලා. අපි කිසි දෙයක් හදලා නෑ දේශපාලනයෙන්. අපි සියලු දේ නැතිකරගෙන තියෙන්නේ. තවදුරටත් මගේ දරැවන්ටත් ඒ දුක මම දෙන්න කැමති නෑ.”

මෙරට සමස්ථ සමාජ දේශපාලන ක්‍රමය කුණු වී ඇති බවත් එය උඩු යටිකුරු කළයුතු බවත් ඇය පවසයි. ඒ සඳහා තමාගේ වයසේ මිනිසුන්ගේ ඔලු වෙනස් කළ නොහැකි බවත් තරුණ සිතිවිලි වෙනස් කළයුතු බවත් අවධාරණය කරයි.

“මගේ දුව වෛද්‍යවරියක්. එයා ලෝකය ගැන දන්නවා. අපේ රටේ වෙන දේවල් ගැන කියව කියවා මට කතාකරලා කියනවා ඇයි එහෙම කරන්න දෙන්නේ? ඇයි මෙහෙම කරන්න දෙන්නේ? කියලා. මට අදහස් දෙනවා. මගේ පුතා රටේ වෙන දේවල් ගැන ලෝකයේ වෙන දේවල් ගැන පූර්ණ දැනුවත් භාවයකින් ඉන්නේ. ඒ ගොල්ලෝ ලෝකය රට වෙනස් කරන්න එහෙම දායක වෙනවා නම් මම හිතන්නේ මම ලෝකෙට සාර්ථක දරුවන් බිහිකරලා තිබෙනවා. ඒ නිසා මේ කුණු ගොඩේ එල්ලිලා මේක හදන්න ගිහිල්ලා ඇඟේ මඩයි කුණුයි ගාගන්න එකේ තේරුමක් නෑනේ. කවදා හරි විශාල තරුණ පිරිසක් හරියට හැදිලා ආපු දවසක මගේ පුතත් ඇවිල්ලා ඒකට දායක වුණොත් මම කැමති වෙනවා. තනියම ඇවිල්ලා ඒක කරන්න බෑ. මේ කොහෙද යන හොරැ ගොඩකට ආපහු ගේන්න. පොඩි පිරිසකට මේක වෙනස් කරන්න බෑ...”

1994න් පසු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග නම් භූමිකාව පිළිබඳද මෙහිදී විශාල වශයෙන් සංවාදයකට ලක්වේ. සුදු නෙළුම් ව්‍යාපාරය, තවලම ආදී සංකල්ප, යුද්ධය සහ සාමය තමන්ට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ආදිය පිළිබඳ ඇය දීර්ඝව කතාකරයි. කාන්තාවක් වීම සහ කාන්තාවක් ලෙස රාජ්‍ය පාලනය ආදිය පිළිබඳවත් මෙහිදී මතු වන්නේ විශේෂ අදහස්ය. කන්තාවක් ලෙස තමන් බලයට පත්වූ මුත් වැඩ කරනවිට කාන්තාවක් යැයි තමන්ට නොහැඟුණ බව කුමාරණතුංග මහත්මිය කියා සිටියි. තමන්ගේ පාලන සමයේ රට අත්පත් කරගත් ජයග්‍රහණ සම්බන්ධව ඇය කතා කරන්නේ උද්දාමයෙනි.

ඒ අතර මෙම සංවාදයේදී හිටපු ජනපතිනියගේ ප්‍රමාද වීමේ පුරුද්ද පිළිබඳවද කතාබහක් ඇතිවේ. එහිදී කුමාරණතුංග මහත්මිය ඒ සම්බන්ධව අපූරු පැහැදිලි කිරීමක් සිදුකරයි.

“සමහරු ඉන්නවා මේ ලෝකේ වෙලාවට වැඩ කරන්න අමාරු චරිත තිබෙන අය. මගේ තාත්තාත් එහෙමයි. මම ඕක ගැන හිනාවෙලා කතාකරලා මට ගැහැව්වා. මං කිව්වා ඇත්ත වශයෙන්ම පුවත්පත්වලටයි මාධ්‍යවලටයි මට ගහන්න එක හේතුවක් හරි දෙන්න එපැයි. වෙන හේතු එකක්වත් නෑ මගේ චරිතේ. ඒක නිසා එක හේතුවක් මම දුන්නා කියලා. ඕකට මට ගැහුවා හොඳට. ඒත් ඇත්තටම ඒක හිතලා කළා නෙවෙයි. ඒක මගේ හැටි. මගේ තාත්තා අන්තරාවෙන්න ඉස්සෙල්ලා එයාට විහිළුවට කිව්වා (ද ලේට් මිස්ටර් බණ්ඩාරනායක) කියලා. තාත්තා එහෙම වුණ නිසා මං එහෙම වුණා නෙවෙයි. ඒක මගේ හැටියක්. හැබැයි මගේ දරුවෝ මට කීවා හේතුවක්. ඒක වෙන්න පුළුවන්. මම වැඩ පන්දහක් එකපාර කරන කෙනෙක්. මම එක වැඩක් කරලා අනිකත් ඉක්මනට කරන්න ඕනෑ. අර රුස්වීමට යන්න ඕනෑ. මේ දෙකත් මම කරලා ගියොත් හොඳයි කියලා ඒක කරනවා.”

වැඩක් අවසාන වනතුරු කරන්න උත්සාහ දැරීම මෙන්ම නිරන්තර පරිපූර්ණත්වය අපේක්ෂා කිරීම සිය ප්‍රමාදයන්ට හේතුව වන්නට ඇතැයි කුමාරණතුංග මහත්මිය පවසයි. කෙසේ වෙතත් විශ්‍රාම දිවිය තුළ යමක් අතරමැද නවතා යෑමට තමා ඉගෙන ගෙන ඇති බව ඇය සඳහන් කරයි. ජනාධිපතිනියගේ ප්‍රමාදයන්ට හේතුව පැහැදිලි කරන ඇගේ දියණිය කියන කතාවක් ඒ අතර ඇය සිහිකරයි.

“දුව කියනවා, මම පරක්කු වෙලා දුවගෙන යනවා. විනාඩි පහළොවයි තියෙන්නේ ඇඳගෙන යන්න. මං දකිනවා මොකක් හරි වාස් එකක් වැරදි තැනක තියෙනවා. මම නැවතිලා ඒක උස්සගෙන ගිහින් හරි තැන තියනවා. ඒකටත් දැන් විනාඩි තුන හතරක් ගිහිල්ලා. ඔන්න ඕකයි මගේ තියෙන වැඩේ. මම පරිපූර්ණත්වය අපේක්ෂා කරන කෙනෙක්. ඒක හරි නෑ. මට ඕක නිවැරැදි කරගන්න උපදෙස් දෙන්න කවුරුත් හිටියේ නෑ. මගේ වටේ හිටියේ හුඟක් නොහැකියාව තිබුණු මිනිස්සු. ඒ වෙලාවේ රටේම තිබුණේ ඒ තත්ත්වය. මගේ කැබිනට් එකේ මගේ මවයි, රත්නසිරි වික්‍රමනායක මහත්මයයි  කළින් ආණ්ඩුවල තනතුර දරපු අය. අනික් ඔක්කොම නවකයෝ.”

මෙම සංවාදයේ අවසාන අදියරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග දේශපාලනය නොකළා නම් යන පැනය ඇය ලබාදුන් පිළිතුරක් හරහා මෙතෙක් හෙළි නොවූ කතාවක් කලඑළි දුටුවේය.

“දේශපාලනය නොකළා නම් දැනට වැඩිය පොහොසත් කාන්තාවක් වෙයි. දැනට වැඩිය සෞඛ්‍ය සම්පන්නයි කියලා මම කියන්නේ නෑ. ඇත්තවශයෙන්ම මගේ සෞඛ්‍යයේ එච්චර ප්‍රශ්නයක් නෑ. හැබැයි දැන් මම එක ඇත්තක් කියන්නම්. මට කැන්සර් එකක් හැදුණා. මම බලයෙන් ගිහිල්ලා අවුරුදු හයක් යනකොට කැන්සර් එකක් හැදෙන්න හේතු තියෙන්න ඕනෑ. ඒ එකක්වත් මට තිබුණේ නෑ. සිගරුට් බොන්න ඕනේ. ඕනෑවට වැඩිය ඇල්කොහොල් ගන්න ඕනේ. ඕනෑවට වැඩිය මහත් වෙන්න ඕනේ. ඒකේ එක කරුණක් තිබෙනවා මානසික පීඩනය. බලයෙන් ගියාම මට පුදුමාකාර පීඩනයක් වදයක් දුන්නා. මම හුඟාක් දුක්වින්දා ඒකෙන්. ඊටපස්සේ මගේ පක්ෂයත් ඒකට සම්බන්ධ වුණා. ඒ ගොල්ලන්ට මට කතා කරන්න එපා කීවා. මාව තනි කෙරුවා. ඒක නිසා වෙන්න ඇති මගේ දුව නම් කියන්නේ. මට පියයුරු පිළිකාවක් ආවේ. මගේ වාසනාවට ඒක පළමු අදියරේදී හොයාගත්තා. භයානක ප්‍රතිකාර කරන්න වුණේ නෑ. රේඩියෝ තෙරෙපි විතරක් කරලා සනීප වුණා. දැන් අවුරුදු නවයක් දහයක් වෙනවා.”

සාමාන්‍යයෙන් තමන්ගේ වයසේ අයට ඇති අධි රුධිර පීඩනය, දියවැඩියාව, හදවත් රෝග කිසිවක් තමන්හට නොමැති බව හිටපු ජනපතිනිය පවසයි. 

“දේශපාලනය මම හුඟක් උනන්දු වෙන කරුණක්. ඒ ඇරෙන්න මට තියෙනවා රුචිකත්වයන්. කියවීම, ලිවීම. මම හුඟක් කැමතියි ටීටර් එකට කැමතියි. මම අඳිනවා. පේන්ට් කරනවා. මියුසියම්වලට යන එක, ලෝකේ අලුත් රටවල් බලන එක වගේ දේවල්වලට හරි ආසයි. ඉතින් ඒ ටික ඇරැණාම මම දැනුත් කරන්නේ මේ දේශපාලන දේවල්වලට සම්බන්ධවීම. මට මීට වඩා සාර්ථක රසවත් ජීවිතයක් ගතකරන්න පුළුවන් දේශපාලන නැතිව. ඒ නිසා තමයි මම මගේ දරුවන්වත් දේශපාලනයට එවන්නේ නැත්තේ. අපි දේශපාලනයෙන් සල්ලි හදන්නේ නෑනේ. ඒ ගොල්ලන්ට දේශපාලනය නැතිව ඊට වඩා ආදායමක් ලබන්න පුළුවන්. මට මගේ දෙමාපියන්ගෙන් ලැබුණු දේවල් දියුණු කරලා ඊට වඩා හොඳ ආදායමක් ලබන්න පුළුවන්. පහුගිය අවුරුද්දේ ඉඳන් මං කරනවා වගේ. මට මීට වඩා සතුටින් ජීවත්වෙන්න පුළුවන්.”

ශ්‍රී ලංකාවේ සිව්වැනි විධායක ජනාධිපති ධූරය හෙබවූ එතෙක් මෙතෙක් ඉතිහාසයේ මෙරට බිහිවූ එකම ජනාධිපතිනියගේ ජීවිතය සම්බන්ධව තවත් හරවත් රසවත් තොරතුරු මේ සංවාදයේ හෙළිදරව් වෙයි. මෙහි කාලීන සමාජ දේශපාලන තොරතුරු ද අන්තර්ගතය. අපි එහි සංක්ෂිප්ත අදහසක් මෙසේ ඔබ හමුවේ තැබූවෙමු. ලක් ඉතිහාසයේ ඇය නමින් ලියවෙන පරිච්ඡේදයේ ඒ සියල්ල දිනෙක ලියැවෙනු ඇත. පුද්ගල චරිත පිළිබඳ අතීත සහ මතක විනිශ්චය පිණිස නොව පාඩම් ඉගෙනීම උදෙසා බැව් අප අවසානයේ මෙහි ලියා තබමු.

ලේඩි ලීඩර්ස් (Lady Leaders) යූ ටියුබ්  නාලිකාවකවේ සංවාද ඇසුරින් සටහන
 චමිඳු නිසල් ද සිල්වා

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03