2021 මාර්තු 20 වන සෙනසුරාදා

ලොරියෙන් ලොරියට වෙනස්වන සහල් මිල

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 36

රට තුළ සහල් මිල ඉහළ යාම පිළිබඳ ගැටලුවක් මේ වන විට නිර්මාණය වෙමින් තිබේ. රජය සහල් මිල පාලනය කිරීමට කුමන ක්‍රියාමාර්ග ගත්තද ඒ සියල්ල අසාර්ථක වී සහල් මිල (නහුතයට) ඉහළ නගිමින් පවතී. සම්බා සහල් කිලෝව මේ වන විට රුපියල් 175ක මට්ටමට ඉහළ නැග ඇති අතර නුදුරු උත්සව සමය වන විට කිලෝව රුපියල් 200 ඉක්මවා යනු ඇතැයි අනාවැකි පළ වේ.

රජය උත්සාහ කරන්නේ සහල් මිල ඉහළ යාම පිළිබඳ වගකීම මහා පරිමාණ මෝල්හිමියන් මත පටවා ඇඟ ගලවාගැනීමට යැයි පාරිභෝගිකයෝ පවසති. පාරිභෝගිකයන් විමසන්නේ මහා පරිමාණ මෝල්හිමියන්ට හිතෙන හිතෙන අවස්ථාවල අසීමාන්තික මිලට සහල් අලෙවි කළ හැකි නම් ආණ්ඩුවක් කුමකටද යන්නය. ආණ්ඩුව තම නොහැකියාව මහා පරිමාණ ව්‍යාපාරිකයන් පිට පටවා රටේ සහල් මාෆියාවක් ඇතැයි නිතර පවසන නමුත් එය නැති කිරීමට විධිමත් ක්‍රියාමාර්ග නොගන්නා බව දක්නට ඇත.

ලියුම්කරු තොග සහ සිල්ලර වෙළෙඳසල්වල කළ සංචාරයකදී දකින්නට ලැබී ඇත්තේ අලෙවි කිරීමට තබා ඇති කිලෝ 5 සහ කිලෝ 10 සහල් පැකට්වල බර සහ කල් පනින දිනය සඳහන් කර ඇති නමුත් මිල සඳහන් කර නොමැති බවය. මෙයට පෙරදී නම් පැකට්වල උපරිම සිල්ලර මිල ලියා තිබුණද අද එය නොමැතිවීමෙන් හෙළිවන්නේ සහල් මිල අවශ්‍ය ලෙසට වෙනස් කිරීමට ඉඩ ලැබී ඇති බවය. පාරිභෝගික සේවා පනත අනුව ඇසුරුම් කර අලෙවි කරන භාණ්ඩවල උපරිම සිල්ලර මිල මුද්‍රණය කළ යුතු නමුත් සහල්වලට පමණක් එය අදාළ නොවන්නේ ඇයිදැයි යන්න ගැටලුවකි. මේ පිළිබඳ විමසූ විට සිල්ලර වෙළෙන්ඳකු පැවසුවේ සහල් මිල මේ වන විට ලොරියෙන් ලොරියට වෙනස් වන නිසා මිල මුද්‍රණය කර තැබීම අපහසු බවය. අද පැමිණෙන සහල් ලොරිය තව සතියකින් එන විට ඒ මිල වැඩි වී තිබෙන බව ඔහු කීය. එසේම ඔහු පැවසුවේ මේ දිනවල සහල්වල මිල විවෘතව පාලන මිලට වඩා වැඩියෙන් අලෙවි කරන්නට සිල්ලර වෙළෙඳුන්ට සිදුව ඇති අතර පාරිභෝගික සේවා අධිකාරියෙන් හෝ වෙනත් ආයතනවලින් පෙර මෙන් කඩාපැනීමක් සිදු නොවන බවය. නියම තත්ත්වය පිළිබඳ නිලධාරීන්ද දැනුවත්ව ඇති නිසා වැටලීම් සිදු නොකරන වගද ඔහු කීවේය. යම් ලෙසකින් එලෙස වැටලීම් කළහොත් සහල් අලෙවියෙන් ඉවත්වීමට වෙළෙඳුන්ට සිදුවන බවද ඔහු අවධාරණය කළේය.

රටේ ජනතාවට වසරකට අවශ්‍ය වන වී මෙට්‍රික් ප්‍රමාණය ලක්ෂ 36කි. මසකට නම් ලක්ෂ 3කි. මසකට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2 බැගින් වසරකට අවශ්‍ය වන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 24කි. රටේ ඒකපුද්ගල හාල් පාරිභෝජනය වසරකට කිලෝ 110ක් වේ. අපේ රට සහලින් ස්වයංපෝෂිත වී බොහෝ කල්ය. පසුගිය සමයේ හාල් අපනයනය කිරීමට පවා සැලසුම් කර තිබිණි. රටේ වී නිෂ්පාදනයේ අතිරික්තයක් දැන් වසර ගණනක සිට පවතී. 2019 දී මෙට්‍රික් ටොන් හතළිස් පන් ලක්ෂ අනූ දෙදහසක් නිෂ්පාදනය විය. 2020 වන විට එය මෙට්‍රික් ටොන් පනස් ලක්ෂ තිස්හත් දහස දක්වා ඉහළ නැංගේය. ප්‍රතිශතයක් ලෙස ගත්විට 2019 වසරට වඩා 2020 දී 7.9කින් වී නිෂ්පාදනය ඉහළ ගොස් තිබේ. බිත්තර වීවලටද වෙන්කළ පසු සෑහෙන අතිරික්තයක් පවතී. 2020 ඇරඹෙන්නේ 2019 අතිරික්තයද සමඟය. 2021 දී අතිරික්තය ඊටත් වැඩි විය හැකිය. බොහෝවිට වසරේ මුල් කාර්තුවේ පාවිච්චි වෙන්නේ ඊට පෙර වසරේ අවසන් කාර්තුවේ නිෂ්පාදනයයි.

කෙසේ වුවද රජය කොතරම් පුරාජේරු කතා කරමින් මෝල්හිමියා ඔට්ටු කරන්නට උත්සාහ කළද රටේ වී වෙළෙඳපොළට බලපෑමක් ඇතිකිරීමට රජයට නොහැකිය. මේ වර්ෂයේ රජය මිලට ගන්නට යන්නේ මුළු අස්වැන්නෙන් සියයට 5කි. එහෙත් කොතරම් මිලට ගන්නට හැකිවේදැයි සැකසහිත බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සනාථ කරයි. පසුගිය 2019 හා 2020 වසරවල රජය මිලට ගෙන ඇත්තේ සමස්ත වී නිෂ්පාදනයෙන් සියයට එකක් පමණකි.

උදාහරණයක් ලෙස පැවසුවොත් 2020 සමස්ත නිෂ්පාදනයෙන් වී මිලට ගෙන ඇත්තේ මෙට්‍රික් ටොන් 32,000ක් පමණි. නිෂ්පාදනය කළ ලක්ෂ 37,000න් 37,000 හෝ මිලට ගැනීමට රජය අපොහොසත් වී ඇති බව පෙනේ. මේ නිසා සිදුව ඇත්තේ සමස්ත සහල් ව්‍යාපාරය පෞද්ගලික වෙළෙඳුන් කිහිප දෙනකුට පැවරීම පමණකි. හමුදාව යොදවා මෙයින් මෙට්‍රික් ටොන් 25,000ක් මිලට ගෙන තිබේ. ආණ්ඩුව මෙලෙස ගන්නා වී පවා පාරිභෝගිකයාට යන්නේ නැත. වී පරණ වූවේ යැයි සත්ත්ව ආහාර සඳහා අලෙවි කරන්නේ කිලෝව රුපියල් 24-25 වැනි ගත් මිලෙන් අඩකට පමණි. මෙලෙස සත්ත්ව ආහාරවලට අලෙවි කරන වී ද අවසානයේ වී මෝල්හිමියන් ළඟ නතර වන බවට රාවයක් පවතී.

ගොවියන් කියන්නේ ආණ්ඩුව සියයට 20ක හෝ වී තොගයක් මිලට ගන්නවා නම් වෙළෙඳුන් සමඟ තරගයක් දිය හැකි බවකි. එහෙත් වෙන් කළ මුළු ප්‍රතිපාදනවලින්වත් වී මිලට ගැනීමට රජය අපොහොසත්ය. වී රැගෙන එන ගොවීන් කලකිරවා ආපසු යැවීමට අපේ වී අලෙවි මණ්ඩලවල ඇතැම් ගබඩා නිලධාරීන් දක්ෂ වී සිටින බවක් දක්නට ඇත. එසේ හරවා යවන්නේ වී වල විවිධ අඩුපාඩු පවසමිනි. අන්තිමට ගොවියා මහා පරිමාණ ව්‍යාපාරිකයන් ළඟට ගොස් නවතී.

රජය බොහෝ කන්නවලදී වී මිලට නොගන්නේ ගබඩා කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති බව පවසමිනි. එසේ වුවද හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගබඩා කිරීම සඳහා රුපියල් කෝටි 30ක් වැය කර නවීකරණය කළ ගබඩා හයක් නිසි පරිදි ප්‍රයෝජනයට නොගෙන වසා දමා ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විමර්ශන වාර්තාවක සඳහන්ය. මෙයින් තුනක් ප්‍රතිසංස්කරණය කළ දින සිටම ප්‍රයෝජනයට නොගෙන වසා දමා ඇතැයි විගණකාධිපති කියයි. රට තුළ සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙට්‍රික් ටොන් ලක්ෂයක සංචිතයක් පවත්වාගෙන යාමට රජය ගත් තීරණය පිළිබඳ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සිදු කළ කාර්යසාධන විගණනයේදී මේ බව අනාවරණය කර තිබේ. රුපියල් දහඅට කෝටි අසූහය ලක්ෂයක වියදමින් වසර 5කදී ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තුව සිටි මෙම ගබඩා සංවර්ධනයට 2012 වසරේ සිට 2019 දක්වා වසර 07ක් ඉකුත්වීම නිසා ඇස්තමේන්තු කළ කළ මුදලට වඩා රුපියල් ලක්ෂ 30ක් වැඩිපුර වැය වී තිබෙන බවද සොයාගෙන තිබේ. මෙයට අමතරව රුපියල් අට කෝටි හැට ලක්ෂයක් වැය කර රටේ විවිධ ස්ථානවල ප්‍රතිසංස්කරණය කළ තවත් ගබඩා 5ක් ප්‍රයෝජනයට නොගෙන වසර ගණනාවක් තිස්සේ වසා තබා ඇති බවද හෙළි කරගෙන තිබේ. ප්‍රතිසංස්කරණය කළ ගබඩා තුනේදී අඛණ්ඩව සහල් ගබඩා කර නැති අතර, එකක වට්ටක්කා ගබඩා කර ඇති බවද තවත් එකක් අර්තාපල් ගබඩා කිරීමට යොදවාගෙන ඇති බවද විගණන වාර්තාව කියයි.

තවද සතොසට අයත් ගලිගමුව, හසලක හා හිඟුරක්ගොඩ වී මෝල්වලින්ද ප්‍රයෝජනයක් ගෙන නැති බවද මෙම මෝල් සක්‍රීය කර සාධාරණ මිලකට වී මිලට ගෙන කොටා පාරිභෝගිකයාට දෙන්නේ නම් රජයට වෙළෙඳපොළ තුළ තරගයක් දීමට හැකිවන බවද පැවසේ.

මිල නගින්නේ තරගෙට වී මිලට ගැනීමෙන්

කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල්හිමියන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා පවසන්නේ රජය සහල් මිල පාලනය නොකර ආනයනය කිරීමට කටයුතු කළහොත් ඉතිරි වී තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් සියල්ලම වැසී යනු ඇති බවය. මේ වන විට කුඩා සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් 1400ක් පමණ වැසී ගොස් ඇති අතර, දැනට ඉතිරිව ඇත්තේ මෝල් 600ක් පමණක් බවද ඔහු කියයි.

“රජය සහල් මිල පාලනය කිරීමට කියා සහල් ආනයනය කිරීමට ගියහොත් ඉතා ඉක්මනින් දැනට ඉතිරිව තිබෙන මෝල් 600ද වැසී යන්නට ඉඩ තියෙනවා. රජය සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් ව්‍යාපාරය ශක්තිමත් කිරීමට කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. දැනට මෙතරම් හෝ රටේ සහල් මිල පාලනය වී ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල්හිමියන්ට හිතු හිතූ මිලට සහල් සහල් අලෙවි කරන්නට ඉඩ ලැබීමෙන්.

මාස් කන්නයේ සාර්ථක අස්වැන්නක් ලැබී ඇති නිසා රට තුළ සහල් හිඟයක් නැහැ. ඇත්තේ මිල ඉහළ යාමක් පමණයි. සහල් මිල ඉහළ ගොස් ඇත්තේ රජය මහා පරිමාණ මෝල්හිමියන් සමඟ තරග කරමින් වී මිලට ගැනීමට යාම නිසයි. කළ යුතුව තිබුණේ රජයේ සහතික මිලට සාපේක්ෂව හාල් තොග සහ සිල්ලර මිල නියම කිරීමයි. පසුගිය 17දා වන විට රජය නාඩු කිලෝව ගන්නේ රුපියල් 56/50ටයි. ඒ අනුව නාඩු සහල් තොග මිල කිලෝව රුපියල් 105ක් විය යුතු අතර සිල්ලර මිල 110ක් විය යුතුයි.

රජයේ ඇමැතිවරුන් ප්‍රකාශ කරන්නේ වැඩි මිලට වී ගෙන පාඩුවට හෝ පාලන මිලට සහල් දෙන බවයි. එහෙත් මෙය හැමදාම කළ හැක්කක් නොවෙයි. රජය රුපියල් 100ට අඩුව සහල් ලබාදෙනවා නම් වී මිලට ගත යුත්තේ රුපියල් 48ට හෝ ඊට අඩුවෙන්. අනිත් අතට රජය ඒ ටොන් ලක්ෂ තුනක් මිලට ගන්නා බව පැවසුවද එම ප්‍රමාණය සෑහෙන්නේ මාසයකට පමණයි. ඉතිරි කාලයට සහල් දිය යුත්තේ මෝල්හිමියන්. ඒ නිසා රජය තරගකාරී මිලට වී ගත්තත් රටේ සහල් මිල පාලනය වන්නේ නැහැ. කළ යුතු එකම දෙය තොග සහ සිල්ලර වෙළෙඳාමට පාලන මිලක් දමා එය විධිමත්ව ක්‍රියාත්මක කිරීමයි. එසේ නොකළහොත් රටේ සහල් මිල ඉදිරියේදී තවත් වැඩිවේවි.”

කෘෂිකර්මාන්ත අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අවධාරණය කරන්නේ වී තොග සඟවාගෙන සිටින ගොවීන් නොවන අතරමැදියන් පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවය. සඟවාගෙන ඇති තොග රජය පවරාගන්නා බවටද ඔහු තර්ජනය කරයි. මහ කන්නයේ වී හෙක්ටයාර පන් ලක්ෂ හැට හතර දහසක් වගා කර ඇති අතර මෙට්‍රික් ටොන් මිලියන 3.2ක අස්වැන්නක් අපේක්ෂා කරන බව ඇමැති කියයි. මේ නිසා රටේ සහල් හිඟයක් ඇතිවීමට කිසිම ඉඩක් නොමැති බව ඔහුගේ අදහස වේ. මණ්ඩලය වී මිලට ගෙන සහල් කර සතොස හා සමූපකාර සමිති මගින් අලෙවි කිරීමට කටයුතු කරන බව ඔහු කියයි. කිලෝව රැපියල් 55 බැගින් ගොවීන්ගෙන් ගන්නා වී රැපියල් 50 බැගින් සමූපකාර හා සතොසට දී සහල් කර පාලන මිලට අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් තිබේ.

ඔහු මෙසේ ද කියයි.

“මෝල්හිමියන් වෙළෙඳපොළට දැන් එවන්නේ පසුගිය කන්නවල ගත් වී වලින් කෙටූ සහල්. මෙවර මහ කන්නයේ වී තොග තවමත් සහල් කර නැහැ. මහා පරිමාණ වී මෝල්හිමියන්ට අවශ්‍ය පරිදි මිල වැඩි කරන්නට ඉඩ දෙන්නේ නැහැ. මේ වන විට මහ කන්නයේ අස්වැන්නෙන් ටොන් විසි දහසක් වී අලෙවි මණ්ඩලයට ලැබිලා තියෙනවා.  මා ගොවීන්ගෙන් ඉල්ලන්නේ වී මිල ඉදිරියේදී වැඩි වේ යැයි බලාගෙන වී තොග ගොඩගසා නොගෙන අලෙවි මණ්ඩලයට ඉක්මනින් අලෙවි කරන ලෙසටයි.”

 යසවර්ධන රුද්රිගූ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03