ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු යෝජනා සම්බන්ධයෙන් ඡන්ද විමසීම ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිතය. බොහෝ විට එය ලබන 22 දින පැවැත්වෙනු ඇතැයි විශ්වාස කෙරේ. තවමත් විවාදයට ගෙන නොමැති එම යෝජනාවන්හි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා වගවීම් පිළිබඳ සමාලෝචනයක් මාස හයකට වරක් සිදු කළ යුතු බවට යෝජනා කර තිබේ.
ජගත් මානව හිමිකම් සැසිවාරය මෙවර ආරම්භ වූයේ පසුගිය පෙබරවාරි 22 දාය. ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේගේ යෝජනාවට අමතරව කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන රටවල් ද ශ්‍රී ලංකාවට එරෙහිව තවත් යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළහ. පළමුවටයේ සංවාදයේදී ශ්‍රී ලංකාවට රටවල් 21ක සහයෝගය හිමි වූ අතර ශ්‍රී ලංකාවට එරෙහි රාජ්‍යයන්ට හිමිවූයේ රටවල් 15ක සහයෝගයක් පමණි. ශ්‍රී ලංකාවට එරෙහිව අනෙකුත් රාජ්‍යයන්ගේ සහය ලබාගැනීමට ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට අනුග්‍රහය දක්වන රටවල් කටයුතු කරමින් සිටී. මේ වන විට එම යෝජනාවට සංශෝධන එක්කොට සභාගත කර තිබේ. එහෙත් මෙතෙක් එය විවාදයට ගෙන නොමැත. මෙතෙක් එය විවාදයට නොගැනීම සම්බන්ධයෙන් සැකයක් මතුවන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී ඇත. මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව මෙන්ම පසුගිය 12 වැනිදා ඉදිරිපත් කළ අවසන් කෙටුම්පතද ශ්‍රී ලංකාවට අනවශ්‍ය ලෙස අතපෙවීමක් බව ඔවුන්ගේ අදහසයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව 30/1 යෝජනාවලියෙන් ඉවත්වීමට එරෙහිව මෙවැනි පිළිවෙතක් අනුගමනය කරන බවක් පෙනෙන්නට ඇතැයි යන්න ඔවුන්ගේ මතය වී තිබේ..
එම යෝජනාවේ 6,7 සහ 8 යන වගන්ති ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවට මෙන්ම භෞමික අඛණ්ඩතාවටද අභියෝග කරන්නක් බව පැහැදිලිය. ශ්‍රී ලංකා ආණ්ඩුව, ජනාධිපතිවරයා සහ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් මෙම යෝජනා ඉදිරිපත්ව ඇති බවක් දැකිය හැකිය. 6 වන වගන්තිය යටතේ මෙරට මානව හිමිකම් සහ වගවීම් පිළිබඳව මාස හයකට වරක් සමාලෝචනය කළ යුතුයැයිද එම වාර්තා බටහිර රටවල් විසින් ස්ථාපනය කරන විශේෂ ඒකකයක් වෙත බාර දිය යුතු යැයිද. ශ්‍රී ලංකාවට එරෙහි පිරිස් කියා තිබේ. 7 වැනි වගන්තියෙන් වත්මන් රජය විවේචනය කරන ඔවුන් මානව හිමිකම් සුරුකීමට හා සංහිඳියාව ස්ථාපනය කරනු පිණිස ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කිසිදු තැකීමක් කර නැති බවද පෙනී යයි. ශ්‍රී ලංකා ආණ්ඩුව අනාගතයේ සිදු කළ හැකියැයි සැලකෙන මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳවද ඔවුන්ගේ උපකල්පන එහි ඇතුළත්ය. 8 වැනි වගන්තිය මගින් මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ආදාහනය කිරීම ඔවුනට කරන අසාධාරණයක් ලෙස එහි දක්වා තිබේ. එහෙත්. මේ වන විට එම මළසිරුරු භූමදානය කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. පසුගිය මාර්තු 8 වැනිදා වන විට නැගෙනහිර පළාතේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ කොරෝනාවෙන් මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු 17 භූමදානය කර තිබිණි. එහෙත් ප්‍රධාන රටවල් සමූහය අදාළ යෝජනාව මෙතෙක් ඉවත් කර නැත. ශ්‍රී ලංකා රජය මෙය සලකන්නේ ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල සහයෝගය අවහිර කිරීමේ පියවරක් ලෙස ය.
මෙම යෝජනාව මාර්තු 22 වන දින පැවැත්වෙන සැසිවාරයේදී ඡන්ද විමසීමක් සඳහා ඉදිරිපත් කරනු ඇත. මේ වන විටත් ශ්‍රී ලංකාව එම යෝජනාව සහ එහි අන්තර්ගතය ප්‍රතික්ෂේප කර තිබේ. මීට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාමාජික රටවල නායකයන් වෙත ලිපියක් යවමින් මෙම යෝජනා සම්මත කර ගැනීම වළක්වාලීමට සහාය ඉල්ලා ඇතැයිද වාර්තා විය.. පසුගිය මාර්තු 05 එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් 5ක් මගින් අවසන් වරට ඉදිරිපත් කළ සංශෝධිත යෝජනාවට එක්සත් ජනපදය, මලාවි, කැනඩාව, මාෂල් දිවයින සහ තවත් යුරෝපා රටවල් 36ක් සම අනුග්‍රහය දක්වන බවට අත්සන් කර ඇතැයි වාර්තා වේ. ඔවුන් අතුරින් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවල් ඇත්තේ 12ක් පමණි.
මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්ව ඇති වාර්තාව සම්බන්ධයෙන් විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසන්නේ මෙවන් අදහසකි. “ලොව බලවත් ජාතීන් යැයි කියාගන්නා ග්ලෝබල් නෝත් නැතිනම් පොලිටිකල් නෝත් කියන කණ්ඩායම කුඩා රටවල් ඉලක්ක කරගෙන මානව හිමිකම් උපයෝගි කරගෙන එම රටවල අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට ඇඟිලි ගැසීමට, එම රට තමන්ට නතු කර ගැනීමට, එම රටවල් දණ ගැස්වීමට උත්සහ කරන බව අද අපට පැහැදිලි කරුණක්. මානව හිමිකම් කොමාසාරිස්වරිය ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාව ඉදිරිපත් කර තිබෙන්නේ ලංකාවට පැමිණෙන්නෙවත් නැතිවයි. ඇය අපේ රටට එරෙහිව කටයුතු කරන ඇතැම් පිරිසක් පැවසූ දේවල් අනුව මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. මෙම වාර්තාව මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වාර්තාවක් ලෙස කෙනෙකුට තර්ක කළ හැකියි. එහෙත් එම වාර්තාවේ මානව හිමිකම් ගැන සඳහන් වන්නේ නැහැ. 2009 අවසන් කළ යුද්ධය පිළිබඳව ඉතා සුළු කොටසක් පමණක් ඇතුළත්. ඇය කතා කරන්නේ අපේ රටේ අභ්‍යන්තර දේශපාලන තත්ත්වය පිළිබඳවයි. මෙය මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයක් නොව වෙනත් දෙයක් කියලා මෙහිදී ඉතාමත්ව පැහැදිලිව පේනවා. මෙම වාර්තාව මුලින්ම සභාගත කළාම රටවල් 21ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කළා. මේ රටවල් 21න් චීනය, රැසියාව වැනි රටවල් හැරැණුවිට අනෙක් රටවල් පොලිටිකල් සවුත් හෙවත් දියුණුවෙමින් පවතින රටවල්. ඒ ගැන අපට සතුටුයි.
මානව හිමිකම් කවුන්සිලයේ කටයුතු එලෙස සිදුවෙද්දී ශ්‍රී ලංකාවට ආදරය කරන විදේශගත ශ්‍රීලාංකික පිරිස් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලට විරෝධය පාමින් කටයුතු කරන අතර එල්ටීටීඊ ඩයස්පෝරාව හා එල්ටීටීඊ හිතවාදි රාජ්‍ය නොවන සංවිධාන එක්ව ඔවුන්ගේ සමාජජාල මාධ්‍ය හා ඊමේල් ගිණුම්වලට සයිබර් ප්‍රහාර එල්ල කිරීමට පියවර ගෙන ඇතැයිද වාර්තා වේ.
ස්කොට්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු වන රුවන් පරාක්‍රමවංශ මහතාට පසුගියදා විඩියෝ තාක්ෂණය ඔස්සේ ජිනීවා සැසිය ඇමතීමට අවස්ථාව හිමි විය. ඔහු මෙම යෝජනා සම්බන්ධයෙන් මානව හිමිකම් සැසිය අමතා මෙලෙස ප්‍රකාශ කර තිබේ.
“ත්‍රස්තවාදය හා මානව හිමිකම් අතර ඇති පරස්පර සම්බන්ධයට ශ්‍රී ලංකාව ජීවමාන සංකේතයක්. එල්ටීටීඊය හමුදාමය වශයෙන් පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉහළ ගිය අතර සමාජීය හා සංස්කෘතිකමය පුනර්ජීවනයක්ද
ඇති වුණා. එම ජයග්‍රහණය ඉවතලා උතුරු නැගෙනහිර ප්‍රදේශවල නිදහස් ඊළාම් දේශයක් නිර්මාණය කිරීමට උත්සාහ දැරූ පැසිස්ට් දෘෂ්ටිවාදීයක් සහිත ත්‍රස්තවාදීන්ගේ මතය ජාත්‍යන්තරය කරා ගොස් තිබෙනවා. එහෙයින් ඔබ හා ශ්‍රී ලංකා රජය අතර අන්තර් ක්‍රියාකාරි සංවාදයක් තුළින් සංහිඳියාව සහ වගවීම ප්‍රවර්ධනය කිරීමට පියවර ගත යුතුයි. සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේදී බෙදුම්වාදීන්ගේ මාතවාදයට නතු නොවන ලෙස මෙම කවුන්සිලයෙන් ඉල්ලා සිටින්නට කැමතියි.” යනුවෙන් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට සහය දෙන රටවල් අතර චීනය, පාකිස්ථානය, රුසියාව, කියුබාව, පිලිපීනය සහ වෙනිසියුලාව ප්‍රධාන වේ. අවසන් මොහොතේ ඉන්දියාවද ශ්‍රී ලංකාවට සහය පළකරුනු ඇතැයි යන්න ශ්‍රී ලංකා ආණ්ඩුවේ විශ්වාසයයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්ව ඇති ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට විරුද්ධව කලාපීය රටවල් වන ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ නේපාලයේ සහය අත්‍යවශ්‍යය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා