නැගෙනහිරෙන් බටහිරට මාරු වූ කොළඹ වරායේ ජැටි පිළිබඳ කතාව පසුගිය බදාදා තීරණාත්මක සංධිස්ථානයකට ළඟා වූයේය. ඊට හේතුව වූයේ කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට එක්වන බව ඉන්දියාවේ අදානි සමාගම නිල වශයෙන් ප්‍රකාශ කිරීමයි. එය සිය නිල වෙබ් අඩවිය ඔස්සේ ඔවුන් නිවේදනය කර තිබුණි.
බටහිර පර්යන්තයේ ආයෝජන හිමිකාරීත්වයෙන් සියයට පනස් එකක් තම සමාගමට හිමිවන බව අදානි සමාගම නිවේදනය කළේය. එහෙත් මෙරට රජයේ පාර්ශ්ව පවසා තිබුණේ ආයෝජන හිමිකාරීත්වය සම්බන්ධව තීරණ ගනු ලබන්නේ සාකච්ඡාවලින් අනතුරුව බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය අමාත්‍යාංෂය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා වන අභිලාශය පළකිරීමේ ලිපිය තමන් වෙත එවා ඇති බව අදානි සමාගම සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි. එසේම පර්යන්තය ඉදිකිරීම ක්‍රියාත්මක කිරීම සහ ප්‍රති අපනයන මෙහෙයුම් සිදුකිරීම වරාය අධිකාරිය සහ ජෝන් කීල්ස් සමාගම සමඟ එක්ව කටයුතු කරන බවත් කියැවිණි.
දැනට ඇති තොරතුරු අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සමඟ බටහිර බහාලුම් පර්යන්තයේ සියයට 85ක කොටස් අදානි සමාගම ඇතුළු පාර්ශව කිහිපයකට ලබාදීමට ලක් රජය පියවරගනු ඇත. කෙසේ වෙතත් මෙම ගනුදෙනු සිදුවන්නේ වසර තිස්පහක කාලයක් සඳහාය. ඒ අනුව අදානි සමාගමට සියයට 51ක කොටස් ලැබෙන විට පෞද්ගලික අංශය වෙත ලැබෙන සියයට 85ක කොටස්වලින් ඉතිරිය ජෝන් කීල්ස් සමාගමට ලැබෙනු ඇති බව කියැවේ. ඒ බව තහවුරු වනුයේ ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ වෙත ලිපියක් නිකුත් කරමින් ජෝන් කීල්ස් සමාගමද තමන් වෙත වරාය අධිකාරියේ අභිලාශය පලකිරීමේ ලිපිය ලැබුණු බව කියා සිටීම හරහාය.
ඉන්දීය මාධ්‍යය අදානි නිවේදනය ප්‍රමුඛ පුවතක් ලෙස වාර්තා කළේය. මෙරටද මාධ්‍ය අවධානය මේ වෙත යොමුවූයේ ඉන් අනතුරැවය. ඒ සමඟ මෙරට නැගෙනහිර ජැටිය වෙනුවෙන් පෙනී සිටි පාර්ශව ගණනාවක් නැවතත් අළු ගසා නැගී සිටියේය. ඔවුන් විසින් සිදුකළ ප්‍රකාශ හරහා බටහිර ජැටියත් අලුත් අර්බුදයක් බවට පත්වන ලකුණු පෙනී ගියේය. ස්වාධීන වරාය සේවකයන්ගේ සංගමයේ සභාපති ලාල් බංගමුවගේ මහතා මෙවන් ප්‍රකාශයක් සිදුකර තිබුණි.
සියයට පනස් එකක් අදානි සමාගමට දීමට පෙර අදානි සමාගම තෝරගත්තේ කොහොමද කියන එකත් අපිට ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මොකද ඉන්දියාවත් කියනවා අදානි සමාගම මේකට යෝජනා කළේ නෑ කියලා. ශ්‍රී ලංකාවේ අපේ රටේ කට්ටිය අදානිත් එක්ක පෞද්ගලිකව ගිහිල්ලා කතා කරනවා නම් කියන්න තියෙන්නේ මේක පෞද්ගලික බූදලයක් නෙවෙයි.
කෙසේ වෙතත් අදානි නිවේදනය සම්බන්ධව පසුගිය සතියේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේදී මාධ්‍ය ප්‍රශ්න කළේය. එහිදී ඊට පිළිතුරැ දුන්නේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශ ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාය. ඔහු අදානි ප්‍රකාශ ස්ථීර කිරීමට මැලිවන බවක් පෙනෙන්නට තිබුණි.
එය තමයි ඔවුන් අපේක්ෂිත කොටස. ලබාදෙන ප්‍රතිශතය තීරණය කරනු ලබන්නේ සාකච්ඡාවලින් අනතුරැව. නමුත් මට විශ්වාසයි තව අය ඉන්නවා මේ පිළිබඳ කැමැත්තෙන් පසුවෙන. ශ්‍රී ලංකා රජය හැටියට අපි අවධානයෙන් සිටිනවා දේශීය සමාගම් මේ පිළිබඳව කැමැත්තෙන් පසුවෙනවාද යන්න ගැන. මෙය තවමත් විවෘතයි.
කෙසේ නමුත් විවෘතව ඇත්තේ අදානි සමාගමේ කොටස් සියයට 51 නොව ඉතිරි සියයට 49ක කොටස් බව මාධ්‍ය ප්‍රශ්න කිරීම් හමුවේ මෙහිදී හෙළිදරව් විය. දේශීය පෞද්ගලික සමාගම් හරහා බෙදී යන්නේ එම සියයට 49 කොටස්වලින් කොටසක් බව මේ අනුව පෙනී යයි. කෙසේ වෙතත් වරාය අධිකාරිය සියයට 15ක හිමිකාරීත්වක් තබාගන්නා බවද ඇතැම් තැනක කියැවේ. එසේ නමුත් අදානි සමාගම දේශීය සමාගම් ලවා ඉතිරි කොටස් මිලදී ගෙන ව්‍යාපාරයේ අධිකාරීත්වය තමන් සතු කරගනු ඇතැයි වරාය සටනේ නියුතු පාර්ශව චෝදනා කරයි.
අදානි සමාගමේ සභාපති ගෞතම් අදානි ද සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහන් තබමින් මෙම ගනුදෙනු පිළිබඳ සතුට පළකර තිබේ. මෙහිදී පර්යන්තය ගොඩනැගීම සඳහා තමන්ට අවස්ථාව ලබාදීම පිළිබඳව ගෞතම් අදානි සිය ස්තුතියද පළකර තිබේ. එසේම ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට, ඉන්දීය රජයට, වරාය අධිකාරියට සහ ජෝන් කීල්ස් සමාගමට තමන් කෘතවේදී වන බවද කියා ඇත. මෙම හවුල් ව්‍යාපාරය විශාල ඓතිහාසික අන්තර් සම්බන්ධතාවයක් ඇති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගැඹුරැ උපාය මාර්ගික සබඳතාවල සංකේතයක් බවද ගෞතම් අදානි මෙම ට්විටර් පණිවිඩය හරහා තවදුරටත් අවධාරණය කරයි.
මේ අතර කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාව සහ ජපානය විසින් නම් කරන ලද සමාගම් දෙකකට ලබාදීමට අදාළ ගිවිසුම නීතිපතිවරයාගේ අනුමැතියට යොමුකර ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණි. එහිදී ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවීමත් සමඟ ඒ පිළිබඳ සොයා බැලූ කමිටුවේ නිර්දේශ මෙලෙස නීතිපතිවරයාට යොමුකළ බවයි. මාර්තු 11 වැනිදා අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරැව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබුණි.
කැබිනට් එකෙන්ම කියලා තියෙනවා මේක 85ක් ආයෝජනය කරන කණ්ඩායමටත් ඒ වගේම 15ක් වරාය අධිකාරියටත් අයිති වෙන හැටියට තමයි මේ කටයුතු සිද්ධ වෙන්නෙ. මේ අවුරුද්ද මැද වෙනකොට මේවා ආරම්භ කරන්න ඕනෙ. මොකද අවුරැදු පහක් හයක් තිස්සේ මේවා ප්‍රමාද වෙලා තියෙන්නෙ. මේක පටන්ගත්ත දවසේ ඉඳලා අවසාන වෙන්න අවුරැදු තුනක් විතර යයි කියලයි අපි බලාපොරොත්තු වෙන්නෙ.
මෙම සියලු ප්‍රකාශ සහ සිදුවීම් කැටිකොට බැලූ විට බටහිර ජැටියේ අර්බුදය අත ළඟ බව පෙනීයයි. එහෙත් මෙම ගැටුමේ වැඩි වාසි අදානි සහ ලක් රජය සතුය. බටහිර ජැටිය යනු භෞතිකව පවතින්නක් නොවේ. එය ඉදිකළ යුත්තකි. එය ඉදිකිරීම වරාය අධිකාරියට හුදකලාව සිදුකළ හැක්කක් නොවේ. ජාත්‍යන්තර සහායක් ඊට අවශ්‍යය. එහෙත් එය අපේ උරැමයට අභියෝග නොකරන රටට වාසි ගෙනඑන අයෝජනයක් විය යුතුමය. එම නිසා බටහිර ජැටිය පිළිබඳ කතාව කියවා ගතයුත්තේ මැද මාවතකට ප්‍රවේශ වෙමිනි.
චමිඳු නිසල්