2021 මාර්තු 20 වන සෙනසුරාදා

ඩුබායිවලදී මැරුණු කෙසෙල්වත්තේ පාතාලයා

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

මෙරට පාතාලයන් බොහොමයක් පරළොව ගියේ පොලීසියෙන් වෙඩිකාලාය. නැත්නම් පාතාලයෙන්ම වෙඩිකාලාය. එසේ මැරුම් කෑ ලැයිස්තුව ගතහොත් මේ ලිපිය ලියන්නට ඉඩමදිය. ඒ තරම් ඒ නාමලේඛනය දිගය. එහෙත් කොහොම වුණත් පාතාලයන්ට මරණය ඉක්මනින් හිමිවූවා මිස වැඩි ආයුෂක් දරන්නට ස්වභාවධර්මය ඉඩ දුන්නේ නැත. එයට ඔවුන්ගෙන් බැටකෑ මිනිසුන්ගේ කඳුළු ශෝකාලාපය, වේදනා, දෙස් දෙවොල් හේතුවන්නට ඇත.

කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ එවැනිම හදිසි මරණයකින් ජීවිතය අවසන් කළ තවත් පාතාලයේ කෙරුමකු ගැනය. ඒ වෙනින් කවුරුත් නොව රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුශාන් නොහොත් පාතාලයේ කවුරුත් දන්නා කෙසෙල්වත්තේ දිනුකය. දිනුක හදිසියේ ඩුබායි රාජ්‍යයේදී මියයන්නේ පසුගිය සතියේ මුලදීය. හෘදයාබාධයකින් මියයන විට දිනුකගේ වයස 35 කි. කවුරුත් කෙසෙල්වත්තේ දිනුක යැයි නමින් දැනසිටියත් දිනුක කළ වැඩ ගැන ගොඩක් අය දන්නේ නැත. ඒ නිසා මේ කියන්න යන්නේ දිනුකගේ වැඩ ගැනය.

දිනුකගේ පවුල පාතාලයට අත්පොත් තැබුවේ අද ඊයේ සිට නොවේ. 90 දශකයේ සිටම දිනුකලාගේ පවුල සිටියේ අලුත්කඩේ හොල්ලාගෙනය. ඒ දිනුකගේ පියා විසිනි. නීල් රාජපක්ෂ නමින් හැඳින්වූ ඔහුගේ දේශපාලන හයියට හැමෝම බයවී සිටියෝය. එහෙත් නීල්ට වැඩිකල් කෙරුම් කරන්නට ඉඩ ලැබුණේ නැත. දිනුකලා කුඩා සන්ධියේදීම පියා පාතාලයෙන් ඝාතනයට ලක්විය.

ඉතාම දක්ෂ ලෙස අධ්‍යාපනය හදාරමින් සිටි දිනුක පියාගේ මරණයෙන් පසුව සියල්ල අතහැර දමා පියාගේ අඩුව පුරවන්නට පටන් ගත්තේය. එහි පළමු ඉලක්කය වුණේ තම පියා ඝාතනයට වගකිව යුතු යැයි සැකකළ අරුණජිත් සුරම්‍ය රාජපක්ෂ ඝාතනය කිරීමය. අරුණජිත් යනු කොළඹ පළතුරු ව්‍යාපාරිකයෙක් විය. ඔහුත් නීලුත් අතර ඇතිකරගත් ගැටලු හේතුවෙන් නීල් ඝාතනය කළ බව දිනුකලාට සැලවිය. මේ නිසා දිනුක පළමු ප්‍රහාරය සිදුකරන්නේ අරුණජිත් ඝාතනය කර දමාය. එතැන් පටන් සැඟව සිටින දිනුක කාටත් හොරා මැලේසියාවට පැනගන්නේ පොලීසියෙන් සැඟවී ජීවත්වීමේ අරමුණ ඇතිවය. එහෙත් දිනුක රටෙන් බැහැරවත් තම අණසක පතුරවමින් තම බලය පෙන්වීමට අමතක කළේ නැත.
අරුණජිත්ගේ ඝාතනයෙන් පසුව ඒ වනවිටත් ඉතාලියේ ජීවත්වුණු අරුණගේ සොහොයුරා එන්නේ තම සොහොයුරාට කළ අසාධාරණයට සාධාරණයක් සොයාගෙනය. ඔහු කිත්සිරි රාජපක්ෂ විය. කලක් ඉතාලියේ ජීවත්වුණු කිත්සිරි මෙරටට පැමිණෙන්නේ යුද ජයග්‍රහණයත් සමඟය. එයට හේතුවූයේ කිත්සිරි යුරෝපයේ සිට එරට එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරිකයන්ගේ තොරතුරු මෙරට ආරක්ෂක අංශවලට ලබාදෙමින් රටේ ප්‍රභූ පැලැන්තියේ පිරිස ඇසුරු කළ නිසාය.

කිත්සිරි මෙරටට පැමිණෙන්නේ එකී නිදහසත් බලයත් නිසාය. කිත්සිරි උත්සාහ කළේ එම බලයෙන් දිනුකලාට පාඩමක් උගන්නන්නටය. එසේ පැමිණි කිත්සිරි තම බලය පෙන්වමින් දිනුකගේ රාජධානියේ බලය පතුරුවන්නට විය. ඒ පොලීසියේ ආරක්ෂාව ඇතිවය. එයට හේතුවූයේ ඒ වනවිටත් දිනුකලා කිත්සිරිට මරණ තර්ජන කිරීම නිසාය. මේ සියල්ල බලාසිටි දිනුකට කිත්සිරි ඝාතනය කරන්නට ඕන විය. ඒ කිත්සිරි කිහිපවතාවක් දිනුකගේ කුඩු ව්‍යාපාරයට බාල්දිය පෙරලූ නිසාය.
ඒ අනුව දිනුක මේ ඝාතන කොන්ත්‍රාත්තුව බාර දෙන්නේ එවකට පාතාලයේ කෙරුමකු වූ මෝල් අංසක වෙතය. ඒ රුපියල් ලක්ෂ පහකටය. මෝල් අංසක එම කොන්ත්‍රාත්තුව රුගෙන පැමිණෙන්නේ එවකට පාතාලයට අත්පොත් තබමින් කරළියට එන්න දඟලන තරුණ කොල්ලකු වෙතය. ඒ වෙනින් කවුරුත් නොව 2017 වසරේ කළුතර එතනමඬල ප්‍රදේශයේදී මාකඳුරේ මධූෂ්ගේ කල්ලිය විසින් මැරුම් කෑ රනාලේ සමයං නොහොත් කඩුවෙල සමයංය. මෝල් අසංකගේ කොන්ත්‍රාත්තුව ලබාගත් සමයං ඒ සඳහා ඔහුට එකතු කරගන්නේ ළඟම ගෝලයා වූ රණාලේ චමින්දය. ඒ අනුව 2011 ජනවාරි 15දා කිත්සිරි රාජපක්ෂව කෙසෙල්වත්ත මාටිස් ලේන් එක ඉදිරිපිට වෙඩිතබා ඝාතනය කරනු ලැබීය. ඒ පාරක් අසන මුවාවෙනි.

එම ඝාතනයෙන් පසුව වැඩිකල් යන්නට මත්තෙන් සමයං සහ චමින්ද කොටුවූහ. කොන්ත්‍රාත්තුව ගෙන ආ මෝල් අංසක කරාටේ ධම්මික සමඟ සුදුවෑන් රථයකින් පැහැර ගනු ලැබූහ. අදටත් ඒ දෙදෙනාට සිදුවූ දෙයක් නැත. එසේම එහිදී හෙළිවුණේ මේ කොන්ත්‍රාත්තුව දිනුක විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් බවය. කිත්සිරි මියයන විට කොළඹ මහ නගර සභාවට තරග කිරීම සඳහා සියල්ල සූදානම් කර තිබුණේය. එහෙත් සියල්ල කණපිට පෙරලුනේ හිතාගැනීමට නොහැකි මොහොතකය. මේ ඝාතනයෙන් කොළඹ ගැස්සී ගිය අතර දිනුක සම්බන්ධයෙන් පාතාලයේ වෙනම පොතක් ආරම්භ විය.

මේ සියල්ල මැද දිනුක ඩුබායි රාජ්‍යයට ගොස් කුඩු ව්‍යාපාරයද ආරම්භ කළේය. ඒ මාකඳුරේ මධූෂ් සමඟය. මාකඳුරේ මධූෂ් සහ කඩුවෙල සමයං අතර විශාල විරසකයක් තිබුණු අතර දිනුක එය නැති කිරීමට කිහිපවතාවක් උත්සාහ ගත්තේය. එහෙත් මධූෂ්ගේ ළඟම සගයා මෙන්ම දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනී හිත්තැටිය මහතා ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ හර්ෂ, සමයං විසින් ඝාතනය කිරීම නිසා ඒ වෛරය අත් හැරියේ නැත.

මේ අතර දිනුකගේ අම්මාද දිනුකගේ වැඩවලට එකතුවිය. දිනුක කොළඹ කඩයක් කඩයක් ගානේ කප්පම් එකතු කරන්නට විය. නොදුන්නොත් මරණ වරෙන්තුව එන නිසා දිනුකගේ කීම කිසිවකු අහක දැම්මේ නැත. මේ අතර දිනක් දිනුකගෙ මව පළතුරු වෙළෙන්දකු සමඟ පැටලුණේය. ඒ කප්පම් අවුලක් නිසාය. දිනුකගේම මිතුරකු වූ කෙසෙල්වත්තේ චානා සමඟ ඇති කරගත් මේ ගැටලුව දුරදිග ගියේය. චානා දිනුකගේ මවට තර්ජනය කර කප්පම් ලබා නොදෙන බව කීවේය. මේ නිසා අවසානයේ කතාව ඩුබායි තෙක් දික්ගැස්සී ගියේය.

දිනුක තම මිතුරා වූ දනුකට දැන්වූයේ වහාම මේ ගැන සොයා බලන ලෙසය. ඒ අනුව දනුක චානා හමුවී දිනුකගෙ නියෝගය දැන්වූයේය. දනුකට ලැබුණේද දිනුකගේ අම්මාට ලැබුණු ප්‍රතිචාරමය. මේ නිසා දිනුකගේ යක්ෂයා ආවේෂ විය. ඒ අනුව දවසක් දිනුකගේ ගෝලයන් ලවා චානාගේ නිවස ඉදිරියෙන් මල්වඩමක් තැබිණි. එය දුටු චානාට යක්ෂයා ආරෑඪ වූ අතර චානා දිනුකගේ නිවසට ගොස් තර්ජනය කර අහසට වෙඩිතබා ආවේය. එසේ කර චානා කෙසෙල්වත්ත පොලීසියට පැමිණිල්ලක් යොමුකළේය. ඒ තමන්ට තර්ජන ඇති බව දන්වාය.

මේ අතර දිනක් රාගම ප්‍රදේශයේදී දිනුකගේ මාමා වන රාජගේ මෝටර් රථයට වෙඩි තබනු ලැබීය. එය චානා විසින් සිදුකළ බව ප්‍රචාරය විය. එහෙත් එය දිනුකලා විසින්ම සිදුකර තිබූ අතර එයට හේතුව වූයේ චානා තමන් ඇතුළු පවුලේ අයට තර්ජනයක් ඇති බව පෙන්වීමටය. ඊටපසුව 2018 මාර්තු අටවැනිදා සවස චානත්, ඔහුගේ සොහොයුරු මිලානුත් තවත් අයකුත් නිවසට එමින් සිටියහ. ඔවුන් පසුපස පැමිණි දිනුකගේ පිරිසක් එක පිට එක වෙඩි තබන්නට වූහ. ඒ ප්‍රහාරයෙන් චානාගේ සොහොයුරා මියගිය අතර චානා තුවාල ලැබීය.

මේ ආකාරයෙන් දිනුකගේ නම ඉදිරියෙන් සිදුකළ අපරාධ වැලක් තිබිණි. එහෙත් ඒ සියල්ල කොන්ත්‍රාත් විය. නමුත් දිනුක පාතාලයේ කෙරුමාය. ඒ බයට මිනිස්සු දිනපතා කප්පම් ලබාදුන්හ. අවසානයේ දිනුක මධූෂ් සමඟ කුඩු වෙළෙඳාම පවා කළේය. කෙසේ වෙතත් දැන් දිනුකගේ පරිච්ඡේදය ස්වභාවධර්මය විසින් තීන්දු කර ඇත. ඒ මරණය උරුම කර දෙමිනි. මීට අමතරව කොන්ත්‍රාත් මරණද එමටය. මේ සියල්ල නිසා අසරණ වුවෝද එමටය.

මේ වනවිට දිනුකගේ මළසිරුර කටුනායක ගුවන් තොටුපලට ගෙනැවිත් මීගමුව රෝහලේ තැන්පත්කොට පසුගියදා අවසන් කටයුතු සිදුකර තිබුණි. ඒ අවස්ථාවට ඥාතීන්ට සහභාගීවන්නට අවස්ථාව දුන්නත් ඔවුන්ගේ උත්සාහය වුණේ කෙසේ හෝ මළසිරුර කෙසෙල්වත්තට රැගෙන යාමටය. එහෙත් ඊට ආරක්ෂක අංශයෙන් ඉඩලැබුණේ නැත. ඒ නිරෝධායනය නීතිය නිසාය. ඒ අනුව රටක් කැළඹූ ෙකසෙල්වත්තේ දිනුක කාටත් හොරා මීගමුව ප්‍රදේශයේදීම අවසන් ගමනගියේය.

 ගයාන් ගාල්ලගේ
     ඡායාරූප : අන්තර්ජාලයෙන්