කොවිඩ් අභියෝග මැද සංචාරක කර්මාන්තය නැවත ස්ථාපිත කිරීමට මෙරට රජය ඇතුළු බොහෝ පාර්ශ්ව උත්සාහ දරමින් සිටියි. සැබවින්ම වර්තමාන ආර්ථික අභියෝග ජය ගැනීමට නම් සංචාරක කර්මාන්තය නැවත නගාසිටුවීම අතිශය වැදගත් බව ඔවුහු අවබෝධ කරගෙන සිටිති. එසේම සංචාරක කර්මාන්තය ආශ්‍රිත ජීවන උපාය පවත්වාගෙන ගිය ලක්ෂ සංඛ්‍යාත පුරවැසියන්ගේ ආර්ථික සුරක්ෂිතාව සම්බන්ධව ගත් කළද මෙම උත්සාහය අතිශය වැදගත්ය.
ඒ අනුව සංචාරක කර්මාන්තය උදෙසා අතිශය වැදගත් තීරණයක් රජය ගෙන තිබේ. ඒ විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලංකිකයන්ගේ සහ සංචාරකයන්ගේ නිරෝධායනය කාලසීමාව සම්බන්ධවයි. ඒ අනුව නව නිරෝධායන රෙගුලාසි ඇතුළත් චක්‍රලේඛය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබීය. මේ යටතේ කොරෝනා එන්නත් ලබා නොගෙන දිවයිනට පැමිණෙන ගුවන් මගීන්ගේ හෝටල් නිරෝධායන කාලය දින 7කට අඩුකර තිබීම විශේෂත්වයකි. මෙම තීරණය සංචාරක කර්මාන්තයට අතිශය වැදගත්ය. ඊට හේතුව වී ඇත්තේ දින 14ක නිරෝධායන කාලය හේතුවෙන් සංචාරකයන් මුහුණ දුන් අපහසුතා මේ හරහා මඟහැරීමයි.
සති දෙකක හෝ මාසයක කාලයක් සඳහා මෙරට සංචාරයට පැමිණීමට බලාපොරොත්තු වූ බොහෝ සංචාරකයන් දින 14ක නිරෝධායන රෙගුලාසිය නිසා සිය සංචාරය අතහැර දමන තත්ත්වයක් උද්ගතව තිබුණි. එන්නත ලබාගත් සංචාරකයන්ට පවා පසුගිය කාලයේ පැවති නිරෝධාන රෙගුලාසි හරහා සහනයක් නොවීය. කෙසේවෙතත් අලුත් රෙගුලාසි අනුව මෙරටට පැමිණෙන සංචාරකයන් ඇතුළු සියලු පුද්ගලයන් පළමු දිනයේදී සහ 7 වැනි දිනයේදී PCR පරීක්ෂණයකට යොමු විය යුතුය. එම පරික්ෂණ දෙකෙන්ම එම පුද්ගලයන්ට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වුවහොත් හත්වැනි දිනයේදී ඔවුන් හෝටල් නිරෝධායනයෙන් මුදා හැරෙනු ඇත.
තත්ත්වය එසේ නමුත් දින 14ක අනිවාර්ය නිරෝධායන කාලයේ සෙසු දින ගණන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ නිවෙස් නිරෝධායනය විය යුතු බව මෙහි සඳහන් වෙයි. එම රෙගුලාසිය සංචාරකයන්ට බලපාන ආකාරය පැහැදිලි නැත. එහෙත් කොරෝනා එන්නත් ලබාගෙන සති දෙකකින් පසු දිවයිනට පැමිණෙන සංචාරකයන් සඳහා වෙනස් නිරෝධායන ක්‍රියාවලියක් හඳුන්වා දී තිබේ.
මෙහිදී එන්නත් ලබාගෙන පැමිණෙන මගීන් ගුවන් තොටුපොළ වෛද්‍ය නිලධාරී වෙත එන්නත්කරණ සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කළ යුතු අතර එය ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවකින් තිබේ නම්, අනුමත කළ ඉංග්‍රීසි භාෂා පරිවර්තන සහතිකයක් ඉදිරිපත් කළ යුතුය. පසුව ඔවුන් පැය 24 ක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත පෞද්ගලික හෝ රාජ්‍ය රසායනාගාරයක් මගින් PCR පරීක්ෂණයක් සිදු කළ යුතුය. එතෙක් අනුමත නිරෝධායන හෝටල් හෝ මධ්‍යස්ථානවල රුඳී සිටිය යුතු වේ. PCR පරීක්ෂණයෙන් යහපත් ප්‍රතිඵල ලැබීමෙන් පසු එම පුද්ගලයන් හෝටල් නිරෝධායනයෙන් මුදා හැරේ.
මෙම නව ක්‍රමවේදය සංචාරක කර්මාන්තයේ ක්‍රමිකව වර්ධනයට හේතුවනු ඇති බව බොහෝ පාර්ශ්ව අදහස් දක්වයි. යුක්‍රේන, කසකස්ථාන සංචාරකයන්ට අමතරව තවත් රටවල් කිහිපයක සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම මේ හරහා අවස්ථාව උදාවනු ඇති බව කියැවේ. ඒ අනුව නොවැම්බර්, දෙසැම්බර් මාසවල මෙරට සංචාරක වසන්තය ඇරඹෙන විට මෙරට සැලකිය යුතු සංචාරක ආකර්ෂණයක් ලැබෙතැයි රජය ඇතුළු සංචාරක කර්මාන්තයේ නියුතු බොහෝ පාර්ශ්වවල විශ්වාසයයි.
චන්දිම ජයවීර
සභාපති - සංචාරක රියදුරු මාර්ගෝපදේශකත්ව කථිකාචාර්යවරුන්ගේ සංගමය
මේ යන විදිහට මෙහෙම ගියොත් නොවැම්බර් විතර වෙනකොට සංචාරක ව්‍යාපාරය නැවත හරි යයි. දැන් එන්න එන්න නීති රීති ලිහිල් වෙලානෙ ලංකාවේ. දැනුත් යෝජනා කරලා තියෙනවා දවස් හතක් හිටියම ඇති කියලා. සැප්තැම්බර්, ඔක්තෝබර් වෙනකොට ලෝකේ ගොඩ දෙනකුට එන්නත් ලබා දීලා ඉවර වෙයි කියලත් රාවයක් තියෙනවා. එතකොට ලංකාවේ අයටත් ගහලා ඉවර වෙයි. එහෙම වුණාට පස්සේ නොවැම්බර් මාසේ දෙසැම්බර් මාසේ වගේ වෙනකොට සංචාරක කර්මාන්තය නැවත ආරම්භ වෙයි කියලා විශ්වාසයක් තියෙනවා.
දැන් සංචාරකයන් ගෙන්නන්නේ කම්පැනි කිහිපයක් මගින්. ඉස්සරත් ඒ අයගේ රුචිකත්වය අනුව තමා ගයිඩ්ව තෝරාගත්තේ. ඒ නිසා රෂියන් කතා කළාට හැමෝටම ටුවර් හම්බ වෙන්නේ නෑ මේ වෙලාවේ. නමුත් ඒකට ලොකු දොසක් කියන්නත් අපිට බෑ. මොකද නියෝජිත ආයතනවල රුචිකත්වය අනුව තමා මුල සිටම වැඩ කෙරුණේ. අනික හිතන තරම් ලොකු ප්‍රමාණයක් සංචාරකයෝ එන්නේ නෑ. එක පාර දෙසීයයි තුන්සීයයි. ඉතින් ඔය ප්‍රමාණයෙන් ඔක්කෝටම වැඩ දෙන්න බෑ. මොකක්ද මිලියන දෙකයි දශම දෙකක් මෙරටට ආපු සංචාරක ව්‍යාපාරේ දැන් පන්දාහක් හය දාහක්වත් මාසෙකට එන්නේ නෑ.
සනත් උක්වත්ත
සභාපති - ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය
අපි නව නිරෝධානයට රෙගුලාසි අධ්‍යයනය කරනවා. ඇතැම් දේවල් සම්බන්ධව සෞඛ්‍ය අංශ එක්ක කතා කරන්න වෙනවා. දැනට පෙනී යන විදිහට සමහර දේවල් සංචාරක කර්මාන්තයට වාසි සහගතයි. සමහර දේවල් අවාසි සහගතයි. අපි බැලුවොත් දැනට සංචාරක ව්‍යාපාරය තුළ සාර්ථකවෙලා තියෙන්නේ මාලදිවයින, ඩුබායි, ශීෂේල්ස් වගේ රටවල්. ඉතාම සරල නිරෝධායන රෙගුලාසි තමා ඔවුන් සංචාරකයන් වෙනුවෙන් අනුගමනය කරන්නේ. එහෙම වුණත් එවැනි පොඩි රටවලට එවැනි දේ හොඳ වුණත් අපේ වගේ රටකට ගැලපෙනවද කියන එක ගැටලුවක්.
අපිට සංචාරකයන් එන රටවල් වහගෙන ඉන්නේ මේ වෙලාවේ. ඔවුන් වැක්සින් එක ජනතාවට ලබා දෙනවා. මහ බ්‍රිතාන්‍ය වගේ රටවල් මැයි මාසේ වගේ වෙනකල් රටින් පිටවෙන්න දෙන්නේ නෑ. විශාල උනන්දුවක් තියනවා. ඔවුන් වසංගතය පාලනය කරන්න. එන්නත් ලබාදීම පළවැනි වටේ සාර්ථකව කරලා තියෙනවා. ජූනි ජූලි මාස වෙනකොට එන්නත්කරණය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ රටවල් අරිනවා. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ වසර අවසානය වෙනකොට සංචාරකයෝ ලංකාවට පැමිණේවි කියලා. ලංකාවේ කොවිඩ් පාලනය සම්බන්ධව ලොකු ප්‍රසාදයක් සංචාරකයන් තුළ තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ එතෙක් හෝටල් කර්මාන්තය පවත්වාගෙන යන්න රජයේ සහයෝගය. අපිට සහන ලබාදීලා තියෙනවා. ඒ සහන ඉතිරි කාලය සඳහා දීර්ඝ කරන්න අවශ්‍යයි.
චමිඳු නිසල් ද සිල්වා