2021 මාර්තු 20 වන සෙනසුරාදා

ත්‍රිමාණ තාක්ෂණයෙන් යළි පණ ලැබූ බාමියාන් බුද්ධ ප්‍රතිමා

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 200

2001 වසරේ තලිබාන් සටන්කරුවන් විසින් විනාශ කළ බාමියන් බුද්ධ ප්‍රතිමා ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ ප්‍රතිනිර්මාණය කිරීමට ඇෆ්ඝනිස්තාන ශීල්පීන් පිරිසක් පසුගියදා පියවර ගත්හ.  එම ප්‍රතිමා විනාශ කොට වසර 20ක් සපිරුණු දිනයේ යළි ජනතාවට එම ප්‍රතිමා දැකගැනීමට සැලැස්වීම ඔවුන්ගේ අරමුණ විය. “බුදුන් සමඟ රාත්‍රියක්” නමින් එම උත්සවය නම් කළ ඔවුහු එම ප්‍රතිමා තිබූ ස්ථානයේ ත්‍රිමාණ ප්‍රක්ෂේපණයක් මගින් යළි ඒවා ජීවමාන කළහ. 

6 වැනි සියවසේ මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ බාමියන් නිම්නයේ කඳු බෑවුමක විවෘත ගුහා තුළ වැලිගල්වලින් නෙළා තිබූ විසල් ප්‍රතාපවත් හිටිවන බුද්ධ ප්‍රතිමා ලෝපතලවූයේ ඒවායේ තිබූ සුවිශේෂී අංග ලක්ෂණ සහ ලොව විශාලතම බුදු පිළිම වීම හේතුවෙනි. බාමියාන් ප්‍රතිමා පිහිටා තිබුණේ හින්දුකුෂ් කඳුකර ප්‍රදේශය හරහා දිවෙන සේද මාවතේ බාමියන් නිම්නයේය. සේද මාවත ඓතිහාසිකව චීන වෙළෙඳපළ හා බටහිර වෙළෙඳපළ සම්බන්ධ කළ තවලම් මාර්ගයක් විය.. එම මාර්ගය වැටී තිබුණේ බෞද්ධ ආරාම කිහිපයක් සහිත භූමියක් අතරිනි. එම ආරාම ආගම, දර්ශනය සහ කලාව පිළිබඳ දැනුම දුන් මධ්‍යස්ථාන විය. භික්ෂූන් වහන්සේලා ජීවත් වූයේ බාමියන් කඳු බෑවුමේ කැටයම් කරන ලද කුඩා ගුහාවල පිහිටි මෙම ආරාමවලය. මෙම භික්ෂූන් වහන්සේලාගෙන් බොහෝ දෙනෙක් ඔවුන් වාසය කළ ගුහා බෞද්ධාගමික පිළිමවලින් හා ගන්ධාර කලාව අනුව නිමැවුණු විචිත්‍රවත් හා දීප්තිමත් වර්ණවලින් යුතු බිතු සිතුවම්වලින් සැරසූහ. හය වැනි සියවසේ බාමියාන් ප්‍රදේශයේ ජීවත් වූ බෞද්ධ භික්ෂූන් විසින් නෙළන ලද මෙම හිටි පිළිම සහිත ගුහා එවක චීනය සහ බටහිර යා කෙරුණු සේද මාවතේ ආගමික සිද්ධස්ථානයක් ලෙස සැලකිණි...

ක්‍රි.ව. 2 වැනි සියවසේ සිට ක්‍රි.ව. 770 දී අල්-මහදිගේ විසින් අබ්බාසිඩ් ඉස්ලාමීය කාලිෆ් ආක්‍රමණය සිදුකරන තෙක් බාමියන් ප්‍රදේශය බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් ලෙස පැවතිණි. යළි ක්‍රි. ව. 870 දී එය බෞද්ධයන් අතට පත් වූ අතර ක්‍රි.ව. ක්‍රි.ව. 977  අවසන් ඉස්ලාමීය ආක්‍රමණය වූ තුර්කි ගස්නාවිඩ් පෙළපත මගින් යටත් කර ගන්නා තෙක් එය බෞද්ධයන් අත පැවතිණි. බුද්ධ ප්‍රතිමා පැවති ස්ථානයට යාබදව ඇති ගුහාවල ඇති  බිතුසිතුවම් ක්‍රි.ව. 438 සිට ක්‍රි.ව. 980 අතර කාලයේ නිර්මාණය වී ඇතැයි කාබන් කාල නිර්ණය අනුව හඳුනාගෙන තිබේ.

චීන බෞද්ධ වන්දනාකරුවකු වූ සුආන්සාං ක්‍රි.ව. 630 අප්‍රේල් 30 වැනි දින මෙම ස්ථානයට පැමිණ ඇති බවට වාර්තා හමුවී තිබේ. ඔහු වාර්තා කර තිබූණේ මෙම ස්ථානය ආරාම දහයකට වඩා වැඩි ප්‍රමාණයක්  හා භික්ෂූන් දහසකට වැඩි සංඛ්‍යාවක් සිටි බෞද්ධ මධ්‍යස්ථානයක් බවයි.. බුද්ධ ප්‍රතිමා දෙකම රන් හා කුඩා මැණික්වලින් සරසා ඇති බව ඔහු සඳහන් කර තිබේ. සුආන්සාංගේ වාර්තාවේ මෙම ප්‍රතිමා දෙකටත් වඩා විශාල බුදුන්ගේ තවත් ප්‍රතිමාවක් තිබූ බව සඳහන්ය.  එහෙත් එවැන්නක් දැකිය නොහැකිය.

බාමියාන් ප්‍රතිමා වර්තමාන කාබුල් නගරයේ සිට කිලෝමීටර් 130 ක් වයඹ දෙසින් මීටර් 2,500ක පමණ උන්නතාංශයක පිහිටා තිබිණි. ගන්ධාර කලාවේ සම්භාව්‍ය මිශ්‍ර ශෛලියේ පසුකාලීන පරිණාමයක් මෙම ප්‍රතිමාවලින් නිරෑපණය විය. ඉන් එක් ප්‍රතිමාවක් (නැගෙනහිර බුද්ධ ප්‍රතිමාව) ෂමාමා නමින් හැඳින්වුණු අතර එය ක්‍රි.ව. 570දී පමණ ඉදිකර තිබේ. එහි උස මීටර්38කි. අනෙක් ප්‍රතිමාව (බටහිර බුද්ධ ප්‍රතිමාව) සල්සාල් නමින් හැඳින්වුණු අතර ක්‍රි.ව. 618දී පමණ ඉදිකර ඇතැයි පැවසේ. එහි උස මීටර 55කි. එම ස්ථානයේ පිහිටි වැලිගලින් නිර්මිත කන්දේම කපා ඇති මෙම ප්‍රතිමා පිදුරු මිශ්‍ර කරන ලද මැටිවලින් ආලේප කර ඇත. විශාල ප්‍රතිමාව කාර්මයින් (ක්‍රිම්සන්) රතු පැහැයෙන් ද කුඩා ප්‍රතිමාව වර්ණ කිහිපයකින් ද වර්ණාලේප කර තිබිණි. පිළිමයන්හි දෑත්වල පහළ කොටස් ඉදිකර ඇත්තේ දැව සැකිල්ලක් මත මැටි හා පිදුරු මිශ්‍රයකිනි. ඒවායේ මුහුණු විශාල දැව ආකෘතියක හෝ වාත්තු කිරීම් මගින් තනන්නට ඇතැයි විශ්වාස කෙරේ.  

ක්‍රි.ව. 1221 දී ජෙන්ගිස් ඛාන්ගේ පැමිණීමත් සමඟ “බාමියන් ප්‍රදේශයට දරුණු ව්‍යසනයකට මුහුණ දීමට සිදුවිය. එහෙත් මෙම සුවිශාල බුද්ධ ප්‍රතිමාවලට හානියක් සිදු වූයේ නැත. ක්‍රි.ව. 1528 මෝගල් අධිරාජ්‍යයේ නිර්මාතෘවරයා වූ සහිර් උද්දීන් මොහොමඩ් බාබර් මෙම ප්‍රතිමා දෙක විනාශ කරන ලෙස නියෝග කළේය. පසුව මෝගල් අධිරාජ්‍යයා වූ අවුරන්ග්සෙබ් මෙම පිළිම විනාශ කිරීම සඳහා බර කාලතුවක්කු යොදා ගැනීමට උත්සාහ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රතිමාවන්ගේ පාද විනාශ විය.. මෙවැනි විවිධ ප්‍රයත්න අතීතයේ සිට පැවැතියද බාමියාන් බුද්ධ ප්‍රතිමා සහමුලින්ම විනාශ කළ නොහැකි විය. 

තලිබාන් සංවිධානයේ නායක මුල්ලා ඕමාර් විසින් 2001 වසරේ දී ඇෆ්ගනිස්තානයේ ඇති ඓතිහාසික වටිනාකමකින් යුතු බෞද්ධ සහ අනෙක් ආගම්වලට අයත් සිද්ධස්ථාන සහ පිළිම විනාශ කර දමන ලෙස සිය කැරලිකාර කණ්ඩායම්වලට අණ ලබා දුන්නේය. ඒ අනුව  ඔවුහු 2001 මාර්තු 2 වන දින සිට සති කිහිපයක් පුරා ඩයිනමයිට් දමා මෙම ප්‍රතිමා සහමුලින්ම විනාශ කළහ. විනාශය සිදු වූයේ අදියර කිහිපයකිනි. ප්‍රථමයෙන් ගුවන් යානා නාශක තුවක්කු සහ කාලතුවක්කු යොදා ගනිමින් දින කිහිපයක් තිස්සේ වෙඩි තැබූ ඔවුහු පුපුරණ ද්‍රව්‍ය බුද්ධ ප්‍රතිමා සහිත ගුහා තුළට දමා පුපුරුවා හැරියේය. එමගින්ද එක් ප්‍රතිමාවක මුහුණ විනාශ කිරීමට අපොහොසත් වූ හෙයින් රොකට් ලෝන්චරයක් භාවිත කොට එය විනාශ දැමූහ.

බුදු පිළිම පුපුරුවා හැරීමට පුපුරණ ද්‍රව්‍ය ඔසවාගෙන යාමට එම ප්‍රදේශයේ ජීවත් වූ වැසියන් බලහත්කාරයෙන් වහල් සේවයේ යොදවනු ලැබිණි. සිය ජීවිතය බේරා ගැනීමේ පරමාර්ථයෙන් බුදු පිළිම විනාශ කිරීමට තලිබාන් සටන්කරුවන්ගේ අණ පිළිපැදීමට ඔවුනට සිදු විය.

තමන් බුද්ධ ප්‍රතිමා විනාශ කළේ මන්දැයි තලිබාන් නායක මුල්ලා ඕමාර් පසුව පැහැදිලි කළේය. බාමියන් ප්‍රතිමා විනාශ කිරීමට මට අවශ්‍ය වුණේ නෑ. ඇතැම් විදේශිකයන් මා වෙත පැමිණ, වැසි හේතුවෙන් සුළු හානි සිදුවී තිබූ බුද්ධ ප්‍රතිමා අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට තමන් කැමතියැයි පැවසුවා. මෙය මා තුළ දැඩි කම්පනයක් ඇති කළා. දහස් ගණනින් මිනිසුන් මිය යන එක පිළිබඳව මේ මිනිසුන්ට කිසිම හැඟීමක් නැහැ. එහෙත් අජීවි වස්තු රැක ගැනීමට ඔවුන් උනන්දුයි. එනිසයි මම මෙම ප්‍රතිමා විනාශ කරන්න අණ කළේ. ඔවුන් මානුෂීය කටයුතු සඳහා පැමිණියේ නම්, මම කිසි විටෙකත් බුද්ධ ප්‍රතිමා විනාශයට අණ අණ කරන්නේ නැහැ. ඔහු කියා තිබිණි. ඇෆ්ගනිස්ථානයේ තලිබාන්වරුන්ගේ පස් අවුරුදු පාලනය තුළ “ව්‍යාජ පිළිම” ලෙස පවසමින් බාමියාන් බුද්ධ ප්‍රතිමා පුපුරුවා හැරීම ජාත්‍යන්තරය විසින් ද හෙළා දකිනු ලැබීය.

විනාශයෙන් 20 වසරකට පසු යළිත් ත්‍රිමාණ තාක්ෂණයෙන් බාමියාන් ප්‍රතිමා ජනතාවට ඉදිරිපත් කිරීමට මූලික  වූ බුදුන් සමඟ රැයක්* (නයිට් විත් බුද්ධ) උත්සවයේ සංවිධායිකා සහරා හුසේනි ප්‍රකාශ කළේ &තලිබාන්වරුන් බාමියාන්හි සිදු කළ බිහිසුණු අපරාධය ජනතාවගේ සිත්තුළින් අමතක කර නොදැමිය යුතුයි.  අපට අහිමි වූ සුවිශාල වස්තුව පිළිබඳව යළි යළිත් ඔවුන්ට මතක් කර දීම අපේ යුතුකමක්. අප මෙවැනි ප්‍රයත්නයක් දැරුවේ එනිසයි * යනුවෙනි. “බුදුන් සමඟ රාත්‍රියක්” ආරම්භ වූයේ විවිධ සංස්කෘතීන් අතර පාලමක් නිර්මාණය කිරීමේ ක්‍රමයක් ලෙස සහ ඇෆ්ගනිස්ථානයේ පූර්ව උරුමයින් සිහිපත් කිරීම සඳහාය.. දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ පහන් දැල්වූ පෙරහරකින් සිය ගණනක් වන පුරාණ ගුහා, ආරාම හා සිද්ධස්ථාන හා පිළිම පිහිටා තිබූ කඳු පාමුලට රුස් වූ ප්‍රදේශවාසීහු නර්තනයේ හා ගායනයේ යෙදුණාහ. පසුව ප්‍රතිමා තිබූ ගුහා තුළ ත්‍රිමාණ තාක්ෂණයෙන් යළි පණ ගැන්වූ බුද්ධ ප්‍රතිමා  යළි දැක ගත්හ. තොරතුරු හා සංස්කෘතික කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය මොහොමඩ් තාහීර් සහීර් කියා සිටියේ පුරාණ ප්‍රතිමා විනාශ කිරීම “සියවසේ මහා සංස්කෘතික අපරාධයක්” ලෙසිනි. 

අන්තවාදී ප්‍රහාර මෙන්ම යටත් විජිත කොල්ලය යන දෙකින්ම කෞතුක වස්තු අහිමි වී ඇති ලෝකයක, ත්‍රිමාණ ප්‍රක්ෂේපණ සහ හොලෝග්‍රෑම් තාක්ෂණය ඔවුන්ගේ අතීත උරුමය යළි යථා තත්ත්වයට පත් කිරීමේ එක් ක්‍රමයක් වන අතරම, උමතු මිනිසුන් නිසා සිදු වූ විනාශය යළි සිහිපත් කර දෙන්නකි..

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03