2021 මාර්තු 20 වන සෙනසුරාදා

තත්පර දහයෙන් පොල් ගෙඩියක් ලෙලි ගසන මැෂිම

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 287

ලංකාවේ පොල්ලෙලි ගැසීමේ සම්ප්‍රදායික ක්‍රමය වන්නේ පොල් උලක් භාවිත කිරීමය. ඇතැමුන් මේ සඳහා භාවිත කරනු ලබන්නේ තම නිවෙසේ ඇති උදැල්ලේ මුවහතයි. නමුත් මෙය යම් දුරකට අවදානමක් ඇති ක්‍රියාවකි. එමෙන්ම ඒ සම්බන්ධව පළපුරුද්දක් නැති කෙනකුට යම් සැලකිය යුතු කාලයක් වැය වෙයි.

මේ වන විට පොල්ලෙලි ඉතා ඉක්මනින්, අවදානමකින් තොර ඉවත් කරගත හැකි යන්ත්‍රයක් නුවර ප්‍රදේශයේ ජීවත් වන චානක දසනායක විසින් හඳුන්වා දී තිබේ.

“අපි මුලින්ම මෙම සරල යන්ත්‍රය හැදුවේ අපේ ගෙදර පරිහරණයටයි. මෙය පාදය උපයෝගී කරගෙන ක්‍රියා කරන මැෂිමක්. මෙම මැෂිම එකම තැන සවිකර තබාගත යුතු වන්නේ නැහැ. තමන්ගේ කැමැත්ත අනුව එහා මෙහා ගෙන යා හැකි මැෂිමක් නිසා අද වන විට මේ සඳහා හොඳ ඉල්ලුමක් ලැබෙමින් පවතිනවා. මෙය ක්‍රියාත්මක කිරීමේදීද විශාල බලයක් යෙදීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා ඉතා පහසුවෙන් මෙම උපකරණ උපයෝගී කරගෙන පොල්ලෙලි ගසන්නට පුළුවන්.” යැයි දසනායක මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

පොල්ලෙලි ගැසීමේදී අදාළ උපකරණය අවශ්‍ය විට ගෙන පරිහරණය කළ පසුව ප්‍රවේශම් ඇති තැනකින් ආරක්ෂාකාරීව රඳවා තබාගැනීමට හැකි නම් එය වඩාත් සුදුසු වේ. මෙම උපකරණයෙන් එම ආරක්ෂාව උපරිමයෙන් ලබාගත හැකිය. චානක නිෂ්පාදනය කළ මුල්ම පොල්ලෙලි යන්ත්‍රය ඔහු බලාපොරොත්තු වූ පරිදිම සාර්ථක විය. එය වර්තමානයේදී නිෂ්පාදනය කරන යන්ත්‍රයට වඩා ප්‍රමාණයෙන් මඳක් අඩුය. මුල්ම පොල්ලෙලි යන්ත්‍රය නිෂ්පාදනය කරන ලද්දේ මීට වසර හයකට පමණ පෙර බව ඔහු කියයි.

මෙම පොල්ලෙලි ගසන යන්ත්‍රයෙන් එකිනෙකට ළං වූ උල් වූ තල දෙකක් ආධාරයෙන් පොල් ලෙල්ල ඉවත් කර ගැනීමට හැකියාව පවතී. එම ලීවරය යට කොටසේ ඇති කොටයකට සවිකර ඇත. එය ඉහළට ගෙන රඳවා ඇත්තේ ස්ප්‍රින් එකක් ආධාරයෙනි. පාදය ආධාරයෙන් ඉහළට එසවෙද්දී මඳක් ඈත්වන තල දෙක ආධාරයෙන් ඉතා ඉක්මනින් පොල්ලෙලි ගැසීමට හැකියාව පවතී.

මෙම උපකරණයේ යට කොටසේ ඇති අඟල් අටක් පමණ උල් කොටස පොළොවට තබා තද කිරීමෙන් ඉතා පහසුවෙන් එහා මෙහා නොයා රඳවා තබාගැනීමට හැකිය.

චානක විසින් මෙය මහජනතාවට හඳුන්වා දී ඇත්තේ 2017 වසරේදීය. නමුත් අදටත් මෙය වෙළෙඳපොළෙන් මිලදී ගත නොහැක. ඔවුන් එය අලෙවි කරනු ලබන්නේ ඉල්ලුමට අනුව පමණක් බැවිනි. අන්තර්ජාලය ඔස්සේ on-line ක්‍රමයට ඔවුහු නිවෙස්වලටම මෙම යන්ත්‍රය ප්‍රවාහනය සිදු කරති.

පොල්ලෙලි ගසන යන්ත්‍රය මේ වන විට රුපියල් හත් දහස් තුන්සියයකට මිලදී ගත හැකිය. යන්ත්‍රය උපයෝගී කර ගනිමින් පළපුරුද්ද අනුව ලෙලි ගසන පොල් ප්‍රමාණය වැඩිකර ගත හැකිය. පළපුරුද්ද ඇති කෙනකුට තත්පර දහයක් යන්නට මත්තෙන් පොල්ගෙඩියක් ලෙලි ගැසිය හැකි බව චානක පවසයි. ඒ අනුව යම් පළපුරුද්දක් ඇති කෙනකුට පැයකට පොල් දෙසීයකට වැඩි ප්‍රමාණයක් ලෙලි ගැසිය හැකි අතර, පළපුරුද්දක් නැති කෙනකුට වුවත් පැයකට පොල් ගෙඩි එකසිය විස්සක් පමණ ලෙලි ගැසිය හැකිය.

පොල්ලෙලි ගසන යන්ත්‍රයට අමතරව චානක කරුංකා ලෙලි ගසන යන්ත්‍රයක්ද නිෂ්පාදනය කර ඇත. එහිදී පැයකට කිලෝ දෙකහමාරක් පමණ කරුංකාවල ලෙලි ගැලවිය හැකි බව චානක වැඩිදුරටත් පවසයි.

පොල්ලෙලි ගසන යන්ත්‍රය, කරුංකා ලෙලි ගසන යන්ත්‍රයට අමතරව පහන්තිර නිෂ්පාදන යන්ත්‍රයක්ද නිෂ්පාදනය කොට ඇත. ස්වයංරැකියාවක් ලෙස පහන්තිර නිෂ්පාදනය කරන අයගෙන් මේ සඳහා විශාල ඉල්ලුමක් පවතී. 

“සාම්ප්‍රදායික පහන්තිර අඹරන්නේ අතින්. අප විසින් නිෂ්පාදනය කළ පහන්තිර යන්ත්‍රයෙන් අපට අවශ්‍ය රෙදි කැබැල්ල යන්ත්‍රයේ අදාළ කොටසට ඇතුළු කර ඇමිණීමෙන් පසුව යන්ත්‍රය ක්‍රියා කිරීමෙන් ස්වයංක්‍රීයව රෙදි කැබැල්ල ඇඹරී පහන්තිරය බවට පත්කර ගන්න පුළුවන්. මෙහිදී පහන්තිරවල ප්‍රමාණය අනුව ගතවන කාලයේ යම් වෙනසක් පවතිනවා. මෙම යන්ත්‍රයට ආධුනික වූ කෙනකුට පැයකට කිලෝ හතරකින් පහකින් පහන්තිර සකසා ගත හැකි වෙනවා. පළපුරුද්දක් ඇති කෙනකුට මීට වඩා ප්‍රමාණයකින් පහන්තිර නිෂ්පාදනය කරගන්න පුළුවන්. මේ වන විට එම පහන්තිර යන්ත්‍රයේ මිල රුපියල් විසිපන් දහසක්.” චානක දිසානායක වැඩිදුරටත් දේශයට පැවසීය.

ඒ සඳහා ද ඇණවුම් ලබාගත හැකි අතර චානක දසනායක මෝටර් රථයක්ද නිෂ්පාදනය කර ඇත. එය නිෂ්පාදනය කර මේ වන විට වසර පහක් පමණ ගත වී තිබේ. එහි සියයට හැත්තෑවක් පමණ නිෂ්පාදනය කර ඇත්තේ ශ්‍රී ලංකාවේය. චානක පවසන්නේ එහි වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ දහයක් පමණ වන බවය. නමුත් යම් යම් හේතුන් නිසා තවමත් එය වෙළෙඳපොළට නිකුත් කිරීමේදී ඔහුට ගැටලු තත්ත්වයන් කිහිපයකට මුහුණදීමට සිදුව තිබේ. කෙසේ වුවත් නව නිපැයුම්කරැවකු වන චානක තම මෝටර් රථය පිළිබඳව සුබවාදී කාලයක් එළඹෙන තුරැ බලාපොරොත්තුවෙන් සිටී.

 දිශානි ජයමාලි කරුණාරත්න