2021 මාර්තු 20 වන සෙනසුරාදා

ෂහීඩාගේ තොරතුරෙන් කොටු වූ සහරාන්ගේ සභාපති

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සහරාන් අන්තවාදී අදහස් හරහා අනුගාමිකයන් රුසක් තනන්නට පෙරමුණ ගත්තෙකි. එතෙකින් නොනැවතුණු සහරාන් හෂීම් මරාගෙන මැරෙන කල්ලියක් පිහිටුවාගන තිබුණේ අවි පුහුණුව ලත් මරාගෙන මැරෙන කාන්තාවන්ද ඒකරාශී කරගෙනය. මේ කියන කල්ලියෙන් කාන්තා සමාජිකාවන් පහළොස් දෙනකු සිටි බවට අනාවරණය වී තිබිණ.

මේ කරුණු හෙළි වී තිබුණේ පෙබරවාරි 20 වැනිදා මාවනැල්ල හිඟුල ප්‍රදේශයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන්ට කොටු වූ ඊබ්‍රාහිම් ෂහීඩා නැමැති තරුණියගේ තොරතුරු අනුවය. සහරාන් යටතේ අන්තවාදී දේශන හා අවිපුහුණුව ලැබු ඇගේ පාපොච්චාරණය මත පසුගියදා රෂීඩ් හජ්ජුල් අක්බාර් නැමැත්තා දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපතිවරයාය.

සහරාන් හෆීම්ගේ මරාගෙන මැරෙන බෝම්බ කල්ලියේ සාමාජිකාවක වශයෙන් මරාගෙන මැරීමට සූදානම්ව අරාබි බසින් බයියත් ලෙස හඳුන්වන දිවුරුම්දීම සිදුකර සිටියදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට පත්වූ ෂහීඩා නැමැත්තියගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපතිවරයා පිළිබඳව තොරතුරු හෙළිවී තිබේ. මෙම පුද්ගලයා වර්ෂ 1994 සිට 2018 දක්වා වසර 25ක පමණ කාලයක් ජමාතේ ඉස්ලාම් සංවිධානයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මාවනැල්ල බුදුපිළිම කඩාදැමීමේ සිදුවීමට සම්බන්ධතාවක් ඇතැයිද පාස්කු ප්‍රහාරයට පසුව 2019 අගෝස්තු 25 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන සිටියදී වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කෙට්ඨාසයට බාරකර සිටි මොහුට එරෙහිව විමර්ශන පවත්වා චෝදනාවක් නොවූයෙන් මුදාහැර ඇත.

ඉකුත් 13 වැනිදා අත්අඩංගුවට ගත් ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපති රෂීඩ් හජ්ජුල් අක්බාර් පිළිබඳව කරුණු හෙළිවීමත් සමඟ ඔහුගේ ක්‍රියාකාරකම් හා හැසිරීමට එරෙහිව වහම් හා ජිහාඩ් මතවාදය පතුරුවමින් ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් අන්තවාදී රාජ්‍යයක් බිහිකිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය වෙත රුගෙන යාමෙන් අනතුරුව රඳවා තබා ගැනීමේ නියෝග යටතේ දීර්ඝ ලෙස ප්‍රශ්න කරයි. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන කරන ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්ෂි ලබාදීම සඳහාත් මෙම පුද්ගලයා සහභාගී වුවෙකි.

මාවනැල්ල බුදුපිළිම කැඩීම සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් මීට ඉහතදී අත්අඩංගුවට ගනු ලැබූහ. එම සොහොයුරන් දෙන්නාගේ පියා රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහිම් නැමැත්තෙකි. ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපති ඔහුගේ සොහොයුරාය. දැනට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරයේ රඳවා සිටින ඊබ්‍රාහිම් ෂහීඩා නැමැත්තියගේ පියා වන්නේද රෂීඩ් මොහොමඩ් ඉබ්‍රාහීම්ය. ඔහු සහරාන්ගේ දැනුම්දීම අනුව අන්තවාදී දේශන සිදුකළ අයෙකි. මොහුගේ පුත්‍රයන් දෙදෙනා ෂහීඩාට වැඩිමහල් දරුවන්ය. ඔවුන් දෙන්නාගෙන් අයකු මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියකි. අනෙක් තැනැත්තා ව්‍යාපාර කළමනාකරණ පිළිබඳ උපාධියක් ලැබූවෙකි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව පැවැති ජනාධිපති විමර්ශන කොමිසමේ පෙනීසිටි රෂීඩ් අක්බාර් යන අයට එරෙහිව අපරාධ නඩු පැවරීම පිළිබඳව සලකා බලන ලෙස කොමිසම නිර්දේශ කොට තිබිණි. මෙරට ඉස්ලාම් රාජ්‍යයක් බිහිකිරීමට කුමන්ත්‍රණය කිරීම ඔහුට එරෙහි චෝදනාවයි. ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ප්‍රකාශනයක් වූ අල් හසනත්* සඟරාව හරහා වහබ්වාදය හා ජිහාඩ්වාදය ප්‍රචලිත කිරීමට මොහු නොයෙක් ලිපි සම්පාදනය කළ අයෙකි. එම සඟරාව මගින් මෙරට සම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට හානියක් සිදුවන ආකාරයට ඔවුන්ගේ මතවාදවලට පටහැනි ලෙස හා ඔවුන් අතර විසංවාදයක් ඇතිවන අයුරින් තොරතුරු වාර්තා කොට ඇත.

ජමාතේ ඉස්ලාම් සංවිධානයේම තවත් ඒකකයක් බව කියන ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය ප්‍රබල සංවිධානයකි. මරාගෙන මැරෙන පුහුණුව ලැබූ ෂහීඩාගේ සහෝදරයන් දෙදෙනා වන ඊබ්‍රහිම් සාදික් අබ්දුල් හක් හා ඊබ්‍රහිම් ෂාහීඩ් අබ්දුල් හක් යන සොයුරන් දෙන්නා ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රබල සාමාජිකයන්ය. පාස්කු ප්‍රහාරය එල්ල කළ දිනයේ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේදී බෝම්බයක් පුපුරුවාගන මැරුණේ ජමිල් මොහොමඩ් නැමැති අයෙකි. ඔහු ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකි. මෙම සැකකාර ජමාතේ ඉස්ලාම් සභාපතිවරයා අන්තවාදී මතවාද ප්‍රචාරණය සඳහා විවිධ ලේඛන හා හඬපට මෙන්ම විඩීයෝ දර්ශන භාවිත කර තිබෙන බවද හෙළිවී ඇත. සැකකරුට එරෙහිව අපරාධ නඩු පැවරීමට සොයාබලන ලෙස නිර්දේශ කරන අතරම ඔවුන් නියෝජනය කරන ජමාතේ ඉස්ලාම් හා ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යපාරය තහනම් කළ යුතු බවටද නිදේශ කොට ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ සහරාන් කල්ලියේ කාන්තාවන් අට දෙනෙක් මේ වනවිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය බාරයේ පසුවෙති. අවසන් වතාවට මාවනැල්ල හිඟුල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ෂහීඩා නැමැත්තියද ඒ අතර සිටී. සිදුකෙරෙන දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ මෙතෙක් නිදැල්ලේ සිටි ජමාතේ ඉස්ලාම් හිටපු සභාපති වැනි තවත් සැකකරුවන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කොටුවනු ඇත. එදිනට මෙතෙක් සැඟවුණු රහස් රුසක් අනාවරණය කෙරෙනු ඇති බවට පොලිස් ආරංචි මාර්ග පවසයි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර