2019 වසරේදී බඳවාගත් උපාධිධාරීන්ගේ ප්‍රසූත නිවාඩු අසාධාරණ ලෙස කප්පාදු කර ඇති බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සඳහන් කරයි. 2018 සහ 2019 වසර මුලදී වැටුප් සහිත වැඩකරන දිනයන් අසූ හතරක් ලබාදුන්නද මේ නිවාඩු දින අසූ හතරට සෙනසුරාදා ඉරිදා ඇතුළුව රජයේ නිවාඩු දිනත් ඇතුළත් වන ලෙස චක්‍රලේඛනයක් නිකුත් කර ඇති බවට ඔවුහු චෝදනා කරති.
රාජ්‍ය සේවයට මේ වනවිට අභ්‍යාසලාභී උපාධිධාරීන් පනස්එක්දහසකට ආසන්න ප්‍රමාණයක් බඳවාගෙන තිබෙනවා. රාජ්‍ය අංශයට අඩු ආදායම්ලාභීන් ලෙසින් ලක්ෂයකට රැකියා ලබාදී තිබෙනවා. මේ සියලුම බඳවා ගැනීම්වල නිලධාරිනියන්ට ලබාදෙන ප්‍රසූත නිවාඩු වැඩකරන දින හතළිස් දෙකකින් කප්පාදු කරලා තියෙනවා. මේ වනවිට ප්‍රසූත නිවාඩු ලබාදෙන්නේ හතළිස් දෙකක් පමණයි. රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ නිලධාරිනියකගේ පළමු දරු ප්‍රසූතියේදී වැඩකරන දින අසූ හතරක් වැටුප සහිත නිවාඩු ලබාදුන්නා. ආයතන සංග්‍රහයේ දහඅටවන වගන්තියේ ස්ථීර, තාවකාලික අනියම් නිලධාරිනියන්ට මෙම වගන්තිය යටතේ දින අසූ හතරක ප්‍රසූත නිවාඩු ලබාදිය යුතුයි සඳහන් වෙනවා. නමුත් ආයතන සංග්‍රහයට පිටින් ගොස් වර්තමාන ආණ්ඩුව ක්‍රියා කරන්නේ. මේ ආණ්ඩුව, දරුවන් ගැන, මව්වරුන් ගැන දුකෙන් කතාකළත් ප්‍රසූත නිවාඩු කප්පාදු කරනවා. මේක හරි අසාධාරණයක්. යැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා පැවසීය.
මොවුහු මේ සම්බන්ධව මානව හිමිකම් කොමිෂන් සභාවට පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය, වෘත්තීය සමිති හා කාන්තා සංවිධාන ඒකාබද්ධවය.
රජයේ සේවයේ යෙදී සිටින මව්වරුන් මේතාක් භුක්ති විඳි සති දොළහක ප්‍රසූත නිවාඩු වෙනුවට ගිය වසරේ සිට බඳවා ගන්නා ලද අභ්‍යාසලාභී උපාධිධාරිනියන්ට සහ අඩු ආදායම්ලාභිනියන්ට ලබා දී ඇත්තේ සති හයක ප්‍රසූත නිවාඩු කාලයක් පමණි. මේ අනුව වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මෙය ඉපදීමට සිටින දරුවන්ගේද මූලික මානව හිමිකම් කඩ කිරීමක් ලෙසිනි.
අභ්‍යාසලාභී උපාධිධාරීන්ට පත්වීම ලබාදුන්නේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ දෙවැනිදා. අපි සැප්තැම්බර් මාසේ හත්වැනිදා මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. දැන් මාස හයකුත් ගතවෙලා. මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා මාස හයක් ගතවුණාට පස්සේ තමයි ඒක විභාග කරල සූදානම් වෙන්නේ. මොනතරම් අසාධාරණයක්ද? අපි මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්, අගමැතිතුමන්, විෂය භාර නිලධාරීන් ඇතුළු සියලු දෙනාවම දැනුවත් කළා. දෙසැම්බර් මාසයේදී රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අමාත්‍යංශ ලේකම් කේ.කේ. රත්නසිරි මහතාට දින අසූ හතරක් දීමට කැබිනට් පත්‍රිකාවක් දාන්න කියල යෝජනා කරල තියෙනවා. නමුත් ඇමැතිවරුන්ගේ නියෝග ක්‍රියාකරන්න බැරි ලේකම්වරු ඉන්න ආණ්ඩුවක් තමයි මේක. යැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ චෝදනා කරයි.
ඇමැතිතුමාගේ දෙවැනි ලිපිය ඇවිල්ලත් මේ වනතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා නැහැ. සැප්තැම්බර් බඳවා ගත්තු උපාධිධාරීන්ගේ මාස හයේ කාල සීමාවත් ඉවරයි. පෙබරවාරි බඳවාගත්තු උපාධිධාරිනියන්ගේ මාසයකුත් ගෙවිලා අවසන් වෙලා. මේක කල්යාමෙන් ඒ අයට වෙන්නේ ලොකු අසාධාරණයක්. ඒ නිසා මේ අසාධාරණය වෙනුවෙන් මැදිහත් වී මේ නිලධාරිනියන්ට සාධාරණයක් ලබාදෙනතුරු අපි දිගටම ඔවුන් සමඟ ඉන්නවා. යැයි ධම්මික මුණසිංහ දේශයට අදහස් දක්වමින් පැවසීය.
ප්‍රසූත නිවාඩු කාන්තාවන්ගේ අයිතියටත් වඩා මෙය මෙලොවට බිහිවුණ දරුවන්ගේ අයිතියක්. අපේ රටේ බොහෝ බස්වල ගැබිණි මාතාවන්ට වෙන්කර ඇත යනුවෙන් බස්රථවල ආසනයක් වෙන්කරල තියෙනවා. මගේ මතය වන්නේ මේවා අපේ රටේ බොරුවට කරන දේවල් කියලයි. එහෙම ආසනයක් වෙන්කරන්න ඕනේ නැහැ. එවැනි ගැබිණි කාන්තාවක් බස් රථයට ගොඩවුණාට පසුව ආසනය ලබාදිය යුතුයි කියන සිතුවිල්ල හැම මනුස්සයෙක් තුළම ඇතිවිය යුතුයි. එවැනි සුභවාදී ආකල්පමය වෙනසක් වෙලා තියෙන්නම ඕනේ. එහෙම සුබවාදී ආකල්ප ඇති නොවීම නිසා තමයි අපිට මෙහෙම අසුනක් වෙන්කරන්න වෙලා තියෙන්නේ. වර්තමානයේදී ප්‍රසූත නිවාඩු සම්බන්ධව ඇති වී තිබෙන ගැටලුවේදීත් රජය එයින් නිශ්චිතව මැදිහත් වීමක් වෙන්නේ නැති බවයි අපිට පෙනෙන්නේ. යැයි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න දේශයට අදහස් දක්වමින් පැවසීය.
මෙලොවට ඉපදුණු සෑම බිළිඳෙකුටම මව්කිරි ලබාදීම දරුවන්ගේ අයිතියකි. මව්කිරි දීම සෑම මවකගේම යුතුකමක් වගේම අයිතියකි. කිරිදෙන අම්මා කෙනෙකුට තම බිළිඳාට එරෙන කිරි නොදී සිටිය නොහැකිය. දරුවාට කිරි නොදීම නිසා ඇතැම් මව්වරුන්ගේ සාරි හැට්ටය තෙත් වෙමින් තම රාජකාරිය කරනා කාන්තාවන් සිටිති. මෙය මානුෂීය හැඟීමකි. ඇතැම් මව්වරුන් තම රාජකාරියට පැමිණෙන්නේ තම බිළිඳාට මව්කිරි දොවා පරිස්සමට තබාය. ඇය කොයිතරම් රාජකාරියට කාලය ලබාදුන්නද ඇයගේ මානසිකත්වයට නිදහස නැත. ඇය නිතරම සිතන්නේ තම බිළිඳා ගැනය. සැබැවින්ම මෙය මානුෂීය හැඟීමෙන් බැලිය යුතු තත්ත්වයකි.
රජයක් විදිහට මේකට වගකීමක් ගන්නේ නැත්තේ ඇයි? රජයට මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න බැරි හේතුව මොකක්ද? මේ සම්බන්ධයෙන් අපිට තියෙන්නේ විශාල ගැටලුවක්. මේකට මුහුණපාන නිලධාරිනියක් පමණක් නොවෙයි අපි හැමෝම මේකට මැදිහත් වෙන්න ඕනේ. ලංකාවේ රජයේ සහ පෞද්ගලික අංශවල වැඩිවශයෙන් වැඩකරන්නේ කාන්තාවන්.
රටේ නිෂ්පාදන ආර්ථිකයට කාන්තාවන්ගෙන් විශාල දායකත්වයක් ලැබෙනවා. දරුවෝ කියන්නේ රටේ සම්පතක්. කාන්තාවන් මෙරට නිෂ්පාදන ආර්ථිකයන්ට දායක වෙනවා වගේම නැවත අනාගතයේදී නිෂ්පාදන ආර්ථිකයට එකතු කරන බලවේගයද ගොඩනගන්නේත් ඔවුන්මයි. නමුත් මේ කාන්තාවන් වෙනුවෙන් මේ ආණ්ඩුව ලබාදී ඇති තැන ගැන ඇත්තටම දුකයි. තමන්ගේ දරුවන්ට, රටේ අනාගතයට ලැබිය යුතු අයිතිය මේ රටේ ආණ්ඩුව කප්පාදු කරලා තියෙනවා. මේක මේ රටේ වර්තමානයේදී තියෙන බරපතල ගැටලුවක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මව්කිරි දීම හා ප්‍රසූත නිවාඩු අනාවාර්යයෙන් ලබාදෙනවා යැයි සඳහන් කරල තියෙනවා. නමුත් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය පවා උල්ලංඝනය කරලා කප්පාදු කරලා තියෙනවා. යැයි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න වැඩිදුරටත් දේශයට පැවසීය.
දිශානි ජයමාලි කරුණාරත්න