2021 මාර්තු 20 වන සෙනසුරාදා

කජීමාවත්තේ ගින්න යට කැරකෙන රහස

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

කොළඹ තොටළඟ ෆර්ගියුෂන් පාරේ මුවදොර උයන තට්ටු නිවාස සංකීර්ණයේ පසුපස පිහිටි කජීමාවත්තේ පැල්පත් නිවාස පෙළක හදිසියේ ඇති වූ ගින්නකින් එහි නිවාස 27ක් සම්පූර්ණයෙන් දැවී විනාශ වී තිබුණේ නිවැසියන්ට අයත් ත්‍රිරෝද රථ යතුරුපැදි වටිනා ලිපිලේඛන, ඇඳුම් ආයිත්තම් සියල්ල විනාශ කරමිනි. ගින්න හේතුවෙන් නිවාස විසිහතක පදිංචි පුද්ගලයන් 141 ක් මේ වනවිට අවතැන්ව සිටිති.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ පිහිටි කජීමාවන්ත පැලපත් නිවාසවල මෙම ගින්න හටගෙන තිබුණේ පසුගිය 15 වැනිදා අලුයම 3.30ට පමණය. නිවාස පෙළේ මැද එක් නිවෙසක ගිනිගැනීමක් ඇතිවූ බව ප්‍රදේශයේ පදිංචිකරුවකු දැක තිබුණු බවද ඔහුගේ කෑගැසීමට අසල්වැසියන් රැස්ව ගින්න නිවීමට උත්සාහ කළ බවද කියති. එහෙත් වේගයෙන් ගින්න පැතිරීම නිසා ග්‍රෑන්ඩ්පාස් පොලීසියට හා ගිනි නිවන හමුදාවට දැන්වූ බව ප්‍රදේශවාසීන්ම කියා සිටියෝය. ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ගින්න හටගත් නිවසේ කිසිවකුත් ඒ මොහොතේ එතුළ රැඳී නොසිටි බවය. ආසන්න නිවාස කිහිපයකක් පදිංචිකරැවන් එදින රාත්‍රියේ නිවාසවල රුඳී නොසිටීම නිසා සිදුවීමට තිබූ මහා විනාශයක් වැළකී තිබෙන බවද කජීමාවත්ත පදිංචිකරැවෝ පවසති. එහෙත් ගිනි ගැනීමට ලක්වූ නිවාස 27ට අයත් පදිංචිකරැවන් ප්‍රකාශ කළේ ගින්න නිසා තමුන්ට ඇඳිවත පමණක් ඉතිරිව ඇති බවය.

ගින්න අවස්ථාවේ එතැනට පැමිණි ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ නිලධාරින්ගේ මැදිහත්වීම මත ග්‍රෑන්ඩ්පාස්, මරදාන හා හෙට්ටියාවත්ත යන ස්ථානවල ස්ථාපිත ගිනි නිවන හමුදාවේ රථ අටක් සමඟ ගිනි තිබන භටයන් විසිදෙනකු යොදවා ගින්න පාලනය කිරීමට පියවර ගෙන තිබිණි. එම උත්සාහයත් සමඟ පැල්පත් නිවාස පෙළේ තිබූ තවත් නිවාස 200ක් පමණ ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට හැකිව තිබේ.

මේ ආකාරයට ජීවිත හා දේපළ හානිය අවම කරගෙන ගින්න මැඬලීමට විනාඩි 45කට අධික කාලයක් ගතවූ බව කොළඹ මහනගර සභාවේ ගිනි නිවන හමුදා නිලධාරීහු ප්‍රකාශ කළහ. ගින්න හේතුවෙන් පවුල් 27ක පුද්ගලයන් 141 දෙනකු අවතැන්වීම නිසා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ඇතුළු නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් පිරිස ෆර්ගියුෂන් පාරේ කළහැකි නදී විහාරය පරිශ්‍රයේ හා ඒ අසල ප්‍රජා ශාලාවක තාවකාලිකව පහසුකම් සපයා නවාතැන් ගැන්වීමට කටයුතු කොට ඇත. එම පිරිස් වෙත අවශ්‍ය ආහාරපාන ඇඳුම් හා සනීපාරක්ෂක පහසුකම් ලබාදීමට දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරින් පියවර ගෙන තිබේ. 

ගිනිගත් නිවාස පෙළේ පංදිචිකරැවන්ට අමතරව වෙනත් පවුල් 5ක් ද එහි තාවකාලිකව පදිංචිව ඇතැයිද පැවසේ. පොලීසිය පවසන්නේ කජීමාවත්ත තුළ පැල්පත් නිවාස 250ක් පමණ පවතින බවය. මේ සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමකදී අනාවරණය වූයේ කජීමාවත්ත පැල්පත්වල පංදිචිකරුවන් රැසකට අසළ මුවදොර තට්ටු නිවාස සංකීර්ණයේ ස්ථිර නිවාස ලබාදී ඇති බවය. එහෙත් බොහෝ පිරිසක් තවමත් පැල්පත් නිවසවල රැඳී සිටින බවද වාර්තා වේ. එනමුත් රාත්‍රී කාලයේ පැල්පත් නිවාසවල පදිංචිව සිටින බව ඇඟවීම සඳහා ලාම්පුවක් හෝ අනවසර විදුලි බල්බයක් දල්වා යන බවද කියති. මෙසේ ස්ථීර නිවාස ලැබී තිබුණද හෙරොයින් ගංජා හෝ නීති විරෝධී කටයුතුවලට පෙළමුණු පිරිස් තට්ටු නිවාසවලින් බැහැරව පැල්පත් නිවාසවල ගතකරන බව වාර්තා වේ. ඔවුන් රාත්‍රියට පමණක් තට්ටු නිවාස භාවිත කරන බවද තතු දන්නෝ පවසති.

නිතර නිතර ජාවාරම්කරැවන් සැරිසරන මෙම කජීමාවත්ත පැල්පත් නිවාසවල ස්ථීර පදිංචිකරුවන් හා අනවසර පදිංචිකරැවන් හඳුනා ගැනීමත් අසීරැය. කෙසේ නමුත් පිරිස වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන නිවාස හානි වූ අයට නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරිය මගින් නිවාස ලබාදීමට ඇති හැකියාව සොයාබලන බව කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

2018 වසරේදී මෙම වතු නිවාස පෙළේ පදිංචිකරුවන් රැසකට තට්ටු නිවාස ලබාදී අනවසර පදිංචිකරුවන් සියල්ල එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ආණ්ඩුව අනවසර පැල්පත් සියල්ල ගලවා දැමීමට කටයුතු කළේය. මෙහිදී කුපිත වූ පැල්පත්වාසීන් එහි පැමිණි බැකෝ යන්ත්‍රවලටද ගල් ප්‍රහාර එල්ල කර ඇති අතර පසුව තොටළඟ පාලම මතට පැමිණ මාර්ගය හරස්කර රථවාහන ගමනාගමනය අඩාල කර උද්ඝෝෂණයක නිරත වූහ.

ගින්න ඇතිවූ ස්ථානය පොලිස් අපරාධ ස්ථාන නිරීක්ෂණ නිලධාරීන් පැමිණ විමර්ශන කළේය. දල්වා තිබුණු පහනක් පෙරළීමෙන් හෝ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි දැනට විශ්වාස කෙරේ. රජයේ රස පරීක්ෂකවරයා එම ස්ථානයට පැමිණ විමර්ශන සිදුකළ අතර එම වාර්තාව අනුව ගින්නට නිශ්චිත හේතුව අනාවරණය වනු ඇත. ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලාල් චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර
    සේයාරූ - ලහිරු හර්ෂණ