2021 මාර්තු 20 වන සෙනසුරාදා

කෝටි ගණන් කුඩු සල්ලි සහරාන්ලාට ගිහින්?

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ කේන්ද්‍රස්ථානයක් වී තිබේදැයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකයක් උපදී. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රමුඛ ආරක්ෂක අංශ මෙහෙයවීමෙන් සිදුකරන වැටලීම් හා වාර්තා වන තොරතුරු අනුව ඊට යම් යම් කරුණු ඒකරාශි වේ. ජාත්‍යන්තර වශයෙන් මත්කුඩු ජාවාරම මෙහෙයවන ජාවාරමුන්ගේ ප්‍රබල ගෝලබාලයන් මෙරට රුඳී සිටිමින් ජාවාරම් සල්ලි හරහා මෙරට මුස්ලිම් අන්තවාදය පෝෂණයට අරමුදල් සපයා ඇතැයි වාර්තා වන්නේ කුඩු ජාවාරමත් අන්තවාදයත් අතර සබඳතාවයක් පවතින බවටද හෝඩුවාවක් තබමිනි.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව සිදුකළ දීර්ඝ විමර්ශනයකදී මේ හා සම්බන්ධව සැකකෙරෙන බැංකු ගිණුමක් හඳුනාගෙන තිබේ. අන්තවාදී සංවිධානයක නමින් පවතින බැංකු ගිණුම ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි බැංකුවක පවත්වාගෙන ගොස් ඇත. වසර 4කට ආසන්න කාලසීමාවකදී රුපියල් කෝටි 98 ඉක්මවා මුදල් බැරවී ඇතැයිද අනාවරණය වීමෙන් අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව ලැබුණු හෝඩුවාවක් අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර තිබිණ. ඒ මීට මාස ගණනාවකට පෙරය. එහිදී කුඩු ජාවාරමේ නිරත කාන්තාවන් තිදෙනකු ඇතුළුව සැකකරුවන් අට දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. මේ පිරිසෙන් හෙළිකරගත් තොරතුරු අනුව මාස කිහිපයක කාලයක් තුළ සිදුකළ විමර්ශනයන්හි ප්‍රතිඵලයක් වශයෙන් මෙරට තවත් ප්‍රබල කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ පසුගිය 2020 වසරේ අගෝස්තු මාසයේදීය. එසේ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙන්නා පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මොවුන් දෙදෙනා මෙරට රුඳී සිටිමින් විවිධ පිරිස් යොදවා මත්කුඩු ජාවාරම සිදුකරන අතර ඩුබායි රටේ සැඟවී සිටිමින් ජාත්‍යන්තර වශයෙන් කුඩු ජාවාරම සිදුකරන පානදුරේ රහීම් නැමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකි.

පසුගිය අගෝස්තු මාසයේදී අත්අඩංගුවට පත්වූ සැකකරුවන් දෙන්නා මාස හතකට ආසන්න කාලයක් රුඳවුම් නියෝග යටතේ රඳවා තබාගන සිදුකළ ප්‍රශ්න කිරීමේදී එක් සැකකරුවකු කරුණු රාශියක් හෙළිකර තිබිණි. 36 වැනි වියේ පසුවන ඔහු ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කාර පානදුරේ රහීම් නැමැත්තාගේ මෙරට කුඩු ජාවාරමේ මුදල් කටයුතු මෙහෙයවන්නාය. සැකකාර පුද්ගලයාගේ වත්කම් හා දේපළ පිළිබඳ විමර්ශනයේදී ඔහුට අයත් බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් සංසරණය වී තිබෙන ඔබ සොයාගෙන ඇත. ඒ අතර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි බැංකුවක ගිණුමක් වෙත එම සැකකරුගේ ගිණුමෙන් රුපියල් ලක්ෂ 4ක් බැරවී තිබෙන බවද හඳුනාගෙන තිබිණ. එය සනාථ වන පරිදි ඔහු සතුව රිසිට් පතක්ද තිබී හමුවී ඇත. මෙම හෝඩුවාවත් සමඟ ක්‍රියාත්මක වූ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ත්‍රිකුණාමලය පිහිටි බැංකු ගිණුම පරීක්ෂාවට ලක්කොට තිබුණි.

මෙහිදී හෙළිවී තිබුණේ සැකකරුගේ ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 4ක මුදල මුස්ලිම් අන්තවාදී සංවිධානයකට අයත් බැංකු ගිණුමකට බැරවී ඇති බවය. කෙසේ නමුත් ගිණුම පරීක්ෂා කරන අවස්ථාව වනවිට එහි පැවතී ඇත්තේ රුපියල් 125,000ක මුදලක් බවට පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ සමඟ ක්‍රියාත්මක වූ නිලධාරීහු අධිකරණ නියෝග ප්‍රකාරව ගිණුම අත්හිටුවීමට පියවර ගත්හ.

මුස්ලිම් අන්තවාදී සංවිධානයකට අයත් බැංකු ගිණුම වසර ගණනාවක් ක්‍රියාත්මක වූ එකකි. අදාළ සංවිධානය සුබසාධන ස්වේච්ඡා සංවිධානයක් වශයෙන් රජයේ ලියාපදිංචි කර ඇතැයිද හඳුනාගෙන ඇත. විමර්ශනවලින් හෙළිවී තිබුණේ වරින්වර බැරවන අතිවිශාල මුදල් තොග පසුදිනම ගිණුමෙන් ඉවත්කර ඇති බවය. අදාළ සංවිධානයේ ක්‍රියාකාරීන් හඳුනාගෙන තිබෙන අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශනය සිදුකරයි. එහිදී මෙම අන්තවාදී සංවිධානයට අයත් මුදල් වියදම් කළ ආකාරය හා එම මුදල් යොදවා සිදුකළ කාර්යයන් පිළිබඳව සෙවීමට නියමිතය.

වාර්තා වන ආකාරයට ලංකාවේ දැනට මුස්ලිම් අන්තවාදී සංවිධාන 43ක් පමණ ක්‍රියාත්මක වේ. ඒ අතුරින් සංවිධාන 4ක් ප්‍රබල වශයෙන් ක්‍රියාකාරීව සිටින බව පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනපති කොමිසම ඉදිරියේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කර තිබිණ. ඉස්ලාම් අන්තවාදය දරන ප්‍රධාන කණ්ඩායම් අතර තව්හිත් ජමාත් මතවාදය, වහබ්වාදය, සලෆ්වාදය හා ජමාතේ ඉස්ලාම් හෙවත් ඉහ්වාන් මුස්ලිම් ලෙසද පවතී. මේ කරුණු අනුව ආරක්ෂක අංශ වෙත බරපතළ වගකීමක් පවතින්නේ ශ්‍රී ලංකාවෙන් මුස්ලිම් අන්තවාදී සංවිධාන අතුගා දැමීමටය. 

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත උතුර බාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත ශ්‍රී විජය යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත කැලණිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක සමීර, සැරයන්වරුන් වන බංඩාර (19364) ජයතුංග (33403) ක්‍රිස්ටි (20641) සිසිර (2725) කොස්තාපල්වරුන් වන රණසිංහ (60699) යන මහත්වරු මේ සම්බන්ධෆයන් මූලික විමර්ශන සිදුකර තිබිණ. ඉදිරි විමර්ශන ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.

 සමන්ත

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03