මම ඕඩර් කළ ගවුමට සම්පූර්ණ වෙනස් බාල රෙදි වර්ගයකින් මහපු ඇඳුමක් තමයි ලැබුණේ. ඒක ආපහු යවලා සල්ලි නැවත දෙන්න ඉල්ලුවම ප්‍රසිද්ධියේ අපට බැනලා කොමෙන්ට්ස් දානවා. අපේ පෞද්ගලික තොරතුරු අනවසරයෙන් ප්‍රචාරය කරනවා. ලොකු වංචාවක් සිද්ධ වෙන්නේ, තරින්ද්‍රි ජයවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.
විටින් විට විවිධ නම්වලින් පෙනී සිට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇඳුම් අලෙවි කරන ආයතනයකින් තරින්ද්‍රි භාණ්ඩ ඇණවුම් කර ඇති අතර, ඇයට ලැබී ඇත්තේ හාත්පසින් වෙනස් භාණ්ඩය.
ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ක්‍රියාත්මක වන මෙම ආයතනය ඇතුළු තවත් විවිධ ඔන්ලයින් වංචාවලට එරෙහිව බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හඬ නගා තිබුණද, තවමත් දිනපතා මෙවැනි වංචා සිදුවන බව බීබීසී සිංහල සේවය සිදුකළ විමසුමකදී දැනගැනීමට ලැබිණි.
මගේ මහත්තයා ලංකාවේ ඔන්ලයින් ෂොප් එකකින් ඇඳුමක් ඕඩර් කරලා මට තෑග්ගක් දෙන්න බලාගෙන. ඒ අය ඉන්ස්ටග්‍රෑම් එකේ දාලා තියෙන්නේ සෑහෙන ලස්සන ඇඳුම්වල පිංතූර. ඒවාට අහු නොවෙන කෙනෙක් නැහැ. ඒ වගේම ලස්සන වචන භාවිත කරලා තියෙනවා හැඳින්වීම්වල.* සිය වාසගම හෙළි නොකරන්න යැයි ඉල්ලීමක්ද කරමින් අමාලි සිය අත්දැකීම් පැවසුවාය.
ඇඳුම් ටික ලැබෙන්න නියමිත දවසට වඩා සති දෙකක් කල් ගියා. ඕඩර් එක ලැබුණට පස්සේ ඒක දැකපු අපි දෙන්නට ඇස් අදහගන්න බැරි වුණා. නිකම් බාල කපු රෙදිවලින් අපිළිවෙළට මහලා කුණු ගොඩක් වගේ ඇඳුමක් එතන තිබුණේ. ඒ ඇඳුම රුපියල් 2,000ක්. මේ ගැන වහාම අදාළ ආයතනයට දැන්වූවා. ඒ අයගේ පිළිතුරැ තමයි මගේ ඇඟ කැත නිසා ඇඳුම් හරියන්නේ නැහැ, ඒකට ඒ අයට කරන්න දෙයක් නැහැ කියලා. මට කඳුළු ආවා ඒක දැකලා ඇය පැවසුවාය.රූප මූලාශ්‍රය,GETTY IMAGES අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලා වර්තමානයේදී අප ජීවිතයේ අනිවාර්ය කොටස්කරැවන් බවට පත්ව තිබේ. නමුත් මීට දශක කීපයකට පෙර අන්තර්ජාලය භාවිත කිරීම නගරබදව විසූ අතළොස්සකට පමණක් සීමා විය. ලොව සිදුවන ඕනෑම සිද්ධියක් තත්පරයකට අඩු කාලයකදී ගූගල් ඔස්සේ දැනගත හැකිය. එමෙන්ම සමාජ මාධ්‍ය ජාලවලින් සිය අදහස් දැක්වීම, දේශපාලනය, ව්‍යාපාර ප්‍රවර්ධනය, ගනුදෙනු, විවිධ සමාජ කණ්ඩායම් ක්‍රියාත්මක කිරීම, මිතුරන් සමඟ සම්බන්ධතා පැවැත්වීම මෙන්ම එක බොත්තමක් එබීමෙන් එම සම්බන්ධතා නතර කිරීමටද ඉඩ ලැබී ඇත. මිනිස් වර්ගයාගේ ප්‍රමුඛ මෙවලමක් බවට පත්ව ඇති අන්තර්ජාලයෙන් ප්‍රයෝජන බොහොමයක් ඇති නමුත්, එය අවභාවිත කරන විශාල පිරිසක් ද සිටීම හේතුවෙන් වෙනදාට වඩා වැඩි කොටසක් විවිධ වංචාවලට හසුවීමේ ඉඩකඩ විවර වී තිබේ.
අන්තර්ජාලය සම්බන්ධ ගැටලු වංචා නඩු සෑහෙන ප්‍රමාණයක් දැන් උසාවිවලට එනවා. ඇත්තටම ව්‍යාපාර ගනුදෙනුවලට විතරක් නෙමෙයි, දික්කසාද, ඉඩම් නඩු, අපරාධ නඩු යන සියල්ලටම සාක්ෂි ලෙස හෝ අන්තර්ජාලය, සමාජ මාධ්‍ය ජාල සම්බන්ධ වෙන බොහෝ අවස්ථා තියෙනවා* නීතිඥ ෆාතිමා නුස්රත් පැවසුවාය.
කොහොම වුණත් භාණ්ඩ හා සේවා වංචාවක් සිදුවුණොත් මුලින්ම ඉතා ඉක්මණින් පාරිභෝගික සේවා පැමිණිලි අංශයට දන්වන්න ඕනේ. දැන් එයත් අන්තර්ජාලය හරහාම සිදු කරන්න පුළුවන්. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ වෙනත් වංචා සහ අපරාධයක් සිදුවුණා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ යුතුයි. යම් වංචාවක්, අපරාධයක් සිදු වුණාම මූලික වශයෙන් සිදුකරන්න ඕනේ මේ දේවල්. නමුත් මිනිස්සු නොකරන්නෙත් ඒ කමයි. රටේ ශක්තිමත් පැහැදිලි නීතියක් සහ ආයතන සැකසිලා තියෙද්දී, ඒවා ප්‍රයෝජනයට නොගැනීම කනගාටුවට කරැණක් සහ වංචාකාරයින් තවත් ශක්තිමත් කිරීමක්* ඇය තවදුරටත් පැවසීය.
අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇණවුම් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික වෙළෙඳ ආයතනයක් පාලන මිලට වඩා වැඩිමිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමක් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් ගැන පසුගියදා විමර්ශනයක් සිදු කෙරිණි.
එම ආයතනය රුපියල් 100 කට මිල නියම කර තිබෙන සැමන් ටින් රුපියල් 550 කටත්, රුපියල් 150ක් වන බී ලූනු කිලෝවක් රුපියල් 500කටත්, රැපියල් 65ක් වන පරිප්පු කිලෝව රැපියල් 180කටත්, රුපියල් 92ක් වන පාන්පිටි කිලෝව රුපියල් 350කටත් අලෙවි කර තිබෙන බව පැමිණිල්ලේ සඳහන් විය. මෙම අධික මිල ගණන් යටතේ අලෙවි කළ භාණ්ඩ ලබාගත් පාරිභෝගියන්ට වැඩිපුර ගෙවූ මුදල් යළි ලබාදීමට එම වෙළෙඳ සමාගම පොරොන්දු වී තිබේ.
අන්තර්ජාලයෙන් භාණ්ඩ මිල දී ගැනීමේ දී සැලකිය යුතු කරුණු මොනවාද?
මේ වනවිට නිවසට අවශ්‍ය විදුලි උපකරණ, ගෘහ භාණ්ඩවල සිට අල්පෙනිති පෙට්ටිය දක්වා සියල්ල අන්තර්ජාලය ඔස්සේ මිල දී ගැනීමේ පහසුකම තිබේ. කොරෝනා වෛරස වසංගතය මැද ලොවපුරා සීමා පැනවීමෙන් පසු භාණ්ඩ මිලදී ගැනීම් පවා නිවසට සීමා වූ අතර, එම කාලය තුළ ඇමසන් වැනි භාණ්ඩ විකුණන වෙබ් අඩවිවල ලාභය 40කින් වැඩි වී තිබේ. අන්තර්ජාලයෙන් භාණ්ඩයක් මිල දී ගැනීමේදී සැලකිය යුතු කරැණු ගැන පරිගණක ඉංජිනේරැ රංගන කළුතන්ත්‍රි පැහැදිලි කළේය.
භාණ්ඩ මිලදී ගැනීමේදී රට තුළ ජනප්‍රිය වෙබ් අඩවි කීපයක් ඇති අතර, eBay, Alibaba, Aliexpress වැනි විදේශීය සමාගම් හරහාද තොග සහ සිල්ලර වශයෙන් භාණ්ඩ ඇණවුම් කළ හැකිය. විශ්වසනීය වෙබ් අඩවියකට පිවිස තමන්ට කැමති භාණ්ඩයේ නම සෙවුම් කොටුවට ඇතුළු කළ යුතුය. එසේ නොහැකි නම් අදාළ භාණ්ඩයේ නම සහ එය ශ්‍රී ලංකාවෙන් මිල දී ගැනීමට අවශ්‍යයයි ගූගල්හි ටයිප් කිරීමෙන් එම භාණ්ඩය ඇතුළත් වෙබ් අඩවි සියල්ලම පාහේ විවෘත වෙනු ඇත. ඒ අතරින් වඩාත් විශ්වාසදායක වෙබ් අඩවිය තෝරා ගැනීම ඔබ සතු වගකීමකි. ඒ සඳහා අදාළ වෙබ්අඩවිය පිළිබඳ ගූගල් %රිවීව්^ කියවීම වඩාත් උපකාරී වේ.
අන්තර්ජාලයෙන් භාණ්ඩයක් මිල දී ගැනීමේදී යමෙකුට හිමිවන වැදගත්ම වාසිය නම් ඉතා කෙටි කාලයක් ඇතුළත එකම භාණ්ඩය විවිධ ආයතනවල විකුණන මිල ගණන් සංසන්දනය කිරීමට ඇති හැකියාවය. ඒ අතරින් මිල අඩුම හෝ වෙනත් වාසියක් ලබා දෙන විශ්වාසවන්ත ආයතනයකින් ඔබට අදාළ භාණ්ඩය ඇණවුම් කළ හැකිය.
භාණ්ඩයේ විස්තර මෙන්ම, වගකීම් සහතික, තැපැල් හෝ ප්‍රවාහන ගාස්තු, එයට ගතවන කාලය, ඔබ භාණ්ඩයට අකමැතිනම් එය ආපසු යැවීමේ ක්‍රියාවලිය ගැන සියලු විස්තර කියවා දැනගැනීම අත්‍යවශ්‍ය කරැණකි. මුහුණට මුහුණ හමු වී භාණ්ඩ මිලදී ගැනීමේදී වෙළෙන්දා භාණ්ඩය සහ ඊට අදාළ සේවා විස්තර කළද, අන්තර්ජාලයෙන් මිල දී ගැනීමේදී භාණ්ඩය ගැන දැනගැනීමේ සියලු වගකීම ඇත්තේ ඔබ සතුවය.
ගෙවීම් සිදු කිරීමට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් අංක සහ පෞද්ගලික දත්ත ඇතුළත් කළ පසු බොහෝවිට ස්වයංක්‍රීයව ඔබව වෙනත් වෙබ් අඩවියකට ඇතුළු කරනු ඇත. අදාළ ආයතන ගෙවීම් ලබා ගන්නේ මේ වෙබ්අඩවිය හරහාය. නමුත්, එම වෙබ්අඩවිය ආරක්‍ෂිත දැයි සොයා බැලිය යුතුය. එම වෙබ්අඩවි සබැඳියේ මුල https:// හෝ ලොක් එකක ලකුණක් ඇත්නම් එය ආරක්‍ෂිත වෙබ් අඩවියක් ලෙස සැලකේ. ගෙවීම් සම්පූර්ණ කර භාණ්ඩ ඇණවුම් කළ පසු ඔබට විද්‍යුත් පණිවිඩයක් ලැබෙන අතර, මිලදීගැනීමට අදාළ පරිග්‍රහණ අංකයක් (Reference number) එහි සඳහන් වේ. ප්‍රවාහනය ගැන තොරතුරැ හෝ භාණ්ඩ නැවත යැවීමට අවශ්‍ය නම් මෙම පරිග්‍රහණ අංකය බොහෝවිට ඉදිරිපත් කළ යුතුය.
භාණ්ඩ මිලට ගැනීමේ දී යම් අතිරේක බදු මුදලක්, ගාස්තුවක් ගෙවීමට සිදුවේද යන්න පිළිබඳවද සැළකිලිමත් විය යුතුය. භාණ්ඩ ඇණවුම් සඳහා ඉන්ටර්නෙට් කැෆේ හෝ නොමිලේ ලබාදෙන WiFi භාවිත කිරීමෙන් වළකින්න. අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලට ගැනීමේදී තම සංවේදී පෞද්ගලික දත්ත බොහොමයක් ඇතුළත් කිරීමට සිදු වේ. ඒ හේතුවෙන් හැකි සෑමවිටම පෞද්ගලික උපකරණ ඔස්සේ පමණක් ගනුදෙනු සිදු කිරීමෙන් අනවශ්‍ය ලෙස ඔබේ තොරතුරැ පිටතට යෑම වළක්වා ගත හැකිය. අවන්හල් වැනි ස්ථානවල මුරපදය (password) නොමැතිව ලබාදෙන WiFi හරහා මුදල් ගෙවීම් සිදු කිරීමෙන් වැළකිය සිටිය යුතුය.
වෙබ්අඩවියේ නියමයන් සහ කොන්දේසි ගැන අවධානය යොමු කරන්න
භාණ්ඩ මිල දී ගන්නා වෙබ් අඩවියේ නියමයන් සහ කොන්දේසි (Terms Conditions) සහ දත්ත ආරක්ෂණ ප්‍රතිපත්තිය (Privacy Policy) කියවා අවබෝධයක් ලබා ගැනීමෙන් ඔබට භාණ්ඩ, සේවා සහ පෞද්ගලික දත්ත සම්බන්ධ බොහෝ ගැටලු මඟහැර ගත හැකිය.
වෙනත් වංචාද බොහොමයි!
භාණ්ඩ හා සේවා පමණක් නොව තව බොහෝ වංචා ගැන ෆේස්බුක් සමාගම අනතුරු අඟවා ඇති අතර, එවැනි වංචනික දේ හඳුනාගන්නා ආකාරය ගැනද උපදෙස් ලබා දී තිබේ.
බී.බී.සී. සිංහල වෙබ් අඩවිය ඇසුරිණි.