2021 මාර්තු 20 වන සෙනසුරාදා

වැඩ - කට වරද්දාගෙන ඇතුළට ගිය රවී - අසාද් සාලි

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 30

මේ රටේ ආර්ථිකය කනපිට හැරුණු අවස්ථා තුනක් මෑත ඉතිහාසයේ දැකගත හැක. එකක් ලෝක වසංගතයක් වූ කොරෝනාය. එය ලෝකයේම ආර්ථිකය බිංදුවට කඩා දැමු ළඟම සිද්ධිය විය. එහෙත් ඒ ලෝක ව්‍යසනයට මුහුණ දීමට පෙර අපේ රටේ ආර්ථිකය අමුඅමුවේ පාලකයන් විසින් කනපිට හැරූ සිද්ධි දෙකක් ප්‍රධාන වශයෙන් බලපෑවේය. එකක් පාස්කු ප්‍රහාරය වන අතර අනෙක් එක මහ බැංකු බැඳුම්කර සිද්ධිය විය. මේ සිදුවීම් දෙක නිසා මේ රටේ ආර්ථිකයට වුණු හානිය සුළු පටු වන්නේ නැත.

වර්තමාන ආණ්ඩුව යහපාලන ආණ්ඩුව බිඳ දමමින් බලයට පැමිණීමේ ප්‍රධාන දේශපාලන සටන් පාඨ දෙකක් වුයේ මේ පාස්කු ප්‍රහාරය සහ බැඳුම්කර සිද්ධි සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්‍ට දඬුවම් ලබාදීමේ පොරොන්දුවය. එහෙත් මේ දෙකම හරි හැටි ක්‍රියාත්මක නොවැතැයි බොහෝ දෙනා සැක කළේ දේශපාලනයේ සැබෑ මිතුරෝත් හතුරෝත් නැති නිසාය. කෙසේ වෙතත් මේ වන විට පාස්කු කොමිසමේ වාර්තාවත් සමඟ එය තීරණාත්මක තැනකට පැමිණ ඇත. එහෙත් බැඳුම්කර වංචාවට කුමක් සිදුවේද යන්න බොහෝ දෙනා බලා සිටියේ මෙයට ඉහළ පෙළේ සබඳතා ඇති නිසාය. ඊටත් වඩා මෙහි ප්‍රධාන සැකකරු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉන්නා තැනක් තවමත් නොදන්නා බැවිනි. ඒ නිසා මෙය දේශපාලන මාතෘකාවක් පමණක් වූවා මිස ඊට එහා දෙයක් සිදුවනු ඇතැයි ජනතාව තවමත් අපේක්ෂා කරන්නේ නැත.

ඒ අත්හල සියලු බලාපොරොත්තු උඩු යටිකුරු කරමින් පසුගියදා බැඳුම්කර වංචාවේ අලුත්ම පරිච්ඡේදයක් දිගහැරෙන්නට විය. ඒ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා රිමාන්ඩ් කිරීමත් සමඟය. මීට පෙර මේ වංචාවට පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ අය බන්ධනාගාර ගත වුවත් දේශපාලන ප්‍රබලයකු මේ සිද්ධියට රිමාන්ඩ් වූ පළමු අවස්ථාව මෙය විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජයට කෝටි 3700ක් පාඩු කළ බවට චෝදනා ඇතුළුව චෝදනා 32කින් යුත් අධි චෝදනා පත්‍රයක් ඔවුන්ට විරුද්ධව ගොනු කර තිබුණි. 2015 පෙබරවාරි 27 වැනි දින මෙම වංචාව සිදුවුණු අතර එහිදී චෝදනාව වී තිබුණේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයට රජයට පාඩු ලබන සේ බැඳුම්කර නිකුත් කිරීම ගැනය. එහිදී චෝදනා එල්ල වුණේ මේ බැඳුම්කර ලංසුවේදී රජයේ බංකු සඳහා පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයට වඩා අඩුවෙන් ලංසු තබන ලෙස කළ ඉල්ලීමයි. එය රවී කරුණානායක ඇතුළු පිරිස විසින් දැනුම් දුන් බවට පසු කලකදී චෝදනා එල්ල විය.

මේ සම්බන්ධයෙන් දැඩි ලෙස යහපාලන රජයට එරෙහිව චෝදනා එල්ල වුණු අතර එය එවකට විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨය විය. එයට හේතු වූයේ යහපාලන රජය ආරම්භයේදීම මේ වංචාව සිදු කළ නිසාය. මෙය මහ දවාලේ සිදු කළ බැංකු මංකොල්ලයක් බව බොහෝ දෙනා කීහ. කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුවට බරපතළ ලෙස චෝදනා එල්ල වුණු නිසා අවසානයේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධයෙන් කොමිසමක් පත් කර විශේෂ පරීක්ෂණයක් සිදු කළේය.
මෙම කොමිසම මේ රටේ ඉතිහාසගත වන කොමිසමක් වන අතර මෙහිදී හෙළිවුණු ඇතැම් කතා කරුණු සැබවින්ම මේ වංචාවේ සංවිධානාත්මක බව කියා පෑවේය. අගමැති රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් ඇතුළු විශාල පිරිසක් කොමිසමට පැමිණ සාක්ෂි ලබාදුන්හ. රවී කරුණානායකට ඇතැම් කාරණා අමතක වී තිබුණි. අර්ජුන මහේන්ද්‍රන්ටද එසේම විය. අවසානයේ සියලු කරුණු කාරණා සහිතව බැඳුම්කර වාර්තාව ලබාදුන්නත් ඒ වාර්තාව හමස් පෙට්ටියට ගියා මිස සිදුවූ දෙයක් නැත. මෛත්‍රීපාල සිරිසේන මහතා එකී වාර්තාව එළියට නොදැමීම ගැන අදටත් බොහෝ දෙනාට ගැටලුවක් තිබේ.

මේ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කළ අතර අවසානයේ නීතිපතිවරයාගේ උපදෙස් මත එක් වතාවක් අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු ලැබූහ. එහෙත් ඒ වන විටත් මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් කර සිටි අර්ජුන් මහේන්ද්‍රන් රටින් පලා ගොස් සිටියේය. ඒ සිංගප්පූරුවේ විවාහ උත්සවයකට සහභාගි වී නැවත පැමිණෙන බවට දන්වාය. අවසානයේ මඟුල මේ රටේ ආර්ථික අවමඟුලක් දක්වා දිග්ගැස්සුණු අතර අදටත් අර්ජුන් මහේන්ද්‍රන්ට සිදුවූ දෙයක් නැත.

මේ සියල්ල මැද මේ සම්බන්ධයෙන් නොයෙකුත් කතා චෝදනා මැද යහපාලන ආණ්ඩුව නිමවූ අතර විශේෂයෙන් එකී ආණ්ඩුව කඩා වැටීමට ප්‍රධානම හේතුවක් වුණේ මේ බැඳුම්කර වංචාවය. නව රජය පැමිණි දිනේ සිට බොහෝ දෙනා අපේක්ෂා කළේ මේ වංචාවට නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි කියාය. එහෙත් නීතිය ක්‍රියාත්මක වීමක් පෙනුණේ නැත.

සියල්ල උඩු යටිකුරු වුනේ පසුගියදා ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුවත් සමඟය. අගවිනිසුරු විසින් මේ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කළ අතර එහි සාමාජිකයන් ලෙස දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න, මොහොමඩ් ඉර්ෂඩීන් යන විනිශ්චයකාරවරු පත් කරනු ලැබූහ. පසුගිය බදාදා නඩුව කැඳවූ අවස්ථාවේ මෙම විනිසුරු මඬුල්ල දෙකට එකක් ලෙස බෙදුණු තීන්දුවක් ලබාදෙමින් සැකකරුවන් අට දෙනා රිමාන්ඩ් කරනු ලැබූහ. ඒ අනුව රවී කරුණානායක, අර්ජුන් අලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පලිසේන, චිත්‍රා රංජන් හුලුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ මහ බැංකු නිලධාරීන් වන එස්. පදුමනාභන් සහ ඉන්දික සමන් කුමාර යන අය මෙලෙස රිමාන්ඩ් වූහ. කෙසේ වෙතත් මේ නඩුවට අදාළ විත්තිකරුවන් දෙදෙනකු එදා පෙනී සිටියේ නැත. ඒ අර්ජුන් මහේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා යන අයයි. ඔවුන් රට ගොස් ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළාය.

ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට බැඳුම්කර වංචාව සඳහා දේශපාලනඥයකු රිමාන්ඩ් වීම නිසා රටම ගැස්සී ගියේය. විශේෂයෙන් රවී කරුණානායක වීමය. අවසානයේ නඩුව ලබන 23 දක්වා කල් තබනු ලැබීය.

මේ අතර රවී කරුණානායක රිමාන්ඩ් වන විට තවත් දේශපාලනඥයෙක් වන අසාද් සාලි පසුගියදා රහස් පොලීසිය මගින් ලිබර්ටි වටරවුමේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඒ ජාතීන් අතර අසමගිය ඇතිකරමින් වෛරී ප්‍රකාශ කිරීමේ චෝදනාව යටතේය. ඒ ජනවාරි 05 වැනි දින මාධ්‍ය හමුවක් පවත්වමින් රටේ නීතියත් මුස්ලිම් නීතියත් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකිරීම නිසාය. ඒ ප්‍රකාශයට සතර දෙසින් විරෝධතා එල්ලවුණු අතර ඉස්ලාම් නීතියත් ශරියා නීතියත් තමන් පිළිගන්නා බවට ඔහු ප්‍රකාශ කිරීම මීට හේතු විය. 

අවසානයේ අසාද් සාලි මහතා එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා ප්‍රකාශ ලබාගැනීමට රහස් පොලීසිය මගින් රඳවාගනු ලැබීය. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස තුනක කාලයක් සඳහාය. ඒ අනුව දැන් ඔහු සිටින්නේ රහස් පොලීසිය භාරයේය. සැබැවින්ම සිදුවූයේ ඔහුගේ කට නිසා වරද්දා ගැනීමකි. රවී කරුණානායකට වුණේ වැඩ නිසා වරද්දා ගැනීමකි. එහෙත් මේ සියල්ල තවම නීතිය ඉදිරියේ ප්‍රශ්න කරමින් පවතින අතර ඔවුන් සම්බන්ධයෙන් පූර්ව සහතික ලබාදෙන්නට තවම අවසරයක් නැත

I ගයාන් ගාල්ලගේ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03