2021 මාර්තු 27 වන සෙනසුරාදා

වනාන්තර ආරක්ෂා කරන වගකීම ජනතාව අතට

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 85

පරිසරය ආරක්ෂා කරගැනීම ගැන දක්වන උනන්දුව ගෝලීය ප‍්‍රවණතාවයක් බවට පත්ව තිබේ. එක ජන කොට්ඨාසයකට හෝ තෝරාගත් පැලැන්තියකට පමණක් ගහකොළ වනසතුන් ගැන අවධානයක් දැක්වීම කළ නොහැකිය. ජනගහනය වැඩිවනවිට මනුෂ්‍ය අවශ්‍යතා ඉහළ යයි. පරිසරයට සිදුවන හානිය නොසලකා ජීවත්වීමේ අරගලය ගැන පමණක් අවධානයක් යොදවයි. එයින් සිදුවන හානිය ප‍්‍රබලය. සීමාව ඉක්මවා කරන සම්පත් පරිහරණය අසාධාරණ ප‍්‍රයත්නයක් වන අතර මතු පරපුර බලවත් විපතකට තල්ලු කිරීමකි. ආණ්ඩු පමණක් නොව ජනතා සංවිධාන අත්වැල් බැඳගෙන තිබේ. සොබාදහම ආරක්ෂා කරගෙන ජීවත් වන අරගලය ඇරඹී ඇත.

ලෝකයේ නොයෙක් රටවල් පරිසරය ආරක්ෂා කරගෙන සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමට වෑයම් කරයි. විවිධ ක‍්‍රමෝපාය අනුගමනය කරන බව වාර්තා වෙයි. චීනය වනාන්තර, තෘණභූමි සහ වනසතුන් ගැන සොයා බැලීමට රටපුරා ස්වේච්ඡා කණ්ඩායම් පත් කරන්නට යයි. 2017 වසරේදී මෙම වැඩසටහන අත්හදා බැලීමක් වශයෙන් ක‍්‍රියාත්මක කළේය. එයින් ප‍්‍රයෝජනයක් ලැබී තිබේ. වසර 2022 වන විට චීනය පුරා මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙයි. 

චීන දේශපාලනය තනි පක්ෂ ක‍්‍රමයකි. කොමියුනිස්ට් පක්ෂය ඉතාම බලවත්ය. සුළු දේශපාලන පක්ෂ අටක් ගැන සඳහනක් පවතින නමුත් බලය ලබාගැනීමේ රාමුවට එපිටින් තිබේ. ලබන ජූලි මාසයේදී පක්ෂයේ නිල ඉතිහාසය වසර සියයක් සපුරයි. කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ රාජ්‍ය කවුන්සලය මෙම වනාන්තර ආරක්ෂක බලකාය පත්කිරීම අනුමත කර තිබේ. වනාන්තරය හා තෘණ භූමි ආරක්ෂා කරගැනීම පළමු වගකීම වශයෙන් සඳහන්ය.  නූතන තාක්ෂණික මෙවලම් මෙහිදී භාවිතා කරන බව දැක්වෙයි. කැලෑබද ප‍්‍රදේශවල සිදුවන ගස් කපන ජාවාරම් ගැන අවධානයෙන් සිටින අතර ලඳු කැලෑ විනාශ කරන හෝ ස්වභාවික ගිනි ගැනීම් ගැන වාර්තා සටහන් කරගෙන අදාළ බලධාරීන් දැනුම්වත් කරන්නට තොරතුරු තාක්ෂණය භාවිතා කරන බව දැක්වෙයි. මනුෂ්‍ය ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් පමණක් නොව වනාන්තරවල පැවැත්මට තර්ජනයක් වන අනෙක් වනසතුන්ගේ උපද්‍රව සහ ගස්වලට වැළදෙන රෝග ගැන අවධානය යොමුකර නිසි පිළියම් වෙනුවෙන් පියවර ගැනීම මෙම බලකායට පැවරෙන වගකීමකි.

වනාන්තර ආරක්ෂා කරන බලධරයෙකු සමාජය තුළින් පත්කරගන්නා ප‍්‍රයත්නය හඳුන්වා දෙන ලද 2017 වසරේදී ප‍්‍රාදේශීය කොටස් විසිතුනකට පළමුවරට හඳුන්වා දෙන ලද බව සඳහන්ය. තල තුනකින් මෙම බලකාය සේවය කරයි. නාගරික අර්ධ නාගරික සහ ප‍්‍රාදේශීය වශයෙනි. ප‍්‍රාදේශීය පිරිස් වෙත වැඩිබරක් පැටවී තිබේ. වනාන්තර ආසන්නයෙහි වෙසෙන අඩු ආදායමක් සහිත ජනතාව වනාන්තර ආරක්ෂාව වෙනුවෙන් සම්බන්ධ කර ගැනේ. ගස්වල හටගන්නා බීජ ශීත කාලයෙන් පසු පැලවෙන්නට පටන් ගන්නා අතර ඒවාට නිසි සාත්තුව සැපයීම එම ජන කොටස් වලට පැවැරී ඇති වගකීමකි. වැඩිපුර පැළ ඉවත් කර බඳුන්ගත කෙරේ. ඒවා අලුත් පද්ධතියකට යොමුකරන අතර පැළ සිටුවන පිරිස ඒවා වනාන්තර පුළුල් කරන අවස්ථාවදී භාවිතයට ගන්නා බව වාර්තා වෙයි. සෑම පුද්ගලයෙකුටම ගහකොළවල වැදගත්කම කියාදෙන අතර වනාන්තර ආශ‍්‍රිතව විශාල පුවරු සවිකර අවබෝධය ඇති කරන ක‍්‍රියාමාර්ග ගෙන ඇත. නොයෙක් තැන්වල ඔක්සිජන් ඝනත්වය ගැන ස්වයංක‍්‍රීයව දැනුම්වත් කරන ඩිජිටල් පුවරු ස්ථාපිත කර ඇත. ප‍්‍රමාණවත් ඔක්සිජන් ප‍්‍රතිශතය සහිත අවස්ථාවල එය කොළ පැහැයෙන් දක්වන අතර එය රතු හෙවත් අවදානම් සහගත තැනකට හැරෙන්නට නොදී පවත්වා ගැනීමට මෙම නියමුවෝ කැපවීමෙන් සේවය කරති. එක දවසකට සමහර කොටස්වල දෙතුන් වතාවක් සංචාරය කරන්නට සිදුවී තිබෙන බව චීනයේ ජින්ග්ඩේ ප‍්‍රදේශයේ වන ස්වේච්ඡා නිලධාරිනියක ජාත්‍යන්තර මාධ්‍යයට දක්වා ඇත. එය නැගෙනහිර කඳුකරයේ ගම්මානයකි. එය අධික වන ඝනත්වයක් සහිතය. ආරක්ෂා කරගැනීමට පිණිස දිනකට වාර ගණනාවක් විදුලි යතුරු පැදියකින් යන එන ඇය මහත් ආස්වාදයක් සහිත වගකීමක් බව ප‍්‍රකාශ කරන්නීය.

ලෝකයේ කාලගුණ වෙනස්කම්වලට හේතු වන පරිදි පරිසර විනාශය වළක්වන මැදිහත්වීම් ක‍්‍රියාත්මක වෙමින් තිබේ. නොයෙක් රටවල බලධාරීන් පමණක් නොව ස්වේච්ඡා කණ්ඩායම්ද බලමුළු ගැන්වී ඇත. තවත් පැත්තක් තිබේ. ගහකොළ පමණක් ආරක්ෂා කරගැනීමෙන් සම්පූර්ණ සුරක්ෂිත භාවයක් නොලැබේ. පොලීතීන් භාවිතය, පොසිල බලශක්ති පරිහරණය සහ කැනීම් වැනි කටයුතු ගැන පවා අවධානයකය. ගස් ආරක්ෂා කරන නමුත් එක ගුවන් යානයක ගමන පවා ඉන්ධන දහනයෙන් මහත් හානියක් බව දක්වයි. සත්ව පාලනය වැනි කටයුතු වලදී භාවිතා කරන හරිතාගාර ආවරණ සංකල්පයද ප‍්‍රශ්නයක් බව දැක්වෙයි. ඒවායෙන් නිපදවන මීතෙන් වායුව විශාල හානියකි. ජාත්‍යන්තර පර් යේෂකයෝ සමස්ත ව්‍යුහයම වෙනස් කළ යුතු බව දක්වති. ගස් ආරක්ෂා කරගැනීම පමණක් නොව ජීවත්වන රටාව ගැන අලුතින් හිතන්නට බලකරන පසුබිමකි. නොදැනුවත්ව කරන දෙයින් පවා සියුම් බලපෑමක් සිදුවෙයි. අවසානයේදී ගෝලීය උණුසුම ඉහළ නගී. එයට හේතුව ඕසෝන ස්ථරයට හානි සිදුවීමය. ඕසෝන ස්ථරයට කරන හානි හැකිතාක් අවම කරන සේ හැසිරෙන බවට පැරිස් සම්මුතියකට ජගත් ප‍්‍රජාව අත්සන් කර ඇත. සියළුම රටවල් එළැඹිය හැකි භයානක ඉරණම ඉදිරියේ හැකිතාක් පරෙස්සම් වියයුතු බව අවබෝධ කරගෙන සිටිති. 

සියලුම රටවල්, ඒවායේ ජීවත්වන වැසියන් සහ සංවිධාන පරිසරය ගැන අවධානය යොමු කරමින් සිටී. එයට හේතුවක් තිබේ. තාක්ෂණික හා කාර්මික වශයෙන් අලුත් සොයාගැනීම් අත්පත් කරගන්නා නමුත් පරිසර නොතකා සිටියහොත් පලක් නැති විය හැකි බව ප‍්‍රකාශ වෙමින් තිබේ. මහ පොළොව මිනිස් වාසයට නුසුදුසු තත්ත්වයට පත් වුවහොත් තාක්ෂණයෙන් විද්‍යාවෙන් ජීවත්විය හැකි කාලය ඉතාමත් සීමිතය. සම්පත් පරිහරණය ඉතාම පරෙස්සමෙන් කරන ලෙස පණිවුඩයක් නිකුත්ව තිබේ. පරිසරය ගැන සිතන අතරවාරයේ විනාශය ගැන විරෝධය පමණක් නොව ආරක්ෂා කරගැනීමට ප‍්‍රජාව හා ග‍්‍රාමීය නායකත්වය සංවිධාන ගතකරන වැඩපිළිවෙළක්ද සූදානම් කරගත යුතුය.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.

මිලින්ද මොරගොඩ

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03