“මේ ෆොටෝ දෙකක් තියෙනවා පරිස්සමට අරන් තියාගන්න. මම මැරුණු දවසට බල බලා ඉන්නවත් පුළුවන්...”
අවසන් වතාවට නිවැසියන්ට සමු දී රාජකාරියට පිටත්ව යාමට මත්තෙන් උප පොලිස් පරීක්ෂක රංජිත් ප්‍රියංකර ආදරණීය බිරිඳ හමුවේ කීවේ එවැන්නකි. ඒ අලුතින් රාමු කළ ඡායාරූප දෙකක් බිරිය අතට ලබාදෙන ගමන්ය. ඔහු එසේ ලබාදුන් ඡායාරූපවලින් එකක් නිලඇඳුමින් ලබාගත් එකකි. අනෙක විවාහ ගිවිසගත් දා බිරිය සමඟ ගත් ඡායාරූපයකි. ඒවා නැවත පිටපත් කර රාමු කර තිබුණි. හිටිහැටියේ වූ මේ කතාවත් හැසිරීමත් රංජිත් බිරියගෙන් පමණක් නොව සිය දිවියෙන්ම සමුගෙන මෙලොව හැර යන්නට ඉඟි කළ සිදුවීමක් වැනිය.
මෙසේ කියමින් බිරියට සමුදුන් උප පොලිස් පරීක්ෂක රංජිත් රාජකාරියට පිටත්ව ගොස් තිබුණේ ඉකුත් 22 වැනිදා සන්ධ්‍යාවේදීය. ඒ එදිනට රාත්‍රී රාජකාරිය පැවරී තිබූ නිසාය. එහෙත් මේ පිටව යාම ඔහුගේ අවසන් නික්මයාම වග බිරිය හෝ දියණිය මොහොතකටවත් නොසිතුහ.
මරණයට පෙර මරණය පිළිබඳව ඉඟි පළ කර තිබූ උප පොලිස් පරීක්ෂක රංජිත් ප්‍රියංකර මහතාගේ බිරියගේ අදහස් පළ කිරීම හරහා මේ ඉඟි කිරීම සම්බන්ධයෙන් අසන්නට ලැබුණි. එම ඉඟි කිරීමෙන් හෝරා කිහිපයකට පසුව රාජගිරිය පාර්ලිමේන්තුව පාරේ ගුවන් පාලමත් ආයුර්වේද වටරවුමත් අතර බණ්ඩාරනායකපුර ආසන්නයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් උප පොලිස් පරීක්ෂකවරයා ජීවිතක්ෂයට පත්ව තිබුණේ ඔහු අසල සිටි තවත් කෙනකුත් මරණයට පත් කරමිනි.
කොළඹ පොලිස් හදිසි ඇමතුම් අංශයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂක රංජිත් රාත්‍රී රාජකාරියේ නිරතව සිටින අතරතුර ඔහු ඇතුළු නිලධාරීන් ගමන්ගත් රේඩියෝ කාර් රථය අනතුර සිදුවූ ස්ථානයේ නවත්වා තිබිණි. එතැන සිට කොළඹ දෙසට ධාවනය කරන රථවාහන නවතා පරීක්ෂා කිරීම නිලධාරීන්ගේ අරමුණය. පාන්දර යාමේ කොළඹ දෙසට ධාවනය කළ කුඩා ලොරි රථයක් නැවැත්වූ උප පොලිස් පරීක්ෂකවරයා රථය පරීක්ෂාවට ලක් කරමින් සිටියේය. ඒ අවස්ථාවේ ලොරි රථයේ සිට පැමිණි සහායකවරයාද රථයෙන් බිමට බැස සිටියේය.
මේ අතරතුර බත්තරමුල්ල දෙසින් බොරැල්ල දෙසට යාමට වේගයෙන් පැමිණි වෑන් රථයකි. ලොරි රථය පරීක්ෂා කරන අතරවාරයේ පැමිණෙන වෑන් රථයට නැවැත්වීමට අණ කළා යැයිද වාර්තා වේ. එහෙත් අධික වේගයෙන් පැමිණි බව කියන වෑන් රථය උප පොලිස් පරීක්ෂකවරයා හා අසල උන් ලොරි රථ සහායකයාද යටකරගෙන ඉදිරියට ධාවනය විය. අධික වේගයෙන් පැමිණි වෑන් රථය නැවැත්වීම සඳහා නිලධාරීන් සංඥා කර ඇතත් පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රිය මෙම අනතුර සිදු කර තිබේ. අනතුරට ලක්වීමෙන් උප පොලිස් පරීක්ෂකවරයා මෙන්ම ලොරි රථ සහායක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම අනතුර සිදුව තිබුණේ පසුගිය මාර්තු 23 වැනිදා අලුයම 4.30ට පමණ බව සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කරන වැලිකඩ පොලීසියේ රථවාහන අංශය වාර්තා කළේය. උප පොලිස් පරීක්ෂකවරයා සමඟ අනතුරට ලක්වී ජීවිතක්ෂයට පත්වූ අනෙක් පුද්ගලයා 36 හැවිරිදි නුවන් බුද්ධික නැමැති අයෙකි. ඔහු මත්තේගොඩ පදිංචිකරුවෙකි.
මරණයට පත්වූ උප පොලිස් පරීක්ෂකවරයා කොම්පඤ්ඤවීදිය පොලිස් නිල නිවාසවල පදිංචිව සිටියේය. එහෙත් ඔහුගේ උපන්ගම අක්මීමන ප්රදේශයයි. ඔහු ඉමදුව ප්‍රදේශයේ අලුතින් නිවෙසක් ඉදිකරමින් සිට ඇති අතර ඉදිරි දිනක එම නිවෙසට ගෙවැදීමේ බලාපොරොත්තුවෙන් පසුවිය. එම නිවෙසේ වැඩ කටයුතු අවසන් කොට සිය දියණිය වෙත පවරා දීමටද බලාපොරොත්තුවෙන් පසුවූ බව ඔහුගේ බිරිය පවසන්නීය. 1996 වසරේ විවාහ ගිවිසගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ වයස අවුරුදු 55කි. දියණියකගේ පියකු වන ඔහු හා බිරියගේ 25 වැනි විවාහ සංවත්සරය පසුගිය 21 වැනිදා සමරා තිබුණි. ඒ සඳහා ඔවුන් පදිංචිව සිටි කොම්පඤ්ඤවීදිය පොලිස් නිල නිවාසයේ සාදයක් පවත්වා තිබුණේ අසල්වැසි කිහිප දෙනකුගේද සහභාගීත්වයෙනි.
පොලීසියේ වසර 25ක් සේවය කර ඇති රංජිත් ප්‍රියංකර මහතාට විශ්‍රාම ලැබීමට තිබී ඇත්තේ තවත් වසර පහකි. මේ කාලය පුරාම පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ සේවය කොට ඇති ඒ මහතා දෙසැම්බර් මාසයේදී නව නිවෙසේ පදිංචියට යාමට අදහසින් පසුවිය. අනතුරුව අවසන් වසර කිහිපය නිවෙසට ආසන්න පොලිස් ස්ථානයක රාජකාරී කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවූ බවද ඔහුගේ බිරිය කීවාය.
“මම ඕෆ් වෙලා උදේ 7 වෙද්දි එන්නම්. ඔයා පාන්දරම උයලා තියන්න දුවට ගෙනියන්න. මම ඇවිත් දුවව කැම්පස් එකට ගිහින් දාන්නම්.”
ඔහු මෙසේ කියා තිබුණේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිය දියණිය සම්බන්ධයෙනි. මේ කතාව කියා නිවෙසින් පිටව ගිය සැමියාට අනතුරක් වෙතැයි ඇය සිහිනෙකින් හෝ නොසිතුවාය. එහෙත් පසුදා පාන්දර නිවෙසට පැමිණි පොලිස් හදිසි ඇමතුම් අංශයේ වාහනයක නිලධාරියකු කියා තිබුණේ එස්.අයි. මහත්තයා අනතුරකට ලක්ව රෝහලේ සිටින බවකි. නමුත් ඒ වන විට රංජිත් මෙලොව හැරගොස් ඇති බව ඇය නොදැන සිටියාය.
අවස්ථා කිහිපයකදී මරණය ගැන අදහස් පළ කර තිබූ රංජිත්ගේ එකම බලාපොරොත්තුව වූයේ නව නිවහනට ගෙවැදීමය. එහෙත් ඔහුට අවසානයේ සිදුවූයේ නිසල දේහය ඇතිරූ පෙට්ටියකින් නිවෙසට යාමටය.
අනතුර සිදු කළ වෑන් රථ රියැදුරු තලවතුගොඩ මාදිවෙල පදිංචිකරුවෙකි. තිලක් ගුණවර්ධන නැමැති ඔහු වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්රභාකරන් මහතා හමුවට (23) වැනිදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. සැකකරු අනතුරු සිදු කළ මොහොතේ බීමත්ව සිට ඇතිදැයි සෙවීමට විමර්ශනයක් සිදු කෙරේ.
සමන්ත විල්තෙර