2021 මාර්තු 27 වන සෙනසුරාදා

ආසියාවේ පැරණිම ගිනි නිවන රථය මහනුවර!

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 36

දැනට ආසියාතික රටවල තිබෙන එකම ඉපැරණි ගිනි නිවීම් රථය කෞතුක භාණ්ඩයක් ලෙස මහනුවර මහ නගර සභාවේ නාගරික ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සතුව පවතී.

වසර 100කටත් වඩා පැරණි මෙම ගිනි නිවීම් රථය මහා බ්‍රිතාන්‍ය විසින් වතුකරයේ ගිනි නිවීම් කටයුතු සඳහා මෙරටට ලබා දී තිබේ.

බොහෝ විදේශිකයෝ මෙම ඉපැරණි ගිනි නිවීම් රථය නැරඹීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවන්හිදී නාගරික ගිනි නිවීම් සේවා ඒකකය වෙත පැමිණෙති. මෙම පැරණි ගිනි නිවීම් යන්ත්‍රය සමඟම නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සතු ඉංග්‍රීසි පාලන සමයේ නගර සභාවට ලබාදුන් විශේෂ දුරකථන හුවමාරු යන්ත්‍රයක්ද මහ නගර සභාව සතුව ඇත.

දැනට ලංකාවේ කිසිදු ස්ථානයක නොමැති ඉතා පැරණි රෝද සහිත ඉණිමගක්ද (හදිසි ගින්නකදී භාවිතයට ගැනීම සඳහා) නාගරික ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සතුව පවතී.

එංගලන්ත රජය විසින් එවකට මෙම ඉපැරණි ගිනි නිවීම් රථය ඇතුළු උපකරණ මහනුවර මහ නගර සභාවට පරිත්‍යාග කර තිබෙන බව මහනුවර නාගරික ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ස්ථාන භාර නිලධාරී එම්.ඒ.එම්. ඩයස් මහතා පැවසීය.

පෞරාණික වටිනාකමක් සහිත ගිනි නිවීම් රථය නැවත භාවිතයට ගත හැකි වන්නේ එය අලුත්වැඩියා කිරීමෙන් පසුවය. එය අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් වැයවෙන බවද නාගරික ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

එංගලන්තයේ (ඩෙනිස්) සමාගම විසින් නිපදවන ලද මෙම පැරණි රථය අදාළ සමාගම විසින් විශාල මුදලකට ලබාදෙන ලෙස නගර සභාවට දන්වා ඇතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

කෞතුක භාණ්ඩයක් ලෙස පවතින ඉංග්‍රීසි පාලකයන් විසින් මධ්‍යම කඳුකරයේ තේ වගාවන් සහිත ප්‍රදේශවල ගිනි නිවීම් කටයුතුවලට යෙදවීමට ලබාදුන් මෙම පැරණි ගිනි නිවීම් රථ වර්ගයේ ඒවා අදටත් එංගලන්තය විසින් ගිනි නිවීම් කටයුතු සඳහා භාවිතයට ගනු ලබයි.

මහනුවර මහ නගර සභාව සතුව පවතින මෙම යන්ත්‍රය අලුත්වැඩියා කර ගැනීම සඳහා කිසියම් ආයතනයක් හෝ ඉදිරිපත් වන්නේ නම් එය ඉපැරණි භාණ්ඩ සංරක්ෂණය කර අනාගත පරපුරට දැකබලාගත හැකිවනු බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි. වර්ෂ 1921 දී එංගලන්තයේ ඩෙනිස් සමාගම පැරණි ගිනි නිවීම් රථය ලංකාවට පරිත්‍යාග කර තිබේ. දැනට ආසියාවේ තිබෙන ඉපැරණිම ගිනි නිවීම් රථය මෙන්ම ලංකාවේ දැනට තිබෙන පැරණිම ගිනි නිවීම් රථයත් මෙය බව නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

 සේයාරූ සහ විස්තර: ජේ.ඒ.එල්. ජයසිංහ සහ තෙල්දෙණිය චන්දන උඩුවාවල