2021 මාර්තු 27 වන සෙනසුරාදා

රාජ්‍යත්‍රාන්තික, බෞද්ධ නායකයා සර් සෙනරත් ගුණවර්ධන

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

එක්සත් ජාතීන්ගේ සංවිධානය (United Nation and Organization) යනු ලෝක සාමය හා ආරක්ෂාව රුක පවත්වාගෙන යෑමේ පරමාර්ථයෙන් දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසු පිහිටුවා ගනු ලැබූ ජාත්‍යන්තර මහා සංවිධානයයි. එ.ජා.සංවිධානය කී පමණින්ම අපට එකවරම මතකයට එන නාමයකි. ආර්.ඇස්.ඇස්. ගුණවර්ධන. එම සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම නිත්‍ය නියෝජිතයා වූ ඔහු අප වඩාත් හඳුනන්නේ ශ්‍රීමත් සෙනරත් ගුණවර්ධන නමිනි.

රාජ්‍ය තාන්ත්‍රිකයකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, කැබිනට් අමාත්‍යවරයකු වූ ගුණවර්ධන මහතා සිය ජීවිතයේ අවසාන කාර්තුව ගත කළේ මෙරට ප්‍රධාන බෞද්ධ සංවිධානවල මුල් පුටුව දරමිනි. 1979 වසරේ මැයි මාසයේ එතුමා හමුවීමට ගොස් කතා කිරිමට මට අවස්ථාව සලසා ලබා දුන්නේ කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාය. ඔහු නවයුගය පුවත්පතේ කතුවරයා වූ කාලයේය ගුණවර්ධන මහතාගේ නිවසට යනවිට ඔහු ද බුඩිස්ට් නම් ඉංග්‍රීසි සඟරාව කියවමින් සිටියේය. එතුමා කාරුණික ගුණයෙන් යුතු හදවතකින් එදා යොවුන් වියේ සිටි මා පිළිගත්තේ නිහතමානී ආකාරයෙනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලංකාව ඇතුළත් කර ගැනීමට අප්‍රතිහත ධෛර්යයකින් කටයුතු කළ ගුණවර්ධන මහතාට ජාත්‍යන්තර කටයුතු කිරීමෙනුත්, පසුව තානාපතිවරයකු ලෙස රටවල් ගණනාවක එකවර කටයුතු කරමින් ලැබූ අත්දැකීම් අපට විස්තර කර ඇත.

1948 වසරේ අපට නිදහස ලැබීමෙන් පසුත් ලංකාව එ.ජා. සංවිධානයට ඇතුළත් කර ගැනීමට සුනංග වුණේ ඔවුන් අපේ රටේ ආර්ථික තත්ත්වය පරීක්ෂා කර බැලීමේ හේතුවෙන්. 1953 වනවිටත් ලංකාව එ.ජා. සංවිධානයට ඇතුළත් කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූයේ ඒ වනවිට ලංකාව බ්‍රිතාන්‍ය නියෝජිතයකුට යටත්ව තිබියදී ලංකාව බ්‍රිතාන්‍යයට ඕනෑ ලෙස සකස් වී තිබීමත් නිසා මෙවැනි බාධක මධ්‍යයේ මම තානාපති සේවයේ යෙදී සිටිමින්ම එ.ජා. සංවිධානයට ලංකාව ඇතුළත් කර ගැනීමට උත්සාහ ගත්තා. 1955දී ගත් දෙවැනි උත්සාහයට හරස්වූයේ රුසියන් ඇමෙරිකානු හිත් නොහොඳවීම හේතුවෙන් එ.ජා. සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම නතර කරවීමයි ගුණවර්ධන මහතා අතීතය ආවර්ජනය කරමින් කීවේය.
1955 වසරේ බැංඩුං ලෝක සම්මලෙනය පැවැත්වෙන තුරු මේ තත්ත්වය තිබූ නිසා, මේ වර්ෂයේ එ.ජා. සංවිධානයට නිරීක්ෂකවරයකු ලෙස සහභාගී වන්නදැයි ගුණවර්ධන මහතා අගමැති සර් ජෝන් කොතලාවලගෙන් විමසා ඇත.

උඹ නියෝජිතයකු මිස නිරීක්ෂකයකු ලෙස යා යුතු නැහැ. අගමැතිගේ ඒ ප්‍රකාශයෙන් ගුණවර්ධන මහතා දුර්මුඛ වී ඇත.

මේ අතර 1955දී ලංකාව එ.ජා. සංවිධානයට ඇතුළත් කරවීමට ගුණවර්ධන මහතාත්, එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාත් කොතලාවල අගමැතිතුමාගේ නියමයෙන් යවනු ලැබූහ. එ.ජා. සංවිධානයේ ඉන්දියානු නියෝජිත ක්‍රිෂ්ණ මෙනන් හා ගුණවර්ධන මහතා අතර වූ සාකච්ඡාවකදී ඔහු මෙසේ කියා ඇත.

නිකං කාලේ නාස්ති කරල වැඩක් නෑ. මම මේ සඳහා අවුරුදු අටක් මහන්සි වුණා.

උත්සාහය අත්හැරියේ ගුණවර්ධන මහතා නොවේ. ඒ ගැන ඒ මහතා ආඩම්බරයෙන් පැවසීමට හරි බරි ගැසී අසුනට බර දුන්නේය.

මම ලංකාව සමඟ තවත් රටවල් 18ක් එ.ජා. සංවිධානයට ඇතුළත් කිරීමට පිඹුරුපත් සකස් කළා. 1955 දෙසැම්බර් මාසයේ ලංකාව, ස්පාඤ්ඤය, අයර්ලන්තය, ජපානය, සුඩානය. හංගේරියාව, ජෝර්දානය, ඇල්බේනියාව, බල්ගේරියාව ඇතුළු රටවල් 18ක් සමඟ එ.ජා. සංවිධානයට ඇතුළත් වුණා. එදා මගේ ජීවිතයේ උතුම්ම දවස. ඇමෙරිකාවේ  නිව්යෝර්ක් නුවර ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඔල්වරසන් හඬ නගද්දී මම ජයග්‍රාහී ලෙස එ.ජා. සංවිධානයේ නියෝජිතයා ලෙස ලංකාව නියෝජනය කරමින් අසුන වෙත ගෙන ගියේ ක්‍රිෂ්ණ මෙනන් හා පියසර් ඩික්සන් යන දෙදෙනා සමඟ. කිසිවකුට කිරීමට බැරි දෙයක් ජාත්‍යන්තර වශයෙන් බෙදී සිටි රටවල් හා සමගිව කටයුතු කරමින් අපට මේ තැන ලබාගැනීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. යුක්ති සහගතව ගන්නා උත්සාහයක ප්‍රතිඵල සාර්ථක වන බව මම අත්දැකීමෙන් දන්නවා.

ගුණවර්ධනයෝ එ.ජා. සංවිධානයේ නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කරන සමයේ බුද්ධාගම රාජ්‍යාගම විය යුතු බව තරයේ කියා සිටියෝය. දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ගම්පොළ ආසනය නියෝජනය කළ ඒ මහතා 1947 ප්‍රථම මහා මැතිවරණයෙන් එම අසුන රුකගෙන ලංකාවේ ප්‍රථම රජයේ කාර්ය නියමයක් නැති කැබිනට් ඇමැතිවරයෙක් විය. ඉතාලිය, මහා බ්‍රිතාන්‍යය, අමෙරිකාව නියෝජනය කරන තානාපතිවරයා ලෙස කටයුතු කළ කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රිකයෙක්ද විය.
රත්නකීර්ති සෙනරත් සේරසිංහ ගුණවර්ධන 1899 නොවැම්බර් 03 වැනිදා මාතර නූපේ උපත ලැබීය. ඔහුගේ පියා දොන්. බැන්ටිස් සේරසිංහ ගුණවර්ධන වෙදආරච්චි මහතාය. කුඩා අවදියේ සිටම ඔහු තුළ බෞද්ධාගමික අදහස් ඇතිවූයේ මවගේ ආභාසය නිසාය.

මාතර පුෂ්පාරාමයත්, අප පවුලත් අතර තිබුණේ කිට්ටු සම්බන්ධයක්. සියම් සාම තෑග්ග දිනූ සුමනතිලක හිමියන්ගේ අනුශාසනා මගේ කුඩා කාලයේ ජීවිතය ආගම වෙත නැඹුරු කළා. අම්මා සමඟ පන්සලට ගිය විට මේ ස්වාමීන් වහන්සේ මට බණ කතා කියා දෙනවා. මගේ පියාට එළුපාලි, සංස්කෘත ගැන විශාරද දැනුමක් තිබුණා වගේම හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවන්ගේ හොඳම ගෝලයෙක්. ගුණවර්ධන මහතා කුඩා කාලය මතක් කරමින් කීවේය.

සෙනරත් ගුණවර්ධන මහතා ඉගෙනුම ලබන්නේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලවලිනි. කුඩා කල සිටම ඉගෙනීමට දක්ෂයකු වූ ඔහු වයස 16දී මැට්රික් විභාගයෙන් සමත් වී ඇත. ඔහුගේ පන්තියේ සිට හොඳම මිතුරා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශිෂ්‍යයාය. දෛදනාම ඉගෙනීමේ සූරයන් වීම නිසා එංගලන්තයට ගොස් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට යාමට ශිෂ්‍යත්වයක් ලැබුණත්, සෙනරත් එහි නොගියේ එවකට තම පියා රෝගීව අසාධ්‍ය තත්ත්වයක සිටි නිසාලු.

ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ සෑම ශිෂ්‍යයෙක්ම කැඩෙට් කණ්ඩායමට බැඳීම අනිවාර්යයි. මම පමණක් එයට එරෙහි වුණා. විදුහල්පති ස්ටෝන් මේ ගැන මගෙන් නිදහසට කරුණු විමසුවා.

සර්, මම බෞද්ධයෙක්. ඒ නිසා දෙවියන් ඉදිරියේ දිවුරුම් දෙන්න බැහැ.

මගේ කටකාරකම කෙසේ වුවත් පාසලින් ඉවත් කිරීමට හෝ මදිපුංචිකම් කිරීමට විදුහල්පතිතුමා උත්සාහ කළේ නැහැ. මම පාසලින් අස් වී යන දිනයේ ඔහු කී වදන මගේ සිත් තුළ තවමත් රුව් දෙනවා.
උඹ ඔක්ස්ෆර්ඩ් නොගිය එක ලොකු මෝඩකමක්. ඒත් උඹේ කැමැත්තට අනුව කටයුතු කරපං. මනුෂ්‍යයෙක් විදිහට කෙළින් හිටපං. කිසිවකුට හිස පාත් කරන්න එපා අයුක්තියට. යුක්තිය උඹේ පැත්තේ නම් ඕනෑ කෙනෙකුට පයින් ගහපන්. උඹට හොඳ අනාගතයක් තියෙනවා.

සෙනරත් ගුණවර්ධන මහතාගේ මුල්ම රුකියාව වූයේ ගුරු වෘත්තියයි. මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ උගන්වන කාලේ ඔහු විද්‍යාලයීය බෞද්ධ සමිතිය ඇතිකොට එහි ලේකම් විය.

මාතර රාහුල විද්‍යාලය ආරම්භ කළේ නොතාරිස් රාජපක්ෂ සහ සෙනරත් ගුණවර්ධනගේ මැදිහත්වීමෙනි. ඔහු වයස අවුරුදු 18දී කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සිටියදී වූ රසවත් සිද්ධියක් මතක් කරමින් සිනාසුණේය.

මම උගන්වපු පන්තියේ සිටි දක්ෂම ශිෂ්‍යයන් දෙදෙනා ජේ.ආර්. ජයවර්ධන හා කොල්වින් ආර්. ද සිල්වා. මේ දෙන්නා පාසලේ බොක්සිං ගහගත්තු ප්‍රසිද්ධම ශිෂ්‍යයන්. ජේ.ආර්. මේ රටේ ජනාධිපති වුණා. කොල්වින් නීති විශාරදයෙක්, ඇමැති කෙනෙක් වුණා. මට මීට වඩා තවත් ආඩම්බරයක් තියෙනවද? කොල්වින් කටකාරයා. ජේ.ආර්. ඉවසිලිවන්තයා. මේ පන්තියේ හිටිය ෂෙල්ටන් ප්‍රනාන්දු, සිවිල් සේවකයෙක් වී දිසාපතිවරයෙක්, ස්ථීර ලේකම්වරයකු වුණා. ඔහුගේ පුතා මොරටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරෝන් ප්‍රනාන්දු.

වයස අවුරුදු 21දී ගුණවර්ධනයෝ ලන්ඩන් බී.ඒ. උපාධියෙන් අඩු වයසෙන් සමත් විය. එසේ සමත් වී ඇත්තේ ඔහුත්, ගුණපාල මලලසේකරයනුත් බව අපට පැවසූහ. විදුහල්පති පී.ද ඇස්. කුලරත්න මහතා ගුණවර්ධනයන්ව ආනන්ද හා නාලන්දා විද්‍යාලවල ගුරුවරයකු ලෙස පත් කළේය. මේ අතරම බැරිස්ටර් කෙනෙකු ලෙස සමත් වූ ගුණවර්ධන මහතා රාජ්‍යතාන්ත්‍රික සේවයෙන් විශ්‍රාම ගෙන සම්පූර්ණ කාලය ගතකළේ ආගමික කටයුතුවල නියැලීමෙනි.

මම දේශපාලනයෙන් ඉවත් වුණේ මගේ පුතාගේ හදිසි වියෝව නිසා. මගේ පුතා නැතිව මට ඔටුන්න ලැබිලත් වැඩක් නැහැ කියලා හිතිලා, මුලින්ම දේශපාලනයෙන් ඉවත් වුණා. ගුණවර්ධන මහතා කීවේ කනගාටුවෙනි.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධුරයට පත්වීමෙන් පසු ඔහු බාන්ස් පාරේ තම නිවසේ සිට බෞද්ධාලෝක මාවතේ මූලස්ථානයට ගියේ අත්වාරුවේ ආධාරයෙන් පාරේ ඇවිදගෙනය. ඔහු කොතරම් සැහැල්ලු, චාම් ජීවිතයක් ගත කළාද යත්, ගමන් බිමන් ගියේ තමා මුලදී මිලදී ගත් කළු පැහැති පරණ මොරිස් මයිනර් රථයෙනි.

එදා මම කැමරා ශිල්පියා සමඟ එතුමාගේ කොළඹ 07, බාන්ස් පෙදෙසෙන් සමුගනිද්දී තම ජීවිතයේ අවසාන කාලය මෙනෙහි කළේය.

මම මැරෙනතුරා ආගමික කටයුතුවලට කැපවෙනවා. මම ප්‍රාර්ථනා කරන සමාජයේ බුද්ධාගම රාජ්‍ය ආගම විය යුතුයි. ගව ඝාතනය තහනම් විය යුතුයි. බෞද්ධ ධර්මදූත ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුයි. මේ පරමාර්ථ සඳහා මගේ කාලයත් ශ්‍රමයත්, පෞද්ගලික ධනයත් මම කැප කරනවා.

අප එදා සංවාදය අවසානයේ අගනුවර උසස් බාලිකා විද්‍යාලයක සිසුවියන් කිහිප දෙනෙකු පැමිණි බව මීට වසර 42කට පෙර ගුණවර්ධන මහතා කී අයුරු මගේ පැරණි කටු සටහන් පොතක සඳහන් වී තිබුණි.

එදා සිසුවියන් ගුණවර්ධන මහතා හමුවීමට පැමිණියේ වෙසක් දිනය වෙනුවෙන් දේශනයක් කිරීමට ආරාධනා කරන්නටය.

අනේ දරුවෝ වෙසක්දාට මම සිල් ගන්නවා. වෙන දවසක මම එන්නම්. එතුමා කුළුණුබර හඬින් පැවසූ අයුරු මගේ සටහන් පොතේ සටහන් වී තිබුණේ 1979 මැයි 01 වැනිදාය. මේ බෞද්ධ මහෝපාසකයා 1981 අගෝස්තු 10 වැනිදා අවසන් හුස්ම හෙළුවේ 82 හැවිරිදි විය ගත කරමින් සිටියදීය.