කළමනාකරණය වැදගත් සංකල්පයකි. දරුණු ආර්ථික අවදානමක් සහිත තැනක පසුවන ශ්‍රී ලංකාව කළමනාකරණ ක‍්‍රමවේද ගැන අලුතින් හිතන්නට අවශ්‍යය. අලුත් අවුරුද්දක් උදාවෙන ලකුණු පහළ වී තිබේ. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම මංගල්ලයකි. භාග්‍යවන්ත මාසයේදී ලාංකිකයෝ උත්සව පැවැත්වීමෙන් සතුටුවෙති. සියලුම කටයුතු අලුතින් අරඹන්නට නැඹුරුවන අතර රටපුරා පවතින අවදානම් පරිසරය අමතක කළයුතු නැත.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාලයේ නැකැත් සීට්ටුවක් ප‍්‍රකාශයට පත් කරයි. කොවිඩ් බලපෑම ගැන සලකා ජනතාව ක‍්‍රියා කළ යුතු සීමාවන් ගැන විධිවිධාන ප‍්‍රකාශයට පත් කරන්නට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් වන බව දැක්වෙයි. ආර්ථිකය හා ගෘහ කළමනාකරණය ගැන අලුතින් හිතන උපදෙස් නිකුත් කිරීම ගැනද අවධානය යොමු කළ යුතුය. පවතින රාමුව තුළ අරපරෙස්සම වැදගත්ය. ණයට ගෙන සතුටු සාද පවත්වන ක‍්‍රමය අනුමත කළ නොහැක.
• අවුරුදුවලට ඇඟිලි ගණින ජනසමාජය
අලුත් අවුරුද්ද උදාවෙන්නට සති දෙකක පමණ කාලයකි. ඉකුත් වසරේදී සතුටින් අවුරුදු සමරණ අවකාශයක් තිබුණේ නැත. කොවිඩ් වසංගත අවදානම රට නිසොල්මන් කළේය. මාර්තු 18 සිට අප්‍රේල් 20 දක්වා වරින්වර රට තුළ තැනින් තැන ලොක්ඩවුන් විය. ගමන් බිමන් සීමාකරන ලද අතර සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය ආහාර පවා මිලදී ගැනීමට පහසුකම් නොතිබුණි. අලුත් ඇඳුම්, රසකැවිලි සහ නෑ ගමන් දෙස බලාගෙන සිටි දරුවන්ට නිවසට සීමා වී සිටින්නට සිදුවූ බව අමතක කළ යුතු නැත. එවැනි අත්දැකීමකට මුහුණ දුන්නේ කලින් එනම් 2019 අවුරුද්දේ අප්‍රේල් 21 දින තැන තැන බෝම්බ පුපුරා රට භීතියෙන් මුසපත් කර තිබුණ කාලවකවානුවක් අවසානයේදී ය. ඥාති හිතමිතුරන් සමග එකතු වී අවුරුදු උත්සවයකට සුදානම් වීම දෙවසරකට පසු සිදුවන දෙයක් බවට පත්ව තිබේ. කෙසේ නමුත් වර්තමානයේ පවතින රාමුවද යහපත් නැත. තවමත් වසංගත තත්ත්වය බලපවත්වයි. ලක්ෂ හතක පමණ පිරිසක් එන්නත් කර ඇති නමුත් එය බලවත් උත්තරයක් නොවේ. ජනජීවිත ආරක්ෂා කරගත යුතු අතර කොවිඩ් වයිරසය තුරන් කරන තෙක් අවධානය ඉතා වැදගත්ය.
සුපුරුදු පරිදි නැති නමුත් අලුත් අවුරුදු උණුසුම ආරම්භ වන ලකුණු නිරීක්ෂණය කළ හැකිය. වෙළෙඳසල් විශේෂ වට්ටම් ප‍්‍රකාශයට පත් කර තිබේ. විශේෂයෙන් ඇඳුම් පැළඳුම් අලෙවි ස්ථානවල දොරගුළු හැර ඇත. ඒවායේ ප‍්‍රදර්ශන කවුළු නවතම විලාසිතාවන් ප‍්‍රදර්ශනය කරයි. ක්‍රෙඩිට් කාඩ් නිකුත් කර ඇති සමාගම් පවා තමන්ගේ පිරිවැටුම ගැන කල්පනා කරන බව පෙනේ. සමහර බැංකු එක්තරා මට්ටමක් දක්වා කරන ගනුදෙනු වසර තුළ ඉතා අඩු මෙහෙයුම් ගාස්තුවක් සමග වාරික වශයෙන් ගෙවිය හැකි බව දැනුම් දෙමින් සිටී. තවත් බැංකු සිය වෙළෙඳ ආයතන සමග එකතු වී මිලදී ගන්නා භාණ්ඩ පොලී රහිත වාරිකවලින් ගිවිසගත් කාලපරාසයක් තුළ ගෙවිය හැකි පරිදි පහසුකම් දෙන බව නිවේදනය කරයි. මෙම ප‍්‍රචාරණය ජනතාව පොළඹවන අරමුණ සහිතව ක‍්‍රියාත්මක වන උපක‍්‍රම බව වටහා ගැනීම වැදගත්ය.
• නැති ධනයක් නිර්මාණය
2020 වසරේදී ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් තැනක නොතිබුණි. සියයට 6.7ක ඍණ අගයකට ආර්ථිකය පත්වනු ඇති බව ලෝක බැංකුව දක්වා තිබුණි. එම පර් යේෂණය අනුව දකුණු ආසියාව සියයට 7.7 ක ඍණ තත්ත්වයකට පත්වන අතර වැඩිම බලපෑම එල්ලවන්නේ මාලදිවයිනටය. මාලදිවයිනේ ආර්ථිකය 2020 වසරේදී සියයට 19.5 කින් ඍණ අගයක් ගන්නා බව ගණන් බලා තිබුණි. ඉන්දියාව සියයට 9.6 කින් ඍණ අගයකට පත්වනවිට ශ‍්‍රී ලංකා සියයට 6.7 කින්ය. බංගලාදේශය, නේපාලය හා බ්‍රිතානය යන රටවල් වසංගත තත්ත්වය මැද පවා ආර්ථිකය වර්ධනය කර ගන්නට සමත්ව තිබුණි. අලුත් අපේක්ෂා අනුව 2021 වසරේදී ශ‍්‍රී ලංකාව සියයට 3.6 කින් හා 2022 චීනය සියයට 2.2 කින් ආර්ථික වර්ධනයක් අත්පත් කරගනු ඇතැයි සැලකේ. මෙම වසර දෙක තුළම මෙම සඳහන් කරන ඉලක්කම් අනුව සංවර්ධනය වන නමුත් එක අවුරුද්දකදී එනම් 2020 දී කඩාවැටුණ තරම ආපසු හරවාගන්නට පසුබිමක් නැත. ආර්ථිකය අඩාල වන විට රුකීරක්ෂා අවස්ථා සීමාසහිත වෙයි. ජනතාවගේ අතට ලැබෙන ආදායම පහත වැටේ. එය නිෂ්පාදනයට හා අලෙවියට අහිතකර සේ බලපාන කාරණයකි. ආදායම අඩුවනවිට මිල දී ගන්නේ කෙසේද? අත්‍යවශ්‍ය දේ හැරණු කොට අනෙක් දේ සීමාසහිත කරන අතර එය කෙලින්ම රටක පැවැත්මට බලපාන කාරණයකි.
අතට ලැබෙන ආදායමම අඩුවනවිට සීමිත පාරිභෝජනයකට නැඹුරුවන අතර එම ධනය අඩු සමාජයෙන් අලුත් ධනය නිර්මාණය කරන හැකියාව සීමිතය. මෙවැනි කාලයක ආණ්ඩුව ධනය යෙදවිය යුතුය. ධනය ඇති සමාගම්වලට ආයෝජනය කළ හැකි පරිදි නීතිරීති වෙනස් කරන්නට අවශ්‍යය. එවැනි ප‍්‍රවණතාවයකින් තොරව අලුත් රාමුවක් හදන්නට පුළුවන්කමක් නැත. ලෝකයේ ධනවාදී පැවැත්ම මුල්කොට ගත් රටවල් ආර්ථික වර්ධනය අඩුවන අවස්ථාවේදී බදු සංශෝධනය කරයි. ආදායම් බදු හා සමාගම් බදු කපා දමන අතර අලුත් කර්මාන්ත හා ව්‍යාපාර ආරම්භ කරන විට ඒවාට විශාල දිරිගැන්වීමේ පැකේජ හඳුන්වා දෙයි. එවැනි පැති සලකා බලනවිට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රමය කම්පා සහගතය. සීනි බදු අඩුකිරීම මහා වංචාවක් සේ සලකයි. රටට විශාල ධනයක් උත්පාදනය කරන සමාගමකට සහාය දෙන තීරණයක් ගතහොත් එය ගජ මිතුරන්ට සැලකීමකි. මෙවැනි අවාසනාවන්ත චෝදනා රටක් පවතින ග‍්‍රහණයෙන් ගැලවෙන්නට ඇති අවස්ථා පාලනය කරන බව අවබෝධ කරගත යුතුය. රජයට ධනය ලැබෙන්නේ බදුවලින්ය. ආර්ථිකය දුර්වල වනවිට බදු ආදායම අඩුවෙයි. සියලු දේ ආණ්ඩුවෙන් අපේක්ෂා කරන සමාජයක එම කාර්යය වෙනුවෙන් සමාජයක් වැඩිපුර බදු ගෙවන තැනට හැරවිය යුතු බව අවබෝධ කර නොගන්නේ ඇයි? රටට අවශ්‍ය කොතැනකින් හෝ ධනය නිර්මාණය කර ආර්ථිකය දියුණු කරන පිළිවෙළක් බව අමතක කළයුතු නැත. පෞද්ගලික අංශය එහි බලවත් කොටසකි.
• අවුරුදු වියදම වෙනුවෙන් සටන් පාඨ
සිංහල හා දෙමළ අවුරුද්ද උදාවෙන්නේ වියදම් ලැයිස්තුවක් සමඟ බව අවිවාදිතය. පොදු ජනතාව මාර්තු මාසයේ වැටුප අතට ගන්නා අතර අවුරුදු අත්තිකාරමක්ද ලබා ගනී. එය වසරේ ඉතිරි මාස දහය තුළ වාරික වශයෙන් ගෙවන පොරොන්දුවකි. අනෙක රජයේ සහ සමහර පෞද්ගලික ආයතනවල අප්‍රේල් මාසයේ වැටුපද අවුරුද්දට කලින් ලැබෙන්නට සලස්වයි. මේවා අතට ගෙන සියල්ල වියදම් කරන අතර අවුරුද්ද අවසන් වනවිට වැඩකරන ජනතාව ආපසු වැඩට යන්නට ගනුදෙනු කරන ලද කාසි පවා එකතු කරන අවස්ථා තිබේ. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පත්ව ඇති ස්ථානය ගැන සැලකිල්ල යොමු කරන විට අරපිරිමැස්ම වැදගත්ය. ආණ්ඩුවෙන් හෝ පෞද්ගලික අංශයෙන් වැටුප හා අත්තිකාරම් ඉල්ලන නමුත් ඒවා අත තිබෙන සම්පත්වලින් වැඩකරන ජනතාවට ගෙවන දෙයක් නොවේ. සියලුම රාජ්‍ය ආයතන බැංකු අයිරාවලින් මුදල් ලබාගනී. පෞද්ගලික අංශයේ සමාගම් පවා වැඩකරන සිය සේවක සේවිකාවන්ට වැටුප් හෝ අත්තිකාරම් ගෙවීමේදී මුදල් සොයාගන්නේ ණය පදනමකින්ය. ඒවායේ පොලිය බැංකුවල සතුට දෙගුණ තෙගුණ කරයි. ජනතාව අවුරැදු සිරිත් විරිත් අවසානයේදී අත මිට හිඟ තැනට පත්වන අතර ඔවුහු සේවය කරන ආයතනද අලුත් වටයකින් ණය ගැති වී තිබේ. මේවායේ වාසිය ගන්නේ බැංකු හා මූල්‍ය පද්ධතියයි. වසර අවසන් වනවිට මේවායේ බදු ගෙවූ පසු ලාභය බිලියන ගණනින් එකතු වූ බව මූල්‍ය වාර්තා පෙන්වන කරැණකි. අවුරැද්දට වියදම් කළ යුතුය අතට නොලැබෙන ධනය සොයා සටන්කරන අවස්ථාවක ඒවා ලැබෙන්නේ කෙසේද යන්න සිහිපත් කිරීම සුදුසුය.
ආදායම අඩු වනවිට වැඩකරන ජනතාව විරෝධතා නගන්නට ඉඩ තිබේ. අවුරුදු අත්තිකාරම් හා බෝනස් ඉල්ලා ඝෝෂා කරනු ඇත. ලාභ ලබන ආයතන ඒවායෙන් කොටසක් ආදායම උපයාදුන් කාර්ය මණ්ඩලයට බෝනස් වශයෙන් ගෙවීම සාධාරණය. නමුත් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රමය අනුව පාඩුවලින් මිරිකී අධික ණය බරකින් යුතු රජයේ ආයතන පවා බෝනස් නැත්නම් ප‍්‍රසාද දීමනා බෙදාදෙයි. එය අසතුටුදායක පැත්තකි. අධික පාඩු ලබන ආයතනයක් ප‍්‍රසාද දීමනා දෙන්නේ කෙසේද යන්න වැඩකරන ජනතාව ප‍්‍රශ්න නොකරන කරුණකි. කොතැනකින් හෝ තමන්ට දෙයක් ලැබිය යුතු යැයි කල්පනා කරති. පාඩු වැඩිවන විට එයට වන්දිය ගෙවන්නේ පොලියක්ද සහිතවය. ආර්ථිකයක පවතින පීඩා මැද මෙවැනි තීරණ තවත් දුබල තැනකට රට පත්කරන බව කල්පනා කළ යුතුය. එහෙත් තවත් පැත්තක් තිබේ. මැති ඇමැතිවරු හා නිලධාරීන් කිසිම කැපවීමක් නොකරන පසුබිම තුළ ජනතාව පමණක් පටිතද කරගත යුතු ඇයි? ආදර්ශය මුලින් අවශ්‍යය. ආර්ථිකය අඩාල වී තිබෙන, නැගෙන්නට තරම් අවකාශයක් නැති පසුබිම තුළ පාවිච්චි කරන වාහනය, ලබන දීමනා වලින් හෝ අඩු කිරීමක් අවශ්‍යය. එය ආදර්ශයට ගෙන ජනතාව සෑහීමකට පත්වනු ඇත.
• ඉන්දියානු හා චීන ණය සහයෝගීතාව
ශ‍්‍රී ලංකාවට යුවාන් බිලියනයක currency swap හුවමාරු ණය මුදලක් සැපයීමට චීනය අනුමත කර තිබේ. මෙම හුවමාරු ණය මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.54 කට ආසන්නය. ශ්‍රී ලංකාව පසුගිය කාලයේදී ඇමරිකානු ඩොලර් මිලියන 400 ක සහනයක් සාක් රටවල අරමුදලකින් හුවමාරු ණයක් ගෙන තිබේ. එය වසර 2022 වනවිට පියැවිය යුතුය. එසේ තිබියදී පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් තවත් ඇමරිකානු ඩොලර් බිලියනයක හුවමාරු ගනුදෙනුවක පිහිට පැතීය. මෙම රටවල් දෙක ගැනම රටට නොගැලපීම් තිබේ. දේශපාලන කණ්ඩායම් මතුකරන අදහස් කර්කෂය. වාණිජ ණය ගැනීමෙකින් තොර පැවැත්මකට ඉන්දියාව හා චීනය සහාය දී ඇත. එවැනි පියවරක් නොතිබිණි නම් එක්කෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ විය යුතුය. නොඑසේ නම් වාණිජ බැංකුවලින් ඩොලර් ණය ගැනීමට සිදුවෙයි. එයට හේතුව මෙම වසරේ විදේශීය ණය හා පොලිය ගෙවන්නට අවශ්‍ය කරන සම්පත් සඳහාය. වාර්තා දක්වන පරිදි 2021 වසරේ ශ‍්‍රී ලංකාවේ ණය ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6,865ක් අවශ්‍ය වන බව මුදල් ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට වාර්තාකර තිබේ. මෙයින් ඇමරිකානු ඩොලර් මිලියන 5,351 ක් ණය වන අතර ඇමරිකානු ඩොලර් 1,514ක් පොලිය බව සඳහන් කළ යුතුය. බරපතළකම මෙයින් පැහැදිලි කරගත හැකිය. කිසිසේත් පහසුවෙන් ගෙවිය නොහැකි ප‍්‍රමාණයකි. මේවා නොගෙවා සිටින්නට නොහැකිය. ගෙවන්නට විනිමය වෙන් කළහොත් ආනයනය සඳහා විනිමය හිඟ විය හැකිය. විනිමය හිඟ වූ පමණින් රටක් බංකොළොත් නොවන නමුත් එම ක‍්‍රමය පවත්වාගෙන යන්නට විශාල අතිරේක පොලියක් ගෙවන්නට සිදුවෙයි. එය අවසානයේදී පොදු ජනතාව මත පැටවෙන බරකි.
අවදානමක් මැද එන අලුත් අවුරුද්ද කළමනාකරණය කරගැනීම කාගේත් වගකීමකි. නැති සම්පත්වලට අවුරුදු ගෙන එන්නට තැත්කිරීම වරදකි. අරපරෙස්සම වැදගත්ය. ණය වෙන හැම අවස්ථාවකම එහි දැවැටී ඇති පොලිය ගැන කල්පනා කළ යුතුය. වසංගත තත්ත්වය පාලනය කරමින් ස්ථාවර ක්ෂුද්‍ර ආර්ථික පදනමක් සඳහා ළඟාවන උත්සාහයකට රට ගමන් කරමින් සිටී. මෙම අවකාශය තුළ උද්ධමනය, බැංකු පොලී අනුපාත සහ විනිමය අනුපාත ආක්ෂයන් සේ නැගී සිටින්නට ඉඩ තිබේ. ලෝකයේ රටවල් ගණනාවකට වඩා ශ‍්‍රී ලංකාවේ ස්වභාවය යහපත්ය. කෙසේ වෙතත් මෙම වාසිදායක රාමුව කිසියම් ආකාරයකින් ආපසු හැරෙන්නට වැඩි කාලයක් ගත නොවේ. බොරතෙල් හා ගෑස් මිල ආනයන වියදම කෙරෙහි තීරණාත්මක සාධකයකි. සමහර පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් වැඩි වෙමින් තිබේ. අවුරුදු සතුට තුළ මෙම පැති ගැන අවධානය අවශ්‍යය.
ගාමිණී සරත් ගොඩකන්ද