මුදලාලි.... කාලෙකට පස්සේ මම නම් ආවේ... කීයද මේ ආනමාළු ගෙඩියක්. රුපියල් තිහක් දීලා කෙසෙල් ගෙඩියක් කන්නද?
කුරැණෑගල පැරකුම්බා වීදියේ පළතුරු වෙළෙඳසලක හිමිකරු හමුවේ මෙසේ පවසා තිබුණේ එම නගරයේ ත්‍රිවිල් සංගමයක හිටපු සභාපතිවරයකු වූ කටගොන්නක් බීගත් අයෙකි.
සිගරට්ටුවක් මිලට ගැනීමට අසල වෙළෙඳසලට පැමිණි මොහු එය මිලට ගන්නා අතරතුර ආනමාළු කෙසෙල් ඇවරි කිහිපයක් අලෙවියට තබා තිබෙහු දැක එහි මිල විමසා තිබිණි. පදමට මත්වී සිටි ඔහුට පළතුරු වෙළෙඳසල් හිමියා කියා ඇත්තේ කෙසෙල් ගෙඩියක මිල රුපියල් 30ක් බවය. මොහොතක් කල්පනා කළ පුද්ගලයා සතුව මාරු කාසි හා නෝට්ටු ප්‍රමාණවත්ව තිබුණද කමිස සාක්කුවේ තිබූ රුපියල් දහසක නෝට්ටුවක් ඇද ව්‍යාපාරිකයා වෙත ලබා දී තිබිණ.
“හා ඕක මොකක්ද? අපි ළඟ මාරු තියෙනවා..” යැයි කී ව්‍යාපාරිකයා රුපියල් දහස ලබාගෙන නියමිත ඉතිරි මුදල වශයෙන් රුපියල් 970 ක් ලබා දී ඇත. පුංචි මදිකමක් වූ ලෙසින් ඉතිරි මුදල ලබාගත් ත්‍රිවිල් සංගමයේ හිටපු සභාපතිවරයා වෙරි මතින් එතැනින් පිටව ගොස් තිබුණේ හරි අපි බලාගමුකෝ..... යැයි කියමිනි.
නෝක්කාඩුවෙන් පිටව ගිය පුද්ගලයා වෙළෙඳසල පසුකර ටික දුරක් ගොස් නැවතුණේ මත්පැන් අලෙවිසලක් අසලය. එම මත්පැන් අලෙවිසල පසුපස රෙස්ටුරන්ට් ආයතනයකි. කටගැස්ම අවශ්‍ය පරිදි ලබාගෙන පදමට මත්පැන් තොලගෑමට එහි හැකියාව පවතී. දෙවැනි වරට ඔහු එහි ඇතුල් වන්නට පෙර හෝරාවක් පමණ එහි ගතකර තිබුණේ ගල්අරක්කු බෝතල් බාගයක රස බලමිනි. ඒ සඳහා ඔහුගේ මිත්‍රයකුද සහභාගී වී සිටි බව වාර්තා වේ. දෙවැනි වතාවේ තනිවම රෙස්ටුන්ට් ආයතනය වෙත පිවිසි ඔහු බීර බෝතලයක් උගුරට දෙකට හිස්කර දැමුවේ හිතේ පැහෙන කේන්තියකිනි.
නැවත එතැනින් පිටට ආ බීමතින් සිටි ත්‍රීවිල් සංගමයේ හිටපු සභාපතිවරයා තනිවම මොනවාදෝ මුමුණමින් පළතුරු වෙළෙඳසල වෙත ගොස් තිබුණි. “මුදලාලි එහෙනම් කෙසෙල් ගෙඩියට මගෙන් සල්ලි ගත්තා.... ඇ..... රුපියල් තිහක් කෙසෙල් ගෙඩියට ගත්තා..... මම සල්ලි දුන්නා..... දැන් මට මගේ රුපියල් තිහ දීපං...... කෝ මගෙ තිහ දීපං.....” මෙසේ අනවශ්‍ය ලෙස පළතුරු වෙළෙඳසල් හිමියා හමුවේ කතා කරන්නට වූයේ ත්‍රීවිල් සංගමයක හිටපු සභාපති පට්ටම ගැනත් පුරාජේරුව කියමිනි. තමා ගැන අධි තක්සේරුවකින් කතා කළ ඔහු හැසිරී තිබුණේ චණ්ඩියකු ලෙසය.
අනවශ්‍ය ලෙස වචන හසුරුවමින් සිටි පුද්ගලයා හමුවේ පළතුරු වෙළෙඳසල් හිමියා දැඩි අසීරුතාවකට පත්ව සිට ඇත. සෑහෙන වෙලාවක් ඉවසා සිටි ඔහු බීමත් පුද්ගලයාට ප්‍රති උත්තර දීමත් සමඟ කතාව දැඩි ආරවුලක් දක්වා ගොස් තිබුණි. මෙය බලා සිටි වෙළෙඳසලේ සහායකයා එතැනට පැමිණ වාදයට මැදිවී ඇත්තේ සිය හිතවත් ව්‍යාපාරිකයාගේ සහායටය.
එහිදී කේන්තියෙන් පෙළුණු ත්‍රීවිල් සංගමයේ හිටපු සභාපතිවරයා එතෙක් වේලා අතේ රඳවාගෙන සිටි බීර බෝතලය පදික වේදිකාවේ ආරක්ෂාවට සිටුවා තිබු යකඩ වැටේ ගසා කඩා දැමුවේ කේන්තියෙනි. එහි කොටසක් අතැතිව පළතුරු ව්‍යාපාරිකයාට පහර දෙන්නට ගත් උත්සාහය වළක්වන්නට වෙළෙඳසලේ සහායකයා ඉදිරියට පැමිණ ඇතැයි කියති. ඒ වන විටත් බීමත් පුද්ගලයා එල්ල කර තිබූ පහරින් ව්‍යාපාරිකයගේ අත කැඩී තුවාල සිදුව තිබුණි.
ඒ සමඟ ව්‍යාපාරිකයා එතැනින් පිටත්ව ප්‍රතිකර ලබාගැනීම සඳහා ගොස් ඇත. තවදුරටත් ව්‍යාපාරිකයාගේ සහායක හා වාදයක පැටලී සිටි පුද්ගලයා කැඩුණු බෝතල් බාගයක් රැගෙන ඔහුට පහර දෙන්නට උත්සාහ කර ඇත. ඊට බියෙන් එතැනින් පැනගත් පුද්ගලයා අසල වූ ව්‍යාපාරික ස්ථානයක් වෙත දුවගොස් තිබුණි. සැකකරු ඔහු පසුපස පන්නා බියර් බෝතල් කොටසකින් පහරදීමත් සමඟ එක් පහරක් එම තැනැත්තාගේ අතට පහළින් සිරුර පසාරු කරගෙන ගොස් තිබුණි. එහිදී බරපතළ තුවාල ලැබූ පුද්ගලයා දැඩි සේ ලේ වහනය වීමත් සමඟ මරණයට පත්ව තිබුණේ රෝහල් ගතකිරීමටද ප්‍රථමයෙන් බව දුටුවෝ පැවැසූහ. මේ සැකකරු නිරන්තරයෙන් මිනිසුන් හා විරසක වන්නෙකි. මත්පැන් තොලගෑවිට තත්ත්වය තවත් වැඩිය. එබැවින් ඔහුගේ නිවැසියන් මොහු නගරයට හෝ නොයැවීමට වගබලාගෙන තිබිණි. මොහුගේ මේ පුරුදු නිසා ත්‍රීවිල් සංගමයෙන් නෙරපා සිටි බවද වාර්තා විය. කෙසේ නමුත් ඔහු එදින නගරයට පැමිණ ඇත්තේ ඔහුගේ දරුවා ළදරු පාසලෙන් නිවසට රැගෙන යාමට බව කියයි නමුත් ඔහු මගදී හමුවූ ඥාතියකු සමඟ දරුවා නිවසට යවා වෙනත් මිත්‍රයකු හා මත්පැන් පානයට ගොස් ඇත. ඉන්පසු බිමතින් මේ ප්‍රහාරය සිදුකර ඇතැයි කියති. සැකකරු කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේ අයෙකි. බෝතල් ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයා ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු කෙසෙල් ගෙඩියක් මිලට ගෙන යළිත් වතාවක් එම මුදල ඉල්ලා ඇත්තේ ඔහුගේ තරම පෙන්වීමටය. සිදුවීම දුරදිග යාමෙන් මෙම මරණය සිදුව ඇතැයි කියන කුරුණැගල පොලිස් ස්ථානයේ අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එච්.එස්. පුෂ්පලාල් මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
සමන්ත විල්තෙර