2021 මාර්තු 27 වන සෙනසුරාදා

කඩපොළට හොරෙන්ම රිංගූ විස පොල්තෙල්

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

පිළිකාකාරක අඩංගු බවට හෙළි වී ඇති පිරිපහදු නොකළ පොල්තෙල් හා ආදේශක තෙල් කන්ටේනර් 13ක් වරායට ගෙන්වා ඇති බවට පසුගිය සතියේ රට පුරා මහත් ආන්දෝලනයක් ඇතිවිය. වරායට ගෙන්වා ඇති මෙම කන්ටේනර් පරීක්ෂා කිරීමේදී පිළිකාකාරක ඇති බවට හෙළි වී ඇති අතර ඒ පිළිබඳ වාර්තාව ලැබීමට පෙර ඒවා රට පුරා බෙදාහැර ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.

සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා සහ සම කැඳවුම්කරු තුෂාර විජේසිංහ යන අය 23දා දඹුල්ලේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අනාවරණය කර තිබේ. ඔවුන් පවසන්නේ පොල්තෙල් වැඩිපුරම පාවිච්චි වෙන සිංහල අලුත් අවුරුදු සමය ඉලක්ක කොටගෙන මෙම පිරිපහදු නොකළ තෙල් හා ආදේශක තෙල් රටට ගෙනැවිත් ඇති බවයි. මෙහිදී තුෂාර විජේසිංහ කියා සිටියේ මෙලෙස වෙළෙඳපොළට මේ වන විට නිකුත් කර ඇති පොල්තෙල් සහ විදේශ රටවලින් ගෙන්වා දැනට වරායේ රඳවා ඇති පොල්තෙල් හා පාම්තෙල් මිනිස් පරිභෝජනයට සුදුසුද නැතිද යන්න පිළිබඳ අප්‍රේල් 01 දිනට පෙර පාරිභෝගිකයා දැනුවත් කළ යුතු බවය. එසේ නොකළහොත් ජනතාව සමඟ එක්ව සිංහල අලුත් අවුරුද්දට ආහාරපාන නිෂ්පාදනය නොකිරීම හා මිලදී නොගැනීම ආදී විරෝධතා රට පුරා ක්‍රියාත්මක කරන බවට ඔවුහු අනතුරු හඟවති. මෙම පොල්තෙල් සහ පාම්තෙල්වල ඇල්ෆා ටොක්සින් (Alffa Toxin) යන පිළිකාකාරකය විශාල ලෙස පවතින අතර එය ජනතාවගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බව ඔවුහු මාධ්‍ය සාකච්ඡාවේදී පැවසූහ.

මෙම මාධ්‍ය හමුවේදී සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය අනාවරණය කරන්නේ පසුගිය ජනවාරි - පෙබරවාරි මාස දෙක තුළ මෙට්‍රික් ටොන් 40,000ක් පමණ මෙවැනි ආදේශක තෙල් වර්ග ගෙනත් ඇති බවකි. මෙයින් මෙට්‍රික් ටොන් 37,000ක්ම ගෙන්වා ඇත්තේ බදු සහන යටතේ වීම සුවිශේෂයි. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 10.5ක් බවද ඔවුහු අනාවරණය කරති.

එහෙත් පුදුමය වන්නේ පොල් ආශ්‍රිත ආනයන පිළිබඳ පොල් සංවර්ධන අධිකාරිය දැනුවත් විය යුතු නමුත් ඔවුන් ඒ ගැන නොදැන සිටීම බවයි. අඩුම තරමේ මොනවා ගෙන්වුවාද කියලවත් ඔවුන් දන්නේ නැතැයි සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා කියයි.

ඔවුන් මාධ්‍ය හමුවේදී තෙල් සාම්පල්ද ඉදිරිපත් කරමින් මෙසේ කරුණු දක්වා තිබේ

අපි මේ මාධ්‍ය හමුවට රුගෙන ආ පිරිපහදු නොකෙරෑ ආනයනික ආදේශක තෙල්වලින් එහි ඇති වෙනස සනාථ වෙනවා. ඒවායේ පැහැය තනිකරම වෙනස්. ඒ වගේම ඒවා පාට කිහිපයකින් එකම ඇසුරුමක මිදිලා තියෙන බව බලාගන්න පුළුවන්. ඒවා පිරිපහදු කළාට පසු මේ ආකාරයටයි පෙනෙන්න තියෙන්නේ. යනුවෙන් තෙල් සාම්පල් ඉදිරිපත් කරමින් පවසා සිටියේය. &මේ අය අධික උෂ්ණත්වයක් යොදා මෙම පිරිපහදු නොකළ තෙල්වල දුගඳ ඉවත් කරලා වෙනත් රසායනික යොදලා තියෙනවා. මෙය ලොකු සැලසුමකින් කරගෙන එන දෙයක් බව කිව යුතුයි.

ඔහු පවසන්නේ පිරිපහදු නොකළ තෙල් වෙනුවට පිරිසුදු පොල් මද රටට ආනයනය කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි. මෙලෙස පොල් මද ගෙනාවිට නියම පිරිසුදු පොල්තෙල් නිෂ්පාදනය කරන්න පුළුවන් බව තමන් පෙන්වා දුන්නත් ඒ පිළිබඳ තවම සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නැතැයි ඔවුහු කියා සිටිති. පසුගිය රජය සමයේද අති විශේෂ ගැසට් මගින් පිරිසුදු නොකළ තෙල් ආනයනය කර ඒවා පොල්තෙල්වලට මිශ්‍ර කර අලෙවි කිරීමට අවස්ථාව සලසා දුන් අතර එම ගැසට් තවම අවලංගු කිරීමට බැරිව ඇතැයි ඔවුහු චෝදනා කරති. 

මේ අතර මාතලේ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් දඹුල්ලේ වෙළෙඳසල් දෙකක් පරීක්ෂා කර එම ස්ථාන පසුගිය 24දා මුද්‍රා තබා තිබෙන බවද සැලවී ඇත.

මාතලේ පාරිභෝගික සේවා අධිකාරී කාර්යාලයේ ප්‍රධානී රේණුක කුමාර ඇතුළු කණ්ඩායමක් දඹුල්ල ප්‍රදේශයේ මහා පරිමාණ පොල්තෙල් තොග අලෙවි කරන ස්ථාන කිහිපයක් පරීක්ෂාවට ලක් කළ අතර, එහිදී ඔවුන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල විශාල වශයෙන් පොල්තෙල් අලෙවි කරන ස්ථානයකට ගොස් පරීක්ෂා කර තිබේ. එම පරීක්ෂණයේදී ආයතනයේ තිබූ ගෙන්වූ සමාගමක නමක් හෝ කිසිදු ලේඛනයක් නොමැති පොල්තෙල් හා පාම්තෙල් තොගයක් සොයාගෙන එයට මුද්‍රා තබා තිබේ.
මෙහි පොළොව යට සහ ඉහළ සවිකර තිබූ පොල්තෙල් හා පාම්තෙල් ගබඩා කළ ටැංකි කිහිපයක් පරීක්ෂා කර ඇත. එහිදී එම තෙල් අපවිත්‍රව තිබී ඇති අතර ඒ තෙල්වල මැරුණු කෘමි සතුන්ගේ කොටස් සහ වෙනත් අපද්‍රව්‍ය තිබී සොයාගෙන තිබේ. පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානියා වන රේණුක කුමාර පවසා ඇත්තේ එම තෙල් මිනිස් පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ බවයි. එහිදී තෙල් අලෙවිය තහනම් කර එම ස්ථාන මුද්‍රා තැබීමට අධිකාරිය කටයුතු කර තිබේ.

තවද මෙයට අමතර වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට නුදුරින් තෙල් තොග වශයෙන් අලෙවි කරන ස්ථානයක්ද පරීක්ෂා කර ඇති අතර එහිදී පොල්තෙල් හා පාම්තෙල් ගබඩා කිරීමේදී මිශ්‍රවීමක් සිදුවන බවද අනාවරණය වී තිබේ. එයින්ද තෙල් සාම්පල කොටස් ලබාගෙන ඇති අතර මෙලෙස ලබාගත් සාම්පල කොළඹ පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට යවා පාරිභෝජනයට සුදුසු ඒවාදැයි පරීක්ෂා කිරීමට කටයුතු යොදන බව මාතලේ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පවසන අතර එම පරීක්ෂණ වාර්තා අනුව ඉදිරියේදී මෙම තහනම ස්ථිර කිරීමට හා වරදක් සිදුව ඇතිනම් නීති මගින් කටයුතු කරන බවද වැඩිදුරටත් අවධාරණය කර සිටී.

පිළිකාකාරක අඩංගු යැයි පැවසෙන පොල්තෙල් රටට ඇතුළු වී තිබේද යන්න පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිට උපදෙස් දුන් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන 24දා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු පවසන්නේ මෙවැනි අහිතකර පොල්තෙල් වෙළෙඳපොළේ තිබෙන බවට කිසිදු පාරිභෝගිකයකු මේ දක්වා තමාට පැමිණිලි කර නොමැති බවයි. එසේ පැමිණිලි නොකළද තමා ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටී.

ඔහු පවසා සිටියේ අහිතකර පොල්තෙල් රට තුළට ගෙන නොඑන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබියදී ඒවා කුමන අන්දමකින් හෝ රට තුළට ආවා නම් එහි වරද පැටවෙන්නේ රේගුවට බවය. එසේම මෙවැනි පොල්තෙල් කොතනකින් හෝ හමුවුවහොත් ඒ පිළිබඳ තමාට දැනුම් දෙන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලන බවද ඇමැතිවරයා කියා ඇත. එසේම පොල්තෙල්වල පිළිකාකාරක තිබීම පිළිබඳ හෙළිදරව් වී ඇත්තේ එක්තරා කණ්ඩායමක් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බැවින් ඒ අයගෙන් තොරතුරු ලබාගෙන අදාළ විස්තර හා සුලමුල සොයාගන්නා ලෙස තමා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බවද හෙතෙම පවසා සිටී.

අන්තර්ජාල වෙළෙඳාමට අවශ්‍ය විධිවිධාන පැනවීම සඳහා නුදුරේදී පාරිභෝගික ආරක්ෂණ පනත වෙනස් කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

අහිතකර පිළිකාකාරක පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි යන ප්‍රචාරය පිළිබඳ රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය පවසන්නේ එම ආනයනික පොල්තෙල් සහිත බහාලුම් වෙළෙඳපොළට නිකුත් කර නොමැති බවය. ඒවා නිකුත් කර ඇත්තේ වෙළෙඳපොළට නොව එම ගෙන්වූ පෞද්ගලික සමාගම් දෙකේ ගුදම්වලට බව පවසන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් අවධාරණය කරනුයේ ගුදම්වල ගබඩා කර තිබූ පොල්තෙල් ප්‍රමාණයේ කිසිදු අඩුවීමක් සිදුව නොමැති බවය.

මෙම සමාගම් දෙක ආනයනය කළැයි කියන පොල්තෙල් සහිත බහාලුම් කන්ටේනර් 13ක් පරීක්ෂා කිරීමේදී ඒවායේ &ඇල්ෆාටොක්සින්* නැමැති පිළිකාකාරකය වැඩි ප්‍රතිශතයක් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය සොයාගෙන තිබුණි. ඒ නිසා එම පිළිකාකාරක අඩංගු පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් නොකර වහාම ගෙනා රටවලටම ප්‍රතිඅපනයනය කරන ලෙස එම ඒකකය උපදෙස් දී තිබුණි.

එසේ වුවද මේවා වෙළෙඳපොළට නිකුත් කර ඇති බවට චෝදනා එල්ලවීමෙන් පසු ඒ පිළිබඳ පරීක්ෂා කරන ලෙස රේගුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් දී තිබේ. එහෙත් එම උපදෙස්වලට පටහැණිව පාරිභෝගිකයාට නිකුත් කර ඇතැයි නැගෙන චෝදනා පිළිබඳ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය අවධාරණය කරනුයේ එවැන්නක් සිදුව නොමැති බවය.

සමාගම් දෙකක් පසුගිය දිනවල ආනයනය කර තිබෙන පොල්තෙල් ප්‍රමාණය කිලෝග්‍රෑම් එක්ලක්ෂ අසූතුන් දහස් පනස් පහක්. මෙලෙස ආනයනය කරන තෙල් සාමාන්‍යයෙන් රේගුවේ ගුදම්වල ගබඩා කර තබන්නේ නැහැ. එයට හේතුව ඒවායේ තත්ත්වය නියාමනය කිරීමට දවස් කිහිපයක් ගතවන නිසයි. මේ නිසා සාමාන්‍ය ක්‍රමය වන්නේ එලෙස ආනයනය කළ පොල්තෙල් ඔවුන්ගේ ගුදම් සඳහා නිකුත් කිරීමයි. මෙවර සිදුකර ඇත්තේද එයයි. පසුගිය මාර්තු 4දා අපට දන්වා සිටියා, මේ සමාගම් දෙකෙන් ආනයනය කළ පොල්තෙල්වල ඇල්ෆාටොක්සින් කියන රසායනික ද්‍රව්‍ය අඩංගුය කියලා. ඒ අනුව ඒ සමාගම් දෙකට රේගුව ලිඛිතව දන්වා සිටියා එම තෙල් තොගය ප්‍රතිඅපනයනය කරන ලෙස. ඒ නිසා ඒවා පාරිභෝගිකයා කරා ආපසු යාමක් සිදුවන්නේ නැහැ.

සාමාන්‍යයෙන් මෙම පොල්තෙල් රේගු ගුදම්වල දිගටම ගබඩා කර තබාගතහොත් ප්‍රමාද ගාස්තු ලෙස විශාල මුදලක් ගෙවන්නට සිදුවන නිසා ඒවා අදාළ සමාගම්වල ගුදම්වල ගබඩා කර තබන බව රේගුව කියයි. එසේ වුවද ඒවා සමාගම්වල ගුදම්වලට යැවෙන්නේ රේගු මුද්‍රා සහිතව බව පවසන රේගුව වැඩිදුරටත් පවසන්නේ තෙල්වල සාම්පල් පරීක්ෂා කිරීමෙන් පසුව ගැටලුවක් නොමැති බව ආහාර පාලකවරයා දැනුම් දුන්නහොත් පමණක් නිදහස් කිරීමට කටයුතු කරන බවය. මෙය සාමාන්‍ය ක්‍රියාපටිපාටිය බවද රේගු අධ්‍යක්ෂ ජනරාල් අවධාරණය කරයි.

පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසන්නේ මෙම සිද්ධිය පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වා සත්‍ය හෙළිකිරීම මෙන්ම පාරිභෝගිකයාට යම් හානියක් සිදුවන්නේ නම් එයින් ඔහු ගලවාගැනීම රජයේ වගකීම බවයි.

වෙළෙඳ ඇමැති කියනවා මේ සිද්ධිය පිළිබඳ තමාට පැමිණිලි ඇවිත් නැහැ කියලා. එහෙත් එවැනි පැමිණිල්ලක් එන්න ඕනෑ නැහැ. සිද්ධියක් ඇතිවූ විට පරීක්ෂණ පැවැත්වීම ඔහුගේ වගකීමක්. පැමිණිල්ලක් ආවේ නැහැ. අපි දන්නේ නැහැ කියලා ඇඟ ගලවාගන්න ඔහුට බැහැ. මෙය එක්තරා කුප්‍රකට ජාවාරමක් නම් ඒ ගැන විමර්ශනය කළ යුතුයි. 

යසවර්ධන රුද්රිගූ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03