මේ වනවිට COVID-19 අපේ ගෙදරදොර බරපතළම ගැටලුව බවට පත්වී හමාරය. දැන් රටපුරා එන්නත්කරණය ගැන විවිධ රස-විස කතාබහ මතුව ඇතත් සමාජය තුළින් කොවිඩ් අතු ගා දමන්නට තරමේ පුළුල් ප්‍රතිඵල එන්නත් මගින් ලැබෙන්නට තව බොහෝ කාලයක් ගතවනු ඇත.
දැන් අපට ඇති හොඳම විකල්පය රෝගීන් ඉක්මණින් හඳුනාගැනීමේ අඩු මිල, භාවිතය පහසු කොවිඩ් 19 පරීක්ෂාවක් මගින් ආසාදනය කලින් හඳුනාගන එය පැතිර යාම දැඩි පාලනයකට ලක්කිරීමය. එනම් ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා වරෙක කීවාක් මෙන් “පරීක්ෂණ..! පරීක්ෂණ ....!! තව තවත් පරීක්ෂණ!!!” සිදුකරමින් රෝගීන් සහ ආශ්‍රිතයන් තෝරා බේරාගනිමින් ප්‍රතිකාර සහ නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමය. නමුත් මේ කියන ආකාරයට “පරීක්ෂණ..! පරීක්ෂණ....!! තව තවත් පරීක්ෂණ!!!” සිදු කිරීමද දැන් අපට ලෙහෙසි නැත. මක්නිසාද යත් මේ සඳහා දැනට ඇති මේ එක් පරීක්ෂණයක් සඳහා වුවද රජයට විශාල පිරිවැයක් දරන්නට වන නිසාය. ඒ මදිවාට දැන් ඇති හොඳම පරීක්ෂාවද පෞද්ගලික අංශයට හොඳම ඉල්ලමක් වී ඇති නිසාය. දෙවෙනි කරුණ වන්නේ පරීක්ෂාව සිදුකළත් ප්‍රතිඵල ලබාගන්නට කල් ගතවීම නිසා ඒ වනවිට රෝගය තවත් පිරිසකට සම්ප්‍රේෂණය වී තිබෙන්නට හැකි වීමය. මේ නිසා වඩාත් ඉක්මන්, වඩාත් ලාබදායි, නිරවද්‍යතාවයෙන් ඉහළ, පහසුවෙන් ප්‍රතිඵල ලබාදෙන පරීක්ෂාවක අවශ්‍යතාව මතුව තිබුණි. මේ අවශ්‍යතාව වටහාගෙන ඒ සඳහා මනා සොයාබැලීමක් සිදුකළ විද්‍යාඥයන් පිරිසක් නිසා දැන් අපට කොවිඩ් පැතිරෙන වේගයට සමපාතව රෝග වාහකයන් සොයාගැනීම සිදුකළ හැකි දේශීයකරණය කරගත් සුපිරි පරීක්ෂාවකට හිමිකම් කීමට අවස්ථාව සැලසී හමාරය.
මේ අපූරු ආරංචිය එන්නේ පේරාදෙණිය සරසවියෙනි.
පේරාදෙණිය සරසවියේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක අප හා පැවසුවේ වඩාත් ලාබදායී නිරවද්‍යතාවය ඉහළ වඩාත් ඉක්මන් ප්‍රතිඵල ලබාදෙන අපේම කරගත් පරීක්ෂාවක් නිපදවීමට සිය සරසවියේ පශු මහජන සෞඛ්‍යය සහ භිෂක්වේද දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය රුචික ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් සමත් වූ බවය. මේ පරීක්ෂාව සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම හා එහි උපකරණ දේශීයව නිෂ්පාදනය කර මහාපරිමානව බෙදාහැරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ BLITTO - Business Linkage, Innovation, Incubation and Technology Transfer Office, නමැති ඒකකය හරහා හෝමාගම පිහිටි දේශීය සමාගමක් සමඟ ගිවිසුම්ගතව ඇති අතර මේ දේශීයකරණය කළ නව කොවිඩ්19 පරීක්ෂාව සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමටද කටයුතු ක්‍රියාත්මක කර ඇත.
පසුගිය COVID-19 ලොක්ඩවුන් සමයේ රට මුහුණදී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ අවධානය යොමුකළ ආචාර්ය රුචික ප්‍රනාන්දු ප්‍රමුඛ පර් යේෂණ කණ්ඩායම ඒ වනවිට අධික වියදමක් දරමින් වැඩිකාලයක් ගතවෙමින් සිදු කරන පී.සී.ආර්. පරීක්ෂාව වෙනුවට කඩිනම් විකල්පයක් ඇතිදැයි සොයා බැලුවේය. ඉන්පසු වඩාත් ඉක්මනින් ප්‍රතිඵල ලබාදෙන අඩු මිලක් වැයවන පහසු පරීක්ෂාවක් වන RT-LAMP පරීක්ෂණය ගැන පලවූ වාර්තාවක් ඔහුගේ අවධානය දිනාගත්තේය. ඉන්පසු වඩාත් ඉක්මනින් ප්‍රතිඵල ලබාදෙන අඩුමිලක් වැයවන පහසු පරීක්ෂාවක් වන මෙය පිළිබඳ එතෙක් - මෙතෙක් පළවූ සියලු වාර්තා අධ්‍යයනය කළ ඔහු සිය පර් යේෂණ සගයන් සමග එක්වී මේ පරීක්ෂාව අපේම ක්‍රමවේදයකට අනුව දේශීයකරණයට ලක්කර පිටරටට ඇදී යන විශාල මුදලක් අපේ පළ ප්‍රයෝජනයට මේ රටේම රඳවා ගන්නට හැකි ලෙස සැලසුම් සකසා ගන්නට කටයුතු කළේය.
ඔහුගේ පර් යේෂණක සගයන් ලෙස කටයුතු කළේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරංග සුමතිපාල, මහනුවර ජාතික රෝහලේ වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල, පේරාදෙණිය සරසවියේ කතිකාචාර්ය ටරින්දි අතපත්තු සහ පේරාදෙණිය සරසවියේ පර් යේෂණ සහකාර රොෂේන් නියොමාල් නීලවල ය. ඔවුන් විසින් දේශීයකරණය කළ මෙම පරීක්ෂණ ක්‍රමවේදය සායනික පර්යේෂණ හරහා සාර්ථක බව දැන් සනාථ වී ඇති අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඉල්ලුම් කර ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබීමෙන් පසු වාණිජ මට්ටමෙන් දේශියව නිපදවීමටද ඔවුන් සැලසුම් කර හමාරය.
මෙම පරීක්ෂණය RT-LAMP ලෙස කෙටියෙන් හැඳින්වුවද එයින් කියැවෙන්නේ - Reverse Transcription-Loop-Mediated Isothermal Amplification, යන්නයි. මේ පරීක්ෂණයද පී.සී.ආර්. පරීක්ෂණය මෙන් වෛරස න්‍යෂ්ටික අම්ල අණු පිටපත් කර ඒවා ගුණනයට ලක්කර එම බහුල වූ න්‍යෂ්ටික අම්ල අණු කොටස් හඳුනාගැනීම මගින් සිදුකෙරෙන්නකි. නමුත් මෙහිදි ආර්.ටී. පී.සී.ආර්. - RT-PCR (Reverse Transcription Polymerase Chain Reaction) ක්‍රමවේදයේදී මෙන් වරින්වර විවිධ උෂ්ණත්වයන්ට රත්කිරීමේ දීර්ඝ පියවර භාවිත වන්නේ නැත. ඒ වෙනුවට සෙල්සියස් අංශක 65 උෂ්ණත්වයේ පමණක් රත් කෙරෙන අතර එහිදී ලැබෙන තොණ්ඩු ආකාරයට පිටපත්වු cDNA න්‍යෂ්ටික අම්ල කොටස් මාධ්‍යයේ වර්ණ වෙනස්වීම මත පදනම්ව ඇස්පනා පිට හඳුනාගැනීම සිදුකරයි.
අපේ විද්‍යාඥ පිරිස මේ සංකීර්ණ ක්‍රියාදාමයේ නිරවද්‍යතාවය සංවේදීතාවය සහ කාර්යක්ෂමතාව වඩාත් ඉහළ නැංවීම සඳහා විකෘති ඇතිවීමට ඔරොත්තු දෙන සහ විකෘති ඇතිවීමේ ඉතා අඩු සම්භාවිතාවක් සහිත වෛරස න්‍යෂ්ටික අම්ලයේ තෝරාගත් විශේෂ කොටසක් ඉලක්ක කරගෙන මෙම පරීක්ෂණය වැඩිදියුණු කිරීමෙන් දැනට ලෝකයේ ඇති වැඩිම සංවේදිතාවක් සහිත කොවිඩ්19 පරීක්ෂණයක් බවට එය පත්කිරීමට සමත්ව තිබේ. එසේම මෙම පරීක්ෂණ කට්ටලයේ නිරවද්‍යතාවය තහවුරු කිරීම සඳහා අභ්‍යන්තර පාලක පරීක්ෂණයක් ලෙස මානව Beta actin ජානයේ කොටසක් පාදක කරගත් RT LAMP පරීක්ෂණයක්ද අන්තර්ගත කර ඇත.
කොටින්ම වෛරස න්‍යෂ්ටික අම්ල අණු සුළු ප්‍රමාණයක් පැවතියද විනාඩි 30ක කාලයකදී රෝස පැහැති මාධ්‍යයේ වර්ණය කහ පැහැයට වෙනස් වෙමින් කොවිඩ් 19 ඇති - නැති බවට ප්‍රතිඵල ලබාදීමට මේ පරීක්ෂාව සමත්ය. එහි සංවේදිතාව කෙතරම් ඉහළදැයි හිතාගැනීමට සාමාන්‍ය කැස්සකදී පවා වෛරස් සහිත බිඳිති දසලක්ෂ ගණනක් පිටවන බව මතකයට නඟා ගැනීම සෑහෙයි.
මෙ වනවිට කොවිඩ් රෝගීන් හඳුනාගැනීමට අප සතුව ඇත්තේ පී.සී.ආර්. ක්‍රමවේදයට අමතරව ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයයි. වර්තමානයේ පවතින දත්තවලට අනුව COVID-19 ක්ෂණික ප්‍රතිදේහජනක කට්ටල පරීක්ෂාවන්හි සංවේදීතාවය පී.සී.ආර්. පරීක්ෂාව සමඟ සංසන්දනය කිරීමේදී 12-70%ක් තරම් අඩු සංවේදීතා පරාසයක පවතී. එය වඩාත් පැහැදිලි කළහොත් පී.සී.ආර්. පරීක්ෂණයෙන් කොවිඩ් බවට හඳුනාගත් රෝගීන් සිය දෙනෙක් ක්ෂණික ප්‍රතිදේහජනක කට්ටල මගින් පරීක්ෂා කළහොත් ඇතැම්විට භාවිතා කරන ක්ෂණික ප්‍රතිදේහජනක කට්ටලය අනුව හඳුනාගන්නා රෝගීන් සංඛ්‍යාව 12ක් දක්වා සීමා විය හැක. එනම් රෝගීන් 88ක් පමණ වූ සංඛ්‍යාවක් මඟහැරීමට ඉඩ තිබේ. මෙය ඉතා අවදානම් තත්ත්වයකි. මන්ද මේ 88 දෙනා මගින් සමාජයේ තවදුරටත් රෝගය ව්‍යාප්ත විය හැකි හෙයිනි.
මීට සංසන්දනාත්මකව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිපදවූ පරීක්ෂණය පී.සී.ආර්. පරීක්ෂණයෙන් කලින් හඳුනාගත් රෝගීන් සිය දෙනෙක් පරීක්ෂා කළ විට 90%ත් 97%ත් අතර රෝගීන් ප්‍රමාණයක් නැවත නිවැරදිව හඳුනාගැනීමේ සාර්ථකත්වයක් දක්වන බව ආචාර්ය රුචික ප්‍රනාන්දු පෙන්වා දෙයි. එනම් මෙම පරීක්ෂණයට වඩා ඉහළ සංවේදීතාවයක් ඇති බවට තහවුරු කර ඇත.
දැනට අපට ඇති හොඳම කොවිඩ්19 පරීක්ෂාව පී.සී.ආර්. පරීක්ෂාවයි. නමුත් පී.සී.ආර්. පරීක්ෂාව සඳහා අවශ්‍ය යන්ත්‍රයක් ගෙන්වා ගැනීමට මිලියන 4-5ක පමණ මුදලක් වැය වන අතර එය විශේෂිත පරීක්ෂණාගාර තත්ත්ව යටතේ භාවිත කළ යුතුය. තවද එක් පී.සී.ආර්. පරීක්ෂාවක් සිදුකිරිම සඳහා දැනට දළ වශයෙන් රුපියල් 3000/= කට ආසන්න මුදලක් වැයවේ. ඒ අනුව දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 20000 ක් කිරීමට රුපියල් මිලියන 60කට ආසන්න මුදලක් දිනපතා රජය වැයකරයි. (පෞද්ගලික අංශයේ රෝහල්වල මේ සඳහා රුපියල් 8500- 9500දක්වා වූ අධික මුදලක් අයකරයි.) මේ මොන ආකාරයට සිදු කලත් වාර්තාව ලැබෙන්නේ ප්‍රමාද වීය.
නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය හඳුන්වාදෙන කොවිඩ් පරීක්ෂණයට වැයවනුයේ රුපියල් 1500කට ආසන්න මුදලකි (සාම්පල එකතු කිරීමද ඇතුළුව). අවම වශයෙන් දිනකට පී.සී.ආර්. 10000ක ප්‍රමාණයක් මෙම පරීක්ෂණය මඟින් සිදුකිරීමෙන් රජයට රුපියල් මිලියන 15ක් දිනකට ඉතුරු කරගත හැක. ඒ කියන්නේ දැනට ඇති අවශ්‍යතා අනුව පරීක්ෂණ 20000ක් සිදුකළහොත් මිලියන 30ක් දිනකට රජයට ඉතිරිවෙයි. මීට අමතරව දැනට මෙම පර් යේෂණ කණ්ඩායම මෙම RT-LAMP පරීක්ෂාව ඍජුවම ඛේටය මගින් සිදුකරන ක්‍රියාවලියක් නිර්මාණය කර ඇත. (දැනට මෙය සායනික පරීක්ෂණ මට්ටමේ පවතී). මෙම ක්‍රමවේදය මගින් එක පරීක්ෂාවක් සඳහා පිරිවැය රුපියල් 1000 දක්වා අඩුකර ගතහැකි අතර වේදනාකාරී නාසය තුළින් සාම්පල ලබාගැනීමේ අවශ්‍යතාවයද මඟහැරී යයි.
රටේ ආර්ථිකය ඇද නොවැටී නිසි වේගයකින් පවත්වාගෙ යන්නට නම් විවිධ පර් යේෂණ උපකරණ හා කට්ටල ගෙන්වීමට පිටරට යන අධික මුදල රුකගන්නා අතර කාර්යක්ෂමව රෝගීන් හඳුනාගැනීමේ ක්‍රමවේදයක් යොදාගත යුතුය. රට ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා මේ නව ක්‍රමය වැදගත් වන්නේ එතැනදීය. රෝගයේ ව්‍යාප්තිය හා සම වේගයකින් හඳුනාගැනීම්ද සිදුකෙරෙනා ක්‍රමවේදයක් ලෙස මෙය විශ්වාසදායී ප්‍රතිඵල මූලික සායනික පරීක්ෂාවේදී පෙන්වා හමාරය.
ආචාර්ය රුචික ප්‍රනාන්දු ප්‍රමුඛ පර් යේෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ මේ නව පර් යේෂණ ක්‍රමවේදය සැකසීමේදී ලබාගත් අලුත් දැනුම සහ තාක්ෂණය ඉදිරියේදී මිනිසුන් මෙන්ම සතුනටද සෑදෙන වෙනත් රෝග හඳුනාගත හැකි පර්යේෂණ කට්ටල නිපදවීම සඳහා තමන්ට ප්‍රයෝජනවත් වන බවයි. එසේම ආචාර්ය රුචික ප්‍රනාන්දු පෙන්වාදෙන ආකාරයට මේ මිල අඩු උපකරණ කට්ටල මගින් ලැබෙන ආදායමින් කොටසක් තවත් මෙබඳු පර් යේෂණ පැවැත්වීම සඳහා කර්තෘභාග අරමුදලක් ලෙස විශ්වවිද්‍යාලයටම ලැබීම මෙහි ඇති අපූරුවයි.
මෙම කාලීන වැදගත්කමක් ඇති පර් යේෂණයේ මුලික සාර්ථකත්වය සඳහා පේරාදෙණිය සරසවියේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක හා නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න මහත්වරුන්ගේ දායකත්වය හා මගපෙන්වීම අගය කළ යුතුය. තවද මෙම පරීක්ෂාවට පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමේදී හා වාණිජ මට්ටමෙන් නිෂ්පාදනය කිරීමේදී BLIITTO අධ්‍යක්ෂ මහාචාර්ය රොෂාන් දර්ශන යාපා ගේ මගපෙන්වීම හා උපකාරය ලැබී ඇත. සායනික පරීක්ෂණ වලදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.එම්.එස්. සමරවීර මහතාගේ දායකත්වය විශේෂයෙන් මතක් කළ යුතුය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ උපකාරයද මෙහි සාර්ථකත්වයට මහෝපකාරී වූ අතර, මෙම පරීක්ෂණ කටයුතු සඳහා මූල්‍ය පහසුකම් උසස් අධ්‍යාපන අමාත්‍යාශයේ AHEAD ව්‍යාපෘතිය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් ලැබී ඇත.
සුගත් පී. කුලතුංගආරච්චි