2021 මාර්තු 27 වන සෙනසුරාදා

සිංහරාජෙට පැටළුණු හම්බන්තොට ජල ප්‍රශ්නය

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 202

හම්බන්තොට දිස්ත්‍රික්කයට පිරිසිදු ජලය රුගෙන යාමට ලෝක උරුම සිංහරාජ වනාන්තරය මැද වැව් දෙකක් ඉදිකිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ පසුගියදා වීරකැටිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතා ප්‍රකාශ කළේය. එහිදී ඇමැතිවරයා පැවසුවේ එක් වැවක් අක්කර පහක් පමණ වන බවත්, ඒ වෙනුවට තව අක්කර 50-100ක් වන වගා කිරීමට පියවර ගන්නා බවත්ය.

තංගල්ල, බෙලිඅත්ත, වීරකැටිය, වලස්මුල්ල ආදී ප්‍රදේශවලට පානීය ජලය ලබාදීම සඳහා ගිංගඟේ සහ නිල්වලා ගඟේ ජලය ගිරුවාපත්තුවට ගෙන ඒමට මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ වාරි ව්‍යාපෘතියක් ආරම්භ කළ නමුත් එය ක්‍රියාත්මක නොවූ බවද එහිදී ඇමැතිවරයා පවසා සිටියේය. ඒ කාර්යය බාරදුන් චීන සමාගමක් සකස් කර ඇති සැලැස්ම අනුව සිංහරාජ වනාන්තරය තුළ වැව් දෙකක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව ඇමැතිවරයා එහිදී පැවසුවේය.
 
නමුත් අමාත්‍යවරයා පසුගිය 23දා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ සිංහරාජ කැලෑව තුළ වැව් සාදන බවට පළවන වාර්තා අසත්‍ය බවත් එම කැලෑව මුදුනේ වැව් සෑදීමේ කිසිම සැලැස්මක් නැති බවත්ය. ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසුවේය.
නිල්වලා හා ගිංගඟේ ගංවතුර ගැලීම නිසා විශාල හානියක් වෙනවා. කළු ගඟ, ගිං ගඟ හා නිල්වලා යන ගංගාවල වතුර ඊසාන දිගට ගෙනයාමට සැලැස්මක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වසර 90ක සිට තිබෙනවා. කිසිම ආණ්ඩුවක් ඒක කළේ නැහැ. ඒ නිසා කවද හරි මේක කෙරෙන්න ඕනැ. ගිං ගඟේ පහළ ජනතාව පදිංචිව සිටින කොටසේ අක්කර පහක ජලාශයක් ඉදිකිරීමට සැලැස්මක් තිබෙනවා. අපි ඒ සැලැස්ම යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කළා. අධ්‍යයනය කර තීරණයක් ලබාදීමට. එහෙම නැති වුවහොත් ජල පිපාසයෙන් සිටින ජනතාවටත්, ගංවතුර ගැටලුවටත් විසඳුමක් නැති වෙනවා.

අද බොහෝ මැති ඇමැතිවරුන්ට තමන් කියන දේ ගැන අවබෝධයක් නැත. මෙයත් එවැනි කතාවක් බවය අපට පෙනුණේ. මේ නිසා ඊට ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා එය නිවැරදි කිරීමට මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කළේය.
චමල් ඇමැතිවරයා මෙහිදී වක්‍රාකාරයෙන් පවසා ඇත්තේ ගිං-නිල්වලා හැරවීමේ ව්‍යාපෘතිය ගැනයි. ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට වැටෙන ජලය හම්බන්තොටට සැපයීම එහි අරමුණයි. පසුගිය ආණ්ඩුව කාලෙත් මෙම ව්‍යාපෘතිය ඇරඹීම ගැන කතාබහක් පැවතුණද මූලික ව්‍යාපෘති සකස් කළද එයට පරිසරවේදීන්ගේ විශාල විරෝධයක් එල්ල විය.

පසුගිය ආණ්ඩුව කාලයේ පැවසුණු ව්‍යාපෘති වාර්තාවට අනුව තද වැසි කාලයට ගිං හා නිල්වලා ගංගාවලට ලැබෙන ගංවතුර උවදුරට හේතුවන අතිවිශාල ජලස්කන්දය උමං තුනක් ඔස්සේ හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබාදීමට නියමිතය. ඒ අනුව වාර්ෂිකව ඝන මීටර් මිලියන 400ක ජල ධාරිතාවක් ලබාදීම අරමුණු කරගෙන තිබේ. එම ජලය වගාකටයුතුවලට, පානීය ජලය ලෙස මෙන්ම කර්මාන්තවලට ලබාදීමටත් සිදුවේ.

මෙරට දිගම උමං පද්ධතිය මේ යටතේ ඉදිකිරීමට සැලසුම් කර තිබේ. ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට නියමිත වැව් නොව කුඩා ජලාශ දෙකකි. පළමුව ලංකාගමට නුදුරු මාදුගැටේ ප්‍රදේශයෙන් ගිංගඟ හරස් කර අක්කර අඩි 1000ක කුඩා ජලාශයක් ඉදිකිරීමට නියමිතය. එයට ලංකාගම ගැමියන්ගේ ඉඩම්ද ද්විතියික වනාන්තර සුළු කොටසක්ද යටවීමට නියමිතය. මාදුගැටේ ජලාශයට එකතු වන ජලය කි.මී. 18ක් දිග උමගක් ඔස්සේ කොටපොළට ගෙන ඒමට නියමිතය. කොටපොළ ගඟ හරස් කර එහි අමුණකට එක්වන ජලයත් රුගෙන තවත් කි.මී. 5ක් දිග උමගකින් අම්පනාගලට යොමු කෙරේ. ඊට පසු නිල්වලා ගඟේ අනිත් අතු ගංගාවන වන සියඹලාගොඩ ඔය අම්පනාගලදී හරස් කර ජලාශයක් ඉදිකිරීමට නියමිතය. එම ජලය කි.මී. 16ක් දිග උමගයකින් කටුවනට යැවෙන අතර පසුව ජලය මුරුතවෙල වැව, කිරම වැව, ඌරුබොක්ක ඔය ආදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ වාරිමාර්ගවලට ලැබීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය මගින් අස්වැද්දීමට නියමිත ඉඩම් ප්‍රමාණය අක්කර ලක්ෂයකි.

කෙසේ වුවත් මෙම ජලාශ ඉදිකිරීම මෙන්ම උමං සකස් කිරීමටද නියමිතව ඇත්තේ රටේ ජෛව විවිධත්වයෙන් ඉහළ නිරිතදිග තෙත් කලාපයේ සිංහරාජ වනයේ පරිවාර වනාන්තරවලට යාබදව නිසා ඒ ගැන පසුගිය ආණ්ඩුව සමයේද විරෝධතා එල්ල විය. මේ පිළිබඳව ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර මෙසේ සඳහන් කරයි.

වැහි කාලයට ගිං, නිල්වලා ද්‍රෝණිවලට විශාල ජල කඳක් ලැබුණත් පායන කාලයට මේ ප්‍රදේශයේ ජනතාවට පානීය ජල ප්‍රශ්නය සහ තේ වගාවලට ජලය ප්‍රමාණවත් නොවීමත් ගැටලුවක් වෙලා. එසේ තිබියදී ගිං හා නිල්වලා ගංගාවල ජලය වසර මුළුල්ලේම හම්බන්තොටට හරවා යැවීම ගැටලු රාශියකට හේතුවක් වෙනවා. හම්බන්තොට නව සංවර්ධන ව්‍යාපෘති සඳහා පරිසරය අවතැන් කරමින් ජලය ලබාගැනීම සාධාරණ නැහැ. මෙම ප්‍රදේශයේ වඳවීමේ තර්ජනයට ලක්වූ ශාක හා සත්ව විශේෂ බහුලව වාර්තා වෙනවා. මාදුගැටේ ජලාශයේ සිට කොටපොළ ජලාශයට ජලය ගෙන යන උමග ඉදිවන්නේ දියදාව රක්ෂිත වනාන්තරය යටින්. මේ භූගත උම නිසා වනාන්තරවල ජල මූලාශ්‍රවලටත් බලපෑම් එල්ල වේවි.

නිල්වලා ගඟේ ජලය හම්බන්තොටට හරවා හැවීමේ යෝජනාව මුලින්ම එන්නේ 1887 දීය. පසුව 1936දී මොරවක ආසනය නියෝජනය කළ කොමියුනිස්ට් පක්ෂ නායක දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ නිල්වලා ගඟේ ඉහළ ප්‍රදේශයෙන් ජලාශයක් ඉදිකර එම ජලය හම්බන්තොටට යැවීමට යෝජනාවක් කළේය. 1968දී කළු, නිල්වලා, ගිං ගංගාවල ජලය වියළි කලාපයට හරවා යැවීමට ඇමෙරිකානු සමාගමක් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කෙරිණි. 1980දී නිල්වලා ගඟේ ගංවතුර පාලනය කිරීමට තවත් ව්‍යාපෘතියක් ඇරඹිණි.

වාරිමාර්ග ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ සිංහරාජයට යාබදව ඉදිකිරීමට යෝජිත මාදුගැටේ ජලාශය නිසා සිංහරාජ ලෝක උරුම වනාන්තරයට හානියක් සිදුවේදැයි අධ්‍යයනය කිරීමට යුනෙස්කෝ සංවිධානයට ව්‍යාපාති සැලැස්ම ඉදිරිපත් කර ඇති බවයි. මේ අතර තවත් පිරිසක් පවසන්නේ හම්බන්තොට පානීය ජල ගැටලුව ඉදිරියට දමා එහි ගොඩනැගෙන චීන කර්මාන්තපුරයට ජලය ලබාදීම මෙහි මූලික අරමුණ බවයි.

නමුත් අවසානයේ අමාත්‍ය චමල් රාජප මහතා සමඟ මෙරට යුනෙස්කෝ කොමිසමේ නිලධාරින් කළ සාකච්ඡාවේදී සිංහරාජයේ වැව් ඉදිකිරීම නවතා දැමීමට අමාත්‍ය චමල් ප්‍රතිඥා දී තිබිණි. 

 කුසුම්සිරි