බස් මගීන් 14 දෙනකු ජීවිතක්ෂයට පත් කරමින් තවත් මගීන් 32 දෙනකුට තුවාල සිදු කරමින් ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 13 කණුව ප්‍රදේශයේදී අඩි 250ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් වූ ඛේදවාචකය මෑත ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම රිය අනතුරය. අනතුරින් තුවාල ලැබූවෝ තවදුරටත් පස්සර දිසා රෝහලේ සහ බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබති.
මෙම අනතුර සිදුවීම සියැසින් දැක තිබූ එක් අයකු වූයේ මාර්ගය අසල රැඳී සිටි තුවන්සා මහතාය. ඔහු මෙසේ පැවසීය.
“මම උදේ පාරේ වැඩට ආවා. වැඩට ලෑස්ති වෙද්දි බස් එක වේගෙන් එනවා දැක්කා. ඒ වෙද්දි අනික් පැත්තෙන් ලොරියකුත් ආවා. මම හිටියෙ ගලට පහළින් කඩය ළඟ. වේගෙන් ආපු බස් එකට නගින්න හිටපු තුන්දෙනෙක් අත දැම්මා. ඒත් නතර නොකර වේගෙන්ම ආවා. ලොරිය කිට්ටුවට ආපු බස් එක ආපු වේගෙන්ම ඇල්ල පහළට පෙරළුණා. අපි කෑගහද්දි මිනිස්සු පිරුණා. ඒ අය ප්‍රපාතයට බැස්සා. ටික වෙලාවකින් පොලීසිය හමුදාව එහෙමත් ආවා.”
දිනපතාම ලුණුගලින් පෙරවරු 6.30ට කොළඹ බලා පිටත්ව යන බස් රථය මෙසේ අනතුරට පත්ව තිබුණි. අඩි 250ක පමණ ප්‍රපාතයකට පෙරළුණු බස් රථයේ සිරවී සිටි රෝගී තුවාලකරුවන් බේරාගැනීමට ප්‍රදේශවාසීන් පොලීසිය හා හමුදාව සමඟ ලණු සහ කඹ ආධාරයෙන් බෑවුමට බැස තිබුණු අතර පස්සර හා බදුල්ල රෝහල්වල වෛද්‍ය හා හෙද කාර්යමණ්ඩලයද එම ස්ථානයට පැමිණියහ. රථයට සිරවී සිටි තුවාලකරුවන් මුදාගැනීම අසීරු වූයෙන් බූම් ට්‍රක් රථයක් රැගෙන බස් රථය පසෙකට පෙරළා දැමීමට කටයුතු කර තිබූ අතර මෙහෙයුමට පැය තුනක පමණ කාලයක් ගත වී තිබිණි. මුදාගැනීම අතරතුර ඉහළ කඳු මුදුනේ තිබූ ගලක් පෙරළීම නිසා රෝගීන් බේරාගැනීමට සහභාගි වූ පුද්ගලයෙක්ද තුවාල ලැබීය.
මියගිය පිරිස් වෙත සිදු කළ පී.සී.ආර්. පරීක්ෂාවකින් අනතුරුව මළසිරුරු පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරිණි. එහිදී අධිකරණ වෛද්‍යවරයා තීන්දු කර තිබුණේ රිය අනතුර හේතුවෙන් ශරීරයේ සිදුව ඇති බහුවිධ තුවාල නිසා මරණ සිදුව ඇති බවය. අනතුරට පසුව පස්සර දිසා රෝහලේ පැවති සාකච්ඡාවකට එක්වූ රාජ්‍ය නිලධාරීන් පිරිසක් තීරණය කොට තිබුණේ අනතුරින් මියගිය අයගේ අවමංගල්‍ය වියදම් සඳහා රාජ්‍ය ආයතන කිහිපයක මූලිකත්වයෙන් ආධාර සැපයීමටය.
අනතුරට පත් බස් රථයේ ගමන්ගෙන තුවාල ලබා දිවි බේරාගෙන සිටින එස්. රූබන් මහතා ඔහු මුහුණපෑ බිහිසුණු අත්දැකීම මෙසේ විස්තර කළේය.
“ගිය 20 වැනිදා උදේ මමත් ලුණුගල බස් එකට ගොඩවුණා. පස්සරට යාමටයි මට අවශ්‍ය වුණේ. ගොඩක් වේගයකින් බස් එක ගියා. යද්දි පස්සර 13 කණුව හරියෙ පාරට ගලක් වැටුණු තැනක් තිබුණා. ඉස්සරහින් ආපු ලොරියට ඉඩ දෙන්න යනවාත් එක්කම බස් එක පාරෙන් ප්‍රපාතයට පෙරළුණා. මම බස් එක මැද කණුව හයියෙන් අල්ලාගත්තා. බස් එක කරණම් ගහගෙන ගිහින් ලොකු ශබ්දයක් එක්ක නැවතුණා. ඒත් එක්කම මිනිස්සු ගොඩක් මගේ ඇඟ උඩට වැටුණා. හැමෝටම තුවාල වෙලා. සමහරු මැරිලා වගේ දැක්කා. ගොඩක් අය ළතෝනි දුන්නා. සුන්බුන් අතරින් මමත් එළියට පැනගත්තා. ඊටපස්සෙ මම දැක්කා කන්ද පහළට මිනිස්සු කට්ටියක් අමාරුවෙන් බැහැගෙන එනවා. ඒ අය තමයි මාවත් රෝහලට ගෙනිච්චේ.”
ඉෂාක් සාරංග මහතා අනතුරට පත්වූ බස් රථයට ලුණුගලින් ගොඩවී ගමන්ගත් අයෙකි. බිහිසුණු අත්දැකීම සම්බන්ධයෙන් ඔහු කීවේ මෙවැන්නකි.
“මම ලුණුගලින් බස් එකට නැග්ගේ. 13 කණුව හරියෙ පාරට පෙරළුණු ගල ළඟදි ලොරියක් ආවා. බස් එකේ වේගය අඩු නොකරම ලොරියට ඉඩ දෙන්න ගියා. ඒත් එක්කම පාරේ ගැට්ට කඩාගෙන බස් එක පෙරළුණා. කිහිප දෙනෙක් විසිවෙලා වැටෙනවාත් දැක්කා. මමත් විසිවෙලා වැටුණා. මට වැඩිය තුවාල මොකුත් නෑ.”
අනතුර සිදුවූ බදුල්ල - බිබිල මාර්ගය මංතීරු දෙකකින් යුක්ත වුවද අනතුරට ලක්වූ ස්ථානයට ඉහළින් පිහිටි විශාල ගලක් පාරට පෙරළීම නිසා මාර්ගය පටු වී පවතී. එමනිසා එතැනින් වාහන දෙකකට එක එල්ලේම මාරුවීම අසීරුය. ඉදිරියෙන් පැමිණි ලොරි රථයකට ඉඩ ලබාදෙමින් ඉදිරියට ධාවනය කළ බස් රථය පෙරළීමට හේතුව මෙම ගල නිසා වන්නට ඇතැයිද සැකයක් පවතී. ඒ සම්බන්ධයෙන් සෙවීමට මාර්ග සංවර්ධන අධිකාරිය විමර්ශනයක් අරඹා තිබේ. ඒ සම්බන්ධයෙන් විමර්ශනයට එම අධිකාරියේ ඉහළ නිලධාරීන් දෙදෙනකු අදාළ ස්ථානයට ගොස් තිබුණි. අදාළ මර්ගයේ ඉදිකිරීම් කාලයක් පුරා ප්‍රමාදව පැවති බවට පැමිණිලි රාශියක් ප්‍රදේශවාසීන් විසින් යොමුකර තිබූ බවද වාර්තා විය.
පාර අවහිර වූ ගල පෙරළී තිබුණේ ඉකුත් නොවැම්බර් 20 වැනිදාය. මාර්ගයේ ඉදිකිරීම් කරන අදාළ කොන්ත්‍රාත් සමාගමට අවස්ථා කිහිපයකදී ගල ඉවත් කිරීමට උපදෙස් දී ඇතත් එය සිදු නොකළ බව දැනගන්නට තිබේ. මගීන් 50ක් පමණ රැඳී සිටි බස් රථයේ රියැදුරුගේ අධික වේගය හා අපරීක්ෂාකාරී ධාවනය නිසා අනතුර සිදුවන්නට ඇතැයිද සැක කෙරේ.
ආර්. කුමාර් මහතා සහ ඔහුගේ සොහොයුරා දිනපතා රැකියාව සඳහා පස්සර නගරයට යන්නේ මෙම බස් රථයෙනි. එදින මාර්ගය පසෙකට වී සිට බස් රථය නැවැත්වීමට අතින් සංඥා කළද බස් රථය නොනවත්වා ධාවනය කර ඇත. මඳ දුරක් ඔවුන් බස් රථය පසුපස දිව ගියත් ඔවුන්ගේ දෑස් ඉදිරිපිටම බස් රථය පෙරළී ගොස් තිබුණි. ඒ සිදුවීම විස්තර කරන ආර්. කුමාර් මහතා මෙසේ පැවසීය.
“මමයි මල්ලියි මේ බස් එකේ යන්න හිටියා. හෝල්ට් එකේ තවත් කෙනකුත් හිටියා. බස් එක එද්දි අපි අත දැම්මා. ඒත් ඒක නොනවත්වාම වේගයෙන් ගියා. අපි ටික දුරක් දුවගෙන ගියා බස් එක පස්සෙන්. ඒත් බස් එකට වැඩි දුරක් යන්න ලැබුණෙ නෑ. පාරට පෙරළුණු ගල කිට්ටුවදි ඉස්සරහින් ලොරියක් ආවා. ඒක නවත්වනවා වගේත් දැක්කා. ඒත් එක්කම වම් පැත්තෙන් ප්‍රපාතයට බස් එක පෙරළුණා. අපිට පුළුවන් වුණේ කෑගහලා මිනිස්සුන්ට කියන්න විතරයි.”
අනතුර අවස්ථාවේ බස් රථයේ ගමන්ගත් අන්තෝනි හේවා සහ බෙනඩික් මෙරෝනා නැමැති අඹුසැමි යුවළ මරණයට පත්වූහ. මෙම අවාසනාවන්ත මරණය නිසා ඔවුන්ගේ අවුරැදු 8, 7 සහ 3 වයස්වල දරැවන් තිදෙනා අසරණව සිටිති. දරුවන්ගේ රැකවරණයට සිටින්නේ ඔවුන්ගේ මිත්තණිය පමණි. ඇය පවසන්නේ දරුවන් රැකබලා ගැනීමට වත්කමක් ඇයට නොමැති බවය.
මාරක අනතුරට ලක්වූ බස් රථයේ රියැදුරු තුවාල ලබා සිටියි. ඔහු සහ ලොරි රථයේ රියැදුරු පස්සර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබූහ. එහිදී 25 වැනිදා තෙක් සැකකරුවන් බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
සමන්ත විල්තෙර