2021 මාර්තු 27 වන සෙනසුරාදා

ලාබෙට තිබූ තෝසෙ-වඩේ මිලත් උඩ ගිහින්

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 278

පිටකොටුවේ රෑ කඩවලින් පතුරවනා උළුඳු වඩේ සුවඳට ඒ කාලේ බොහෝ දෙනා හරි කැමැතිය. කොටුව දුම්රිය ස්ථානයෙන් බදුලු බලා යන රාත්‍රී දුම්රියේ පමණක් නොව පිටකොටුවේ සිට ඈත ගම් කරා යන රාත්‍රී බස් රථවල යන බොහෝ මඟීහු බස්රථවලට දුම්රියට නගින්නට පෙර පිටකොටුවේ සයිවර් කඩේකින් තෝසෙ දෙකකට දාගන්නා  දුම් දමන සාම්බාරු හොද්දත් සමඟ තෝසෙ පිඟනක රස බැලීමට පුරුදුව සිටියහ. අනාගන්නා තෝසෙ කටක් සමඟ උණු උණුවේ උළුඳු වඩේ  කෑල්ලක් කන එකත් බොහෝදෙනාගේ පුරුද්දක් වී තිබිණි. දමිළ මිනිසා පමණක් නොව සිංහල, මුස්ලිම් මිනිසා පවා ජාතිවාදයකින් තොරව තෝසෙ, උළුඳු වඩේ රස බැලූහ. තෝසෙ එකක් කෑවායින් පසුව මේ බොහෝ දෙනා ප්ලේන්ටී එකක් බොන්නත් අමතක කළේ නැත.

තෝසෙ පිඟානකට ප්ලේන්ටියකට, වඩේ එකකට ඔවුන්ට එතරම් මුදලක් වැයවූයේද නැත. නමුත් ගමානාන්තය දක්වා ඔවුන්ට කිසිදු කුසගින්නක් නැතිව යා ගත හැකි විය. එකල හයයි තිහේ චිත්‍රපටයක්, වේදිකා නාට්‍යයක් බැලූ බොහෝ දෙනා දෙමළ කඩේකින් තෝසෙ කෑහ. බොරැල්ල, බම්බලපිටිය ඉතා ජනප්‍රිය දෙමළ කඩවලට පිරුණු බොහෝ දෙනා අල්ලාප සල්ලාපයේ යෙදුණේ උළුඳු වඩේ රස බලමිනි. සැබැවින්ම දුප්පතාගේ පසුම්බියට ගැලපෙන ලෙස එකල තෝසෙයකින්, උළුඳු වඩේකින් කුසගින්න නිවාගන්නට හැකියාව තිබිණි.

නමුත් අද සිදුව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. වර්තමානයේදී මේ සියලු ඉන්දියන් කඩ කෑමවල මිල ඉහළ ගොස් ඇත.

මේ හැම කෑමක්ම මිල වැඩිවෙලා තමයි. දැන් ඉස්සර මිලට කෑම දෙන්න බැහැ. උඳු දැන් ගණන්. ඒ නිසා උළුඳු වඩේවල මිලත් වැඩියි තෝසෙත් එහෙමයි. ගෑස් ගණන්. ඉතින් ඉස්සර ගානට දැන් තෝසේ, උළුඳු වඩේ දෙන්න හරි අමාරුයි.
බොරුල්ල ජනප්‍රිය දමිළ හෝටලයක කළමනාකාරවරයකු පැවසුවේ එලෙසිනි. බොහෝ තැන්වල වර්තමානයේ තෝසේ එකක මිල රුපියල් හැටකි. ඇතැම් හෝටල්වල රුපියල් හැත්තෑවකටත් අලෙවි වේ. උඳු මිල වැඩි නිසා උළුඳු වඩේ එකක මිල රුපියල් හැත්තෑවක් වන අතර බෝන්ඩා (අලබෝල) එකක් අඩුම මිල රුපියල් හැටකි. මෙම මිල ගණන් වෙනස් වේ. 

ඉන්දියන් කෑම කඩ අද වැහිවැහැලාය. නමුත් ඒවායින් නිසි රසයට කෑම පිසෙන්නේ ඇතැම් ආපනශාලාවල පමණි. ඉට්ලිවල රස වුවද වෙනස් වේ. එය කෑම පිසිනා කෝකියාගෙන් වෙනස් වෙන බව අපිට කිවේ බොරුල්ල දමිළ කඩේකින් තෝසයක් කමින් සිටි වත්තල මහරුෆ් මහතාය.

මම වැඩකට පුංචි බොරුල්ලට ආවා. ඉස්සර නම් මෙතන තෝසේ එක මරු. හරිම රස  සම්බාරු හොද්දක් තිබුණා. ඒත් අද එහෙම රසක් නැහැ. සම්බාරු හොද්ද හරියට පරිප්පු හොද්ද වගෙයි. මොනවා කරන්නද සල්ලී දීලා පරිප්පු කනවා වගේ වැඩක්. තෝසෙ කනවට වඩා ෆ්‍රයිඩ් රයිස් එකක් කනවා මීට වඩා හොඳයි.

තෝසෙ එකේ ප්‍රමාණයක්ද වෙනස් වේ. එකල එක තෝසෙයක්, උළුඳු වඩයක් කෑ විට හොඳටම ප්‍රමාණවත්ය. නමුත් මෙකල බොහෝ දමිළ කඩවල ඇති තෝසය තුනීය. ප්‍රමාණයෙන්ද කුඩාය. මසාලා වඩේ, එළවළු වඩේ, උළුඳු වඩේ වුවද ඉස්සර තරම් ප්‍රමාණයෙන් විශාල නැත. රස වගේම ප්‍රමාණයෙන්ද ඒවා කුඩාය.

ඉන්දියන් කෑමවලදී සාම්බරු හොද්දට හිමිවන්නේ සුවිශේෂිතාවකි. කැරට්, බෝංචි, බටු, අල, මුරුංගා, වට්ටක්කා, තක්කාලි, පරිප්පු, කොත්තමල්ලි කොළ ආදී දෑ එක්කරමින් රසවත්ව හදන සාම්බරු හොද්දේ අද වනවිට බොහෝවිට ඇත්තේ ලාභ එළවළු දෙක තුනක් සමඟ පරිප්පු ටිකක් පමණි. ආපනශාලවල පිසින සාම්බරු හොද්දට දමන එළවළු කාලෙන් කාලෙට වෙනස් වේ. කැරට්, බෝංචි, මුරුංගාවල මිල වැඩිවෙද්දී සාම්බාරු හොද්දට කැරට්, බෝංචි, මුරුංගා දමන්නේ නැත. එවිට රසයේ අඩුවක් ඇත. නමුත් මිලෙහි කිසිදු වෙනසක් නැත. ඉන්දියන් කෑමවලදී ඉට්ලි සහ පූරිවලටද  විශාල ඉල්ලුමක් ඇත. නමුත් ඒවායේ මිලද වෙනස් වේ.

ඉන්දියානු කෑම සාදන ආපනශාලා බොහෝවිට හඳුන්වනු ලබන්නේ සයිවර් කඩ නමිනි. කොළඹ නගරයේ රාත්‍රී කා‍ලයේදී සයිවර් කඩ වලට බොහෝ මිනිස්සු එක්රුස් වෙති. ගාලු මුවදොර පිටියේ නිදහසේ ගතකරන පෙම්වතුන් රාත්‍රි කාලයේදී සයිවර් කඩයකට^ ගොඩ වී තෝසයක්, උළුඳු වඩයක් කා පෙම්බස් දොඩමින් කාලය ගතකරති. නමුත් වර්මානයේදී බොහෝ පෙම්වතුන් තෝසෙ වෙනුවට ෆ්‍රයිඩ් රයිස් එකක් කති. එය මිලෙන් අඩුය

සයිවර් කඩ*වලට අමතරව ඉන්දියන් කෑම තිබෙන ඉන්දියානු රෙස්ටුරන්ට් සංස්කෘතියක්ද කොළඹ නගරයේ ඇත. දකුණු ඉන්දියානු මෙන්ම උතුරු ඉන්දියානු කෑමවල සැබෑ රසය මෙම ඉන්දියානු අවන්හල්හි රස බැලිය හැකිය. සයිවර් කඩයකට වඩා මෙහි කෑම මිලෙන් අධිකය. බොහෝවිට මෙම ඉන්දියානු අවන්හල්වල සේවය කරන්නේද ඉන්දියානු කෝකිවරුන්ය. ඒ නිසාම ඉන්දියානු රසය එලෙසින්ම ආහාරයට ලබාගත හැකිය. අමරාවති රෙස්ටුරන්ට්, මහරාජා පැලැස්, ෂන්මුගාස් වැනි ඉන්දියානු අවන්හලේ ඇති කෑමබීමවල මිලෙහි යම් වැඩිවීමක් තිබුණද ඒවායේ රසය ඉස්තරම්ය.
වඩේ ඉන්දියානු ආහාරයකි. මෑත කාලයේදී ලංකාවේ නිපැයුමක් වන ඉස්සෝ වඩේ සහ උම්බලකඩ වඩේවලට ඉල්ලුමක් ඇත. කුඩාව සැකසූ වඩය මැද කුඩා ඉස්සෙකු තිබීමත්, කුඩා වඩය මත කුඩා උම්බලකඩ කැබැල්ලක් දැමීමත් නිසා මේවා බොහෝවිට මිලදී ගනු ලබන්නේ කටගැස්මටය. විශේෂයෙන් තැබෑරුම් අසල මෙම වඩේ කරත්තයක් වරදින්නේ නැත. පසුකාලයේදී උම්බලකඩ වඩේ මැද උම්බලකඩ කැබැල්ලක් නොතිබුණද රුපියල් දෙකට තිබූ වඩය රුපියල් පහ දක්වා ඉහළ ගියේය. 

කෙසේවුවද විවිධ හේතු සඳහන් කරමින් ඉන්දියන් කෑමවල මිල ඉහළ යමින් පවතී. මිල ඉහළ ගියද ඉන්දියන් කෑමවල ලැබෙන ඉල්ලුමෙහි අඩුවක් නම් පෙනෙන්නට නැත.

 දිශානි ජයමාලි කරුණරත්න

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03