2021 මාර්තු 27 වන සෙනසුරාදා

තැඹිලි වතුර පිටරට යවන හරින්ද්‍ර

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 327

ශ්‍රී ලංකාවට ආවේණික වුණු තැඹිලි වතුර පිටරටට යවන අපේ රටේ ව්‍යවසායකයකු වන හරින්ද්‍ර මහකුඹුර අද ජීවිතේ ජයගත් ශ්‍රී ලාංකිකයෙකි. නමුත් ඔහු මෙතෙක් ආ ගමන්මග එතරම් ලෙහෙසි ගමනක් වූයේ නැත.

2012 වසරේදී හරින්ද්‍ර වෙළෙඳ ප්‍රචාරක ආයතනයක හිමිකරුවෙකි. නමුත් වසර කිහිපයක් කරගෙන ගිය තම ආයතනයේ යම් යම් පාඩු සිදුවෙද්දී ඔහු වෙනත් ව්‍යාපාරයකට අතගැසීමට අදහස් කළේය. ඔහු පුවත්පත් නිරන්තරයෙන් කියවන්නෙකි. එක්තරා ජාතික පුවත්පතක සඳහන්ව තිබූ ප්‍රවෘත්තියක් ඔහුගේ ගමන්මග වෙනස් කළේය.

“ලංකාවේ පොල්වතුර ලීටර් පනස් දහසක් පමණ අපතේ යයි.” ප්‍රවෘත්තියේ සඳහන් වූයේ එලෙසිනි.

“ඒ ප්‍රවෘත්තිය මගේ ජීවිතේ වෙනස් කළා. ඒ මොහොතේම මම අන්තර්ජාලය ඔස්සේ ඒ ගැන හොයලා බැලුවා. අපි ලෝකේ පොල් නිෂ්පාදනය කරන රටවල් අතරේ ඉන්න රටක්. ඒ වෙද්දිත් බ්‍රසීලය කුරුම්බා වතුර බෝතල් කරන සාර්ථක රටක් වුණා. අපේ රටෙන් එහෙම නිෂ්පාදනයක් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා මම මේ ගැන හොයන්න පටන් ගත්තා. අන්තර්ජාලයේ මට මේ සඳහා අවශ්‍ය තාක්ෂණය තිබුණේ නැහැ. මම බොහෝ කාලයක් වැය කරලා මේ ගැන හෙව්වා. සති දෙක තුනක් එකදිගට නිදිමැරුවා. හැබැයි මට දවස් දහයක් තියාගන්න පුළුවන් වුණු පුංචි තාක්ෂණයක් ලැබුණා. මම ඒකෙන් කුරුම්බා බෝතල් කරන වැඩේ ආරම්භ කළා.” යැයි හරින්ද්‍ර මාකුඹුර මහතා පැවසීය.

ඔහු කුඩා යන්ත්‍රයක් මුලින්ම සෑදුවේය. වාතයට නිරාවරණය නොවන ආකාරයෙන් ඔහු එම යන්ත්‍රය නිර්මාණය කළේය. මේ ගැන දැනගත් ඔහුගේ යාළුවෝ ඔහුට විහිළු කළහ.

“උඹට පිස්සුද බං. ලංකාවේ හතර වටේ පොල් ගස් තියෙනවා. ඕවා ගනීද?” යැයි යාළුවෝ ඔහුගෙන් ඇසූහ. 

ඒ හැම යාළුවකුටම ඔහු දුන් පිළිතුර වූයේ ලංකාවේ හතරවටෙන් වැව් තිබුණත්, හැමතැනම පයිප්ප තිබුණත්, මේ රටේ මිනිස්සු රුපියල් පනහක් දී වතුර බෝතල් මිලදී ගන්නා බවය.

ඔහු උත්සාහය අතහැරියේ නැත. මේ ගමනේදී ඔහු වින්ඳ දුක, අත්දැකීම් හා සමාජයේ ඔහුව පිළිගත් හැටි අදටත් ඔහුට මතකය. ඒ කටුක අත්දැකීම් හරිම වේදනාකාරීය.

ඔහු මුලින්ම තම නිවෙසේ කුරුම්බා බෝතල් සියයක් නිෂ්පාදනය ක‍ළේය. ඒ සඳහා ඔහුගේ බිරිඳගෙන් ලොකු සහයෝගයක් ලැබුණි. විශාල බෑගයක දමාගත් කුරුම්බා බෝතල් රැගෙන ඔහු සංචාරක හෝටල් වෙත ගෙන ගියේය.

“අයියෝ මල්ලි පිස්සුද.. ඕවා ගන්නවාට වඩා අපි ගහෙන් ගෙඩියක් කඩලා දෙනවනෙ.” 

ඔහුට ලැබුණු ප්‍රතිචාරය එබඳුය. මොරගල්ල ප්‍රදේශයේ එක්තරා සංචාරක හෝටලයකදී “ෂා මල්ලි.. උඹ මාර වැඩ්ඩෙක්නෙ. උඹ අදහන්න ඕනෙ මිනිහෙක්නෙ. හෙටම බෝතල් සීයක් ගෙනෙං” කියා කීවේය.

ඔහු මුල් දිනයේ සංචාරක හෝටල්වලට කුරුම්බා වතුර බෝතල් ගෙන ගියේ බෑගයට දමාගත් බෝතල් පිටේ එල්ලාගෙනය. ඒ බෑගය කිලෝ හතළිහක් පමණ බරය. ඔහු වායුසමීකරණ බස් රථයකට ගොඩවෙද්දී පිටේ වැදුණු බෑගය නිසා “මොන වදයක්ද?”යැයි කියමින් කොන්දොස්තරවරයාගේ මුහුණ වෙනස් වුණු හැටි අදටත් හරින්ද්‍රට මතකය. ශීත කළ කුරුම්බා බෝතල්වලින් ගලා ගිය ජලය ඔහුගේ පිට තෙත් කළේය.

මොරගල්ල සංචාරක හෝටලයෙන් ලැබුණු මුල්ම ඇණවුමෙන් ඔහුගේ හිසේ මලක් පිපුණි. ඔහු පොල් කඩන මාමාට නොවිදිනා වැඳුම් කර කුරුම්බා ගෙඩි කඩා ගත්තේය. දින තුනකට පසුව කුරුම්බා බෝතල් සියයක් පිටේ එල්ලාගෙන ඔහු මොරගල්ල ප්‍රදේශයේ තිබුණු සංචාරක හෝටලයට ගොඩවැදුණේය. ඒ බොහෝ බලාපොරොත්තු හිතේ තබාගෙනය. නමුත් ඒ අදාළ සංචාරක හෝටලයේ දොරවත් හරින්ද්‍රට ඇරුණේ නැත.

සංචාරක හෝටල් හිමිකරුවා තවත් කෙනකු සමඟ සාකච්ඡාවක නිරතව සිටි තැනට ගොස් හරින්ද්‍ර තමන්ගේ අවශ්‍යතාවයත්, ඇණවුමට අනුව කුරුම්බා බෝතල් රැගෙන ආ බවත් පැවසීය.

“අයියෝ.. කොල්ලෝ උඹ ඕක සිරාවටම ගත්තද.. මම විහිළුවට බං කිව්වේ. ඕවා අරගෙන මම මෙතන මොනව කරන්නද.. ඊට වඩා තැඹිලි ගෙඩියක් කපලා දෙන එක මට ලාභයි.” යනුවෙන් හිමිකරුගෙන් පිළිතුරු ලැබුණි.

හරින්ද්‍රගේ හිතට දරාගන්නට බැරි වේදනාවක් දැනුණි. ඔහුට තමන් ගැනම ආත්මානුකම්පාවක් ඇතිවිය. දරාගන්නට බැරි කෝපයක් දැනුණද, ඊටත් වඩා වේදනාකාරී හැඟීමක් ඔහුට දැනුණි.

හරින්ද්‍ර මොරගල්ල සංචාරක හෝටලයෙන් පිටතට ආවේ ඇස්වල කඳුළු පුරවාගෙනය. ඔහු තවත් හෝටල් කිහිපයකට කුරුම්බා බෝතල් ටික ගෙන ගියද සතුටුදායක පිළිතුරක් ඒ කිසිදු හෝටලයකින් හරින්ද්‍රට ලැබුණේ නැත. හිතින් වැටුණු හැම මොහොතකම හරින්ද්‍රගේ බිරිඳ ඔහුව ශක්තිමත් කළාය. අදටත් හරින්ද්‍රට ජීවිතයේ ලොකුම හයිය වන්නේ ඇයයි.

ඔහු සති දෙකක් කිසිවක් නොකර නිවෙසටම වී සිටියේය. දිනක් තම මිතුරකු නිවෙසට ආ මොහොතේදී ඔහු ශීතකරණය හැර කුරුම්බා වතුර බෝතලයක් යාළුවාට පිළිගැන්වීය.

“මචං.. මේක මරුනේ බං.. අතහරින්න එපා. මේක කරපං.”

යාළුවා හරින්ද්‍රව නැවතත් දිරිගැන්වීය. අතහැර දමා තිබූ ව්‍යාපාරය ඔහු නැවතත් පටන් ගත්තේය. ඔහු කුරුම්බා බෝතල් ටිකක් අලුත්ගම ප්‍රදේශයේ හෝටල්වලට ගෙන ගියේය.

ඔහු (ලලුන) හෝටලයට ගොඩවැදුණේය. එහි අයිතිකරු වූ මොහාන් සිල්වා හරින්ද්‍රගේ කුරුම්බා බෝතලයක් ගෙන එය පානය කර, “ෂා මල්ලි.. මේක මරුනෙ” කියමින් හෝටලයේ සිටි විදෙස් යුවළකට බීමට බෝතල් දෙකක් දුන්නේය. කුරුම්බා වතුර පානය කළ විදෙස් යුවලගෙන්ද ලැබුණේ ඉහළ පැසසුමකි.

“මල්ලි.. බෝතල් ඔක්කොම දාපං..”

(ලලුන) සංචාරක හෝටලයෙන් පළමු අත්තිවාරම දැමුණු හැටි අදත් හරින්ද්‍ර මතක් කරන්නේ සැබෑ සතුටිනි. එතැන් සිට (හෙළcoco) ගමන ආරම්භ විය.

“මම සිංහල බෞද්ධයෙක්. (හෙළ) කියන්නේ සිංහල ජාතියයි. මේ භූමිය, ශිෂ්ටාචාරය බිහිකරපු මිනිස්සු. අපේ මුල් ජාතිය ගැන කියන්න අපි බය ඇයි.. මගේ දරුවන්ගේ නම් පවා මම මේ ජාතිය නියෝජනය කරන්න පුළුවන් විදිහටයි දාලා තියෙන්නේ. මම රැල්ලේ සිංහල බෞද්ධයෙක් නෙමෙයි. ලොකු දුව හෙළනදී. දෙවැනි දුව සිහනදී. තුන්වැනියා පුතා. එයාගේ නම සුහනද. ඔවුන් මගේ මතවාදයට විරුද්ධ වෙලා විදෙස් කෙනකු සමඟ විවාහ වුණත් විදේශිකයා මගේ ජාතියේ නමින් තමයි දරුවන්ට ආමන්ත්‍රණය කරන්නේ. දුවගේ නම නිසාම ව්‍යාපාරයට (හෙළ) කියල දැම්මේ නැහැ. මම මගේ ජාතිය විදෙස් රටවලට ගෙනියන්න ලොකු හීනයක් දකිනවා.” යැයි හරින්ද්‍ර කියයි.

වර්තමානයේදී ලංකාවටත් වඩා විදෙස් වෙළෙඳපොළෙහි (හෙළcoco) නාමය කියැවේ. කුරුම්බා වෙනුවට පහු කාලයේදී හරින්ද්‍ර තැඹිලි වතුර බෝතල් කළේය. තැඹිලි වතුර බෝතල් දෙසීයක් එකවර මුලින්ම හැදූ මුල්ම දිනයේදී හරින්ද්‍ර අසාර්ථක විය. තැඹිලි වතුර බෝතල් දෙසීයම පහුවදා නරක් වී තිබුණි. ඔහු වීදුරු බෝතල් සියල්ලට පයින් ගැසුවේය. බිත්තියට ඔළුව ගසා හඬා වැළපුණේය. ඒ හැම මොහොතකම ඔහුගේ බිරිඳ ලතීෂා ඔහුට ශක්තියක් වූවාය.

“&විශ්වාස කරන්න.. වැරදෙන්න වැරදෙන්න.. මම ඒ හැම දෙයක්ම ගණන් කරන්න පටන් ගත්තා. බොහෝ දෙනා හිතට එන පීඩනයට විවිධ මත්පැන්, මත්ද්‍රව්‍ය, සිගරට් බොන්න පුරුදු වුණත් මම වයින්වත් බොන කෙනෙක් නෙමේ. ඒ නිසා වරදින තැන් ගණන් කරන්න මම ඇබ්බැහි වුණා. විශ්වාස කරන්න.. මම ගණන් කරන්න ගත්තට පස්සෙ දෙසීය වතාවක් මම අසාර්ථක වෙලා තිබුණා. ඊටපස්සේ තමයි මම නියම තාක්ෂණය හොයාගෙන තිබුණේ.”

ඔහු කිසිම රසායනික ද්‍රව්‍යයක් යොදා නොගෙන තැඹිලි වතුර බෝතල් නිෂ්පාදනය කරයි. කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් ඔහු එයට අඩංගු කරන්නේ නැත. ඔහු පවසන පරිදි අඩුම තරමේ ඔහු එයට ජලය වුවද මිශ්‍ර කරන්නේ නැත. මේ වන විට ඔහු ශ්‍රී ලංකාවේ තැඹිලි වතුර බෝතලය (හෙළcoco) නමින් රටවල් හතකට අපනයනය කරයි. ඒ අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, එංගලන්තය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ හොංකොං යන රටවලටය. වෙනත් රටවලින්ද ඇණවුම් ලැබෙමින් පවතින අතර ඉදිරියේදී එම රටවල් ගණන වෙනස් වන බව ඔහු පවසයි. ඊට අමතරව ලංකාවේ සුපිරි වෙළෙඳසල් ජාලා කිහිපයකින්ද මෙය මිලදී ගත හැකිය. 

තැඹිලි වතුර බෝතලයට අමතරව ඉඟුරු කොත්තමල්ලි කෑනයක්ද හරින්ද්‍ර නිෂ්පාදනය කරයි. එය නිෂ්පාදනය කරන ලද්දේ කොරෝනා වසංගතයත් සමඟය. කොවිඩ් වසංගත කාලයේදී ඔහු නැවතත් තම නිෂ්පාදන අලුතින් ආරම්භ කළේය. ලෝකයේ එකම සහ මුල්ම ඉඟුරු කොත්තමල්ලි පිරවුම් කෑනය නිෂ්පාදනය වූයේ ශ්‍රී ලංකාවේ (හෙළcoco) ආයතනයේදීය. ඊට අමතරව ෆැෂන් ෆෘට් පානය, දොඩම් පානය, කෝමාරිකා පානය මෙන්ම ශක්තිජනක පානයක්ද ඔහු නිෂ්පාදනය කර තිබේ.

“මේ සඳහා යොදාගන්නා පළතුරු මේ රටේ බොහොම පුංචි මිනිස්සුන්ගේ මහන්සියෙන් දහඩියෙන් වගා කරන පළතුරුයි. මට ලැබෙන රුපියලින් පවා කොටසක් මගේ රටේ මිනිස්සුන්ට අයිති වෙනවා. මේ මිනිස්සුන්ට පුංචියට හරි හයියක් වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. මේ හැම බෝතලයකම අපේ රටට ආවේණික වුණු රූපසටහනක් සටහන් වෙලා තියෙනවා. පිටරට සුද්දට මේ බෝතලයක් අතට ගිය විට අපේකම, හෙළයේ අනන්‍යතාවය දැකබලා ගන්න පුළුවන් වෙනවා. තව නොබෝ දිනකින් ලංකාවේ මුල්ම උක් සහිත ශක්තිජනක පානය එළිදක්වන්නට අපි සූදානමින් ඉන්නවා.” යැයි හරින්ද්‍ර මාකුඹුර දේශයට අදහස් දක්වමින් පැවසීය.

ඔහුගේ ඉලක්කය 2023 දී ලෝකයේ ජනප්‍රියම හෝ හොඳම ස්වභාවික පාන ප‍හ අතරට මෙය එක් කිරීමයි. එය ඔහුගේ ලොකුම හීනයයි. පසුගියදා කර්මාන්ත අමාත්‍යාංශය, ජාතික වාණිජ මණ්ඩලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් පවත්වනු ලැබූ බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී බස්නාහිර පළාතේ (හොඳම නවෝත්පාදක ආයතනය (Best Innovative Enterprise) සහ කොරෝනා වසංගත කාලයෙහි අභියෝගවලට මුහුණදෙමින් අඛණ්ඩව ව්‍යාපාරය වර්ධනය කළ )හොඳම ව්‍යවසායකයා (Best Entrepreneur Recovered from Covid Related Issues) යන සම්මාන ද්විත්වයම (හෙළකොකෝ එනර්ජි) ආයතනයට හිමිවිය.

 දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ