සිංහල අලුත් අවුරුදු සමය උදාවෙමින් තිබේ. ගෙවුණු කොවිඩ් නිසා මගහැරුණු සිංහල අලුත් අවුරුද්ද කෙසේ හෝ සමරන්නට ජනතාව බලාපොරොත්තුවෙන් සිටිති. සෞඛ්‍යාරක්ෂාව සේම ආර්ථික ගැටලු රුසක් මෙවර අවුරුද්ද අභිමුව තිබේ. අතමිට හිඟවීම මෙන්ම බඩු මිල ජනතාව හමුවේ ඇතිකර ඇත්තේ මහත් පීඩනයකි. එනිසාම පසුගිය දිනවල කනින් කොණින් ඇසුණු ආණ්ඩුවේ සහන ගැන අපි සොයා බැලීමට තීරණය කළෙමු.
පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණෙන් සතොස ශාඛා ජාලය හරහා සහන මල්ලක් ලබාදීමට පියවර ගන්නා බව කීවේ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාය. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10කින් සමන්විත එම සහන මල්ල රුපියල් දහසක මිලකට අප්‍රේල් මස 01 වැනි දින සිට සතොස ශාඛා මගින් ලබාගත හැකි බව ඔහු කීවේය.
“සිංහල අවුරුද්ද වෙනුවෙන් අපි ජනතාවට හිතේ ගින්දර නැතුව ලිපේ කිරිබත ඉදෙන අවුරුද්දක් බවට පත්කිරීම සඳහා සහල්, පිටි, සීනි, පරිප්පු හාල්මැස්සන් යනාදී අත්‍යාවශ්‍ය පාරිභෝජන භාණ්ඩ 10ක් රුපියල් 1000ක සහන මිලට ලබාදීමේ වැඩපිළිවෙළක් සතොස හරහා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා පළවැනිදා සිට. ඒ නිසා හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය පාරිභෝජන භාණ්ඩ 27ක් බෙදාහැරීම සඳහා සතොස සක්‍රීය දායකත්වයක් ලබාදෙනවා.
මෙම කතාව පිළිබඳ වැඩිදුරටත් විමසීම සඳහා අපි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇමතුවෙමු. එහිදී ඔහු කියා සිටියේ මෙය සතොස පාරිභෝගිකයන්ට ලැබෙන අවස්ථාවක් බවයි.
“මේ සහන මල්ල දෙන්නේ පහුගිය කාලේ සතොස වැළඳගත්ත පාරිභෝගිකයන්ට සතොස අලෙවි ප්‍රවර්ධනයක් විදිහට. දැන් විශාල පිරිසක් අලුතින් සතොසට එනවා. මෙතැනදී ඔවුන්ට භාණ්ඩ වර්ග 12ක් විශේෂ පැකේජයක් විදිහට ලබා දෙනවා රුපියල් තුන්සීයක් විතර වෙළෙඳපොළේ මිලට අඩුවෙන්."
කෙසේ වෙතත් මෙම සහන මල්ල ජංගම රථ හරහා ද අලෙවි කිරීමට ආරම්භයේ දී රජය සැලසුම් කර තිබුණි. වෙළෙඳ අමාත්‍යවරයාට අනුව එම ජංගම සේවය දැන් අහෝසි කර තිබේ. පෙනී යන පරිදි මෙය හුදු සතොස පාරිභෝගිකයන්ට උදාවන අවස්ථාවකි. කෙසේ වෙතත් තවදුරටත් අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් සඳහා වන සහන පැකේජය තවදුරටත් ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා කියා සිටියේය.
“රටටම දෙන භාණ්ඩ 27ක සහන පැකේජය එකක්. රුපියල් දාහට ලබාදෙන සහන මල්ල වෙන එකක්. ඒ අලෙවි ප්‍රවර්ධන කටයුත්තක්. දැන් වෙනදාට වඩා සතොසට ජනතාව එනවා."
ස්ථාවර මිල ගණන් යටතේ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 27ක් පාරිභෝගිකයන් වෙත ලබාදීම ආරම්භ වූයේ පසුගිය පෙබරවාරියේය. ඉදිරි මාස තුනක් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 27ක මිල ස්ථායීකරණ ව්‍යාපෘතිය හරහා එය සිදුවිය. මේ හරහා සැපයුම්කරුවන් සමඟ ගිවිසුම්ගත වී සතොස විසින් මෙම භාණ්ඩ සඳහා ස්ථාවර මිලක් පවත්වාගෙන යයි. මෙම පාරිභෝගික භාණ්ඩ පවත්නා මිලට වඩා අඩු මිල ගණන් යටතේ පාරිභෝගිකයා වෙත සතොස හරහා ලබාගත හැකි බව කියැවේ.
රජය පාර්ශ්වයෙන් කියවෙන කරුණු කෙසේ වෙතත් උත්සව සමයේ වෙළෙඳපොළ මිල ගණන් පාරිභෝගිකයන්ට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබේ. සතොස යනු මෙරට සමස්ත වෙළෙඳ ජාලයෙන් ඉතා කුඩා කොටසකි. එම නිසා පොදුවේ සමස්ත වෙළෙඳ මිල ගණන් පිළිබඳ අපි වෙළෙඳ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළෙමු.
“ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ. සතොසත් එක්ක තරගය නිසා සුපිරි වෙළෙඳසල් මිල අඩු කරනවා. එතකොට සමූපකාරත් අඩු කරනවා. ප්‍රශ්නයක් වෙන්නේ නෑ. වෙළෙඳපොළේ බහුතරයකට හිතෙන විදිහට මිල ඉහළ නංවන්න වෙන්නේ නෑ. පාරිභෝගිකයන්ට පුළුවන් තෝරාගන්න."
රජය විසින් මිල පාලන ගැසට් ගසා බඩු මිල අඩු කිරීමට දැරූ උත්සාහයන් සාර්ථක නොවිණි. සහල් ඇතුළු බොහෝ භාණ්ඩවලට පැනවූ පාලන මිල ගණන් අද වන විට විහිළුවක් බවට පත්වී තිබේ. නීතිමය රාමුවක් තුළ ද වෙළෙන්ඳන්ට එරෙහිව කටයුතු කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇත්තේ සාමාන්‍ය වෙළෙන්ඳන් වෙත භාණ්ඩ ලැබෙන විට ද එහි පාලන මිල ඉක්මවා තිබීම හේතුවෙනි. එම නිසාම යම් තරගයක් දී අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩුකර ගැනීමට රජය උත්සාහ දරන බව පෙනී යයි. එය වෙළෙඳ අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය හරහා තවදුරටත් අනාවරණය වේ.
“පාරිභෝගිකයෝ දැනුවත් තාර්කික පාරිභෝගිකයෝ වෙන්න එපැයි. සමහර පාරිභෝගිකයෝ සුපිරි වෙළෙඳසල්වලට යනවා. සමහරු ඊට වඩා මිල අඩුයි කියලා සතොසට යනවා. තව සමහරු පොළට යනවා. ආර්ථික මධ්‍යස්ථානයට යනවා. වෙළඳපොළ මිල සංඥා අනුව තමන්ගේ විදිහ අනුව තීරණය කරනවා. පාරිභෝගිකයෝ වැඩිය දැනුවත් කළොත් වැඩි මිලට අලෙවි කරන තැන්වලට ඔවුන් යන්නේ නෑ. ඒක තමයි වෙළෙඳපොළ තත්ත්වය."
මේ අනුව සිංහල අලුත් අවුරුදු සමයේ විශේෂ සහනයක් බලාපොරොත්තු වනවාට වඩා සහන සොයා යෑමට පාරිභෝගිකයන්ට සිදුවනු ඇති බව අවසානයේ කිව යුතුය. බලාපොරොත්තු වූ ලෙස සහනයක් ද බලාපොරොත්තු වූ තරම් සුබ අවුරුද්දක් ද අප වෙත උදාවේදැයි තවමත් පැහැදිලි නැත. කෙසේ නමුත් සෞඛ්‍යාරක්ෂිත බව හා ආර්ථික අභියෝග මධ්‍යයේ අවුරුදු සුබ කර ගැනීමට ඔබට උත්සාහ කළ හැකිය.
චමිඳු නිසල් ද සිල්වා